2020 මැයි 30 වන සෙනසුරාදා

ඇඳිරි නීතිය එක්ක මහනුවර ගෙවුණු තාලේ

 2020 මැයි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 39

කොවිඩ් 19 වෛරස් වසංගතය ව්‍යාප්ත වීම වළක්වාලීමට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම ඇතැම් අවස්ථාවාදී ආත්මාර්ථකාමී හා සමාජ දූෂිත ක්‍රියාවන්හි යෙදෙන පාර්ශවයන්ට මහත් වාසි ගෙන දෙන්නක් වූ අතර ඇතැම්හු කුමන හෝ සමාජ විරෝධී ක්‍රියාවන් තුළින් තම මඩිය තර කරගැනීමට ද මෙම අවස්ථාව උපයෝගී කරගත්හ.

විවිධ ජාවාරම්කාරයන් මේ සමඟ එළියට ආවේ ඇතැම් නීතිය සුරකින බලධාරීන්ගෙන් ලැබුණු සහනයන් කූඨ ලෙස උපයෝගී කරගනිමිනි. 
පොලීසිය මගින් ලබාදෙන ඇඳිරි නීති බලපත්‍රය හා ගම්වල හුදකලා වූ ජනතාවට අවශ්‍ය ආහාර පාන එළවළු හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයන මුවාවෙන් අත්‍යවශ්‍ය ලේබලයට මුවා වී ඇතැම්හු හෙරොයින් මත්ද්‍රව්‍ය බෙදා හැරීම, මහජනයාට නුසුදුසු ආහාර වර්ග බෙදා දීම සහ විෂ මත්පැන් මෙන්ම නීති විරෝධී මත්පැන්, නීති විරෝධී දුම්වැටි ජාවාරමට ද යොමුවූහ.
නීතිය සුරකින ඇතැම් දූෂිත පොලිස් නිලධාරීන් ද තමන්ට ලැබෙන සන්තෝෂම් හා වරප්‍රසාදවලට කෑදරකමින් කිසිදු අත්‍යවශ්‍ය සේවාවක නොයෙදෙන ජාවාරම්කාර පුද්ගලයන්ට ඇඳිරි නීතිය තුළ ඔබමොබ යාමට අවසර පත් ලබාදීම ද සිදුකරනු ලැබූ බව අප කළ සොයාබැලීම්වලදී අනාවරණය විය.

කූඨ වෙළෙන්දෝ තමතමන්ට රිසි සේ ජනතාව ගසාකමින් අයුතු ලාභ ලබමින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගිනි ගණන්වලට අලෙවි කළහ.
සෘජු කශේරැවක් නොමැති රජයේ නියමයන්ට අනුව අධිකාරී බලය මත ජනතා මුදලින් වැටුප් ලබන ඇතැම් පාරිභෝගික අංශ නිලධාරීන් මහනුවර නගරයේ බලගතු වෙළෙඳ මාෆියාවන් පතුරැවාගෙන සිටින ව්‍යාපාරිකයන් ඉදිරියේ හැසිරුණේ වෙළෙඳ ස්ත්‍රීන් මෙන් ව්‍යාපාරිකයන් හුරතල් කරමිනි. එවැනි අවස්ථා මාධ්‍යවේදීහු සිය දෑසින්ම දැකබලා ගත්හ.

ඇතැම් පුද්ගලයන්ට දේශපාලන හයියද නීතිය සුරකින ඇතැම් පොලිස් ලොක්කන්ගේ ද නොමඳ සහාය ලැබුණු නිසා එම ජාවාරම්කරැවන්ට රජය පැනවූ නිරෝධායන ඇඳිරිනීතිය තුට්ටුවකට තරම්වත් මායිම් නොවිය. ඇතැම් වෙළෙඳුන් ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් තමන්ට රිසි සේ සුපිරි වෙළඳසල් විවෘත කරගෙන භාණ්ඩ අලෙවි කළේ පවතින වසංගත රෝගය තුට්ටුවකට මායිම් කරමිනි. ඔවුන්ගේ සුපිරි වෙළෙඳසල් වෙත පැමිණියේ ආරක්ෂිත අංශයන්හි උසස් නිලධාරීන්ය. මහනුවර උසස් රාජ්‍ය සේවාවේ යෙදී සිටි නිලධාරීන්ය. (වෛද්‍ය සෞඛ්‍ය සේවා පොලිස් හා හමුදා අංශයන්හි) දුප්පත් අසරණ මිනිසුන්ට සිය නිවෙස්වලින් පිටතට නොපැමිණිය හැකි සේ ඇඳිරිනීතිය පැවතියද බලපුළුවන්කාර පුද්ගලයන් පොලීසිය වෙත තම බලපුළුවන්කාරකම හා ඉහළ නිලතල භාවිතා කරමින් තමන්ට රිසි සේ නගරයේ විවෘත කර තිබූ වෙළෙඳසල්වලින් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගනු දැකගත හැකි විය.

නීතිය නොසළකමින් බොහෝ පුද්ගලයෝ කටයුතු කළහ. ඇතැම් වෙළෙඳ ව්‍යාපාරිකයන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඟවාගෙන සිටියද ඒ සම්බන්ධව සොයාබැලීමට ජනතා මුදල්වලින් වැටුප් ලබාගන්නා රාජ්‍ය නිලධාරීහු පැත්ත පළාතකට නොපැමිණියහ. ඇතැම් නිලධාරීන් මාධ්‍ය සංදර්ශන පැවැත්වූයේ රූපවාහිනී කැමරා ඉදිරියේය.

අපිරිසුදු ආහාර පාන අලෙවි කරන ආපන ශාලා පරීක්ෂාවට සෞඛ්‍ය භාර මහනුවර පුරවරයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නොපැමිණීම සම්බන්ධව මහජනතාව කනස්සල්ල පළකළහ.
මිනිස් පරිභෝජනයට නුසුදුසු පළතුරැ නිෂ්පාදන දිනය කල් ඉකුත් වූ විවිධ ආහාර වර්ග නගරයේ විවිධ වෙළෙඳ ස්ථානවල අලෙවි කළද නගරයේ සෞඛ්‍ය පිළිබඳව වගකීම දරණ ප්‍රධානීන් නිද්‍රාශීලීව සිටින බවට ජනතාව චෝදනා කළහ.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ලොකු කුඩා සැවොම ද තම පවුලේ සාමාජිකයන්ගෙන් ද ඈත් වී තම සෞඛ්‍ය ගැනද නොතකා ජනතාව කෝවිඩ් වසංගතයෙන් ආරක්ෂා කරගැනීමට දිවා - රාත්‍රී වෙහෙසුණාහ. ඇතැම් අවස්ථාවන්හිදී සෞඛ්‍ය අංශයේ සේවයේ නියුතු (වාහන නැති) කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවෝ තමන්ට ප්‍රවාහණ සේවාවක් ලැබෙනතුරු මහමග හිටගෙන සිටින අන්දම අපට දැකගන්නට ලැබිණි.

රජය සැලසුම්සහගතව බොහෝ කටයුතු කළමනාකරණයකින් කරගෙන යන අවස්ථාවේදී ඇතැම් රාජ්‍ය අංශ සාමාජික සාමාජිකාවන්ගේ ක්‍රියා කලාපයන් ජනතාවගේ දැඩි දෝෂ දර්ශණවලට ලක් විය.
ඇතැම් රාජ්‍ය අංශ නිලධාරීන් නිලධාරිනියන් නිසි වේලාවට ආහාර පවා නොගෙන තම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ද නොසළකමින් ජනතාව වෙනුවෙන් කෝවිඩ් වසංගත තත්ත්වය අවස්ථාවේදී ඉටු කළ සේවාව ප්‍රශංසනීය බව කිව යුතුය.
අත්‍යවශ්‍ය සේවාවේ යෙදෙන (විශේෂයෙන් සෞඛ්‍ය අංශයන්හි) කණිටු සේවක කාර්ය මණ්ඩල සඳහා ප්‍රමාණවත් පරිදි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව බස් රථ ලබාදීමට ඇතැම් ලංගම ඩිපෝවල ප්‍රධානීන් කටයුතු නොකළ අවස්ථා ද දැකගන්නට ලැබිණි.

ඇතැම් පෞද්ගලික බස් රියැදුරන් පිට පළාත්වලින් මගීන් රුගෙන මහනුවරට පැමිණියේ අන්තර් පළාත් මගී ප්‍රවාහන නීතිය ද උල්ලංගණය කරමිනි. ඒ අයුරින් සබරගමුව නැගෙනහිර හා ඌව යන පළාත්වලින් පෞද්ගලික බස් රථ මහනුවරට පැමිණීම සිදුවූයේ සෞඛ්‍ය ආරක්ෂිත නීතිය උල්ලංගණය කරමින් එම බස් රථවල වැඩිපුර මගීන් ද රුගෙනය.

මෙම බස්රථ පොලිස් මාර්ග බාධක පසුකරගෙන මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නීති රීති උල්ලංගණය කරමින් මහනුවරට මගීන් රැගෙන ආවේ කෙසේදැයි බොහෝදෙනකුට ප්‍රශ්නයක් මතුවිය.
මධ්‍යම පළාතට වෙනත් පළාත්වලින් මගීන් රැගෙන ආ පෞද්ගලික බස්රථ 10ක් පමණ වටලා අත්අඩංගුවට ගෙන එම බස්රථවල ධාවන බලපත්‍ර ද මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය භාරයට ගනු ලැබූ අතර මෙම බස් රථ සඳහා ධාවන බලපත්‍ර ලබාදී ඇත්තේ ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් බව මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

පොලීසිය කොතරම් වැටලීම් කළද මත් දුව්‍ය ජාවාරම්කරැවන් අත්අඩංගුවට ගත්තද ඇතැම් පොලිස් නිලධාරීන් මත්ද්‍රව්‍ය ජාවාරම්වල හා ගණිකා ජාවාරම්වල නිරත සමාජ දූෂිත පුද්ගලයන් සමඟ සබඳතා පවත්වමින් ඔවුන්ගේ ස්ථාන වෙත ගොස් මත්පැන් සාද පැවැත්වීම් පිළිබඳව ද මාධ්‍ය වෙත තොරතුරු ලැබිණි.

තලාතුඔය, මැණික්හින්න, නාවලපිටිය, ගම්පල, අලවතුගොඩ, මැදවල, ගලගෙදර, හතරලියද්ද, මහනුවර හීරුස්සගල යන ප්‍රදේශවලින් කෝවිඩ් 19 වෛරස් ආසාදිතයන් හමුවුවද ඒ සම්බන්ධයෙන් මහනුවර ජනතාව දැනුවත් කිරීමට වගකිව යුතු බලධාරීන් ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් නගරයේ ජනතාව දැඩි ලෙස චෝදනා කරති.
මහනුවර නගරය කෝවිඩ් - 19 වසංගත රෝග ව්‍යාප්තියෙන් ආරක්ෂා වුවද ඇතැම් වෙළෙඳසල්වල, සුපර් මාකට්වල හා වෙළෙඳ සංකීර්ණ තුළ සෞඛ්‍ය උපදෙස් පිළිනොපදින පුද්ගලයන් නිසා මහනුවර නගරයේ ජනතාව කිසියම් නොසන්සුන්තාවයකින් පසුවෙති.

මහනුවර පොලිස් කොට්ඨාශයේ පොලීසියක ස්ථානාධිපතිවරයකු පොලිස් නිල රිය ද රැගෙන තම වසමේ අවන්හලකට (සංචාරක නිකේතනයකට) ගොස් මත්පැන් සාදයක් පැවැත්වීමේ සිද්ධියක් හදිසි විමර්ශණයට ලක්කළ මධ්‍යම පළාතේ පොලිස් ප්‍රධානීහු එම නිලධාරියා වහා ක්‍රියාත්මක වන පරිදි ස්ථානාධිපති ධූරයෙන් ඉවත් කිරීමට ද පියවර ගත්හ. ඔහුට  එල්ල වී තිබුණේ ඉතා බරපතළ විෂමාචාර චෝදනා බවට මධ්‍යම පළාතේ පොලිස් ප්‍රධානීන් සිදුකරන විමර්ශණවලදී හෙළිවී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

ඇතැම් පොලිස් වසම්වල ඇඳිරිනීතිය ක්‍රියාත්මක වී තිබියදී මත්පැන් අලෙවිසල් විවෘත කර ඒවායේ කළමනාකරැවන් මත්පැන් බෝතල් පෙට්ටිවලින් පිටතට ගත් අවස්ථාවන්හිදී මහනුවර විශේෂ පොලිස් වැටලීම් අංශ නිලධාරීන් හා සුරාබදු නිලධාරීන් එක්ව වටලා එම තැබෑරැම් මුද්‍රා තැබීම ද සිදුකරනු ලැබීය. එක් මත්පැන් අලෙවිසලක් පිහිටා තිබුණේ ඉතා ජනාකීර්ණ මහා මාර්ගයක් අයිනේ ප්‍රසිද්ධ ස්ථානයකය.
ඇතැම් ආපනශාලාවක මිනිස් පරිභෝජනයට නුසුදුසු පණුවන් සහිත ආහාර වර්ග අලෙවි කළ අතර ඉන් එක් සිද්ධියක් පිළිබඳව පාරිභෝගිකයකු නගරයේ සෞඛ්‍ය බලධාරීන්ට පැමිණිලි කළද එම ආපන ශාලාව මේ වනවිට ද විවෘතව පවතියි. නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියෙක් මහනුවර නගරයේ සේවයේ යෙදී සිටින්නේදැයි නගරයේ ජනතාව ප්‍රශ්න කරති.

ඇඳිරිනීතිය අස්සේ මහනුවර ප්‍රදේශයේ අධිරක්ෂිත කලාපයකට ඇතුළු වූ ප්‍රබල දේශපාලනඥයෙකුගේ ආරක්ෂක නිලධාරීන් බව පවසමින් විවිධ ජාවාරම්වල නිරත ව්‍යාපාරිකයන් හා එක්ව නිධානයකට ඉව ඇල්ලූ පුද්ගලයන් සම්බන්ධව ද මහනුවර උසස් පොලිස් ප්‍රධානීන්ට තොරතුරු ලැබී තිබූ අතර ඔවුන්ට සහාය දැක්වූ පොලිස් පරීක්ෂකවරයකු සම්බන්ධව ද තොරතුරු වාර්තා විය.
ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයන් 2635ක් ද ඇඳිරිනීතිය පැවති සමයේ මත්ද්‍රව්‍ය වැටලීම් (හෙරොයින්, ගංජා, නීතිවිරෝධී මත්පැන් හා කසිප්පු, හෂීෂ්) 2000කට ආසන්න ප්‍රමාණයක්ද අඳිරිනීතිය පනවා තිබූ අවස්ථාවන්හිදී මහමග ධාවනය වූ රථවාහන 338ක් ද, යතුරැපැදි 283ක් ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

කෝවිඩ් - 19 වෛරස් වසංගත ආසාදිත හා සමීප වූ පිරිස් ලෙස පුද්ගලයන් 8708ක් නිරෝධායනයට ලක්කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.
මහනුවරින් කෝවිඩ් 19 වෛරස් රෝගය ආසාදිත වූවන් 47ක් ද, මාතලේ ප්‍රදේශයෙන් 34ක් ද නුවරඑළිය ප්‍රදේශයෙන් 09ක් ද හමුවී තිබෙන බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය දත්ත වාර්තා සඳහන් කරයි.

 ජේ. ඒ. එල්. ජයසිංහ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00