2020 මැයි 30 වන සෙනසුරාදා

එළිමහන තමයි බෙස්ට් - විද්වතුන් ගණනාවක්ම කියති

 2020 මැයි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 45

ලොවපුරා සෑම රටකම පාහේ සෞඛ්‍ය අංශ සහ රජයේ බලධාරීන් නිකුත් කළ උපදෙස්, නියෝග පිළිපදිමින් නිවසටම වී සිටි බහුතර ජනතාව දැන් කළඑළි බැසීම ආරම්භ කර හමාරය. ගෙදරටම වී එකත්පස්ව සිට හෙම්බත්වූ අපේ අය මේ කළඑළි බසින්නේ ඉවක් බවක් නැති ආකාරයටය. ඒ නිසාම ආණ්ඩුව ජනතාවට එළිපහළියට එන්නට ලබාදුන් මේ අවසරය ගැන අපේ රටේද නොයෙක් කතාබහ දක්නට අසන්නට  ලැබේ. පාලනයක් සහිතව තිබූ කොවිඩ්-19 ගෙඩි පිටින් ඉල්ලාගෙන කෑමට පොට පාදා දීමක් ලෙස සමහරැ මෙය දකිති. ඉතින් කොවිඩ් කාලේ වඩා හොඳ ගෙදරට වී සිටීමද? කළඑළි බැසීමද යන්න ගැන දැන් විද්වතුන් අතරද පුළුල් කතාබහක් ඇතිව හමාරය

ඇත්තෙන්ම, කලකට පසුව නිවසින් බැහැරට යාමට ලැබීම කොරෝනා නිරෝධායන සමයේ එක තැනකට කොටුවීමෙන් හටගත් මානසික පීඩාව වළක්වා ගැනීමට උපකාරී වුවත් බැහැරට යනවිට ආරක්ෂාව සහ ආරක්ෂාකාරී චර්යාවන් ගැන අපේ අවධානය අඩුවීම මෙන්ම ආරක්ෂාකාරීව නොසිටින ආසාදිත අය මුණගැසීමේ අවදානමක් ඇති වේ. මේ නිසා පිටතට පැමිණිය යුත්තේ පූර්ව සෞඛ්‍යාරක්ෂක නීති හිතේ තබාගෙන ඒවාට මුල්තැන දෙමිනි.

කලඑළි බසින ජනතාව එසේ පිටතට විත් නැවත කාර්යාලයකට ආයතන සීමාවකට හෝ ජනාකීර්ණ වටා පිටාවකට නිරාවරණය වන්නේ නම් එය වඩාත් අහිතකර තත්ත්වයක් වනු ඇතැයි දැන් විද්වතුන් රැසක්ම පෙන්වා දී තිබේ. ඒ නිසාම ජනතාව සිය නිවෙස්වලින් පිටතට යන්නේ නම් එහිදීද කාර්යාලයක් හෝ වෙළඳසැලක් ඇතුළේ සිරවී ගත කරනවාට වඩා වඩාත් පුළුල් එළිමහනකට වී සිටීම වඩාත් ආරක්ෂාකාරී බවයි විශේෂඥයන්ගේ අලුත්ම අදහස.

එහිදී එකිනෙකා අතර වැඩි සෞඛ්‍යසම්පන්න දුරක් තබා ගැනීමට හැකිවීමත්, නැවුම් වාතයේ ආස්වාදය විඳ ගැනීමට අවස්ථාව ලැබීමත්  නිසා මුහුණදෙන  අවදානම අඩු වෙයි. එහෙත් එම විශේෂඥයන්ම කියා සිටින්නේ බැහැරට යාමේදී අප වඩාත්  කල්පනාවෙන් ක්‍රියාකළ යුතු බවයි. අවන්හල් ඇතුළට වී එකිනෙකා හා කතාබහේ යෙදෙමින් ආහාරපාන ගැනීම, බාහිර ස්ථානවල ඇති පොදු වැසිකිළි, නාන කාමර ප්‍රයෝජනයට ගැනීම, මුහුදු වෙරළ, උද්‍යානය වැනි පොදු තැන්වල අනවශ්‍ය ලෙස එක්රොක් වීම ආදියේ ඇති විපත්තිදායක බව ගැන ඔවුහු දැඩි අනතුරැ අඟවති.

හාවඩ් වෛද්‍ය විදුහලේ වසංගතවේදිනියක් හා සහකාර මහාචාර්යවරියක් වන ජූලියා එල්. මාකස් කියන්නේ. ඇතුළත කොටුවී සිටින විටදීට වඩා එළිමහනේ කොරෝනා සම්ප්‍රේෂණය වීමේ අවදානම අඩුයි. ඒත් ඒ වගේම  අලුතෙන් කොරෝනා  ආසාදනය සඳහා ඇති අපේ අවදානම අඩුකර ගැනීමට අප කළ යුතු දේවලුත් තියෙනවා” කියාය.

රට පියවරෙන් පියවර යළි විවෘත කිරීමේදී නිවසින් පිටස්තර ලෝකයේ දක්නට ඇති  සීමාකිරීම් විවිධය; එක සමාන නැත. උදාහරණයක් ලෙස, ජාතික උද්‍යානයන් වැනි තැන් තවදුරටත් වසා දමා ඇතත් ඇතැම් කුඩා උද්‍යාන විවෘතය. එවන් විටෙක පිටතදී අනුගමනය කළයුතු ආරක්ෂාකාරී චර්යාවන් ගැන නිසි අවබෝධයක් නොමැති වුවහොත්  බොහෝ දෙනා වික්ෂිප්තව කටයුතු කරනු ඇත. එය රෝග අවදානම තවත් ඉහළ දමනු ඇත. එවිට මුහුණ දෙන්නට වන්නේ කබලෙන් ලිපට වැටුණාක් බඳු අබග්ගයකටය.

ඒ සඳහා මේ විශේෂඥයන් දක්වන්නේ සරල පිළිතුරකි. සමාජ දුරස්ථභාවය රුකගන්න,  සෑමවිටම මුව ආවරණයක් පළඳින්න. ඔබ රැකියාවට යන්නට, මිතුරන් මුණගැසීමට අදහස් කරන්නේ නම් කොරොනා අවදානම වැඩිවන නමුත් ඔබට යම් පූර්වාරක්ෂක පියවර ගත හැකිය. මෙන්න ඒ පූර්වාරක්ෂක පියවර කිහිපයක්: රුස්වන පිරිස ඉතා කුඩා විය යුතුයි. ආහාර පාන, හැඳි ගෑරැප්පු, භාජන හෝ බීම වර්ග එකිනෙකා සමඟ බෙදාහදා නොගත යුතුයි. ඔබේ අත් නිරතුරැව පිරිසිදුව තබාගත යුතුයි. නිවසට බැහැරින් එන අය සමඟ අඩුම තරමින් අඩි හයක පරතරයක් තබා ගනිමින් සමාජ දුරස්ථභාවය රැකගත යුතුයි.

වර්ජිනියාවේ ටෙක්හී ඉංජිනේරු මහාචාර්ය සහ එයාර්සෝල් විද්‍යාඥ ලින්සේ මාර් දරන්නේ මෙබඳු අදහසකි. මම නම් හිතන්නේ කොයි අවස්ථාවක දී වුණත් ඇතුළට වඩා එළිමහනේ ගතකරන එක හොඳයි. මොකද පිටතදී වෛරස බිඳිති විසිරිලා සාන්ද්‍රණය ගොඩක් අඩු වෙනවනේ. කෙනෙක් අඩි හයක පරතරය නිසි පරිදි දිගටම තියාගන්නවා නම් ඔහුට ඇති අවදානම ඉතාම අඩුයි.

මහා වසංගතය හමුවේ එළිමහනේ ගෙවන ජීවිතය එක්තරා අන්දමකට ආරක්ෂාකාරීය. මඳ සුළඟින් පවා වෛරසය විසිර යවමින් ඉක්මනින් තනුකකරණයක් සිදුවෙයි. එහෙයින් රෝගාතුරයෙකු ළඟපාත හිටියත් සුළඟින් වෛරස විසුරැවා දමනු ඇත. අසල සිටි අය එයට නිරාවරණය වුවත් ඒ සාපේක්ෂව සුළු වෛරස ප්‍රමාණයකටය. එනිසා එවැන්නකින් ඇති විය හැකි හානිය අඩු බවයි මේ විද්වතුන් ගෙන එන තර්කය.

ලෙහ්මන් කොලීජියේ සහ නිව්ෙයා්ක් සිටි විශ්වවිද්‍යාලයේ උපාධිධාරී කේන්ද්‍රයේ භෞතික විද්‍යාඥ ඉයුජින් චඩ්නොවිස්කි මේ කතාවට තවත් පොහොර එක් කරන්නෙකි. මේ ඔහුගේ අදහසය.

වෛරස ප්‍රමාණය තමයි වැදගත්. එක වෛරසයක් මගින් කෙනෙකු රෝගාතුර කරන්න බැහැ. මොකද ශරීරයේ ප්‍රතිශක්තිකරණය පද්ධතිය මගින් වහාම එය විනාශ කර දමනු ලබනවා. දැනට විශ්වාස කරන අන්දමට ප්‍රතිශක්තිකරණ පද්ධතිය අභිබවා යාමට නම් වෛරස සිය ගණනක සිට දහස් ගණනක SARS-CoV-2 වෛරස තොගයක් තිබීම අවශ්‍යයි.

මෙලෙස වෛරස සම්ප්‍රේෂණයට ඇති අවස්ථාව එළිමහනේදී අඩු වුණාට සම්ප්‍රේෂණය සිද්ධ නොවන්නේම යැයි තර්ක කළ නොහැක. මේ කියන්නෙ අවදානම් අවස්ථාව අඩු බව පමණි. නිදසුනක් හැටියට චීනයේ ආතුරයන් 7,300ක වැඩි පිරිසක් ඇසුරෙන්  සිදුකළ අධ්‍යයනයකින් හෙළිවුණේ සම්ප්‍රේෂණය බාහිර ස්ථානයකදී සිදුවී ඇත්තේ ඉන් එක් අයෙකුට පමණක් බවය. ඒ වූහාන්වල සිට පැමිණ අයකු සමඟ එළිමහනේ කතා කරමින් පසුවූ අයකුටය.

ගෝලීය කටයුතු සඳහා වන යේල් ජැක්සන් ආයතනයේ කථිකාචාර්ය ෂාන් සෝලින් මෙය පැහැදිලි කරන්නෙ අමුතුම ආකාරයකටය. “පිටතදී අවදානම අඩු වුණාට, අවදානම  බින්දුවක් නොවේ යනුවෙන් ඇය පවසන්නීය. “මං හිතන්නේ එක තැන එකිනෙකාට ළංවෙලා බොහෝ වේලාවක් ගතකරන දෙන්නෙකුට ඇති අවදානම ඇවිද යන ගමන් එකිනෙකා පසුකර යන අයට වඩා වැඩියි.” මෑතක සිදුකළ එක් අධ්‍යයනයකින් හෙළි වූයේ හුදු කතාකිරීමෙන්ම පවා වාතයේ විනාඩි 8 ක සිට 14 දක්වා කාලයක් රුඳී තිබිය හැකි බිඳිති දහස් ගණනක් පිටකළ හැකි බවයි. එහෙත් මේ බිඳිති ආශ්වාස කිරීමට ඇති අවස්ථාව එළිමහනේදී අඩුයි.

කෙසේ වෙතත්, එළිමහනේ උද්‍යාන බංකුවක්, ඔන්චිල්ලාවක් වැනි වෛරසයෙන් දූෂිත වූ පෘෂ්ඨයක් ඇල්ලීමේදී නම් වෛරසය ආසාදනය වීමේ අවදානම ඉතා දැඩිව ඇත. පරීක්ෂණාගාර තත්ත්වයන් යටතේ SARS-CoV-2 වෛරසයට යකඩ ප්ලාස්ටික් වැනි පෘෂ්ඨයක දින තුනක් පමණද කාඩ්බෝඩ්වල පැය විසිහතරක් පමණද රැඳී පැවතිය හැකි බව අධ්‍යයන දක්වයි. අනික වෙනත් බොහෝ වෛරසයන්ට වඩා මේ නව වෛරස, රස්නය හා ආර්ද්‍රතාවටද ඔරොත්තුදීම ඉහළය. මේ නිසා එළියට යන්නට ලැබුණු අවස්ථාව අප ප්‍රයෝජනයට ගත යුත්තේ පිටතින් වෛරස රැගෙන ගෙදර යාමට තරම් අනුවණ ආකාරයකට නොවේ. අරපරෙස්සම් ලෙස තමන්ගේ ආරක්ෂාව තමන්ම සලස්වාගෙන බව මේ විද්වතුන් අවධාරණය කර තිබේ.

  සුගත් පී. කුලතුංග ආරච්චි