2020 මැයි 23 වන සෙනසුරාදා

මහ බැංකුව පෙන්වන කෝවිඩ් අන්ධකාරය

 2020 මැයි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 200

කෝවිඩ් 19 වසංගත තත්ත්වය නිසා ලොව සමස්ත ආර්ථිකය සෘණ අගයක් ගනු ඇතැයි  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ විවිධ ජාත්‍යන්තර සංවිධාන පවසන පසුබිමක ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ධන අගයක් ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙය විමතියට කරුණක් බව ඇතැමුන් කියතත් අන්ධකාරය තුළින් ඉදිරියට යාමට ශ්‍රී ලංකාව භාග්‍යසම්පන්න වන බවට සමහර විශ්ලේෂකයෝ අනාවැකි පළකරති.

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව කියන්නේ 2019 වසරේ ශ්‍රී ලංකා ආර්ථිකය ලබා ඇති සියයට 2.3ක් වූ වර්ධනයට සාපේක්ෂව විවිධ උපද්‍රව්‍ය මධ්‍යයේ වුවද සියයට 1.5ක වර්ධනයක් අපේක්ෂා කරන බවය.
කෝවිඩ් 19 වසංගතය හේතුවෙන් ආර්ථිකයේ තාවකාලික පසුබැසීමක් ඇතිවුවද දිගුකාලීනව පැවති ව්‍යූහාත්මක ගැටලු විසඳීම සහ දේශීය නිෂ්පාදනය පුළුල් කිරීම, අපනයන ඉහළ නැංවීම, විදේශීය සෘජු ආයෝජන ආකර්ෂණය කරගැනීම වැනි ප්‍රතිපත්ති අවකාශයන් සම්පාදනය තුළින් ආර්ථික වර්ධනය සඳහා සහාය වන ප්‍රතිසංස්කරණ ප්‍රමාදයකින් තොරව ක්‍රියාවට නැංවුවහොත් ඉදිරියේදී තිරසාර හා සැමට ප්‍රතිලාභ ලැබෙන ආකාරයේ ආර්ථික ප්‍රගතියක් අත්පත්කර ගැනීම සහ සමෘද්ධිමත් ජාතියක් බවට පත්වීම යන අපේක්ෂිත ප්‍රතිඵල ළඟා කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇත. (පිටු අංක 2 - ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව 2019)

මෙම පුරෝකතනවලින් පැහැදිලි වන්නේ ආර්ථික ප්‍රතිසංස්කරණ සාර්ථකව ක්‍රියාත්මක කළහොත් 2020 වසර වනවිට අපේක්ෂිත වර්ධනය ලබාගත හැකිවන බවය.
පාස්කු ප්‍රහාරය සහ ඉන් වසරක් ගත වන තැන ඇති වූ කෝවිඩ් 19 වසංගතය නිසා ශ්‍රී ලංකා ආර්ථිකයට එකපිට එක පහර එල්ල වූ බව රහසක් නොවේ. මූඩිස් ආයෝජන සේවා සමූහ සමාගමේ නවතම වාර්තාව සනාථ කරන්නේ කෝවිඩ් වසංගතය නිසා ශ්‍රී ලංකාවට වූ ආර්ථික හානිය බිලියන 900ක් බවය. එය 2020 ඇස්තමේන්තු ගත දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගත්විට 5.7ක් බව කියයි.

ගෝලීය ආර්ථික හානිය ගැන ඇස්තමේන්තු කරන මූල්‍ය අරමුදල වාර්තා කර ඇත්තේ 2020 – 21 වසරවල ලෝක ආර්ථිකයට සිදුවන හානිය අමෙරිකානු ඩොලර් බිලියන 900ක් බවය. එම ප්‍රමාණය ජපානයේ හා ජර්මනියේ ආර්ථිකවල මුළු වටිනාකමට වැඩි බව ගණන් බලා ඇත. මූල්‍ය අරමුදල කියන්නේ 2019දී සියයට 2.9ක් වූ ලෝක ආර්ථික වර්ධනය 2020 වසර වනවිට සෘණ සියයට -3 දක්වා පහළ බසිනු ඇති බවය. අමෙරිකාව සෘණ -5.9ක් යුරෝපය සෘණ -7.5ක් ඉතාලිය සෘණ -9.1ක් ජපානය සෘණ -5.2ක් හා එක්සත් රාජධානිය සෘණ -6.5 දක්වා පහළ බසින බව එම වාර්තාවේ දැක්වේ.

මෙම ලෝක ආර්ථික අවපාතය හමුවේ ශ්‍රී ලංකා මහ බැංකුව කියන පරිදි අපේ රට 1.5ක ධන ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරන්නේ කෙසේද යන්න පිළිබඳ ප්‍රකට ආර්ථික විශ්ලේෂකයකු වන වයඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා සමඟ කළ සාකච්ඡාවකදී ඔහු මෙසේ අදහස් පළ කළේය.

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව අනුව 2019 වසරේ අපේ ආර්ථික වර්ධනය සියයට 2.3ක් විය. කෘෂි ක්ෂේත්‍රයේ පැවැති සියයට 6.5ක් වූ වර්ධනය 2019 වනවිට සියයට 0.6ක් දක්වා විශාල ලෙස පසුබැසීමකට ලක්වූ අතර සේවා අංශයේද වර්ධනය සැලකිය යුතු ලෙස අඩු වී තිබේ.

රජයේ පුරෝකතන අනුව 2020දී අපේ ආර්ථිකය සියයට 1.5ක වර්ධනය වී 2021දී 4.5 දක්වා වැඩි වී 2024 වනවිට 6.5 දක්වා ඉහළ නගින බව මහ බැංකුව අපේක්ෂා කරයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2020 අප්‍රේල්වල නිකුත් කළ ලෝක ආර්ථික සංවර්ධන වාර්තාව අනුව 2019දී ගෝලීය ආර්ථික වර්ධනය 2.9ක් වන බව සඳහන්ය. එය 2020දී 3.3 දක්වා වැඩි වනු ඇතැයි බලාපොරොත්තු විය. එහෙත් කෝවිඩ් 19 වසංගත තත්ත්වය අනුව 2020දී -3 වන බව දැන් මූල්‍ය අරමුදල කියයි. මෙය අපේක්ෂිත ඉලක්කයට වඩා සියයට සෘණ -6.3ක පහළ යාමකි. ප්‍රධාන ආර්ථිකවල 2019දී 1.7ක සංවර්ධනයක් තිබුණ ද 2020දී සෘණ -6.1 දක්වා අඩුවන බව පැවසේ. ශ්‍රී ලංකා මහ බැංකුව කරුණු ගෙනහැර දැක්විය යුතුව ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තා අනුවය. අමෙරිකා එක්සත් ජනපදය -5.9, යුරෝපා සංගමයේ රටවල් -7.5, එක්සත් රාජධානිය -6.5 වන අතර ආසියාතික රටවල්වලට ඉදිරියෙන් ඇති චීනයේ ආර්ථික වර්ධනය 2019දී 6.1ක් වී 2020 වනවිට 1.2 දක්වා අඩුවන බව කියයි. එසේම ඉන්දියාව 1.9 ලෙසට අඩුවෙයි.

මේ වටපිටාව තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 1.5 මට්ටමක තිබීම විශ්මයජනක කරුණක් බව කිව යුතුයි. 2020දී අපේ අපනයන සියයට 60කින් අඩුවන අතර එයට හේතුව එම රටවල කෝවිඩ් අර්බුදය දරුණු වීමයි. එසේම පිටරට ග්‍රාමික ඉපයීම් ද සියයට 50කින් පමණ අඩුවන බව ගණන් බලා තිබෙන අතර අත්‍යවශ්‍ය ආනයනවල මිල ගණන් ඉහළ යන බවද පෙනෙන්නට ඇත. ඒ නිසා ශ්‍රී ලංකා මහ බැංකුව දක්වන ආර්ථික වර්ධනය දේශපාලන අගයක් යැයි යන සැකය ඇතිව තිබේ. ඒ නිසා මහ බැංකු වාර්තාවෙන් එපිටට ගොස් ජාත්‍යන්තර ආයතනවල සංඛ්‍යා ලේඛන අනුව අපේ ආර්ථික වර්ධනය මැන බැලීම වැදගත් වේ.

ජාත්‍යන්තර PWC ආයතනය 2020-04-08 දා නිකුත් කළ වාර්තාව අනුව කෝවිඩ් බලපෑම නිසා අපේ ආර්ථික වර්ධනය 2020 අප්‍රේල් වනවිට 4.5 සිට 2.2 දක්වා අඩුවිය හැකි බව කියයි. ඒ කාලයේ අමෙරිකාවේ ආර්ථික වර්ධන වේගය තිබුණේ +0.4ක මට්ටමකයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වාර්තාව අනුව ලබන වසරේ සමස්ත ආර්ථික වර්ධන වේගය     -5.9ක් වන බව පවසන අතර එයින් පෙනී යන්නේ දවසින් දවස ආර්ථිකය පිරිහෙන බවයි.
ජාත්‍යන්තර මූඩිස් ආයතනයේ අනු සමාගමක් වන ICRAහි අප්‍රේල් 16 දින වාර්තාව අනුව කෝවිඩ් බලපෑම පිළිබඳ උපකල්පන 3ක් ඉදිරිපත් කර තිබේ. එම උපකල්පන වන්නේ 1. වියහැකි බව (Probable), 2. නරක අතට පෙරලීම (Propracted), 3. හොඳ වීම (Optimistic) වේ. මේ අනුව ආර්ථිකය -1.9 සිට -3.3 දක්වා වැඩිවිය හැකි බව කියන අතර ඊළඟ අවස්ථාවේදී -0.6ක් වන බව කියැවේ. මේ වනවිට අප හොඳවීම Optimistic සීමාව පැන ඇත. මෙය වියහැකි Probable වලට ගියහොත් -1.9ක් වේ. ලංකා ඉතිහාසයේ -1.5 බවට පත්වූවේ කොටි සංවිධානය අපේ ගුවන් තොටුපොළවලට පහර දීම නිසාය. අද වෛරස හානිය එයටද වඩා වැඩිවිය යුතුය. මේ නිසා ඇඟළුම්වල පමණක් අවලංගු වූ ඇණවුම්වල අගය අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක් වේ. ප්‍රධාන ඇඟළුම් කම්හල්වල සේවක වැටුප් ගෙවීම ද ගැටලුවක් වී ඇත.

අපේ ඉදිකිරීම් කර්මාන්ත සඳහා 2019 මාර්තුවල 2,44000ක චීන ජාතිකයන් සංඛ්‍යාවක් සේවය කර ඇති නමුත් 2020 මාර්තු වන විට එම සංඛ්‍යාව 77,000 දක්වා අඩු වී තිබේ. සංචාරක පැමිණීම් 0ට බැස ඇත. විදේශ රැකියාවල නිරත පිරිස් මෙරටට පැමිණීම වැඩි වේ. සමස්ත වශයෙන් තේ අපනයනය බිඳ වැටී ඇත. මෙම තත්ත්වය රජයට චෝදනාවක් විය යුතු නොවේ. රජය මෙම සංඛ්‍යා ලේඛන සැඟවීමට උත්සාහ කරනුයේ ලජ්ජාවට විය හැකිය. එහෙත් මෙම තත්ත්වය ලජ්ජාවට කාරණයක් විය යුතු නොවේ.

රටේ අපේක්ෂිත ජාතික ආදායම 2020 වනවිට රුපියල් බිලියන 181කින් අඩුවන අතර විරුකියා අනුපාතය දැන් ඇති සියයට 4, ඉක්මනින් 9.3 දක්වා ඉහළ යා හැකි බව ජාත්‍යන්තර මෝඩි වාර්තාව කියයි. මුළු ලොවේම ආර්ථිකය කඩාවැටී ඇති අතර අපේ රටටද එයින් ගැලවීමක් නොමැති බව එහි දැක්වේ.

සංචාරක ව්‍යාපාරයේ බිඳ වැටීම සෑහෙන කාලයකට බල පැවැත්වෙනු ඇති අතර ඉන්දීය නවදිල්ලි වාර්තා අනුව ඉන්දියානුවන්ට වසර දෙකකට පිටරට සංචාර තහනම් කර ඇත. එයට හේතුව වෛද්‍ය උපදෙස්ය. එරටින් එන විශාල සංචාරකයන් ප්‍රමාණයක් මේ නිසා අපට අහිමි වෙයි. චීනයේ සහ දකුණු අප්‍රිකාවේ ඇතිව ඇති කොරෝනා දෙවැනි රැල්ල අපට තවත් නරක ලෙස බලපානවා ඇත. චීනයේ ශ්‍රමිකයන් මෙරට ව්‍යාපෘතිවලට පැමිණීම අඩුවේ. ආර්ථික සංවර්ධන බැංකුව ප්‍රකාශ කර ඇත්තේ ලෝක ආර්ථික කඩා වැටීම අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 4.1කට ආසන්න වනු ඇති බවය.

World Travel and Tourist Council වාර්තාව ප්‍රකාරව සංචාරක ක්ෂේත්‍රයේ පමණක් රුකියා මිලියන 50ක් පමණ අහිමි වී යාමේ අවදානමක් පවතී. International Air Transport Association සංවිධානය පවසන්නේ ලොව ගුවන් සේවාවලට සිදු වන පාඩුව ඩොලර් බිලියන 113ක් වන බවයි. ලොව තිබුණු හොඳම තරු 7 ගුවන් සේවයක් වන වර්ජිනියා ගුවන් සමාගම දැනට බංකොලොත් වී ඇති බව වාර්තා වේ.

සමස්ත ලෝකයේ ආර්ථික කඩාවැටිල්ල ගැන සලකා බලනවිට ලංකාවේ ආර්ථික සංවර්ධනයක් ගැන කතා කිරීම විහිළුවක් පමණකි. ගම්වල බෝග වගා කිරීමෙන් මෙයට මුහුණ දිය හැකිද? සෑම නිවෙසකම වගා කරන විට සිදුවන්නේ වෘත්තීය ගොවියා අමාරුවේ වැටීමකි. අපට තවම ආහාර අහේනියක් නොදැනුණේ පසුගිය උත්සව සමයට ගෙනා ආහාර තොග ඇති බැවිනි. දැන් ආනයනය කළ නොහැකි නිසා නුදුරේදී එන ආර්ථික අර්බුදයට පිළියමක් නැත.
මෙයින් ගොඩ ඒමට නම් දේශපාලන අර්ථකථන ඉදිරිපත් නොකර සුදු හුණු නොගා රටේ ආර්ථිකවේදීන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත්කර විසඳුමක් ලබාදීම සඳහා එයට බලතල දිය යුතුවේ. එය නිර්පාක්ෂික කමිටුවක් විය යුතු අතර රජය ඒ නිර්දේශ අනුව ක්‍රියා කළ යුතුය. එසේ නොවී ජනාධිපතිවරයා වටේ සිටින අයගේ න්‍යාය පත්‍ර අනුව ක්‍රියා කළහොත් පසුගිය දා ජනාධිපතිවරයා මිල අඩු කළ සැමන් සහ පරිප්පුවලට සිදු වූ දෙය රටේ ආර්ථිකයට සිදුවීමට ඉඩ තිබේ.
වෛද්‍යවරුන්ට බොරු කියන්න එපා. බොරු කිව්වොත් අඩි හයක් පහළට යනවා. නීතීඥයන්ට බොරු කිව්වොත් අඩි හයක් ඉහළට යනවා යනුවෙන් වහරක් තිබේ. ඒ අනුව අපට පැවසිය හැක්කේ රටේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයන්ට බොරු කිව්වොත් මුළු රටම වලපල්ලට යන බවයි.

- යසවර්ධන රුද්රිගු