2020 මැයි 30 වන සෙනසුරාදා

දසවැනි කොරෝනා මරණයේ නොඇසූ කතාව

 2020 මැයි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 43

ශ්‍රී ලංකාවේදී කොරෝනා රකුසා බිලිගත් දසවැනි ජීවිතය කුවේට් රාජ්‍යයේ සේවය කළ පනස් තුන් හැවිරිදි ගෘහ සේවිකාවකට අයත්ව තිබුණි. ඇගේ සමුගැනීම පිළිබඳ මෙතෙක් රට නොඇසූ කතාවක් තිබේ. අපි එය සොයා ගියෙමු. ඇගේ ගම්පළාත පයාගල ගොඩකදූව ප්‍රදේශයයි. කෙසේ වෙතත් මියගිය තැනැත්තියගේ මෙන්ම මෙම තොරතුරැ අපට ලබාදුන් නෑසීයන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ අනන්‍යතාව අප මෙම ලිපියෙන් හෙළි නොකරමු.

ඇය සැමියා මියගිය දරුවන් නොසිටි කතකි. කෙසේ නමුත් ඇගේ ජීවිතයේ අක්මුල් විමසීම මේ මොහොතේ අනුචිතය. ඇය ජීවිතයෙන් සැළකිය යුතු කාලයක් අරාබිකරයේ ගෙවා දමා ඇත. ජෝර්දාන්,සෞදි, ඩුබායි, කුවේට් රාජ්‍ය ගණනාවක ඇය සේවය කර තිබේ. අවසන් වරට ඇය කුවේට් රාජ්‍යය බලා පිටත්ව ගොස් ඇත්තේ මීට වසර දෙකකට පමණ ඉහතදීය. ඥාතීන්ට අනුව ඇය කලක සිට පපුව මහන්සියෙන් විටින් විට පීඩා විඳ තිබේ. කෙසේ වෙතත් වැඩ කිරීමේ අපහසුතාවක් ඇයට නොවූ බව ඔවුහු පවසති.

කෝවිඩ් වංසගතය පැතිර යනවිට කුවේට් රාජ්‍යයේ ගෘහ සේවිකාවක ලෙස ඇය සේවය කරමින් සිට ඇත. මෙරටට පැමිණීමට සහන කාලයක් ලැබෙන බව දැනගත් විට ඇය ගෘහහිමියාට ඒ පිළිබඳ දන්වා තිබේ. අනතුරුව තානාපති කාර්යාල‍‍‍‍‍‍‍යට පැමිණ ඇති අතර එසේ පැමිණි පිරිස් පොලීසියේ මැදිහත් වීමෙන් එරට පාසලක කඳවුරක රැඳවීමට කටයුතු කර තිබේ. මෙම කාලය තුළ සිදුවූ දෑ පිළිබඳ ඇය සිය ඥාතීන් දැනුම්වත් කර ඇත. එම කඳවුරේ සතියක පමණ කාලයක් ආහාරපාන හොඳින් ලබා දී ඇති නමුත් කල්යත්ම එහි තත්ත්වය සුබදායී වී නැත. මේ අතර කාලයේ ඇය ගෑස්ට්‍රික් රෝගයෙන්ද පීඩා විඳ තිබේ. එක් අවස්ථාවක රෝගය උත්සන්න වූ බවද කියැවේ.

නමුත් ලංකා ආණ්ඩුව මැදිහත් වී කුවේට් රාජ්‍යයේ සිටි පිරිස ලංකාවට ගෙන ඒමේ වැඩ පිළිබඳ ආරම්භ කරන විට ඇයහට දරුණු රෝගී තත්ත්වයක් නොවූ බව ඇගේ සමීපතමයෝ පවසති.
ඉස්සෙල්ලා ආපු ගුවන් යානයේ තමා එයා ලංකාවට ආවේ. ගුවන් යානයට ගොඩවෙලත් අපිට කතා කළා අපි තව ටිකකින් පිටත් වෙනවා කියලා. 19 වැනිදා තමා එහෙන් පිටත් වුණේ. ඒත් 20 වැනිදා ආවා කියලාවත් දැනගන්න විදිහක් තිබුණේ නෑ. ත්‍රිකුණාමලයට ගෙන යන ගමන් මඟදී ගෑස්ට්‍රික් ආවා කියලා මඟදී දඹුල්ල රෝහලට ඇතුළත් කරලා. පහුවදා එයා ආයේ අපිට කෝල් කරලා කිව්වා ගෑස්ට්‍රික් නිසා දඹුල්ල රෝහලට ඇතුළත් කළා දැන් ගැටලුවක් නෑ ආයේ ත්‍රිකුණාමලයේ නිරෝධායන මධ්‍යස්ථානයට ආවා කියලා. කිසි ලෙඩක් නෑ කියාලා  කිව්වා. දවස් හතරක් පහක් අපිත් එක්ක හොඳට ඉමෝවලින් කතා කර කර හිටියා.

මේ කතාව අතරතුරදී දඹුල්ල රෝහලට ඇයව ඇතුළත් කරන විට කෝවිඩ් 19 සම්බන්ධ පරීක්ෂණයක් සිදු නොකිරීම පිළිබඳ ඇගේ නෑසියෝ කණගාටුව පළකරති. එදා කෝවිඩ් පිළිබඳ ඉඟියක් හෝ ලැබුණා නම් ඇය අදත් ජීවතුන් අතර බව ඔවුන්ගේ විශ්වාසයි. ඇය ජීවිතය හැරගිය දිනයේ සවස ඇය වීඩියෝ ඇමතුමකින් සිය සමීපතමන් අමතා තිබේ. ඇගේ කිසිම අසනීප තත්ත්වයක් බාහිරින් කිසිවකුටවත් නිරීක්ෂණය වී නැත. එදින ඇගේ නිවස පිරිසුදු කරමින් සිටි සියලුදෙනා සමඟ ඇය කුළුපගව කතාබහ කර තිබේ.

පාන්දර 2 කට පොලීසියෙන් ආවා අපේ ගෙදරට. එයාගේ නම කියලා කවුද කියලා ඇහැව්වා. එයාට හෘදයාබාධයක් හැදිලා නැතිවුණා කිව්වා. පාන්දර තුනට විතර අපි කෙලින්ම පොලීසියට ගියා. පොලීසිය විස්තරේ කිව්වා. හෘදයාබාධයක් කියලා තමා කිව්වේ. අපි කිව්වා අපිට යන්න ඕනෑ කියලා. අපි කල්පනා කරේ හෘදයාබාධයක් නිසා ත්‍රිකුණාමලෙන් මෙහෙට සිරැර ගේන්න වුණත් පුළුවන් වෙයි කියලා. අපි පොලීසියට කියල නායක හාමුදුරුවෝ ඇතුළු දහදෙනෙක් ගියා. පාංශුකූලේ එහෙදී දීලා හරි කටයුතු කරන්න වුණොත් කියලා. අපි එහෙට ගිහිල්ලාත් පැයක් විතර යනකොට තමා ආරංචි වුණේ මෙයාට කෝවිඩ් හැදිලා තිබිලා කියලා. කීවා
ජෛව සාම්පල පරීක්ෂා කිරීමෙන් පසු ඇය කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරැ වී ඇත. ත්‍රිකුණාමලය මන්කි බ්‍රිජ් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි ඇගේ මරණය පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මාධ්‍යට පැහැදිලි කිරීමක්ද කර තුබුණි. ඊට අනුව 52 හැවිරිදි ඇය හෘද රෝගයෙන් පෙළුණු තැනැත්තියකි. මේ අතර දසවැනි කොරෝනා මරණය සමඟ තවත් පුවතක් මාධ්‍ය වාර්තා කර තිබුණි. ඒ මෙම කොරෝනා රෝගියාගේ ඥාතීන් බලහත්කාරයෙන් අදාළ සිරැර බැලීමට පැමිණි නිසාවෙන් නිරෝධායනයට ලක්කර ඇති බවයි.

අපි එයාගේ සිරුරවත් බැලුවේ නෑ. අපිට බලන්න කිව්වා. ඒත් රටේ තත්ත්වෙත් එක්ක අපි ඒක කරන්න ගියේ නෑ. රෝහලෙන් කිව්වා එයාගේ බඩු බාහිරාදිය කඳවුරේ තියෙනවා කියලා. රත්තරං මිල මුදල් තිබ්බා. නමුත් අපි ඒවා ගන්නවත් ගියේ නෑ. අපි අත්සන් කරලා පෙට්ටියක් ගන්න මුදලක් බැඳලා ඒ කටයුතු ඉවර කරලා එහෙම්ම ගෙදර ආවා. දැන් අපිව නිරෝධනයට කරලා තියෙන්නේ දිස්ත්‍රික් දිස්ත්‍රික් අතර ගියාම නිරෝධනය කරනවා කියලා කියන නීතිය යටතේලු. අපි රටේ නීතියට අවනත වෙලා නිරෝධනය වෙලා ඉන්නේ.

ඔවුන් නිරෝධනය කර ඇත්තේ ගමේ පන්සල තුළය. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරැන් පළමුව ඔවුන්ව වෙනත් ස්ථානයකට ගෙන ගොස් නැවත මෙහි ගෙනැවිත් ඇත. පන්සලේ නාහිමියන් ඇතුළු දස දෙනෙක් මෙලෙස නිරෝධායනය වෙමින් සිටිති.
ප්‍රවෘත්තිවල පෙන්නුවේ අපි බලහත්කාරයෙන් ත්‍රිකුණාමලයේ ගිහින් කියලා. ඇඳිරිනීති බලපත්‍රයක් දීලා තමා අපිව පිටත් කරේ. මඟදී මුරපොළවල්වලින් අපිව පරීක්ෂා කළා. අනික අපි කෝවිඩ් කියලා දැනගෙනත් නෙවෙයි ගියේ. රටේ මිනිස්සු ඔක්කොම රැවටිලා තියෙන්නේ මේ නිවුස් කියන ඒවාට.

දසවැනි කොරෝනා මරණය පිළිබඳ ඔබ නොදත් කතාව මෙයයි. තවත් තොරතුරු රැසක් අප හමුවේ ඇති නමුත් මියගිය තැනැත්තියගේ පෞද්ගලිකත්වයත් ජීවත්වන සැමගේ යහපැවැත්මත් තකා අපි ඒ තොරතුරු අනාවරණය නොකරමු. මේ කතාව දෙස තවත් මානයන්ගෙන් ප්‍රවේශ වීමට හැකි බවද ලියා තබමු. මන්ද ලොව කෝවිඩ් බිලිගත් සෑම ජීවිතයක් පිටුපසම කතන්දර කිහිපයක් තිබෙන නිසාය.

 චමිඳු නිසල් ද සිල්වා