2020 මැයි 30 වන සෙනසුරාදා

මාගරීන් කිලෝවකට බද්ද රු.650ක්

 2020 මැයි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 51

මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් 2007 අංක 48 දරණ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත ප්‍රකාරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු ඇතැම් ආහාර ද්‍රව්‍ය සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පනවා තිබේ. මෙම බදු පිළිවෙළින් මාස 03ක් සහ මාස 06ක් දක්වා වලංගු වන බව ඒ සඳහා වන ගැසට් නිවේදනවල සඳහන්ය.

මෙම විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ප්‍රකාශයට පත් කිරීමට පෙර සිටම, පරිප්පු, කරවල, අල, කහ, සුදුලූනු ආදී ද්‍රව්‍යවල බදු ඉහළ නංවා තිබුණු අතර මෙම බදු පැනවීම නිසා ඒවායේ මිල තවත් ඉහළ යනවා ඇත.
සහල්වලට පනවා තිබූ උපරිම සිල්ලර මිල වෙනස් නොකරන බවට ආණ්ඩුවේ බලවතුන් පසුගිය බදාදා (27) සවස දක්වාම පුන පුනා ප්‍රකාශ කළද කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ පරිදි සහල් සිල්ලර මිල 27දා මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නංවා තිබේ. මේ පිළිබඳ වැඩිදෙනාගේ අදහස වන්නේ ආණ්ඩුවට අන්තිමට හාල් මුදලාලිලාට යටවන්නට සිදුවූ බවය.

විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සංශෝධනය නිසා ආහාර ද්‍රව්‍ය 32ක මිල ඉහළ ගොස් ඇති අතර එයින් ජනතාව වැඩි වශයෙන් පාරිභෝජනය කරන කරවල, හාල්මැස්සන්, මුංඇට, අර්තාපල්, රතු ලූනු, සුදු ලූනු, කඩල, මයිසූර් සහ කහ පරිප්පු, වියළි මිරිස්, සූදුරු, මහදුරු, රටකජු, මාජරින්, සැමන් හා සාඩින් වර්ග, සීනි, සෝයා තෙල්, පාම් තෙල් ආදියේ මිලද සෑහෙන තරමට ඉහළ ගොස් ඇත.

මෙම විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අනුව සීනි, අර්තාපල්, රතුලූනු සහ සුදුලූනු කිලෝවකට රුපියල් 50 බැගින්ද, කරවල කිලෝවකට රුපියල් 52 බැගින්ද, වියළි මිරිස් කිලෝවකට රැපියල් 100ක් සහ සූදුරු සහ මහදුරු කිලෝවකට රුපියල් 162 බැගින්ද, සැමන් කිලෝවකට රුපියල් 100 බැගින්ද බදු පනවා තිබේ. මුං ඇට කිලෝවකට රුපියල් 40ක බද්දක් සමඟ මයිසූර් පරිප්පුවල කිලෝවට රැපියල් 10 බැගින් බදු ගසා ඇති අතර, මාජරින් කිලෝවකට රැපියල් 650ක් වන විශාල බද්දක්ද පනවා ඇත. මෙම ආහාර ද්‍රව්‍ය සියල්ලම පාහේ ජනතාවගේ එදිනෙදා පාරිභෝජනයට අත්‍යවශ්‍ය දේවල් වන අතර මේ නිසා ඔවුන්ගේ ජීවන බර විශාල ලෙස වැඩිවන බව පෙනෙන්නට තිබේ.

ආණ්ඩුවේ වගකිවයුත්තන් ප්‍රකාශ කර ඇත්තේ මෙලෙස බදු ඉහළ නැංවූයේ දේශීය වශයෙන් මෙම ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට අතදීමක් වශයෙන් බවය. එසේ වුවද කිසිදු නිෂ්පාදන සැලසුමකින් තොරව හදිසියේ මිල වැඩිවීම නිසා දුප්පත් පාරිභෝගිකයන්ට සිදුවන හිරිහැරය අති මහත්ය. විශේෂයෙන් සීනි කිලෝවකට රුපියල් 50ක් වැඩිකිරීම නිසා බේකරි නිෂ්පාදන රසකැවිලි, බිස්කට්, සිසිල් බීම පමණක් නොව තේ වතුර කෝප්පයේ මිලද ඉහළ යාමේ අනතුරකට පත්ව ඇත. පාම් තෙල් හා මාජරින් මිල ඉහළයාම නිසා පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල වැඩිකිරීමට සිදුවන බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

ආනයනික අර්තාපල් කිලෝව රුපියල් 50කින් ඉහළ නැංවීම නිසා දේශීය අර්තාපල්වලද මිල ඉහළ යාම සිදුවේ. වියළි මිරිස් සහ සූදුරු මහදුරුවල මිල වැඩිවීම පිසින ආහාරවලට අහිතකර බලපෑමක් ඇති කරයි. පරිප්පුද දැනට කිලෝව රුපියල් 200කට ආසන්නව ඇති අතර යළිත් මිල ඉහළ යාම සිදුවේ. අද වනවිට හාල්මැස්සන් මෙන්ම කරවල කිලෝවක මිලද විශාල ලෙස වැඩිවී තිබෙන අතර, මෙම බදු නිසා තවත් මිල ඉහළ යනවා ඇත. විශේෂයෙන්ම බත් පිඟානේ මිල තවදුරටත් ඉහළ යෑම සිදුවේ.
ආනයනය කරන පළතුරු සහ සෙසු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල බදු ඉහළ නැංවීම සුදුසු නමුත් රටේ ජනතාව දැඩි ආර්ථික අර්බුදයක හිරවී සිටින මෙවැනි අවස්ථාවක කවුරැත් පාරිභෝජනය කරන ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ නැංවීම කාලෝචිතද යන්න වගකිව යුත්තන්ගේ අවධානයට යොමුවිය යුතු බව සාමාන්‍ය ජනතාවගේ මෙන්ම ආර්ථික විශ්ලේෂකයන්ගේද මතය වේ.

එසේම ආණ්ඩුව උපරිම මිල වෙනස් නොකරන බවට සහතික කළ සහල් මිලද වැඩිකර ඇති අතර ඒ අනුව කිලෝව රුපියල් 90 තිබූ නාඩු සහ සම්බාවල මිල පිළිවෙළින් රුපියල් 90 හා 98 දක්වා ඉහළ දමා ඇත. ජනතාව විශාල කැමැත්තක් දක්වන මෙම සහල් දෙවර්ගයේ මිල වැඩිකිරීම ඔවුන්ට විශාල ලෙස අහිතකර වන අතර කිලෝව රුපියල් 125කට විකුණන කීරි සම්බාවලින් විශාල ලාභයක් ගන්නා බවට චෝදනා එල්ලවුවද එහි මිල පහළ දැමීමට මෙම අවස්ථාව උපයෝගී කරගෙන නැත. එසේම රටේ දුප්පත් පාරිභෝගිකයා ආහාරයට ගන්නා කැකුළු සහල්වල මිල වෙනසක් කර නොමැති නමුත් රුපියල් 85 පාලන මිලට එම සහල් කිසිදු තැනෙකින් මිලට ගත නොහැකි අතර මේ වනවිට කැකුළු සහල් හිඟයක් උද්ගතව තිබේ. ඉදිරියේ නිෂ්පාදකයා මෙම සහල් වර්ග දෙක වෙළෙඳපොළට නිකුත් නොකිරීම හේතුවෙන් අනාගතයේදී කැකුළු සහල්වල උග්‍ර හිඟයක් බලපැවැත්වීමට ඉඩ ඇති බවට අනතුරු හැඟවේ.

පිට පිට ගැසූ බදු නිසා රටේ එම ක්ෂේත්‍රවල ක්‍රියාකාරී අංශවලට හා ජනතාවට මුහුණ පාන්නට සිදුව ඇති දුෂ්කරතා පිළිබඳ ඔවුහු මෙලෙස අදහස් ප්‍රකාශ කර සිටිති.
මාස 06ක් ණයට සීනි දෙන්න කැමැති කව්ද?

සීනි ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති පැරකුම් අබේසේකර

රජය අලුතෙන් ගැසට් කර ඇති රෙගුලාසි නිසා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල යළිත් ඉහළ යාමෙන් ජනතාව හිරිහැරයට පත්වෙනවා. සීනිවලට බදු ඉහළ යාමත් සමඟ ආනයනය කිරීමේදී දින 180ක ණය පදනමක් මත ගෙන්විය යුතුය යන රෙගුලාසියක් පනවා තිබෙනවා. දැන් අප සොයාබැලිය යුතු වෙන්නේ මාස හයක කාලයකට ණයට සීනි සපයන්න කැමැති කවුරුන්ද යන්නයි. එසේම එහෙම සැපයුවත් ඒ සඳහා අතිරේක පොලියක් ගෙවන්න වෙනවා. එහිදී තවදුරටත් මිල ඉහළ යාමෙන් පාරිභෝගිකයා අමාරුවේ වැටෙනවා.

හිටපු ගමන් මෙවැනි නීති දැමීම නිසා ලෝකයට රටේ අස්ථාවරභාවය ප්‍රදර්ශනය වෙනවා. එය රටට අහිතකරයි. ආර්ථික කඩා වැටිල්ල ජාත්‍යන්තර වශයෙන් ප්‍රදර්ශනය වීමක් තමා වෙන්නේ. අපට තවමත් කියන්න බැහැ රටේ සිල්ලර මිල කීයක් වෙයිද කියලා. මේ වනවිට කිලෝවකට රැපියල් 50ක ආනයන බද්දක් ගෙවන්න වෙනවා. එයට අතිරේක වශයෙන් ණයට ගන්න නිසා තවත් ණය පොලියක්ද මෙයට එකතු වෙනවා. එවිට මිල තවත් වැඩිවේවි.
හිරිහැර වුණත් වැඩේ හොඳයි

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළෙඳුන්ගේ සංගමයේ සභාපති ජී. රාජේන්ද්‍ර

රජය ගත් තීරණයෙන් කෙටි කාලයකට ජනතාවට යම් හරිහැරයක් විඳින්නට සිදුවුවද එය අගය කරනවා. ආනයනය කරන ඇතැම් ආහාර ද්‍රව්‍යවලට රජය බදු ඉහළ නැංවූයේ ඒවා දේශීය වශයෙන් ප්‍රවර්ධනය කිරීමේ අපේක්ෂාවෙන් බව ඔහුගේ අදහසයි.
මේ ප්‍රශ්නයේදී මම කතා කරන්නේ හුදු ව්‍යාපාරිකයෙක් වශයෙන් පමණක් නොවෙයි. මෙම තීරණ නිසා දේශීය නිෂ්පාදන ඉහළ නැංවීමට සිදුවේය යන විශ්වාසය මතයි. එලෙස සිදුවුවහොත් ශ්‍රී ලාංකිකයකු වශයනේ මට සතුටු වෙන්න පුළුවන්. නව බදු නිසා ඇතැම් දේවල් මිල වැඩිවෙනවා. වියළි මිරිස්වලට පැනවූ ආනයන බද්ද වන රුපියල් 75 නිසා කිලෝවට රුපියල් 100ක බද්දක් ගෙවිය යුතු වෙනවා. සැමන් ටින් එකකට රුපියල් 20ක බද්දක් වැඩිවෙලා තිබෙන අතර සීනිවලට රුපියල් 17ක් වැඩිවී තිබෙනවා. මේ නිසා බැලූ බැල්මට යම් මිල වැඩිවීමක් සිදුවන බව පෙනෙන්නට තිබෙනවා. එහෙත් අපේ රටේ නිෂ්පාදනය කළ හැකි දේවල් වැඩිපුර නිෂ්පාදනය කිරීමට මෙයින් යම් උත්තේජනයක් ඇතිවේ යැයි අප සුබවාදීව බලාපොරොත්තු වෙනවා.
පාන් - බනිස් මිල වැඩිකරන්න වෙනවා

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එම්.කේ. ජයවර්ධන

බේකරි නිෂ්පාදන සඳහා යොදාගන්නා මාගරින්, පාම් තෙල්, සීනි, බටර් ආදී අමුද්‍රව්‍යවල මිල පසුගිය සමයේ අඛණ්ඩව ඉහළ ගිය අතර පසුගිය සතියේ පැනවූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අනුව තවත් ඉහළ ගියා. පාම් තෙල් කිලෝව සඳහා රුපියල් 350ක් වැඩිකර ඇති අතර මාජරින් කිලෝවක් මිල රුපියල් 650ක් වීමට මෙම බද්ද හේතු වී ඇත. එසේම සීනි කිලෝවද රුපියල් 50කින් පමණ ඉදිරියේදී වැඩිවනවා ඇත. මෙම තත්ත්වය මත පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල වැඩිකිරීමට සිදුව ඇති අතර ඒ පිළිබඳ තමන් ජනාධිපතිවරයා ඇතුළු වගකිවයුත්තන්ට දන්වා තිබෙන අතර සහනයක් නොලැබුණහොත් ඉදිරියේදී මෙම ආහාර ද්‍රව්‍යවල මිල වැඩි කිරීමට සිදුවන බව ඔහු පෙන්වා දෙයි.
ජනතාවගේ පීඩනය වැඩිවේවි

පාරිභෝගික අයිතීන් සුරුකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ

විශේෂ වෙළෙඳ භාණඩ බද්ද නිසා පාරිභෝගිකයා කබලෙන් ලිපට වැටෙනවා. කවදත් බදු පැනවූ විට අපේ වෙළෙඳුන් එම බද්දට වඩා කිහිප ගුණයකින් මිල වැඩිකර පාරිභෝගිකයා සූරා කන නමුත් රජය එම තත්ත්වය මර්දනය කිරීමට සාර්ථක පියවර නොගැනීම කනගාටුවට කරුණක්. දැනටමත් ජනතාව විශාල පීඩනයකට පත්ව ඇති අතර එම තත්ත්වය මෙම මිල වැඩිකිරීම් නිසා තවත් උග්‍රවනවා.

 යසවර්ධන රුද්රිගු