2020 මැයි 30 වන සෙනසුරාදා

ඇඳිරිය කාලේ මොකද කළේ - 02 කොටස

 2020 මැයි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 54

• එඩ්වඩ් ජයකොඩි

මායි චරිතයි එකතුවෙලා මාර්තු 21 වැනිදා බන්ධනාගාර කොමසාරිස්ට අපේ ළඟ තිබුණු පොත් 400ක් විතර ලබාදුන්නා රැඳවියන්ට කියවන්න. අපි පොතක් කියෙව්වට පස්සේ ඒක ළඟ තියාගත්තට ආයෙ කියවන්නෙ නැහැනෙ. ඒක තියාගන්නෙ තණ්හාවට. අපි ලස්සනට ඒ පොත් ටික වර්ගීකරණය කරලා ලබාදුන්නා.

මේ ප්‍රශ්නය ඉවර වුණාම අපි ආයෙත් සංගීත පන්ති පටන් ගත්තම සෞඛ්‍ය නීති රීති අනුව හා සමාජ දුරස්ථභාවයට අනුගත වෙමින් කටයුතු කරනවා.

අපි හැමෝම වගකීමෙන් වැඩ කරන්න ඕනෙ. අපේ හුරුපුරුදුකම් හදාගෙන මේ තත්ත්වයට මූණදෙන්න ඕනෙ. අපි කලබලෙන් මේ ව්‍යසනයට මුහුණ දුන්නා. දැන් හැබැයි අපි ඉස්සරහට මීට වඩා පරෙස්සම් වෙන්න ඕනෙ. කලාකරුවො හැටියට අපි හොඳ සැලැස්මක් හදාගෙන අනාගතේට මූණ දෙන්න වේවි.

තාක්ෂණයට නුහුරු අපේ වයෝවෘද්ධ කලාකරැවන්ටත් අත දෙන්න අපි යම්කිසි දෙයක් කළ යුතුව තිබෙනවා.

• චරිතා ප්‍රියදර්ශනී පීරිස්

මේ ව්‍යසනයත් එක්ක අපට නොපෙනෙන බලවේගයක අපිට බොහෝ දේවල් ඉගැන්නුවා.

හාල් මිටක් පැත්තකට තියනවා වගේ අපේ හුරු පුරුදුකම් ගොඩාක් අපෙන් ගිලිහිලා ගිහින් තිබුණා. ඒත් මේ නොපෙනෙන බලවේගය අපට කියලා දීලා තියෙනවා. ඒ හුරුපුරුදුකම් වල ආදරණීය බව.

කොච්චර සල්ලි තිබුණත් වැඩක් තියෙනවද? අපිට සල්ලි උයලා කන්නත් බැහැ, බැදලා කන්නත් බැහැ. මෙතැනදි ඉස්මතු වුණේ මනුස්සකම. මේ කාලය තුළ කිසි කෙනෙක් මහ ජයට කෑවේ නැහැ. ඒත් හැම ගෙදරකම අපි හැමෝම කමු කියන සිතුවිල්ල ආවා පරිප්පුයි බතුයි හරි. ඒ ලෙන්ගතුකම හරි ආදරණීයයි. අපට තියෙන දේවල් අපේ අසල්වාසීන්, යාළුවො, නෑදෑයො එක්ක බෙදා හදා ගත්තා. අනෙකාගේ දුක දැනගන්න සොබාදහම විසින් ලෝකෙටම දුන්නු දඬුවම තමයි මේක.

අපි මේ දවස්වල වගා කරනවා එළවළු ජාති කීපයක්ම. රටටත් ලෝකයටත් ණය නැතුව අපේ දේවල් හදාගෙන ජීවත් වෙන්න අපි හැමෝටම වගකීමක් තියෙනවා. අපේ රටේ සල්ලි තියෙන අය ඉන්නවා පමණට වඩා. ඒ ගොල්ලන්ටත් පුළුවන් මේ වෙලාවේ විශාල දායකත්වයක් ලබාදෙන්න. දේශපාලනඥයොත් ඉන්නවා මුදල් හම්බ කරපු හා හම්බ නොකරපු. ඒ අයටත් පුළුවන් මේ වෙලාවේ යම්කිසි දෙයක් කරන්න.

• අනූෂා දමයන්ති

මේක අපේ ජීවිතේ කිසිම දවසක අත්විඳපු නැති අත්දැකීමක්. සොබාදහම විසින් මිනිසුන් වෙතට ගෙනා අත්දැකීමක්. අපි මේ තරම් කාලයක් සොබාදහමෙන් ඈත්වෙලා හිටියෙ. සොබාදහම විනාශ කරලා අපි ලබන දියුණුවේ කිසිම පලයක් නැති බව මේකෙන් හොඳටම ඔප්පු වුණා. ගහකොළට, සතා සිව්පාවාට, මිනිස්සුන්ට ආදරේ කරන්න මේ කොරෝනා වසංගතය අපට ඉගැන්නුවා. බුදුදහමේ කියා ඇති අන්දමට සියල්ල අනිත්‍ය බව ඔප්පු කළා. ලෝකේ අනිත් රටවල් එක්ක බලද්දි අපි මේ ව්‍යසනයට එරෙහිව සාර්ථකව මූණදීලා තියෙනවා. ඇත්තටම ඒකට හේතුව අපි කුළුබඩු ආශ්‍රිත කෑමවලට පුරුදු වෙලා ඉන්න නිසා.

අද අපි අපට අවශ්‍ය එළවළු ටික වවන්න පටන් අරන් තිබෙනවා. අපේ දේවල්වල වටිනාකම අගයන්න ඉගෙන ගෙන තිබෙනවා. වෘත්තීය පැත්තෙන් කතා කළොත්, කලාකරැවෙක් හැටියට මීට කලින් අනාගතය ගැන අපට කිසිම බයක් තිබුණේ නැහැ.
ඒත් මේ ව්‍යසනය අපට ඉගැන්නුවා එක දේකට කොටු නොවී, අපේ දක්ෂතා අනුව අමතර ආදායම් මාර්ගයක තියෙන වටිනාකම. මොන දේ කළත්, ඉතුරුවක් කරන එකේ වටිනාකමත් අපට කියලා දීලා තිබෙනවා.

මේ වෙලාවේ පක්ෂ පාට භේදවලින් තොරව කතා කළොත් අපේ රටේ ජනාධිපති, අගමැති, හමුදාපති, ත්‍රිවිධ හමුදාව, වෛද්‍යවරු, සෞඛ්‍ය අංශය ඇතුළු සියලු පාර්ශ්වයන්ගේ කැපවීම තමයි අපේ රටේ ජයග්‍රහණයට හේතුවුණේ. මිනිසුන් හැටියට අපි මේ පුරැක් තවත් ශක්තිමත් කළ යුතුයි.

• නිරංජනී ෂන්මුගරාජා

වෘත්තීය පැත්තෙන් මගේ ලොකුම කඩඉම තමයි සුනාමි චිත්‍රපටය ප්‍රදර්ශනය වීම. එය හොඳින් ප්‍රේක්ෂක ආකර්ෂණය ලබමින් ඉන්නකොට තමයි අපට මේ සියලු දේවල් වුණේ. නිවේදිකාවක් හැටියට මගේ වෘත්තියටත් මේක විශාල ලෙස බලපෑවා.

පෞද්ගලිකව මම ගොඩාක් ගෙදර ඉන්න කැමති කෙනෙක්. ගෙදර කෑම කන්න තමයි මම ආසම. මේ ප්‍රශ්නය නිසා මාව බලන්න ආපු අපේ අම්මාට මාත් එක්ක දිගටම ඉන්න සිද්ධ වුණා. 2005 අපේ අක්කා බැන්දට පස්සෙ අම්මා ගොඩාක් හිටියෙ එයත් එක්ක. අවුරුදු 15කට පස්සෙ මට අම්ම උයන කෑම කන්න, අම්මත් එක්ක හුරතල් වෙන්න, අම්මත් එක්ක නිදාගන්න මට වාසනාව ලැබිලා තියෙනවා. අනික මේ ඇඳිරිනීති කාලය තුළ මට මගේ යාළුවො ගොඩාක් කෑමබිමවලින් උදව් කළා. ජාති භේදයකින් තොරව මගේ සිංහල, දමිළ, මුස්ලිම් හා ක්‍රිස්තියානි යාළුවො මගේ අඩුපාඩු හොයලා මට කන්න දුන්නා. මම බඩගින්නෙ හිටියත් ඒ ගොල්ලන්ට මොකද? ඒත් ඒ අය ඉස්මතු කළේ ඒ ගොල්ලන්ගෙ හදවතේ උතුරා ගලන මනුස්සකම. ඒ මනුස්සකමට මම හැමදාම ණයගැතියි.

අපි හැමෝම වගකීමෙන් ජීවත් වෙන්න ඕනෙ. හැමදේටම වඩා සොබාදහම කොයිතරම් බලවත්ද කියලා අපට උගන්වලා තියෙනවා. අපි හැමදාම සොබාදහමට ගරැ කරමින් ජීවත් වෙන්න ඕනෙ.

• දයාන් විතාරණ

මේක අපි හීනෙකින්වත් හිතපු නැති දෙයක්. බැංකුවෙ සල්ලි තිබ්බට ගිහින් ගන්න විදිහක් නැහැ. මගේ සේවකයින්ට ගෙවාගන්නවත් සල්ලිගන්න බැරිවුණා. මගේ හිතවතුන් තමයි මට අවශ්‍ය හැමදෙයක් ගැනම සොයලා බලලා මට ගෙදරටම ඒවා ගෙනැල්ලා දුන්නෙ. ඒ ගොල්ලන්ට ගොඩාක් පින්. මට උදව්වක් කරන්න හිත තිබුණට එළියටවත් බහින්න බැරැව හිටිය මගේ හිතවතුන්ටත් මම ආදරෙන් සිහිපත් කළ යුතුයි.

මෙච්චර කල් මිනිස්සු වැඩ කළේ එක එක්කෙනා අභිබවා යන තරගකාරී ගමනක. ඒත් අන්තිමේදී අපට තේරුම් ගියා අපට මොනවා තිබුණත් වැඩක් නැහැ මේ හුස්ම ටික නැත්නම් කියලා.

මම මොනතරම් ලස්සන අඳුම් පැළඳුම් අල්මාරිවල එකතු කරලා තිබුණාට ඒවා ඇඳගෙන එළියට බහින්න බැරිනම් මොකද්ද ඒ දේවල්වල තිබෙන වටිනාකම. ඇත්තටම මම හිතන්නෙ මේ ව්‍යසනය තුළින් කළේ අපට අත්හැරීම පහසු කරන එක.

අපට තේරැම් ගියා අපිට අපි ගැන විතරක් හිතලා ආත්මාර්ථකාමී ලෙස ජීවත්වෙන්න බැරි බව. බුදුදහම තුළින් අපට කියාදුන් දේවල් අපේ ඇස් ඉදිරියේම ඔප්පුවෙලා තියෙනවා. මම හිතන්නෙ මේක වෙස් වලාගෙන ආපු ආශීර්වාදයක් කියලයි.

• විනෝජා නිලන්ති

කොරෝනා වසංගතය නිසා අපේ වෘත්තියට විශාල බලපෑමක් එල්ලවුණා. රංගන ශිල්පිනියක් වගේම ටෙලිනාට්‍ය නිෂ්පාදිකාවක් හැටියට මට මේ තත්ත්වය බලපෑවා.

මම නිෂ්පාදනය කළ සඳ විමන ටෙලිනාට්‍යය මේ දිනවල ස්වාධීන රෑපවාහිනී සේවය ඔස්සේ සතියේ දිනවල රාත්‍රී 7ට විකාශය වෙනවා. මම ඒකෙ කොටස් 69ක් සම්පූර්ණ කරලා තියෙනවා. ඉතිරි කොටස් රෑගත කිරීම විශාල අභියෝගයක් වෙලා තියෙනවා මේ ව්‍යසනයත් එක්ක. අපට කොහෙන්වත් සහනයක් ලබාගන්න විදිහකුත් නැහැ, මොකද හැම ක්ෂේත්‍රයක්ම ආර්ථික වශයෙන් කඩා වැටිලා තියෙනවා මේ හේතුව නිසා.

මම මට හැකි විදිහට අපේ ආදරණීය කලා ශිල්පීන්ට උදව් උපකාර කළා. ඒ වගේම තමයි ඇඳිරි නීතිය පනවපු මුල්කාලෙ අපිට අවශ්‍ය දේවල් ගෙනත් දුන්නොත් මගේ යාළුවො තමයි.

ජාති ආගම් භේදයකින් තොරව මිනිස්සු එකිනෙකාට උදව් උපකාර කළා. ඒකයි මනුස්සකම කියන්නෙ. රජය හා අනෙකුත් පාර්ශ්වයන් එකතුවෙලා කොරෝනා මර්දන ක්‍රියාවලිය සාර්ථකව කරගෙන යනවා. ජනතාව හැටියට අපි හැකිතරම් පරෙස්සම් වුණොත් තමයි අපට මේ උවදුර අපේ රටින් තුරන් කරන්න පුළුවන් වෙන්නෙ. ඇඳිරි නීතිය අයින් කළත් අපි ඉතාමත්ම පරෙස්සමෙන් එදිනෙදා වැඩ කටයුතු කළ යුතුයි. කොච්චර සල්ලි තිබුණත්, ඒකෙන් කරන්න බැරි දේවල් තිබෙන බව මේ කොරෝනා වසංගතය අපට කියලා දුන්නා.

• නෙලූ ප්‍රනාන්දු

ලංකාවෙ අපි වගේම ලෝකෙ හැම රටකම මිනිස්සු මේ අත්දැකීමට මූණ දුන්නා. 

මම වැඩ කරන්නෙ කොළඹ පෞද්ගලික බැංකුවක. ඒත් මගේ ගෙවල් තියෙන්නෙ බලංගොඩ. ඇඳිරි නීතිය පනවපු මුල් දවසෙ මම කොළඹින් බලංගොඩට යන්න පුදුම විදිහට අසරණ වුණා. මඟින් මගට වාහන තුනකින් ගිහින් තමයි ගෙදරට සේන්දු වුණේ. එහෙම ගිහින් මම දවස් 14ක් ස්වයං නිරෝධායනය වෙලා හිටියා අපේ පවුලේ සාමාජිකයින්ගේ ආරක්ෂාව ගැන හිතලා.

ගෙදර හිටිය දවස් 45ක කාලය තුළ මම ගෙදරට උවමනා කරන එළවළු පලාවර්ග ගොඩක් අලුතින් පාත්ති හදලා වවන්න පටන් ගත්තා.

ආසාවෙන් හැදුවට ඊට පස්සේ ඒවා නෙලාගෙන කන්නත් දුක හිතුණා. මොකද පොඩි ළමයෙක් ඇති කරනවා වගේ ආදරෙන් හදපු නිසා.

තාක්ෂණේ අතින් අපි කොච්චර දියුණුවෙලා හිටියත් බැංකුවේ සල්ලි තිබුණත්, අවශ්‍ය වෙලාවට අතේ සල්ලි නැතිවෙනකොට අපි කොච්චර අසරණ වෙනවද කියලා හොඳටෝම තේරැම් ගියා මේ වගේ අවස්ථාවක.

මම මාස 1 ½ට පස්සේ ආයෙත් කොළඹ වැඩට ආවා. මාව බලංගොඩින් කොළඹට බස්සන්න ආපු වාහනේ මල්ලි ආපහු බලංගොඩට ගිහින් දවස් 14ක් නිරෝධායනයට ලක්වෙලා ඉන්න සිද්ධ වුණා. එය දැනගෙන තමයි ඔහු මාව කොළඹට බස්සන්න ආවෙ. ඒ වගේ මනුස්සකම් තියෙන සැබෑ මිනිසුන් තාම මේ ලෝකෙ ඉන්නවා. දවස් 45කට පස්සෙ කොළඹ ආවම අක්කයි අම්මයි මට අවශ්‍ය හැම දෙයක්ම අරන් දුන්නා.

මම ගෙදර හිටිය කාලෙ මහ පොළොවත් එක්ක, පරිසරයත් එක්ක බද්ධවෙලා හිටිය එක ගැන හිතට දැනෙන්නෙ පුදුම සතුටක්.

• නිල්හාන් සෙනෙවිරත්න

මේ අවුරුද්දෙ මගේ තිබුණ ලොකුම බලාපොරොත්තුව තමයි ජැක්සන් ඇන්තනීගේ එකගෙයි සොකරි චිත්‍රපටය. අවුරුදු 10කට විතර පස්සෙ ඇඳුම් නිර්මාණ ශිල්පියකු හැටියට මම එන්නෙ මේ චිත්‍රපටයෙන්. මම කොහොමත් චිත්‍රපට භාරගන්නෙ හොඳටම තෝරලා බේරලා.

එකගෙයි සොකරි ප්‍රචාරක පටය තිරගත වීමත් සමඟ ඒ සඳහා හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒත් කොරෝනා අර්බුදය නිසා මේ චිත්‍රපටය තිරගත වීමේ කාලවකවානුවක් හරියටම කියන්න බැහැ.

ගමන් බිමන් යාම වගේම සාප්පු සවාරි යාම තමයි මගේ ප්‍රධානම විනෝදාංශ දෙක. ඒත් මේ ව්‍යසනය නිසා මට ගෙදරට කොටුවෙලා ඉන්නට සිද්ධ වුණා. ගෙදර බිත්ති හතරට හිරවී හිටිය කාලය තුළ මම නම් ජීවිතේ වටිනා දෙයක් ඉගෙන ගත්තා. ඒ තමයි තනියෙන්ම කෑම උයන එක. මම වෙනමම ජීවත් වෙන්න පටන් ගත් කාලයෙ ඉඳලා කෑම හදන්න මම වෙනම කෙනෙක් ගෙන්න ගත්තා.

ඒත් මේ උවදුර කාලෙ, ආරක්ෂාව හා සෞඛ්‍ය පැත්තෙන් ප්‍රවේසම් වෙන්න සිද්ධ වුණු නිසා මම තනියෙන් උයන්න ඉගෙන ගත්තා. මේ කාලෙ මට සිද්ධවුණු හොඳම දේ තමයි ඒක.

මේ කොරෝනා වසංගතය අපිට කියාදුන්නු ලොකුම පාඩම තමයි නිරෝගී සුවය තරම් වෙනත් කිසිම දේක වටිනාකමක් නැති බව.

• එච්.ඩී. ප්‍රේමසිරි

මේ අත්දැකීම අපි කිසි කලෙක බලාපොරොත්තු නොවුණු නුහුරු දෙයක්. අපි කියවලා තියෙනවා. අතීතයේ මේ වගේ වසංගත තිබිලා තියෙන විත්තිය.

අපි දවස් 45ක් විතර කිසිම වැඩක් කළේ නැහැ. අපි කවදාවත් හිතුවෙ නැහැ අපේ ආයතන එක දිගට දවස් දෙකක්වත් වහලා තියන්න පුළුවන් කියලා. මේ කාලෙදි මට ගොඩාක් කියවන්න අවස්ථාව ලැබුණා.

ඉදිරියේදී මේකෙන් ඉගෙන ගත්ත දේවල් එක්ක ඉස්සරහට යන්න අපි අධිෂ්ඨාන කරගත යුතුයි. තිබුණු තත්ත්වයට වඩා අපේ වැඩකටයුතු හොඳින් කරගෙන යන්න අපි හැදෙන්න ඕනෙ. අපේ නම් බලාපොරොත්තුව ඒකයි. අපට ප්‍රකාශන ක්ෂේත්‍රයේ වගේම චිත්‍රපට නිෂ්පාදන ක්ෂේත්‍රයේ කෙටිකාලීන අභියෝගවලට මූණ දෙන්න වෙයි. ඒත් අපි ඒවා තිබුණාට වඩා හොඳින් කරගෙන යන්න අපි උත්සාහ කරනවා.

අපට ධෛර්යයෙන් නැගී සිටින්න ඒ ශක්තිය තියෙනවා.

• රවී සිරිවර්ධන

මේ කොරෝනා වසංගතය සමස්ත ලෝකවාසීන්ට අලුත්ම අත්දැකීමක්.

මට දැනුන දේ තමයි, මේ ලෝකෙ මිනිස්සු ගමන් කරමින් හිටියෙ සොබාදහමෙ සැබෑ රිද්මය පැත්තට නෙවෙයි. අපි ඇත්තටම හොයාගෙන ගියේ මනුස්ස වර්ගයාගෙ යහපත සඳහා වූ දිසාවටද?

මේ ලෝකෙ ප්‍රබලම රටක් එක මොහොතක කිව්වා කොරෝනා රෝගීන් බේරාගන්න ඒ ගොල්ලන්ට වෛද්‍ය පහසුකම් නැහැ කියලා. හැබැයි ඒ ගොල්ලො යුද්ධයක් කරන මොහොතක කවදාවත් පහසුකම් අඩු වුණේ නැහැනෙ.

මානව සංහතිය රකින වෙලාවට ඒ ගොල්ලන්ව රුකගන්න ඒ ප්‍රබල රටට පහසුකම් නැහැ. ඒගොල්ලො කලබල වෙනවා. හැබැයි මානව සංහතිය විනාශ කරන්න ඕන වෙලාවට ඒගොල්ලන්ට ඒ සියලු අති නවීන පහසුකම් තියෙනවා. මානව සංහතිය විනාශ කරන්න ඩොලර් බිලියන, ට්‍රිලියන ගණන් වැය කරනවා. මේකෙන් පැහැදිලි වෙනවා ලෝක ප්‍රජාව ගමන් කරලා තියෙන්නෙ මානව සංහතිය රකින දිසාවට නෙවෙයි. ලෝකෙත් එක්ක කරපු ගනුදෙනුවෙ අවුල තමයි මේ තියෙන්නෙ. කලාකරැවො හැටියට අපි හැම තිස්සෙම හිටියෙ ආදරය හා මනුස්සකම කියන තේමාව ඉස්සරහ.

අපි හැම වර්ගයක බෙදීම්වලට එරෙහි වුණා. මේ වෙලාවෙත් ජාතිවාදය දරැණු විදිහට ඔළුව උස්සන්න හදනවා දැක්කම අපේ හිත් අප්‍රමාණව සසල වෙනවා. කලාකරැවො හැටියට අපි තවදුරටත් පෙනී හිටින්නෙ මනුස්සකම වෙනුවෙන්.

කලාකරුවෙක් හැටියට මම විතරක් නෙවෙයි, මට වඩා බහුලව අහිමිවුණු අය ඉන්නවා. අපේ ආදායම් මාර්ග අපට නැතිවුණා. ඒත් අපි හැමෝම එකට නැගිටිමු.... මම සුබවාදීව බලන් ඉන්නවා.

 රමේෂ් උවයිස්