2020 මැයි 30 වන සෙනසුරාදා

කොරෝනාවෙන් දෙපැත්තට ඇදෙන ඡන්ද කතාව

 2020 මැයි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 28

මේ දිනවල අප රටේ පමණක් නොව ලෝකයේ හැම තැනකම තීන්දු තීරණ ගැනීමට සිදුව ඇත්තේ සෞඛ්‍ය බලධාරීන්​ කියන අන්දමටය. අද රටෙහි ආරක්ෂක නිලධාරීන් විසින් ඉටුකරන ලබන සේවයට සමාන සේවයක් සෞඛ්‍ය බලධාරීහු ඉටු කරති.පෙරදිනවල තමන්ගේ හිතුමතේට තීන්දුගත් සියල්ලන්ම විසින් අද තීන්දු ගනු ලබන්නේ සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලවය. ඒ අණ නොපිළිපැද්දොත් නිරෝධායන මධ්‍යස්ථානයකට යෑමට සිදුවිය හැකිය. මේ දේවල් පමණක් නොව අපට ඇතැයි කියන පරමාධිපත්‍ය බලය හෙවත් සර්වජන ඡන්ද බලය භාවිත කිරීමට සිදුව තිබෙන්නේද මැතිවරණ කොමිසමේ නියමයන්ට වඩා සෞඛ්‍ය බලධාරීන්ගේ නියමයන් සැලකිල්ලට ගනිමිනි.

පසුගිය අප්‍රේල් මස 25දාට දින නියම කර තිබූ පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීමට තවමත් සුදුසු දිනයක් නම් කර නැත. එලෙස නම් කරන දිනයට මැතිවරණය පැවැත්විය හැක්කේද ඒ සඳහා සුදුසු වාතාවරණයක් රටතුළ පවතින බවට සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කළහොත් පමණකි. මැතිවරණය තව වසරකින් කල්ගියත් එම නිර්දේශ වෙනස් නොවනු ඇතැයි සෞඛ්‍ය සේවා බලධාරීන් පවසා ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය කියන අන්දමට තවත් වසර දෙකක් පමණ යනතෙක් කොරෝනා වෛරසය සක්‍රීය තත්ත්වයේ පවතිනු ඇත. එසේ නම් අප මහ මැතිවරණය පැවැත්වීමට එතෙක් බලා සිටිය යුතුද? යන්න සියලුදෙනාට උභතෝකෝටික ප්‍රශ්නයකි.
2020 පාර්ලිමේන්තු මැතිවරණය සෞඛ්‍යාරක්ෂිතව පවත්වන ආකාරය සම්බන්ධයෙන් නිර්දේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානීන් විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත භාරදී ඇතැයි දැනගන්නට ලැබී තිබේ. ඉදිරි මහ මැතිවරණය පැවැත්වීම පිළිබඳව දේශයේ අපි සෞඛ්‍ය අංශ වෙතින් විමසීමක් කළෙමු.

සෞඛ්‍ය අංශ ප්‍රමුඛතාව ඡන්දය නොවේ කොරෝනා තුරන් කිරීමයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා

මාර්තු 11ට කලින් තිබුණ රට නෙවෙයි දැන් මේ ක්‍රියාත්මක වෙමින් තියෙන්නේ. එතකොට අපි ඒකට කියනවා නව සාමාන්‍ය තත්ත්වයක් කියලා එතකොට අපිට ඒ තත්ත්වයට තමයි පුරැදු වෙන්න තියෙන්නේ. ඒ අනුව මේ කොරෝනා තත්ත්වයට එන්නතක් හොයා ගන්නකම් අපිට මේ නව සාමාන්‍ය තත්ත්වය යටතේ තමයි ජීවත් වෙන්න වෙන්නේ. එතකොට එතකම් මැතිවරණ පවත්වනවද නැද්ද කියන එක මැතිවරණ කොමසාරිස්තුමාගේ තීරණයක්. මොකද අපි සෞඛ්‍ය අංශ ප්‍රමුඛතාවයක් දී තියෙන්නේ මැතිවරණයට නෙවෙයි මේ කොරොනා වසංගතය මෙරටින් තුරන් කිරීමට. දැන් යුද්දේ තියෙන කාලයේ යුද විශ්ලේෂකයන් කිව්වේ නැහැ. මැතිවරණ තියන්න පුළුවන්ද බැරිද කියලා දැන් මේ ඇවිත් තියෙනේ සෞඛ්‍ය ප්‍රශ්නයක්. එතකොට අපිට මැතිවරණ කොමිසමට, රාජ්‍ය පරිපාලනයට, අධිකරණයට විතරක් නෙවෙයි රටටම කියන්න තියෙන්නේ එක දෙයයි. ඒ තමයි මේ සෞඛ්‍ය නීතී රීතිවලට අනුගත වෙන්න කියන එක. මොකද ඒ සෞඛ්‍ය නීතිරීතිවලට අනුගත නොවුණහොත් මේ වෛරසය ආසාදනය වෙන්න පුළුවන්. ඒ වගේම රට තුළ මේ තත්ත්වය දැනට පාලනය වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන්. කෙසේ වෙතත් මේ වනවිට රට තුළ පොකුරැ දෙකක් තවමත් පවතිනවා. ඒ නාවික හමුදා පොකුර සහ විදෙස් රටවලින් පැමිණෙන අපේ රටේ ශ්‍රමිකයන් පොකුර ලෙස. එතකොට මේ තත්ත්වය තමයි අපිට කියන්න පුළුවන්. දැන් විභාග දෙපාර්තුමේන්තුව තියෙන්නේ විභාග තියෙන්න වගේ ගයිඩ් ලයින් එක හදාගන්න ඕන. ඒ අය සෞඛ්‍ය බලධාරීන් විදියට අපි කියන්නේ මේ වෙලාවේ සෞඛ්‍ය බලධාරීන් කියන විදියට හැසිරීම යහපත් කියන එක විතරයි.

ආරක්ෂිත ක්‍රමවේද යොදාගෙන ඡන්දය පැවැත්වීමේ ගැටලුවක් නෑ

විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන

කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා නිසිපරිදි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිතා කරමින් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ කිසිදු ගැටලුවක් නැහැ. මැතිවරණය පවත්වන ආකාරය ගැන මාර්ගෝපදේශ දැනටමත් මැතිවරණ කොමිසමට සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් ලබාදී තිබෙනවා.  

නිසි ලෙස සමාජ දුරස්ථභාවය රැකගනිමින්, මුඛ ආවරණ පැළඳ, විෂබීජ නාශක දියර පාවිච්චි කරමින් මැතිවරණ කටයුතුවල යෙදීමෙන් වෛරසය පැතිරීමක් සිදුවීමක් වෙන්නේ නැහැ. කොරෝනා යැයි කියමින් සියල්ල අතපසු කරමින් කාලය කා දැමීමට රටකට නොහැකියි. ඒ නිසා මැතිවරණය පැවැත්වීමේ ගැටලුවක් නැහැ.

සටහන: හසිත් අංජන

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00