2020 මැයි 30 වන සෙනසුරාදා

භීතිය නසන ටෙලි මෙඩිසින්

 2020 මැයි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 68

අද ලොව ඉතාමත් දියුණු මට්ටමකට පැමිණ ඇති තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය ඔස්සේ රෝගී පුද්ගලයා සහ වෛද්‍යවරයා මුණගැසීමේ නවීනතම පහසුකම දැන් ලංකාවටත් හිමිව තිබේ. ඒ ටෙලිමෙඩිසින් සේවාවක මූලික කටයුතු පසුගියදා ඇරැඹීමත් සමගිනි. රෝගීන් සමග දුරස්ථව සිට ගනුදෙනු කිරීමේ ක්‍රමයක් වන ටෙලි මෙඩිසින් (Telemedicine) හෙවත් දුරස්ථ වෛද්‍ය සේවාව යන සංකල්පයට ඇත්තේ දිගු ඉතිහාසයක් ලංකාවේද මේ ගැන කතාබහ ඇරැඹී තිබුණේ 2017 තරම් ඈත කාලයේදීය. නමුත් හා හා පුරා කියා එය පණ ගැන්වුණේ මේ නොබෝදාය. ඒ කොවිඩ් 19 ට එරෙහිව මෙරට සෞඛ්‍ය සේවාව ගෙන යන සටනට සමගාමීවය. දැන් ඈත දුර ගම්මානයක වෙසෙන පුංචිපහේ මිනිස්සුන්ටත් මහා නගරයේ සුපිරි රෝහල්වල සිටින විශේෂඥයන්ගේ සේවාව ගෙදර සිටම ලබා ගැනීමේ මහඟු අවස්ථාව උදාවී හමාරය.

බටහිර රටවල ඉතා අතීතයේ සිට පැවත එන එහෙත් අපට මඳක් අලුත් මේ ටෙලි මෙඩිසින් සංකල්පය මගින් රෝගියාට සහ වෛද්‍යවරයාට මූලික වශයෙන් ශ්‍රව්‍ය සහ දෘශ්‍ය මාධ්‍යවලින් එකිනෙකා හා සම්බන්ධ වීමට අවස්ථාව ලැබේ. 

මෙහිදී මෘදුකාංගයක් මගින් ඔවුන් සම්බන්ධ වීම සිදුවන අතර එහිදී රෝගියාට ඇති මෘදුකාංගය මගින් ඔහුට අවශ්‍ය වෛද්‍යවරයා තේරීමෙන් පසුව එම වෛද්‍යවරයා සමග ශ්‍රව්‍ය හෝ දෘශ්‍ය මාධ්‍ය වලින් සම්බන්ධ වී තමාගේ සෞඛ්‍ය ගැටලු නිරාකරණය කරගැනීමටත්, රෝග විනිශ්චයන් ලබාගැනීමටත් රෝගියාට පහසුකම ලැබේ. ඇතැම් මෘදුකාංගවල තවත් නවීකරණයක් ලෙස වෛද්‍යවරයා රෝගය පරීක්ෂා කිරීමෙන් පසුව ලෙඩාට අවශ්‍ය ඖෂධ වලංගු ඩිජිටල් බෙහෙත් වට්ටෝරුවක් මගින් ලබාදීමත් එහිදී රෝගියාට තමාට කැමති ඖෂධ ශාලාවකින් එය නිවසටම ගෙන්වා ගැනීමේ පහසුවත් සලසා ඇත. තවද රෝගියාගේ රෝග විනිශ්චය සඳහා වෛද්‍යවරයාට අවශ්‍ය නම් රුධිර හෝ වෙනත් ජෛව සාම්පල් පරීක්ෂාවක් කිරීමට මෘදුකාංගය මගින්ම ඒ සඳහා සුදුසුකම්ලත්  පර්යේෂණාගාරයකට පැවරීමේ පහසුකම ඇත. මෙහිදී අදාළ වාර්තාව පර්යේෂණාගාරය විසින් මෘදුකාංගයටම නැවත එක් කිරීමෙන් පසුව වෛද්‍යවරයාට එය විමසා බලා රෝග විනිශ්චය කිරීමේ පහසුව ලැබේ. දැනට පවතින වාතාවරණය යටතේ Covid 19 වසංගත තත්ත්වය යටතේ ප්‍රතිකාර ලබාදීමට මේ ටෙලි මෙඩිසින් සංකල්පය ඉතා වැදගත් වේ.

මේ වනවිට Covid 19 වසංගත තත්ත්වය නිසා ලෝකය පුරා මිනිසුන්ගේ එදිනෙදා ජීවිතය පවා අඩපණ වී ඇති අතර, එයට කෙනෙකු ඉන්නා ස්ථානය, වයස, හෝ ආදායම් තත්ත්වය යන මේ කිසිදු සාධකයක් බලනොපායි. සෞඛ්‍ය සේවාවලටද ඉමහත් බලපෑමක් Covid 19 වසංගතය ඇති කර ඇත. විශෙෂයෙන්ම COVID-19 හමුවේ බෝ නොවන රෝග සහිත රෝගීන් බහුතරයකට තමා නිතර හමුවන වෛද්‍යවරයාගෙන් නිරතුරුවම උපදේශන ලබාගෙන පරීක්ෂා කිරීමකට ලක්වීම අවශ්‍ය වන බැවින් වෛද්‍යවරුන්ට දුරස්ථව සිය රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය Tele Medicine සේවා සම්බන්ධතා පහසුකම් සැලසීම වඩාත් කාර්යක්ෂම පහසු ලාබදායී එමෙන්ම වඩාත් ආරක්ෂාකාරි, නිශ්චිත උපකාරක සේවාවක් ස්ථාපිත කිරිමක් වනු ඇත. මේ යටතේ ලංකාවේ වෛද්‍යවරුන්ට දුරස්ථව සිය රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය Tele Medicine සේවා සැලසීම සඳහා රටේ ප්‍රධාන ජාතික සහ ශික්ෂණ රෝහල් 16ක බෝ නොවන රෝග සායන ඩිජිටල්කරණයට ලක්කිරීමේ මූලික පියවර ආරම්භ වී හමාරය.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් සෞඛ්‍ය සේවා සම්පාදක ආයතනයක්ද ශ්‍රී ලංකාවේ  ප්‍රධාන පෙළේ  සන්නිවේදන සම්පාදක ආයතනයක්ද රජයේ ඊ සෞඛ්‍ය පද්ධතිය සවිමත් කරමින් තවත් ප්‍රධාන මට්ටමේ දුරකතන අලෙවි ආයතනයක් හා එක්ව රජයට කිසිදු පිරිවැයක් දැරීමට සිදු නොවන ආකාරයට ඉහත කී සේවාව ඉටුකිරීමට පහසුකම් සලසා තිබේ.

මේ අපූරු ඩිජිටල් සේවාව කොවිඩ් 19 වසංගත කාලේ තාලේටම ගැලපෙන්නකි. මේ ඩිජිටල් සෞඛ්‍ය සේවා හරහා වෛද්‍යවරුන්ද ප්‍රමූඛ සෞඛ්‍ය සේවා කාර්යමණ්ඩල සාමාජිකයින් සහ රෝගීන් කොවිඩ් 19 බඳු වෙනත් ආසාදන සඳහා අනවශ්‍ය පරිදි නිරාවරණය වීමට ඇති අවස්ථා විශාල වශයෙන් අවම කරයි. මෙවැනි පහසුකම් හරහා වෛද්‍ය උපදේශන ක්‍රියාවලිය කාර්යක්ෂම වන අතර, මෙයින් රෝගීන්ට සිදුවන පීඩනයද අවම වේ. රෝහල් 16ක ක්‍රියාත්මක කෙරෙන මෙම සේවාවේ මූලික අදියරේ සාර්ථකත්වය අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග දෙපාර්තමේන්තුව විසින් සෙසු රෝහල්වලද මෙම සේවාව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරයි.

සෞඛ්‍ය සේවාවලට ඇති අධික ඉල්ලුම නිසා එම ඉල්ලීමට සරිලන සැපයුම ලබාදීමට නොහැකිව ලෝකයේ බොහෝ රටවල්වල සෞඛ්‍ය සේවා අඩපණ වී ඇත. එසේම බොහෝ දෙනාට සමාන අවස්ථා ලැබීමේ අවස්ථාවද අහිමිව තිබේ .TeleMedicine (ටෙලි මෙඩිසින්) සංකල්පය මෙහිදී ඉතා වැදගත් වේ. එහිදී සෑම රෝගියෙක් හටම තරාතිරම නොබලා ඉහළම විශේෂඥයන්ගේ සුපිරි ප්‍රතිකාර ලබා ගැනීමේ සම අවස්ථාව උදාවේ.

මේ නව ඩිජිටල් සේවාව රෝගියා මුල් අවස්ථාවේ හඳුනාගැනීමටත්, රෝගියාව සෞඛ්‍ය සේවා සමඟ ඉතා පහසුවෙන්  සම්බන්ධ කිරීමටත් අවස්ථාව ලැබේ. තවද, අදාළ රෝගීන් අදාළ ප්‍රතිකාර අංශවලට ඉක්මනින් යොමු කිරීමට හැකියාව ලැබෙන නිසා සෞඛ්‍ය සේවාවල කාර්යක්ෂමතාවය වැඩිකිරීමට ඉවහල් වේ. ශ්‍රව්‍ය සහ දෘශ්‍ය මාධ්‍ය මගින් රෝගියාගේ රෝග විනිශ්චය කිරීමට හැකි නිසා සමාජයේ රෝගීන් විශාල ප්‍රමාණයකට එකවර සේවා සැපයීමටත් මේ නිසා හැකියාව ලැබේ.

ටෙලි මෙඩිසින් සේවාවේදී රෝගීන් භෞතිකව පරීක්ෂා කිරීමේ අවස්ථාව වෛද්‍යවරුන්ට අවම වුවත්, ඔවුන්ට රෝග ලක්ෂණ සහිත රෝගීන්ව නියමිත පරීක්ෂණ මධ්‍යස්ථානවලට ප්‍රමාදයකින් තොරව යැවීමට මෙන්ම, ඒ හා සම්බන්ධව සෞඛ්‍ය නිලධාරීන්ව දැනුවත් කිරීමටත් අවස්ථාව ලැබේ. එත් සමගම සාමාන්‍ය ජනතාවට ටෙලි මෙඩිසින් සේවාව මගින් රෝග පිළිබඳ විස්තර දැනගැනීමටත්, එය වළක්වා ගැනීම සහ වසංගත තත්ත්වය පාලනය පිළිබඳව සෞඛ්‍ය සේවා නිලධාරීන්ගෙන් තොරතුරු ලබාගැනීමටත් හැකියාව ලැබේ. තවද රෝහල්වලදී ටෙලි මෙඩිසින් සේවාව මගින් රෝගය බෝවීමට වැඩි අවදානමක් සහිත රෝගීන්ගේ අසලට නොයා ශ්‍රව්‍ය-දෘශ්‍ය මාධ්‍ය සහ කැමරා භාවිතය මගින් දුරස්ථව ඔවුන්ගේ තත්ත්වය පරික්ෂ කිරීමට සෞඛ්‍ය සේවා නිලධාරීන්ට අවස්ථාව ලැබේ.

මේ මගින් නිතරම සෞඛ්‍ය සේවා නිලධාරීන් විසින් විශේෂිත ආවරණ පැළඳ රෝගීන්ගේ කාමරවලට වැඩි වාර ගණනක් ඇතුල්වීම වළක්වා ගැනීමට හැකියාව ලැබේ. තවද ටෙලි මෙඩිසින් සේවාව මගින් ප්‍රතිකාර අවශ්‍ය නොවන ජනතාව අනවශ්‍ය ලෙස රෝහල්වලට ඇතුල්වීම වැළැක්වීම මගින් රෝහල් ආශ්‍රිතව බෝවන රෝග ව්‍යාප්තිය පාලනයටත් විශේෂයෙන් කාලීනව Covid 19 වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීමටත්, මෙන්ම ඔවුන්ව අනවශ්‍ය ලෙස පෝලිම්වල සිටීමෙන් වළක්වා නිවෙස්වලම ආරක්‍ෂිත ලෙස සිටීමට ඉඩකඩ ලැබේ. තවද, වයස්ගත අය මෙන්ම, ප්‍රතිශක්තිකරණය අඩු ජනතාව දුරස්ථව රුකබලා ගැනීමට මේ මගින් ඉවහල් වේ.

 සුගත් පී. කුලතුංගආරච්චි

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00