2020 මැයි 30 වන සෙනසුරාදා

එදා සංචාරකයන් පිරුණු හික්කඩුවේ රොටීකඩ අද කඳුළින් පිරිලා

 2020 මැයි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 51

ජීවත්වන්නට කවුරුත් කරන්නේ අරගලයකි. ජීවත්වීම අරගලයක් සේ දැනෙන්නේ නැතිබැරි මිනිස්සුන්ටය. ඒ නැතිබැරි මිනිස්සුන්ගේ ජීවන අරගලයට ගැහැනු, පිරිමි බේදයක් නැත. ඒ නිසා ගැහැනු, පිරිමි බේදයකින් තොරව ඔවුහු ජීවන අරගලය ජයගන්නට වෙහෙසෙන්නෝය. ජීවන අරගලය ජයගන්නට වෙහෙසෙන බොහෝ දෙනෙක් දකින්නට ලැබෙන්නේ මහමගදී, මඟ තොටදී, කඩපොළේදීය.

හික්කඩුව යනු මෙරට සංචාරක පුරවරයේ තෝතැන්නක් බව අමුතුවෙන් කිව යුතු නැත. සංචාරකයන් බහුලව ගැවසෙන හික්කඩුවේ වැසියෝ සිය දෛනික ආදායම් මාර්ග උපයා ගැනීම සඳහා ඕනෑ තරම් රැකියා අවස්ථා ඔවුන් විසින්ම නිර්මාණය කර ගත්හ. සංචාරකයින්ට මග පෙන්වීම, සංචාරකයන්ට නවාතැන් දීමේ සිට සංචාරයන්ට අවශ්‍ය සියලුම දෑ හික්කඩුවේ තිබිණි.

මෑත කාලයේදී හික්කඩුවේ වඩාත් සංචාරකයින් අතර ජනප්‍රියතම වූයේ විවිධ රසයෙන් යුතුව එවෙලේම සාදා දෙන රොටීය. එය කොතරම් දුරට ජනප්‍රිය වූවාද කියතොත් සංචාරකයන් මෙන්ම රට වටෙන්ම දකුණට ගොස් රොටී අනුභව කරනා පිරිස්ද සිටියහ. කෙසේ වෙතත් පසුගිය පාස්කු ප්‍රහාරයෙන් බැටකෑ හික්කඩුවේ සංචාරක කර්මාන්තයට මෙන්ම මෙම රොටී සාදන්නන්ටද හොඳ කලදසාවක් උදාවූයේ නැත. පාස්කු ප්‍රහාරයේ අමිහිරි මතකයන් අමතක කරමින් ජිවිතය ගොඩ නගාගන්න වෙර දැරූ හික්කඩුවේ බොහෝ පිරිසකට මෙන්ම රොටී සාදන්නන්ද නැවත වරක් කබලෙන් ළිපට වැටුණේ කොවිඩ්-19 හෙවත් කොරෝනා වසංගතයත් සමඟිනි.

කොරෝනා වසංගතය හමුවේ එදා සිය දෛනික ආදායම උපයාගත් එම හික්කඩුවේ රොටී සාදන්නන්ගේ වර්තමාන තත්ත්වය සොයා දේශයේ අප හික්කඩුවට පියනැගුවෙමු. අප එහි යනවිටත් වෙනදාට සංචාරකයන් මෙන්ම ජනයාගෙන් පිරි ගිය නගරයක අසිරිය එහි නොදුටුවෙමු.

කඩේ හදාගෙන පටන්ගන්න හැදුවා විතරයි

කමල් - වෑවල

පාස්කු ප්‍රහාරයෙන් පස්සේ කොහොමත් මාස හතරක් පහක් යනකම් බිස්නස් තිබුණේ නැහැ. ඒ කියන්නේ පිටරට සංචාරකයන් විතරක් නෙවෙයි ලංකාවේ අයවත් හික්කඩුවට ආවේ නැහැ. යාන්තම් ආයේ බිස්නස් එකක් හැදීගෙන එනකොටම ආයේම කොරෝනා වසංගතය ආවා. මේ ෆොරිනස්ලා බහින කාලේ හික්කඩුවට. ඒ වුණාට මේ වුණදේත් එක්ක අපි ආයේම බිංදුවටම වැටුණා. මම කඩේ අලුත්වැඩියා කරලා බිස්නස් පටන් ගන්න හැදුවා විතරයි. වසංගතය එද්දි ආයේ බිස්නස් එකක් හදාගන්න සෑහෙන්න කාලයක් යනවා. මොකද අපෙන් කාලා ගිය අය කවදාවත් ආයේ අපි ළඟට නෑවිත් හිටියේ නැහැ. ඒ වුණාට දැන් එහෙම බිස්නස් එකක් හදාගන්න කාලයක් යනවා. කොරෝනා නිසා අපි අන්ත අසරණ වෙලා ඉන්නේ....

අපේ බිස්නස් කවදා හැදෙයිද කියන්න බෑ

ගුණරත්න - බද්දේගම

කොරෝනා පටන් ගන්න කලින් හික්කඩුවේ අපි කරගෙන යන රොටී කඩේට හොඳට බිස්නස් තිබුණා. හවස 4 ඉඳන් රූ 11 විතර වෙනකම් අපි බිස්නස් කළා. කඩේ වැඩට ගෝලයෝ දෙන්නෙක් හිටියා. ඒ වුණාට දැන් මාස දෙකක් තිස්සේ අපිට කරන්න කිසි දෙයක් නැහැ. ගෝලයෝ දෙන්නත් ගෙවල්වල යැව්වා. බිස්නස් නැතුව තියාගෙන වැඩක් නැහැනේ. දැන් කඩකුලී ගෙවන්න විදියක් ඇත්තෙත් නැහැ. රජයෙන් දෙනවා කිව්ව 5000ත් අපිට හම්බවුණේ නැහැ. කොරෝනා හරි ගියත් ආයේ කවදා බිස්නස් හැදෙයිද කියලා කියන්න බැහැ. දැන් අපිට අපේ පවුලේ නඩත්තුව වෙනුවෙන් කුලී වැඩවලට යන්න පවා වෙලා තිබෙනවා. ඇඳිරිනීතිය අයින් කළත් වැඩක් නැහැ. බිස්නස් පාඩු පිට තමයි කරන් යන්න වෙන්නේ.

කොරෝනාවෙන් අපි කඩාගෙන වැටුණා

අසංක - ගෝනාපීනුවල

කොරෝනා වසංගතය රට තුළ පැතිරෙන්න කලින් අපේ හික්කඩුවේ රොටී කන්න විදේශිකයෝ වගේම දේශීය සංචාරකයොත් ආවා. නමුත් මේ කොරෝනා වසංගතය රට තුළ පැතිරිලා ඇඳිරිනීතිය දැම්මට පස්සේ අපේ බිස්නස් සම්පූර්ණයෙන් කඩා වැටුණා. ඒ වගේම හික්කඩුවේ සංචාරක ව්‍යාපාරයත් සම්පූර්ණයෙන් වැටිලා තියෙන්නේ අපි අපේ ළමයින්ට ඉගැන්වීම් මෙන්ම සියලු කටයුතු කළේ මේ බිස්නස් එකෙන්. ඒ වුණාට දැන් ඒ සියල්ලම අහිමිවෙලා තියෙනවා. අපිට වෙන ඉඩකඩම් මුකුත් නැහැ. එකම ආදායම තිබුණේ මේක විතරයි. දැන් ඒකත් අහිමිවෙලා තියෙන්නේ අපි මේ වෙලාවේ කබලෙන් ලිපට වැටිලා තියෙන්නේ.

 සටහන: හසිත් අංජන