2020 මැයි 30 වන සෙනසුරාදා

හොඳම පොසොන් ගෙදර ඉඳන්

 2020 මැයි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 170

ලෝකයම වසංගතයකට ගොදුරු වී සිටින අවදියක අප රටටද එහි බලපෑම් දැඩිව දැනෙමින් තිබේ. කොරෝනා අවදානම නිසා මෙවර වෙසක් උත්සවය ද නිවසේ සිටම සැමරීමට බොදු ජනතාව කටයුතු කළ අතර පොසොන් පිංකම් ද දැඩි සීමා යටතේ සිදු කිරීමට සෞඛ්‍ය අංශවල උපදෙස් ලැබී තිබේ.

ආරෝග්‍යා පරමා ලාභා තේමාව යටතේ මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මිහින්තලේ මැද මළුවේදී පැවැත්වීමට නියමිතය. මිහිදු මහරහතන් වහන්සේ මෙරටට වැඩම කර වර්ෂ 2328ක් සපිරෙන මෙවර පොසොන් පොහෝ උළෙල කෝවිඩ් - 19 වෛරසයට සෞඛ්‍ය අංශ ගෙනයන වැඩපිළිවෙළට හානි නොවන ආකාරයෙන් පැවැත්වීමට පසුගියදා පොසොන් කමිටුව තීරණය කළෝය. ඒ අනුව මෙවර මිහින්තලා පුද බිමේ සහ අටමස්ථාන ආශ්‍රිතව පැවැත්වෙන පිංකම් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට තීරණය කර තිබේ.

ඒ අතර සෞඛ්‍ය අංශ මෙන්ම බලධාරීන් ද ජනතාවට උපදෙස් ලබා දී ඇත්තේ වෙසක් සැමරැම සේම පොසොන් පෝ දිනය ද නිවසේ සිටම පෙහේවස් සමාදන් වීමෙන් සහ භාවනා වත්පිළිවෙත් පිරීමෙන් ගත කරන ලෙසය. මේ නිසා සැණකෙළි සිරියෙන් හා කලබලකාරීත්වයෙන් තොරව අධ්‍යාත්මික පක්ෂයට නැඹුරැ වූ පොසොන් සැමරුමක් සඳහා  සූදානම් වීමට බෞද්ධයාට හැකියාව ලැබේ.

මේ නිසා වෙනදා මෙන් පොසොන් වන්දනාවට අනුරාධපුර අටමස්ථානයට රටේ සිව්දිගින්ම පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත ජන ගංඟාව මෙවර නොගලනු ඇත. දන්සල්, සල්පිල් දැකගැනීමට නොලැබෙනු ඇත. එමෙන්ම රටේ වෙනත් ප්‍රදේශවල ද පොසොන් තොරණ ඇතුළු ජනයා රාශි වන සැරසිලි ආදියෙන් තොරව පවතිනු ඇත.

මෙවර පොසොන් පොහොයේ විශේෂත්වය ගැන දැනගැනීමට අපි මුලින්ම කතා කළේ අනුරාධපුර රුවන්වැලි චෛත්‍යාරාමාධිපති පල්ලේගම හේමරතන නාහිමියන්ටය.

පොසොන් පොහොය අපි ජාතික උත්සවයක් ලෙස හැම වර්ෂයකම සමරනවා අනුබුදු මිහිදු මාහිමියන් සමඟ මෙරටට බුදුදහම පැමිණීම සිහිපත් කිරීමට, සාමාජික ආගමික විපර්යාසයක් ඇති වී ලක්වැසියා යහපත් තත්ත්වයට පත්කිරීමට උන්වහන්සේගේ ආගමනය හේතු වුණා. මේ උත්සවය කාලයක් තිස්සේ පවත්වාගෙන ආවා. විවිධ අංග එකතු වීමෙන් සංවර්ධනය වුණා. මෙහි සාධනීය අංග වගේම නිශෝධනීය අංගත් තිබෙනවා. කලින් කල සමාජයට අනුරෑප වන ලෙස යමක් සිදුවන විට එලෙස සිදුවනවා.

සෑම ආගමකම ආගමික උත්සව පසුගිය කාලයේ වෙළෙඳ තරගයත් සමඟ වාණිජකරණයට ලක්වෙමින් පැවතුණා. මේ ලැබුණු අවස්ථාව අපට පොසොන් පොහොයේ තිබෙන වැදගත්කමේ ගැඹුර ගැන ප්‍රඥාසම්පන්නව සිතා බැලීමට අවස්ථාවක් වෙනවා. ඒක අපට ලැබුණු දුර්ලභ අවස්ථාවක්. අපට ලැබුණු මිහිදු බණ සිහිපත් කර සිත නිවාගෙන චාම්ව සරලව ජීවිතය හැඩගස්වා ගැනීමට මේක අවස්ථාවක් කරගත හැකියි. මේ අවස්ථාවේදී මිහිඳු බණ ප්‍රායෝගිකව ජීවිතයට එකතු කරගැනීමට හැකියාව ලැබෙනවා.

දන්සල් දීම වගේ ආමිස පූජා වෙනුවට නැතිබැරි අසල්වැසියන්ට ගෞරවාන්විතව උදව් උපකාර කළ හැකියි. මිහිදු බණේ ප්‍රධානම කරැණ තමයි මනුස්සකම වගාකර ගැනීම. හිංසනය පිටුදැකීම තමයි මුවාට විදීම වැළැක්වීමෙන් සිදු වුණේ. ඒකට අපට පන්සලටම යායුතු නැහැනේ. ප්‍රඥාවෙන් යුක්තව එවැනි මනුස්සකම් අපේ ජීවිතයට එක්කර ගතහොත් ඒක තමයි අර්ථාන්විත පොසොන් සැමරැම වන්නේ.

තමන්ගේ නිවසේ හෝ අසල පහනක් පත්තු කර මිහිදු හිමියන් අනුස්මරණය කරන අතරම මේ පවතින රෝගී තත්ත්වය පහව ගොස් රටට ලෝකයට නිරෝගී බව උදා වේවා කියලා අධිෂ්ඨාන කරගැනීම හොඳම පිළිවෙතක් වෙනවා. විච්චූරණ නැතිව සිත නිවාගෙන අධ්‍යාත්මික ශක්තිය වගාකරගෙන මෙවර පොසොන් දිනය ගත කළ යුතුයි. දැහැමින් තම නිවසේ සිට පොසොන් උත්සවය අනුස්මරණය කළ යුතුයි. ඒකෙන් මිහිදු මහ රහතන් වහන්සේට විශාල ගෞරවයක් අත්පත් කර දීමට අපට හැකියාව ලැබෙනවා.

බෞද්ධ ජනතාව අතරින් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පොසොන් සමය ළඟාවන තෙක් ඇඟිලි ගනිමින් සිටින්නේ මිහින්තලේ සහ අනුරාධපුර අටමස්ථාන වන්දනා කර ගැනීමටය. මෙවර පොසොන් සමය බෞද්ධ ලෝකයට ඒ අවස්ථාව අහිමි කර දී ඇත.
මිහින්තලේ රජමහා විහාරාධිපති ආචාර්ය වලවාහැංගුණ වැවේ ධම්මරතන නාහිමි අප සමඟ පැවසුවේ මෙවර රාජ්‍ය පොසොන් උත්සවය ඉතා චාම්ව පැවැත්වීමට තීරණය කර ඇති බවය. ඒ පිළිබඳව උන්වහන්සේ මෙසේද අදහස් දැක්වූහ.

පොසොන් පෝය කියන්නේ බෞද්ධ ජනතාවගේ ඇටමිදුළුවලට කාවැදුණු උත්සවයක්. මිනිස්සුන්ට පොසොන්වලට පන්සල් නොගියොත් මානසික අසහනයක් වගේ දැනෙනවා. අපේ ගුණදහම් ආරම්භ වන්නේ මහින්දාගමනයත් සමඟයි. අපි කෘතවේදී මිනිස්සු ලෙස මිහිඳු හිමියන් ස්මරණය කරමින් පොසොන් පොහොයට පිංකම් කරනවා. උත්තිය රජු මිහිඳු මහරහතන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු උන්වහන්සේගේ ධාතු කොටස් මිහින්තලාවෙත් ලංකාවේ තවත් පූජනීය ස්ථාන කිහිපයකත් සෑ බඳවා තැන්පත් කළා. ඒ ධාතු වන්දනා කර උන්වහන්සේට කෘතගුණ දැක්වීම සඳහායි. නමුත් කොරෝනා වසංගතය නිසා මෙවර උත්සවාකාරයෙන් පොසොන් පිංකම් කිරීමට දුෂ්කර තත්ත්වයක් පැන නැගී තිබෙනවා.

පසුගිය යුද්ධ කාලේ වගේම 89 දකුණේ භීෂණය පැවති කාලයේත් මිනිසුන් අවදානම අතින් අරන් පොසොන් වන්දනාවේ පැමිණියා. ගිය අවුරැද්දේ පාස්කු සිද්ධිය නිසා පැන නැගුණු ප්‍රශ්න තිබුණත් වන්දනාවට ආවා. වර්තමාන තත්ත්වය ඒ සියල්ලට වඩා වෙනස්. මේක කාටවත් නොපෙනෙන වෛරස් අවදානමක්. ගෝලීය වසංගතයක්. මේ නිසා කවුරැත් විමසිල්ලෙන් ප්‍රවේසමින් ගත කළ යුතු කාලයක්.

රටේ නිවැරදි නායකත්වය සමඟ අත්වැල් බැඳගත් සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශවල විධිමත් ක්‍රියාකාරීත්වය නිසා අපේ රටේ රෝගය සාර්ථකව පාලනය කරලා. නමුත් සෞඛ්‍ය අංශ පවසන්නේ අවදානම තවමත් පවතින බවයි. මේ නිසා රාජ්‍ය පොසොන් උත්සවය දන්සල්, සල්පිල්, ජනයා විශාල වශයෙන් එක්රොවීම්වලින් තොරව තමයි පවත්වන්නේ. පිරිත් පිංකම්, සීල සමාදාන, ධර්ම සාකච්ඡා සිදුවෙනවා. නමුත් අපට අවශ්‍ය පරිදි යන්න එන්න බෑ. සීමිත පිරිසයි සහභාගී වෙන්නේ. ලෝක පරිසර දිනයත් මෙවර පොසොන් දිනයට තමයි යෙදිලා තිබෙන්නේ. ඒකත් ඉතා වැදගත් අවස්ථාවක්. බුදුහාමුදුරැවෝ තමයි පරිසරයේ වටිනාකම වැඩිපුරම අවබෝධ කරගත්තේ. රමණීයානි ආරඤ්ඤානි (ආරණ්‍යය රමණීයයි) කියලයි උන්වහන්සේ දේශනා කළේ. මිහිඳු හාමුදුරැවෝත් පරිසරයේ අගය අපේ රටට වටහා දුන්නා. මේ ගෝලීය වසංගතයත් පරිසර විනාශයේ එක් පැතිකඩක්.

සෞඛ්‍ය නීතිරීති අනුව බෞද්ධයන්ට පොසොන් සැමරැමේ නිරත වන ලෙසයි අපට පැවසිය හැක්කේ. මොනවා කළත් සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න ඕනෑ. සෑම ගෙදරකම බෞද්ධ කොඩියක් දාන්න. පිංකම් කර අපේ රටෙන් මේ උවදුර තුරන් වන ලෙස ප්‍රාර්ථනා කරන්න. එහෙම වුණොත් කොරෝනා වසංගතය දුරැ වී ඊළඟ පෝය දින අපට හොඳින් සැමරීමට පිංකම්වලට අවස්ථාව ලැබේවි.

අපි විනයක් ඇති ජාතියක්. පංචශීලය කියන්නේ සංවරකම. අපි මිහිඳු හාමුදුරුවන්ගේ ගෞරවය ආරක්ෂා කරගෙන රජය කරන රෝග නිවාරණ වැඩ පිළිවෙළට සහාය දක්වමින් මෙවර පොසොන් සමරමු.

 කුසුම්සිරි විජයවර්ධන