2020 මැයි 30 වන සෙනසුරාදා

ක්‍රිකට් එක්ක කුඩුත් ගැසූ ෂෙහාන් මධුසංඛ

 2020 මැයි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 44

“ඇළබඩගම හන්දියෙන් දකුණට යන රම්මන්න පාරේ හෙරොයින් ජාවාරම කරනවාලු. ඒ පාරේ යක්විල කූඩලුපොත්ත පැත්තේ වැවක් ළඟට කාර් එකකින් ගෙනත් කුඩු බෙදනවා කියලා මට තොරතුරක් ලැබුණා. වැඩේට නිල්පාට හොඳ කාර් එකක් යනවා එනවා කියල තමයි ඔත්තුවට කිවුවේ. අද සෙනසුරාදා නිවාඩු දවසේ හරියටම වැඩේ කෙරෙනවා.... ඒ නිසා අපි ඉක්මන් වෙන්න ඕනේ.....”

පන්නල පොලිස් ස්ථානයේ බුද්ධි අංශයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් සැරයන් කුමාරතුංග (53674) මහතාට ලැබුණු රහසිගත බුද්ධි තොරතුරක් සම්බන්ධයෙන් එම පොලිසියේ දූෂණ මර්දන අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඒ.එම්.ජී. රණතුංග මහතාට කරුණු වාර්තා කොට තිබුණේ මේ අයුරෙනි. වහා ක්‍රියාත්මක වූ උප පොලිස් පරීෂක රණතුංග මහතා පන්නල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් ආරියරත්න මහතාට කරුණු දන්වා වැටලීම සඳහා අවශ්‍ය උපදෙස් හා නිලධාරින් පිරිසක්ද ලබාදෙමින් එම පිරිස දිරිගන්වා ඇත.

වැටලීමට සූදානම් වූ පිරිස පන්නල ඇළබඩ ගම හන්දියේ සිට දකුණු දෙසට දිවෙන රම්මන්න පාරේ කිලෝමීටර් හතරක පමණ දුරක් ගොස් තිබුණි. ජිප් රථයකට අමතරව වැටලීමේ සහාය සඳහා පොලිස් යතුරුපැදියක්ද යොදවා ගැණිනි. ඔත්තුව අනුව කියැවුණු කරුණු හා පරිසරයේ විවිධ ස්ථාන පසුකරමින් ඉතාමත් පරික්ෂාවෙන් පොලිස් නිලධාරීහු රම්මන්න පාරේ ඉදිරියට ගියහ. කූඩලුපොත්ත පන්සල ළඟින් වම්පසට කූඩලුපොත්ත ගමට යන පාරේ පිහිටි තරමක වැවකි. එය පසුකළ සැණින් හමුවූ වයි හන්දියෙන් යක්විල දෙසට ගියේ ඔත්තුවෙන් ලද තොරතුරු අනුවය. එහි මඳ දුරක් ගිය පසුව තිබූ අතුරුමාර්ගයක තවත් මීටර් 500 ක පමණ දුරක් ගමන්ගත් නිලධාරින්ට පාරේ වම් පසින් යක්විල දෙසට මූණදමා නවතා තිබූ නිල් පැහැති නවීන පන්නයේ කාර් රථයක් දකින්නට ලැබී ඇත.

අවට වටපිටාවේ කිසිවකුත් පෙනෙන්නට නොසිටි මාර්ගයේ නවතා තිබූ මෝටර් රථය හරස් කර සිය යතුරු පැදිය නවත්වන්නට පොලිස් නිලධාරියකු සමත්ව තිබිණි. MWGX 4691 දරණ අංක සඳහන්ව තිබු මෝටර් රථයේ රියදුරු අසුනේ හා ඉදිරිපස වම් අසුනේ රැඳීසිටි තරුණයන් දෙදෙනෙකි. කිසිවකුගෙන් බාධාවක් නොවූ නිදහස් පරිසරයක මෝටර් රථය නවත්වා කතාබහක නිරතව සිටි තරුණයන් දෙන්නා අතරට පොලිසිය පැමිණ තිබුණේ නොසිතූ මොහොතකය. පැන යන්නට අවසරයක් නොතබා නිලධාරීන්ගේ දැඩි පරීක්ෂාවට යොමුකෙරුණු දෙදෙනාගෙන් රියැදුරු අසුනේ රැඳී සිටි පුද්ගලයා ඇඳ සිටි කොට කලිසමේ එක් සාක්කුවක තිබී සුදු පැහැති ග්‍රොසරි බෑග් කැබැල්ලක දැවටූ හෙරොයින් පාර්සලයක් හමුවී තිබිණි. ඔහුගේ හැඳුනුම්පත පරික්ෂාවෙන් අනතුරුව සැකකරු පන්නල, ඇළබඩගම, භාතිය මාවතේ පදිංචිකරුවකු බවත් ඔහු දේවපුරගේ ෂෙහාන් මධුසංඛ කුමාර නැමැති ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන්නකු බවත් සොයා ගැනීමට හැකිවිය.

ඔහු සමඟ මෝටර් රථයේ වම්පස අසුනේ සිටි තරුණයා කූඬලුපොත්ත, ගැමුණුපුර ප්‍රදේශයේ පදිංචිකරැවෙක් වන හේමන්ත රාජපක්ෂ නැමැත්තෙකි. පරීක්ෂාවට ලක්කෙරුණු ඔහුගේ කොට කලිසමේ වම්පස සාක්කුවක සුදු සහ දුඹුරැ පැහැ මිශ්‍ර ග්‍රොසරි කවරයක ඔතා තිබූ හෙරොයින් පාර්සලයක් ද සොයාගනු ලැබීය.

හෙරොයින් පාර්සල දෙක සහ මෝටර් රථය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙන්නා පොලිස් බාරයේ සිටියදීම පන්නල නගරයේ ස්වර්ණාභාර අලෙවිසලකින් ඔවුන් සන්තකයේ තිබූ හෙරොයින් කිරා මැන බලා තිබුණි. එහිදී ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් මධුසංඛ සතුව තිබූ පාර්සලයේ හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 700ක්ද අනෙක් පුද්ගලයා සතුව තිබූ පාර්සලයේ හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 810ක්ද තිබු බව අනාවරණය කරගෙන ඇත. මෝටර් රථය සම්බන්ධයෙන් සිදුකල විමර්ශන වලදී රථය ෂෙහාන් මධුසංඛට අයත් එකක් බවත් එය පසුගිය පෙබරවාරි 28 වැනිදා සිට ඔහුට පවරාගෙන තිබෙන බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා සනාත කරගෙන තිබේ.

ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් මධුසංඛ සමඟ අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් පසුව කුලියාපිටිය අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ. ෂෙහාන් මධුසංඛ ජූනි 2 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වැඩ බලන මහේස්ත්‍රාත් මාධව අධිකාරී මහතා නියෝග කළේය. එම සැකකරු කාලයක සිට මෙකී ජාවාරම සිදුකර ඇතැයිද වාර්තා වී තිබෙන අතර අත්අඩංගුවට ගන්නා මොහොතේදීත් හෙරොයින් අලෙවිය සඳහා පැමිණ සිට ඇතැයි අනාවරණය වී තිබිණි.

මෙම වැටලීමට පන්නල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් ආරියරත්න මහතාගේ උපදෙස්මත දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඒ.එම්.ජී. රණතුංග මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන්වරු වන (53674) කුමාරතුංග, (49241) ජිනදාස, පොලිස් කොස්තාපල් (70218) කුමාර සමඟ කාන්තා පොලිස් සැරයන් (2522) ධනුෂ්කා යන අය සහභාගී වුහ.

නඩු තීන්දුවට පසුව ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් මධුසංථ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා පැවසුවේ ෂෙහාන්ට තාවකාලික ක්‍රිකට් තහනමක් පැනවූ බවයි. පරීක්ෂණවල ප්‍රගතිය අනුව ඉදිරි පියවර ගන්නා බවද ඔහුගේ වාර්ෂික ක්‍රිකට් කොන්ත්‍රාත් ගිවිසුම් අත්හිටුවන බවද වැඩිදුරටත් පැවසීය. මේ අනුව සැකකරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විනය කමිටුව විශේෂ පරීක්ෂණයක් සිදුකිරීමටද නියමිතයි.

 සමන්ත ප්‍රදීප් විල්තෙර