2020 මැයි 30 වන සෙනසුරාදා

ගිය ආණ්ඩුව රජයේ නිලධාරීන් දහදාහක් විතර සී.අයි.ඩී. බංකුවේ වාඩිකළා

 2020 මැයි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 82

අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්

  • රාජකාරිය හරියට ඉටු කිරීම නිසා වසර පහක් අසීමිත දුකක් වින්ඳා
  • වචනෙක අකුරක දෝෂයක් නිසා ඇතුළට යන්න වූ යහපත් නිලධාරීන් ඉන්නවා
  • මහින්ද  ගෝඨාභය දෙදෙනාම ප්‍රායෝගික නායකයෝ
  • රාජ්‍ය ප්‍රතිපත්තිවල දේශපාලනය ගැන නිලධාරීන්ට කරන්න දෙයක් නෑ
  • කොරෝනා මර්දනයට අපි පැය විසිහතරම වැඩකළා
  • රටේ හදිසි තත්ත්වයක් නැහැ

රාජ්‍ය පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියකු වන ගාමිණී සෙනරත් මහතා අග්‍රාමාත්‍ය ලේකම් ධුරයේ කටයුතු කරයි. පරිපාලන හා දේශපාලන අත්දැකීම් බහුල නිලධාරියකු වන ඔහු සමඟ කාලීන දේශපාලන ආර්ථික සාමාජයීය තත්ත්වය සහ කොරෝනා මර්දන කාර්යසාධන බළකායේ මෙහෙවර ගැන කළ සංවාදයකි.

ඔබ රාජ්‍ය පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්. ඒ වුණත් බොහෝවිට පසුගිය කාලයේ ඔබ ආණ්ඩුවට සේවය කළේ තිරය පිටුපස සිටයි. නමුත් මෙවර ඔබ අග්‍රාමාත්‍ය ලේකම් ධුරය භාරගත්ත. ඒකට විශේෂ හේතුවක් තිබුණාද?

විශේෂ හේතුවක් නැහැ. මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධුරය දැරෑ 2005-2015 කාලයේ එතුමා සමඟ සේවය කළා. ඇත්තටම මම එතුමා සමඟ මුලින්ම සම්බන්ධ වුණේ 2004දී රාජපක්ෂ මැතිතුමා අගමැති හැටියට පත්වුණාට පස්සෙයි. එදා අගමැති ලේකම් වුණ ලලිත් වීරතුංග මහතා එක්කයි මම වැඩකළේ.  ඊට පෙර මම මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් විදියටයි සේවය කරමින් හිටියේ....

2005 දී නව රජය පත්වුණාම මේ තනතුර භාරගන්න කියලා ඉල්ලුවෙ කව්ද?

මහින්ද රාජපක්ෂ මැතිතුමා මගෙන් ඉල්ලීමක් කළා අගමැති කාර්යාලයට එන්න කියලා. ඒ අනුවයි අගමැති කාර්යාලයට ආවෙ. අතිරේක ලේකම් හැටියට. මගේ ජීවිතේ දේශපාලනඥයෙක් සමඟ ළඟින්ම වැඩකරන්න පටන් ගත්තේ එදායි.

මෙයට පෙර ඔබ අමාත්‍යංශවල සේවය කරලා තිබුණෙ නැද්ද?

නැහැ. මම පූර්ණකාලීනව රාජ්‍ය සේවයේ හිටියෙ. උප දිසාපති තනතුරේ ඉඳලා දෙපාර්තමේන්තු ප්‍රධානී තනතුර දක්වා උසස් තනතුරැ ගණනාවක් දරලා තිබුණා.... ඒ නිසා ලලිත් වීරතුංග මහතා එක්ක රාජකාරි කරන්න පහසු වුණා.

ඔබේ රාජකාරි ජීවිතයේ මුහුණදුන් ප්‍රධාන අභියෝග මතක් කරනවද?

මුලින්ම අපි මුහුණ දුන්නෙ සුනාමි ව්‍යසනයටයි. ඒකට රාජ්‍ය සේවය මෙහෙයවන්න අගමැති කාර්යාලය විශාල මෙහෙවරක් කළා. ඒකත් සමඟ 2005දී ජනාධිපතිවරණය තිබ්බා. මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති තනතුරට පත්වුණා. ඒ වෙලාවේ මම ජනාධිපති අතිරේක ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරට පත් කළා.

අප නිතර අහන යෙදුමක් තමයි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී කියන යෙදුම මොකද්ද ඒ තනතුර මොනවද ඒකට තිබෙන වගකීම?

කාර්ය මණ්ඩල ප්‍රධානී තමයි ජනාධිපති කාර්යාලයේ ඉන්න සිය ගණනක් සේවකයන්ගෙ ප්‍රධානියා. ජනාධිපතිතුමාගේ නිල සහ පෞද්ගලික කටයුතු මෙහෙයවීම තමයි මම තනතුරේ වගකීම. විධායක ජනාධිපතිවරයා සමීපයේ හිඳගෙන එතුමාගේ දෛනික කටයුතු රුස්වීම් - හමුවීම් - සාකච්ඡා ආදිය සඳහා අවශ්‍ය මැදිහත්වීම ලබාදෙනවා. ජනාධිපතිතුමාට සතියේ වැඩ පිළිබඳ කෙටිවාර්තා සපයන්න ඕන. විදේශ දූත මණ්ඩල සමඟ ජනාධිපතිවරයාගේ සබඳතා නඩත්තුවට උදව් කිරීමත් කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරේ ලොකු වගකීමක්....

2005-2015 ආණ්ඩුව පරාජය වුණාට පස්සේ කියැවුණා බලය තිබෙන කාලෙ. මහින්ද රාජපක්ෂ මහත්මයා රාජ්‍ය නිලධාරීන් කිට්ටු කරගෙන දේශපාලන කළාය කියන චෝදනාව?

නෑ... නෑ.... ඒක වැරදියි. එතුමා දේශපාලනඥයෙක්. ඉතින් එතුමා ඒ දේශපාලන කටයුතු කළා. රාජ්‍ය නිලධාරීන් විදියට අපි කළේ රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම. ඒකෙ දේශපාලන ස්වරෑපයක් ගැනීම ගැන නිලධාරීන්ට කරන්න දෙයක් නැහැ. ඒක මොන ආණ්ඩුව තිබුණත් සිද්ධවෙන දෙයක්. දේශපාලනඥයන් බලයට පත් කරන්නෙ ජනතාව. ජනතාව එයාලට බලය දෙන්නෙ යම් ප්‍රතිපත්තියක් ක්‍රියාවට නංවන්න. ඉතින් ඒ රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම දේශපාලනය හැටියට හැඳින්වීම වැරදියි.

ඔබ කියන්නෙ සෑම ආණ්ඩුවක් යටතේම නිලධාරීන්ට මේ විදියට ක්‍රියා කරන්නට සිදුවන බවද?

ඔව්. මට උදාහරණ ඕනතරම් දෙන්න පුළුවනි. 1970-77 මැතිනියගෙ ආණ්ඩුව කාලෙ ක්‍රියාත්මක කළ පස් අවුරැදු සැලසුම තනිකරම දේශපාලන සැලසුමක්. ඒක ක්‍රියාත්මක කළේ නිලධාරීන්. ඊට පස්සෙ ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස මහත්වරු චන්ද්‍රිකා මැතිනියගෙ කාලේත් ආණ්ඩුවල තිබුණු ඒ විදියෙ සැලසුම් ක්‍රියාත්මක කළේ රජයේ නිලධාරීන් තමයි. ඒක තමයි ඔවුන්ගෙ මෙහෙවර වුණේ.

කොහොම වුණත් පසුගිය කාලෙ ඔබත් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ඇතුළු ඉහළම රාජ්‍ය නිලධාරීන් රැසකුත් මේව කරන්න ගිහිල්ල නීති ප්‍රශ්නවලට මැදිවුණා. ඔබත් එයින් සෑහෙන්න පීඩා වින්ද කෙනෙක්. දැන් ඒව ඉවරයි. මොකද ඒ අතීතය ගැන හිතෙන්නෙ?

අපි රාජකාරි කරනකොට හිතුවෙ නැහැ ඒ වගේ දේවල් සිද්ධවේවිය කියලා. මෙහෙම අත්දැකීමක් කිසිම දවසක රාජ්‍ය නිලධාරීන්ට තිබුණෙ නැහැ. රාජ්‍ය නිලධාරීන් හැටියට අපට පවරපු වගකීම ඉටුකළා. ඒක අපේ රාජකාරියයි. මම ඒ ආණ්ඩු කාලෙ තනතුරු ගණනක් දැරුව. ඒ හැම එකකදීම බලාපොරොත්තු වුණාට වඩා ඉහළින් වගකීම් ඉටුකළා. ඒක උසාවියේදීත් ඔප්පු වුණා. අපි හරියට වැඩකරපු නිසා අපි බේරැණා. ඒත් අසීමිත ලෙස අවුරුදු පහක් දුක්වින්ද.

මේ විදියට රාජපක්ෂ ආණ්ඩුවෙ රාජ්‍ය නිලධාරීන් තොපමණකට පමණ නීති ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වුණාද?

මගේ ගණන් බැලීම අනුව දහදාහක් විතර නිලධාරීන්ට සී.අයි.ඩී. එකේ එෆ්.සී.අයි.ඩී. එකේ බංකුවල වාඩිවෙලා ඉන්න සිද්ධ වුණා. මම දන්න ඉතාම යහපත් දුප්පත් අමාත්‍යංශ ලේකම්වරැන් පවා බන්ධනාගාරගත කළා.... කවුරුවත් හොරකම් කළා කියලා තවම ඔප්පුවෙලා තියෙනවද? සමහරු අත්අඩංගුවට ගත්තෙ වචනෙක අකුරක වගන්තියක තිබුණ දෝෂයක් නිසයි. ජනාධිපති ලේකම්වරයාටත් එච්චරයි.

පසුගිය රජය විශේෂ අපරාධ විමර්ශනයට පිහිටවූ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මුලින් පැවරුණේ ඔබේ නඩුව නේද?

ඔව්. ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවට මුලින්ම ගෙනිච්චෙ මම... ඒවා සමහරැ ප්‍රසිද්ධියේ කියල කරපු දේවල්. ඒක ගැන පරීක්ෂාවට ආපු නිලධාරීන්ටත් මම කිව්ව වරදක් තිබේ නම් මුලින් පෙන්වන්න මේක නඩුවකට නිමිත්තක් නැහැ කියල... ඒත් දේශපාලන හේතු මත මම උසාවි ගෙනිච්ච... 

අවසානයේ අධිකරණය නඩුව නිෂ්ප්‍රභ කළා?

ඇත්තටම ඒ අධිකරණය ඉතා ස්වාධීනව කටයුතු කරලා තීන්දුව දුන්නා... ඒකෙදි මම රටට පෙන්වලා දුන්න රජයේ නිලධාරීන් විදියට අපි හරි දේ සිදුකළ බව....

ඔබ මේ කියන කටයුතුවලට සම්බන්ධව ඒ කාලෙ හිටපු බලවත් චරිත දැන් ඉන්නෙ මේ ආණ්ඩුව එක්ක. මොකද හිතෙන්නෙ? කොහොමද එයාල සමඟ ගනුදෙනු කරන්නෙ?

අපි රාජ්‍ය නිලධාරීන්. අපිට රාජකාරි කරනකොට පක්ෂයක් කියල එකක් නැහැ. ඔය කතාවක් තියෙනවනේ දේශපාලනේ සදාකාලික සතුරොත් නැහැ මිතුරොත් නැහැ කියල. එදා මට හිරිහැර කළ සමහර බලවත් අය අද මේ රජයෙත් ඉන්නව. ඒ අය මට අදාළත් නැහැ. ගනුදෙනුවකුත් නැහැ.... මම කරන්නෙ මට රජය පැවරූ වගකීම ඉටුකිරීමයි.

ඔබට මේ අයට කියන්න විශේෂ දෙයක් තිබෙනවද?

මම ඔය මිනිස්සුන්ට අනුකම්පා කරනවා... අපි අදහන ආගම අනුව දිට්ඨ ධම්මවේදනීය කර්මය එයාල පසුපස ඒවි....

ඔබ බොහෝ කාලයක් මහින්ද රාජපක්ෂ මහතා සමඟ කටයුතු කළ කෙනෙක්. දැන් එතුමා අගමැති. ජනාධිපති ධුරය දරන්නෙ ගෝඨාභය රාජපක්ෂ මහතා. ඉතා කෙටියෙන් මේ නායකයන් දෙදෙනාගේ ක්‍රියාකලාපය ගැන සැසඳීමක් කළ හැකිද?

මේ නායකයන් දෙන්නම ඉතාම ප්‍රායෝගික නායකයො හැටියට හඳුන්වන්න පුළුවනි. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ දේශපාලන ජීවිතයට මේ අවුරැද්දට වසර 50ක් පිරෙනවා. එතුමා ඒ අතින් ඉතා පරිණත චරිතයක්. ඊළඟට ගෝඨාභය ජනාධිපතිතුමා ටෙක්නොක්‍රැට් කෙනෙක්... තාක්ෂණය සමඟ වැඩකරමින් ඉතා ඉක්මණින් රටේ ප්‍රශ්න විසඳීමයි ගෝඨාභය මැතිතුමාගේ ක්‍රමවේදය.

ඒත් වත්මන් ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම් ලෙස ක්ෂේත්‍රයේ වැඩකළ ආකාරයට දැන් කටයුතු කරන්න පුළුවන්ද?

ගැටලු ඇති. ඒත් එතුමා නිතරම බලන්නෙ ප්‍රශ්න විසඳන්න... එදා ලේකම් හැටියට ඉන්න කාලෙ නම්... උදේ 4.00ට වාහනේ නැගල ගිහිල්ලා නාගරික සංවර්ධන වැඩ ගැන සොයලා බැලුවා.... එතුමා අදත් හිතන්නෙ ලිපිගොනුවලින් පමණක් රට පාලනය කළ නොහැකි බවයි... ඒ ප්‍රායෝගික බව ඔය නායකයො දෙන්නා ළඟම තිබුණ. නමුත් මහින්ද මැතිතුමා වෘත්තීය දේශපාලනඥයෙක් හැටියට හඳුන්වන්න පුළුවනි.....

දැන් රටේ සංවර්ධන කටයුතු වගේ දේවල් වෙනුවට ප්‍රමුඛතාව ලැබිල තියෙන්නෙ කොරෝනා සහන සැලසීමේ වැඩසටහනට. ඔබ ඒ කටයුත්තෙ ප්‍රමුඛ වගකීමක් දරනව. කොහොමද මේ සහන වැඩසටහන ක්‍රියාත්මක වන්නෙ?

කොවිඩ් වසංගතය ලෝකය පුරා පැතිරීගෙන යනකොට ඒ ගැන මුලින්ම ක්‍රියාත්මක වෙන්න පටන් ගත්ත රටක් තමයි ලංකාව. ජනාධිපතිතුමා ඒකට කාර්යසාධන බලකායක් පත්කරලා වැඩ පටන්ගත්තෙ. ඊට පස්සෙයි ලෝක සෞඛ්‍ය සංවිධානයත් මේක ජාත්‍යන්තර වසංගතයක් ලෙස නම් කළේ....

මේ රටේ මෙතරම් දිගු කලක් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ කාලයක් අපට මතක නැහැ. ඇඳිරි නීතිය සමඟ මහජන සේවාවන් පවත්වාගෙන යෑම විශාල අර්බුදයක් බවට පත්වුණා?

ඔව්. ප්‍රධානම ප්‍රශ්නය වුණේ ජනතාවට ආහාරපාන බේත් හේත් සපයාදීම. ඒ සඳහා බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්යසාධන බලකායක් පත්කරලා අපි විශාල රාජ්‍ය සේවක සංඛ්‍යාවක් එකතුවෙලා සේවා මුරක්‍රමයට දවසේ පැය 24ම වැඩකළා. ජනාධිපතිතුමා අගමැතිතුමා මහ රූත් අපට කතා කරලා තත්ත්වය විමසුවා... අධීක්ෂණය කළා.... ඒ විදියට තමයි සහන වැඩපිළිවෙළ සැලසුම් කළේ. මේ කටයුතු සේරම අරලිය ගහ මැඳුරේ සිට මෙහෙයවන්න අගමැතිතුමා අපට අවසර දුන්නා.

මහ මැතිවරණයට ආණ්ඩුව විසුරැවා හැරලා තිබියදී රජයේ අරමුදල් වැයකරන්න ඇතැම් රාජ්‍ය නිලධාරීන් බිය වූ බව සමහරු කීවා?

ආණ්ඩුවක් නැතුව භාරකාර ආණ්ඩුවක් යටතේ මේව කරනකොට ප්‍රශ්න එනවා. පසුගිය අවුරැදු පහේ සිදුවුණු දේවල් නිසා රාජ්‍ය සේවය බියට පත්වීම සාධාරණයි. ඒ කාලෙ රාජ්‍ය සේවකයන් දහදාහකට වඩා පීඩා වින්දා. ඒත් ජනාධිපතිතුමාගෙ බලය පිට ඒ බිය සැක නැතිවන ආකාරයට අපි කටයුතු සංවිධානය කරගත්තා. දිසාපතිවරුන්ගේ සිට ග්‍රාම නිලධාරිවරු දක්වා අපිට හොඳ සහයක් ලබාදුන් බවත් කියන්න ඕනෑ.

මේ සහන කාර්යසාධන බලකායෙන් කළේ සහන සැලසීම විතරද?

එහෙම නැහැ. අපට විසඳන්න තිබුණ සෑම ප්‍රශ්නයක්ම අපි විසඳුවා. ගොවීන්ගෙ එළවළු, ධීවරයන්ගේ මාළු මිලදී ගැනීමට පවා අපි මැදිහත් වුණා. දවසක් රාත්‍රී අපිට දැනගන්න ලැබුණා විහාර මහාදේවි උද්‍යානයේ දෙතුන් සියයක පිරිසක් කොටුවෙලා ඉන්නව කියලා. ඒක දැනගත්ත ගමන්ම අපි අරලිය ගහ මැඳුරෙන් කෑම පාර්සල් හදල ඒ උදවියට කෑම සැපයුවා. ඉතුරැ ප්‍රශ්නත් විසඳල දුන්නා. ඒ වගේ අපට දැනගන්න ලැබුණ සියලු ප්‍රශ්න විසඳුවා.

මේ සහන සැලසීමේදී වඩාත් ආන්දෝලනයට ලක්වූයේ රු.5000 සහනාධාරය ලබාදීමේ වැඩසටහනයි. මේකට සෑහෙන්න විවේචන ආව?

රටේ දුකට පත්වූ ජනතාව ඉන්න ක්ෂේත්‍ර හඳුනාගෙන මාසෙකට රුපියල් කෝටි 3000ක් (බිලියන 30) මේ වැඩසටහන යටතේ බෙදාදුන්නා. ඒකෙදි කිසිම දේශපාලනයක් පක්ෂයක් පාටක් බලලා නෙවෙයි ආධාර බෙදුවෙ. සමහර පවුල්වලට රුපියල් 5000 ඒව දෙක තුනක් ලැබුණා. ඒ ගැන නම් සමහරැ අපට පැමිණිලි කළා. නමුත් එහෙම ලැබුණේ සුදුසුකම් අනුවයි.

මේ වැඩසටහන දේශපාලනීකරණය කළ බවට විපක්ෂය චෝදනා කළා?

මැතිවරණ කොමිසමත් ඒක එහෙමද කියල අපෙන් අහල තිබුණා. මේකෙ කිසිම දේශපාලනයක් නැහැ. සමහරැ ඒකෙදි දොස් කීවෙ පළාතෙ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුදුස්සන් තේරීමේ කමිටුවට දාපු එක ගැනයි. ඉතින් එහෙම හැම පක්ෂයේම මන්ත්‍රීලා පත්වුණා. උදාහරණයට කොළඹ මහ නගර සභාව ගත්තොත් පොහොට්ටුවෙ මන්ත්‍රීල ඉන්නෙ හතරයි නැත්නම් පහයි. ඉතුරැ සේරම විපක්ෂයේ අය. ඉතින් ඒ අයනේ ඔය ආධාර ලබන්නන් තෝරන කමිටුවේ හිටියෙ. ජනතා නියෝජිතයෙක් කමිටුවට පත්කිරීම වැරදිද?

ඇඳිරි නීතිය ලිහිල් වුණාට තවමත් ජනතාවගේ ආර්ථික පීඩාවන් හමාර නැහැ. ඒ අතරේ අපට ඇහෙනවා ලබන ජූනි මාසයේදී මේ දීමනාව ගෙවන්නෙ නැහැ කියලා?

අපි මේක ගෙවන්න සැලසුම් කළේ මාස තුනකට. ඒ මාස තුන ඉවර වෙන්නෙ ජූනි මාසයෙන්. ඒත් මේ ගැන මැතිවරණ කොමිසමෙන් කියලා තිබුණ මේක ඉදිරියට දෙන්න අවශ්‍යද නැත්ද කියල සොයලා බලන්න කියලා. ඒ නිසා රජයේ කැබිනට් මණ්ඩලය මේ ගැන තීන්දුවක් ගන්න ඕන මුදල් ගෙවනවද නැත්ද කියලා... ඒ තීන්දුව දුන්නාම අපි ඒ අනුව වැඩ කරන්න සූදානම්.

සහන සැලසීම වගේම කඩා වැටුණ ජාතික ආර්ථිකය නගා සිටුවීමත් බරපතළ අභියෝගයක්. ඒ සඳහා යමක් කරන්නේ නැත්ද?

ඔව්. ඒකට ආර්ථික පුනර්ජීවනය සඳහා වන කාර්යසාධන බළකායක් ඇතිකළා. ඒකෙන් තමයි කඩාවැටුණ කර්මාන්ත ව්‍යාපාර නගා සිටුවන්නෙ. මේ වෙනකොටත් නිදහස් වෙළෙඳ කලාපවල කම්හල්වලින් 91%ක කුත් රටපුරාම තිබෙන සෙසු කම්හල් ව්‍යාපාරවලිනුත් 30%ක් පමණත් ආරම්භ කරන්න අතහිත දීල තියෙනවා. එයාලට මූල්‍ය පහසුකම් වගේම යටිතල පහසුකමුත් අපි තමයි සම්පාදනය කරල දුන්නෙ...

මහා පරිමාණ ව්‍යාපාරවලට උදව් කළාට සුළු ව්‍යාපාර ගැන යමක් කෙරිල නැතිලු?

ක්‍රම ක්‍රමයෙන් ඒ අයටත් උදව් දෙමින් සිටිනවා. බාබර් සැලුන් කායවර්ධන මධ්‍යස්ථාන (ජිම්) වගේ දේවල්වලට අපි දැනටමත් උදව් කරනවා. තවත් සුළු ව්‍යාපාර වර්ග රාශියකට මේ වගේ සහන සලසන්න සූදානම්....

හැමදාම සහන මගින්ම රටක් පවත්වාගෙන යන්න අමාරැයි. මේ හදිසි තත්ත්වය හමාරවන කාලවකවානුවක් පේන්න නැද්ද?

ඇත්තටම දැන් රට තුළ හදිසි තත්ත්වයක් නැහැ. කොරෝනා රෝගයත් සෑහෙන්න පාලනය වෙලා. රටේ පොදු සමාජයෙන් රෝගීන් හමුනොවීම අපේ සෞඛ්‍ය අංශවල ජයග්‍රහණයක්. ඒ නිසා ටික ටික ඇඳිරි නීතියත් ලිහිල් කළා. ඉතින් ආණ්ඩුව දැන් සෑහෙන තරම් දුරට ඇප කැපවෙලා ලෝකෙ අනෙක් රටවල් එක්ක බලද්දී මේ රටේ සහනදායී තත්ත්වයක් ඇති කරලා තිබෙනවා. ඒ නිසා ජනතාව වගකීමෙන් ක්‍රියාකරල සෞඛ්‍ය උපදෙස් අනුව වැඩකළොත් අපිට මේ අර්බුදයෙන් ගොඩඑන්න අමාරු නැහැ.

 රන්ජිත් ආනන්ද ජයසිංහ
සේයාරුව - අන්තර්ජාලයෙනි