2020 මැයි 23 වන සෙනසුරාදා

ඇඳිරිය අස්සේ නහුතෙට නැග්ග කසිප්පු පෙරිල්ල

 2020 මැයි 23 වන සෙනසුරාදා, පෙ.ව. 05:59 76

ඉතිහාසයේ කිසිදිනෙක අසන්නට නොලැබුණු තරමේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය ප්‍රවාහනය හා අලෙවි කිරීම සම්බන්ධයෙන් තොරතුරු ජනමාධ්‍ය මගින් වාර්තා කෙරිණ. ඒ නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබූ ඉකුත් සමයයි. කොරෝනා වසංගතය, ඇඳිරිනීතිය හා අලුත් අවුරුදු සමය එකදිගට යෙදී තිබියදී සීඝ්‍රයෙන් ඉහළ ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය අතරමැද ගෘහස්ථව කසිප්පු පෙරීම බරපතළ ලෙස වර්ධනය වී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

මෙකී ජාවාරම්වලට එරෙහිව සුරාබදු දෙපාර්තමේන්තුව පොලීසිය, විශේෂ කාර්ය බළකාය හා නාවික හමුදාව වෙන් වෙන් වශයෙන් වැටලීම් රාශියක් සිදුකර තිබිණ. එහිදී නීති විරෝධී මත්පැන් තොග සමග නිෂ්පාදන උපකරණ, නවීන රථවාහන, දේපළ සමඟ සැකකරුවන් රැසක්ද අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ. මේ අතර සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ දීපව්‍යාප්තව සාර්ථක වැටලීම් 3079ක් සිදුකිරීමට සමත්වූ බවය.

එම වැටලීම් අතරට නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය සිදුකළ ස්ථාන වැටලීම් 466ක් නීති විරෝධී මත්පැන් සන්තකයේ තබාගැනීම හා විකිණීමට අදාළ වැටලීම් 177ක් නීතිවිරෝධී ලෙස නිෂ්පාදිත ස්ප්‍රීතු ප්‍රවාහනය හා විකිණීමට අදාළ වැටලීම් 1446ක් නීති විරෝධී ලෙස මහ රා සන්තකයේ තබාගෙන ප්‍රවාහනය හා විකිණීමට අදාළ වැටලීම් 575ක් නීති විරෝධී ලෙස රජයේ අරක්කු සන්තකයේ තබාගැනීම ප්‍රවාහනය හා අලෙවිය සම්බන්ධ වැටලිම් 167ක් නීති විරෝධී ලෙස විදේශීය මත්පැන් ළඟ තබාගැනීම ප්‍රවාහනය හා අලෙවියට එරෙහිව වැටලීම් 63ක් මෙන්ම තොරතුරු වසන් කිරීම සම්බන්ධයෙන් වැටලීම් 7ක් වන බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා අවධාරණය කළේය. ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙම වැටලීම් පසුගිය මාර්තු 15 වැනිදා සිට මැයි 11 වැනිදා තෙක් සිදුකළ බවය.

මීට අමතරව වස විස අබිං හා අන්තරායකාර ඖෂධ පිළිබඳ ආඥා පනත හා මෝදක මනෝවර්තක පිළිබඳ සම්මුති පනත යටතේ වැටලීම් 137ක් සිදුකිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව සමත්ව සිටී. ඒ අතරට හෙරොයින් හා කොකේන් වැටලීම් 56ක් ගංජා සන්තකයේ තබාගැනීම හා අලෙවියට එරෙහිව වැටලීම් 2ක් හා වෙනත් මත්ද්‍රව්‍යවලට එරෙහිව වැටලීම් 4ක් සිදුකර තිබේ.

එසේම දුම්කොළ බදු පනත හා දුම්කොළ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනත යටතේ සිදුකර තිබෙන වැටලීම්වල එකතුව 38කි. ඒ අතරට බදු නොගෙවූ සිගරට් සන්තකයේ තබාගැනීම සම්බන්ධ වැටලීම් 19ක් අවුරැදු 21ට පහළ අයවළුන්ට දුම්කොළ නිෂ්පාදන අලෙවි කිරීමට එරෙහි වැටලීම් 8ක් හා ජනාකීර්න ස්ථානවල දුම්පානය ඇතුළු වෙනත් අපරාධ 11කට එරෙහිව වැටලීම් සිදුකර ඇත.

මත්පැන් හා මත්ද්‍රව්‍ය ශරීරගතවීම කෙනෙකුගේ ප්‍රතිශක්තිකරණය අඩුවීමට ප්‍රබල හේතුවකි. සෞඛ්‍ය අංශවල උපදෙස් ලැබුණේ වහා ක්‍රියාත්මක වන පරිදි සුරාසැල් වසා දැමීමටය. ඒ කොවිඩ් - 19 ආසාදනය අවම කර ගැනීමේ උපක්‍රමයක් වශයෙනි. සුරාසල් වසාදැමීමත් සමඟ රටපුරා මත්පැන් හිඟයක් ඇතිවූ අතර ඇතැම් ස්ථානවල වලංගු මත්පැන් බෝතල් අධික මිල ගණන්වලට අලෙවි කිරීමේ සිදුවීම් වාර්තා විය. එමෙන්ම නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය වෙළඳාම හා ප්‍රවාහනය පිළිබඳ තොරතුරු රැසක්ද වාර්තා විය. මේ අතුරින් බහුතරයක් ගෘහාශ්‍රිතව සිදුකිරීම බරපතළ ගැටලුවක් බවට පත්ව තිබිණ. මේවාට එරෙහිව සුරාබදු දෙපාර්තමේන්තුව සමග ආරක්ෂක අංශ වැටලීම් රැසක් සිදුකළ අතර එහිදී සිදුවූ විවිධාකාර ගැටුම් ගණනාවක්ද වාර්තා විය.

රජයේ බලපත්‍රලාභී සුරාසල් හරහා දිනකට රජයට ලැබෙන බදු ආදායම රුපියල් මිලියන 15ක් ඉක්මවන බවත් එම ආදායම අත්හැර සුරාසැල් වසා තැබීමට ආණ්ඩුව පියවර ගත්තේ මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන සිතමින් බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. සුරාසල් වසා තැබීමත් සමඟ ඇතිවූ මත්පැන් හිඟයට විසඳුමක් වශයෙන් නීති විරෝධීව මත්පැන් නිෂ්පාදනයට ජාවාරම්කරුවන් උත්සාහ කොට තිබිණ. මේ තත්ත්වය තුළ තොග වෙළෙඳසල්වල සීනි හා යීස්ට් විශාල වශයෙන් අලෙවි වී තිබෙන බවද වාර්තා විය. අනවශ්‍ය ලෙස මෙකී ද්‍රව්‍ය අලෙවි වී ඇත්තේ නීති විරෝධී මත්පැන් පෙරීම සඳහා බවට පැහැදිලි වන බවද ආරක්ෂක අංශ විසින් පෙන්වා දෙයි.

ඉහත වැටලීම් සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලවල නිලධාරීහු සක්‍රීයව දායක වූහ. ඒ අනුව අනුරාධපුර - 96ක්, ඇඹිලිපිටිය 74ක්, කුලියාපිටිය 73ක්, කෑගල්ල 60ක්, මාතලේ 56ක් හා බලන්ගොඩ 53ක් වශයෙන් වැලලීම් සිදුකර තිබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව වාර්තා කරයි. ඇඳිරි නීතිය ක්‍රියාත්මක සමයේ සිදුකළ මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගත් සැකකරැවන් අදාළ මත්පැන් හා උපකරණ සමඟ අධිකරණයට යොමුකර අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතුද සිදුකර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේය.

 සමන්ත ප්‍රදීප් විල්තෙර