2020 මැයි 30 වන සෙනසුරාදා

දොරවල් වහගෙන සංචාරකයන් ගෙන්වා ගන්න බැහැ

 2020 මැයි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 118

චන්ද්‍රා මොහොට්ටි සංචාරක ව්‍යාපාරයේ අනතුරු ගැන කතා කරයි

කොරෝනා හමුවේ සංචාරක කර්මාන්තයේ අනාගතය පිළිබඳ සංවාදය ඇරඹීමට මේ සුදුසුම කාලයයි. ඒ සඳහා මෙරට සංචාරක කර්මාන්තයේ වසර හතළිස් පහක අත්දැකීම් සපිරි ප්‍රවීණයකු අපි ඔබ හමුවට කැදවාගෙන ආවෙමු. චන්ද්‍රා මොහොට්ටි මහතා වර්තමානයේ ගෝල්ෆේස් සමූහ ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා වන අතර වෝටර්ස් එජ් හෝටලයේ ජ්‍යෙෂ්ඨ අනුශාසක සහ සමාන්‍යාධිකාරී ලෙස කටයුතු කරයි. එසේම මොහොට්ටි මහතා ශ්‍රී ලංකා හෝටල් විද්‍යාලයේ හිටපු සභාපතිවරයෙක් ද වෙයි.

සංචාරක කර්මාන්තයේ අනාගතය කියවාගැනීමට මත්තෙන් කර්මාන්තයේ මේ මොහොත පිළිබඳ සාකච්ඡා කිරීමට අපි උත්සුක වීමු. චන්ද්‍රා මොහොට්ටි මහතාට අනුව සංචාරක කර්මාන්තයේ වාස්තවික තත්ත්වය අවබෝධ කර ගැනීමට කෝවිඩ් වසංගතයේ සොභාවය ස්වාභාවය තේරැම් ගත යුතුය.

“ අප මුහුණ දෙමින් සිටින්නේ පෙර බලාපොරොත්තු නොවුණු , මීට පෙර සිදුනොවුණු , ඊළඟට කුමක් සිදුවේ දැයි නොදන්නා සිදුවීම් පෙළකට. ඕනෑම කර්මාන්තක වෘත්තීකයකුට සාමාන්‍යයෙන් තමන් කරන දෙය පිළිබඳ අධ්‍යයනයක් වගේම අත්දැකීම් තියනවා. නමුත් මේ මොහොතේ ඒ තත්ත්වය වෙනස්. මට පෞද්ගලිකව ත්‍රස්තවාදී බෝම්බ තුනක අත්දැකීම් තියනවා. නමුත් ඒ තත්ත්වය මීට වඩා වෙනස්. හෝටලය නැවත හදාගත්තාහම ආයේ නැගිටින්න පුළුවන් වෙයි කියලා එදා අපිට බලාපොරොත්තුවක් තිබ්බා. අපි හතුරාව හඳුනගෙන හිටියේ අද අපිට තාමත් හතුරාව හඳුනා ගන්න බෑ."

චන්ද්‍රා මොහොට්ටි මහතා පැහැදිලි කරනුයේ  කර්මාන්තය මේ මොහොතේ මුහුණ දෙන අභියෝගයයි. බෝම්බකරුවන් පිළිබඳ අවදානමක් තිබුණත් එදා හෝටල් කාර්ය මණ්ඩලයට සාමූහික ඒ පිළිබඳව සෙවිල්ලෙන් සිටීමට හැකිවිය. එහෙත් මේ මොහොතේ හෝටල් කර්යමණ්ඩලයේ අයෙක් තුළම ඔහුද නොදැන හතුරාට සැඟවී සිටිය හැක. ආගන්තුක සත්කාරය ප්‍රධාන කරගත් පුද්ගලානුබද්ධ පහසුකම් සපයන සංචාරක කර්මාන්තයට කෝවිඩ් සතුරා දැවැන්ත අභියෝගක් වන්නේ මේ හේතුවෙනි.

“සමාජ දුරස්ථකරණය හරහා සංචාරක ක්ෂේත්‍රය අර්බුදයකට මුහුණ දෙනවා. උදාහරණක් විදිහට වේටර් කෙනෙක් අමුත්තෙකුට සත්කා‍ර කරන්නේ කොතරම් සමීපව ද, ඒ වගේම නිතරම අපි සංචාරකයන්ව උනන්දු කරන්නේ එකට සිටීම. දැන් මේ කිසිවක් කළ නොහැකියි. සමීපභාවය නොමැතිව සංචාරක කර්මාන්තය පවත්වාගෙන යාම පහසු නැහැ. ඒත් සෞඛ්‍ය උපදෙස් අනුව සමාජ දුරස්ථකරණය වගේ දේවල් නොකර ඉන්න අපිට බෑ. ලෝකයම ඉන්නේ ලොකු අවදානමක."

සුරක්ෂිතභාවය යනු සංචාරක කර්මාන්තයේ ප්‍රධානතම මූලධර්මයි. එහෙත් මේ මොහොතේ සුරක්ෂිතභාවය යනු තහවුරු කිරීමට අපහසුම දෙයකි. චන්ද්‍රා මොහොට්ටි මහතාට අනුව කෝවිඩ් උවදුරු පහව යන විට සංචාරක කර්මාන්ත ගොඩනැවීමට දේශීය සංචාරකයන් ඉලක්ක කර ගැනීම වැදගත්ය. මන්ද රටේ තත්ත්වය ගැන පළමු අවබෝධක් ලබාගන්නේ රටට පුරවැසියෝය. එහෙත් ආරම්භයක් ලෙස දේශීය සංචාරකයන් කර්මාන්ත වෙත ආකර්ෂණය කරගැනීම මෙන්ම ඔවුන්ට පහසුකම් සැපයීම සරලව ගතහැක්කක් නොවේ. ඊට අවශ්‍ය සැලසුම් සකස්කිරීම මේ මොහොතේ සිටම සිදුවිය යුත්තකි.

“ රටක ජනතාව රට අභ්‍යන්තරයේ සංචාරය කරනවා කියලා දැන ගත්තම තමා ලෝකයේ වෙනත් රටවලින් සංචාරකයෝ එන්න පටන් ගන්නේ. නමුත් එය හෙට උදෑසන සිදුවන්නක් නොවෙයි. එය වෛරසය පාලනයවනවාත් සමඟම කර්මාන්තයේ නියුතු අය විසින් මනා සැලසුම්කරණයකින් සිදුකර ගතයුතු දෙයක්. දේශීය  සංචාරකයෝ වුණත් විශාල මුදලක් ගෙවලා හෝටල් වලට එයි කියලා බලාපොරොත්තු වෙන්න අපිට බෑ. වෛරසය පාලනය කළත් ස්තරසාර ඖෂධයක් සොයා ගන්නා තෙක් අවදානම කළමනාකරණය කර ගැනීමත් පහසු නෑ. අන්න ඒ නිසයි අපි දැන්ම තියා අනාගතය වෙනුවෙන් සැලසුම් සකස් කරන්න ඕනෑ"

වර්තමානය රජය කෙරෙන කෝවිඩ් පාලන වැඩ සටහන සාර්ථක වුවහොත් මාස හයකින් පමණ දේශීය සංචාරකයන් සමඟ කර්මාන්තයේ යම් පිබිදීමක් ඇති කළ හැකිය. එය හොඳ ආරම්භයක් විය හැකි මුත් පෙර ලෙස ආදායම් ලැබෙන තත්ත්වයක් නොවන බවද අමතක කළ යුතු නැත. කර්මාන්තයේ ඉහළ සිට පහළට සිදුවී ඇති ආර්ථික බිදවැටීම පිළිබඳව ද අපි සංවාදයේ දී අවධානය යොමු කළෙමු. 

“මේක දොර වසා දාලා ගෙදරට ගන්න පුළුවන් කර්මාන්තයක් නෙවෙයි. ආදයම් නැති වුනත් නඩත්තුව සිදුවෙන්න ඕනෑ. එහෙම නොකළොත් හෝටල් නැවත ආරම්භ කිරීමේ දී විශාල ආයෝජනයක් කරන්න වෙනවා. ආදායම් නොමැතිව වියදම් කිරීමට සිදුවීම නිසාම තමයි කර්මාන්තවල වැටුප් අර්බුද වගේ දේවල් ඇතිවෙලා තියෙන්නේ. හිමිකාරීත්වය දරන ආයතන වැටුප් කප්පාදු කරන්න උත්සාහ දරණවා. කර්මාන්තයේ පැවැත්මට එය සිදු නොකර බෑ. නමුත් මම පෞද්ගලිකවම දන්නවා හැම හෝටල් සේවකයක්ම ආර්ථික අපහසුතාවයන්ට පත්වෙලා තියනවා. ගොඩක් දෙනා යැපුණේ "සර්විස් චාජ්" එකෙන්. සමහර වෙලාවට සර්විස් චාජ් එක වැඩි තමන්ගේ වැටුපට වඩා. ඒත් දැන් ඒක සම්පූර්ණයෙන්ම නැතිවෙලා යනවා. මේ ස්ථීර සේවකයන්ගේ තත්ත්වය. වෙනත් පදනම් වලින් බඳවා ගත් සේවකයන්ගේ තත්ත්වය ඊට වඩා නරකයි. ඒ නිසා ඔවුන් වෙනුවෙන් සහනයක් ලැබිය යුතුයි කියන තැන මාත් ඉන්නවා" 

හෝටල් සේවකයන්ට අමතරව කර්මාන්තය හරහා යැපෙන සංචාරක මග පෙන්නන්නන්, මෝටර්රථ ත්‍රීරෝද රථ රියැදුරන් , වෙරළ වෙළෙන්දන් ආදී බොහෝ දෙනාගේ තත්ත්වය පිළිබඳ චන්ද්‍රා මොහොට්ටි මහතා පහදයි. තවමත් ඔවුන්ගේ තත්ත්වය එතරම් පැහැදිලිව නොපෙනෙයි. එහෙත් තවත් මාසයක් දෙකක් පමණ යන විට එය මනා ලෙස පෙන්නුම් කරනු ඇත. දේශීය වශයෙන් සිදුවන මේ සියල්ල අතරේ ජාත්‍යන්තර වශයෙන් කර්මාන්තය මුහුණ දීමට නියමිත ගැටලු සහ අර්බුද පිළිබඳව ද අප කතා කළ යුතුය.

“ගුවන් යානා බහුතරය මේවන විට පොළොවේ තියෙන්නේ. සංචාරය සඳහා මගී ප්‍රවාහනය වෙන්නේ නෑ. යම් තැනක දී එය ඇරඹුණත් දුරස්ථහාවය තියාගෙන අහස් යානා පියාසරිය සිදු කළොත් ගුවන් මගීන් අඩක්ට වඩා අඩු වෙනවා. පිරිවැය වැඩි වෙනවා ටිකට් පත්වල මිල ඉහළ යනවා. නිරෝධාන රෙගුලාසි අනුව ගුවන් ගමන් වුණොත් නිරෝධනය අයකිරීම් දරලා ලෝකය පුරා සංචාරකයන් ගමන් කරයි ද කියන එක ගැටලුවක්. සමහර රටවල් අවසර දෙයිද කියන එකත් ප්‍රශ්නයක්. ඇත්තමට ලෝක මට්ටමෙන් කතා කරනකොට කෝවිඩ් සදහා  උත්තරයක් සොයා ගැනීම තමයි ඔක්කෝටම ඉස්සෙල්ලා වෙන්න ඕනෑ කියලා පේන්නේ"

‍කෙසේ වෙතත් මේ මොහොතේ සංචාරක කර්මාන්තය ඇසුරේ කිසිවක් නොකර සිටීමට වඩා යමක් කිරීමට උත්සාහ කිරීම වටිනා බව චන්ද්‍රා මොහොට්ටි මහතා පෙන්වා දෙයි. රට යම් පමණකට විවෘත වෙමින් ඇති පසුබිමක ඔහු යෝජනා කිහිපයක් ඉදිරිපත් කරයි. ඉන් පළමු වැන්න නම් take away සහ delivery ක්‍රමවේද ඔස්සේ පාරිභෝගිකයන්ට ආහාර සැපයීමයි. බොහෝ දෙනා මෙම කර්මාන්තයට මැදිහත් වී ඇති නිසා මෙය අභියෝගයකි. ඒනමුත් ජන ඒකරාශි වීමකින් තොරව හෝටල් කර්මාන්තකරුවන්ගේ හැකියාවෙන් මෙම වැඩ සටහන මෙහෙය විය හැකිය. දෙවැන්න කර්මාන්තයේ නියතු වූවන්ගේ පුහුණු අධ්‍යයන කටයුතු සඳහා මෙම කාල පරාසය යොදා ගැනීමයි.

“ලංකාවේ හෝටල් විද්‍යාලමවලට පුළුවන් බොහොම උසස් තලයේ පාඨමාලා ටිකක් ඉදිරිපත් කරන්න. දැනට මෙම ආයතන බහුල වශයෙන් කරන්නේ සූපවේදින් වේටර්වරු ආදී පිරිස් පුහුණු කිරීම. නමුත් හෝටල් ක්ෂේත්‍රයේ උසස් නිධාරීන්ට පුහුණු කිරීම අතිශය වැදගත්. තිස් වසරක යුද්ධය නිසා ගොඩාක් දක්ෂයන් ප්‍රවීණයන් රට හැර ගියා. ඒ නිසා පිට රටින් පවා කර්මාන්තයට ඉහළ පරිපාලකයන් ගෙන ඒමට අපිට සිද්ධවුණා. මේ නිසාම වර්තමානයේ මේ තනතුරවල ඉන්න අපේ පිරිසට හොඳ පුහුණුවක්  ලබාදීම වැදගත්. මේ හරහා ලෝක සංචාරක කර්මාන්තයේ ඉහළ පෙළේ රැකියා අවස්ථා පවා අපිට අත්පත් කර ගන්න පුළුවන්. එහෙම වුණොත් ලොකු විදේශ විනිමයක් රට ලැබෙනවා වගෙම දැවැන්ත කීර්තියක් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට ලැබෙනවා. මේ සම්බන්ධව වැඩටහන් අපි ඉදිරිපත් කරනවා"

දශක පහකට ආසන්න කාලයක් කර්මාන්තයේ නියතු වූ පුද්ගලයකු ලෙසත් හෝටල් විද්‍යාලයේ හිටපු සභාපතිවරයකු ලෙසත් ඔහු ඉදිරිපත් කරන යෝජනා ප්‍රායෝගිකය. කාලීනය. මෙම යෝජනාවට අමතරව දේශීය වශයෙන් කර්මාන්ත නැවත අරඹන විට හෝටල් තුළ විවිධ පරීශ්‍රය එක් එක් කණඩායම් වලට ලබාදීම වැනි යෝජනා චන්ද්‍රා මොහොට්ටි මහතා ඉදිරිපත් කරයි. සංවාදයේ අවසාන කොටසේ දී සංචාරක කර්මාන්තය පිළිබඳ ශ්‍රී ලාංකිකයන් ලෙස අපට තිබෙන ධනාත්මක ප්‍රවේශයන් ද අපි සාකච්ඡා කළෙමු.

“මේ බිඳවැටීම වෙනකොට ගමනාන්තයක් විදිහට අපේ ර‍ට ගැන ලොකු විශ්වාසයක් ඇති වෙලා තිබ්බා. පාස්කු ප්‍රහාරයෙන් වුණු බිඳවැටීම යථාතත්වයට පත්වෙමින් තිබුණා. ශක්තිමත් ආණ්ඩුවක් අලුත් පාලකයෙක් සංචාරක කර්මාන්තයට හොඳ බලාපොරොත්තුවක් වුණා. ඊට අමතරව ගෘහ සංචාරක කර්මාන්ත වගේ දේවල් නිසා අපි පිළිබඳ විශ්වාසක් තිබ්බා. කොවිඩ් හමුවේ වුණත් ඇල්ල වගේ ප්‍රදේශවල සංචාරකන්ට ලැබෙන ආගන්තුක සත්කාර ලෝකය බලාගන ඉන්නවා. කෝවිඩ් එද්දී අපේ රටේ හිටපු සංචාරකයන් ගැන රජය වකීමකින් කටයුතු කළා. සංචාරක කර්මාන්ත ආශ්‍රිත ජාත්‍යන්තර ප්‍රජාව ලංකාවේ කෝවිඩ් පාලන වැඩපිළිවෙළ පිළිබඳ ගෞරවයෙන් කතා කරනවා. අපි අනාගතයේ සෞඛ්‍ය ආරක්ෂිත ගමනාන්තයක් වෙන්න බැරි නෑ. කොවිඩ් හමුවේ අපි කොතරම් බරපතළ අර්බුදයක හිටියත් කොවිඩ් පාලනය වෙන  දවසක අපේ කර්මාන්තය ගැන පැහැදිලි ධනාත්මක තත්ත්වක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතිහාසය පුරාවට කොතරම් අභියෝගවලට කර්මාන්තයක් විදිහට මුහුණ දුන්නත් අපි ඉක්මනින්ම යථාතත්ත්වයට පත්වෙලා තියනවා.”

ලංකාවේ සුප්‍රකට තරුපංතියේ හොටල් රැසක නියමුවෙක් ලෙස කටුතු කර හෝටල් සංස්ථාව හෝටල් විද්‍යාලය ඇතුළු ආයත රැසකම මුල් පුටුවල රාජකාරි කළ චන්ද්‍රා මොහොට්ටි මහතාගේ මේ ධනාත්මක පැහැදිලි කිරීම අවසානයේ අපිට යම් අස්වැසිල්ලකි. ඉතින් දැන් අපට කෝවිඩ් පරදා ජය ගන්න වෙරදරන අතරේ රටක් ලෙස අපට සංචාරක කර්මාන්ත පිළිබඳවත් අලුත් බලාපොරොත්තුවක් තබාගත හැකිය.

සංවාද සටහන - චමිඳු නිසල් ද සිල්වා