2020 මැයි 23 වන සෙනසුරාදා

මේ කාලේ ඔළුව කොළොප්පන් නොකර තියාගන්න හැටි

 2020 මැයි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 8

කොතලාවල වෛද්‍ය පීඨයේ  සායනික මනෝවිද්‍යාව පිළිබඳ කථිකාචාර්ය ඕෂධී ද සිල්වාගේ උපදෙස්

කොරෝනා වෛරසය නිසා ඇතිවන COVID-19 තත්ත්වය හමුවේ අප සියලුදෙනාම අවිනිශ්චිතතාවයකින් පසුවන මේ මොහොතේ කොරෝනා වෛරසය සහ මානසික සෞඛ්‍යය ගැන ලිපියක් ලියන්න සිතුණා.

මනුෂ්‍යයන් වන් අප සියලුදෙනාම ස්ථාවරත්වය එහෙම නැත්නම් නොවෙනස්ව පැවතීම ප්‍රියකරනවා. ඉතින් අපි ජෛව විද්‍යාත්මකව සැකසී තිබෙන්නේ අප අවට ඇති අපව අනාරක්‍ෂිත කළ හැකි දේවල් ඉතාම ඉක්මනින් හඳුනාගෙන එවාට මුහුණදීමට පුළුවන් වන ආකාරයටයි. යම් අවිනිශ්චිතභාවයක්, අනාරක්‍ෂිතභාවයක් ඇති විටෙක, යම් මානසික ආතතියක්, මානසික පීඩනයක් දැනීම සාමාන්‍යයයි. එය අපේ ශරීරය තුළින්ම අපගේ ආරක්‍ෂාවට ඇතිවන ප්‍රතික්‍රියාවක්. එය එසේ වුවද​, අපට දැනෙන අවිනිශ්චිතභාවය, අනාරක්‍ෂිතභාවය බොහෝ වැඩි වුණොත් අපට ඇතිවන අපහසුතා ගොඩාක් වැඩිවෙන්න පුළුවන්. අප අවට සිදුවන දේ පිළිබඳව හරි තොරතුරක් අපට නැති වුණොත්, අහන්න දකින්න ලැබෙනදේ, ලැබෙන තොරතුරු පරස්පර විරෝධී වු‍ණොත්, අපි ආරක්‍ෂිතද නැද්ද කියලා අපටම නොතේරැණොත්, අපි ව්‍යාකූලතාවයකට පත්වෙන්න පුළුවන් දැන් අර මුඛ ආවරණයේ කථාව වගේ. කොටසක් කියනවා, මුඛ ආවරණය පලඳින්නම ඕන කියලා. තවත් කොටසක් කියනවා, මුඛ ආවරණයෙන් වැඩක් නෑම කියලා, ඒත් රූප මාධ්‍යයේ අපි දකින්නේ චීනයේ, ඉතාලියේ හැමෝම මේ මුඛ ආවරණය පාවිච්චි කරනවා).

මානසික ආතතිය​, කාන්සාව​, එහෙම නැත්නම් සරලව කියනවා නම් සිතට දැනෙන කලබලභාවයට මූලිකවම හේතුවන්නේ අපගේ පාලනය තුළ තියෙන්න ඕන කියල අපි හිතන දේවල් අපේ පාලනයේ තියාගන්න නොහැකිවීමයි ("we think we should be able to control but we can’t").

ඒ වගේම මේ මොහොතේ මේ කොරෝනා වෛරසය නිසා අපට හෝ අප ආදරය කරන කිසිවෙකුට හෝ කුමක් හෝ සිදුවේදැයි කියා, කෙසේ හෝ ඉන් බේරීමට හැකිවේදැයි සිතා අසරණභාවයක් (helplessness) දැනෙනවා විය හැකියි. මෙසේ දැනෙන අසරණභාවය​, අපගේ ජීවිතයේ ඇති වෙනත් ගැටලු, තත්වයන් සමඟත් යාවිය හැකියි. එතැනින් නොනැවතී අතීතයේ අපට අනාරක්‍ෂිතභාවයක් ගෙනදුන් යම් යම් අපහසු අවස්ථාවන පිළිබඳ මතකයන් වෙනදාට වඩා ඇතිවිය හැකියි. උදාහරණයක් වශයෙන් කුඩා කාලයේ ලිංගික අපයෝජනයට ලක්වූ කාන්තාවකට​, තමා දැරියකව සිටියදී සිදුවුණු ඒ සිදුවීම වඩ වඩා මතකයට පැමිණ ඇයව මානසිකව මහත් අපහසුතාවයට පත්විය හැකියි. එසේම මේ තත්වය යටතේ අනාගතය පිළිබඳව දැඩි අවිනිශ්චිත සිතුවිලි ඇතිවන්නට පුළුවන්.

ඉතින් කොරෝනා කිව්වට කොරෝනාම විතරක් නෙවෙයි. කොරෝනා නිසා ප්‍රේරණයවී (trigger), තත්වයට සාපේක්‍ෂ නොවන වඩා බරපතළ මානසික කැළඹීමක් ඇතිවිය හැකියි. ඒක හරියට අපිළිවෙළට රෙදි ඇහිරු අල්මාරියක් ඇරියා වගේ. අවශ්‍ය ඇඳුමට අමතරව රෙදි කන්දකට යට වෙන්න පුළුවන්. වැදගත්ම දේ තමයි, ගොඩක් වේලාවට මේක වෙනවා කියලා අපිට තේරෙන්නේ නෑ.

• පහත දේවල් වෙනවා වගේ අපිට දැනෙන්න පුළුවන්.
වෙනදාට වඩා තරහා යන්න  පුළුවන්, පොඩිදේටත් නුරුස්සන ගති, නිතරම දුකින්, අසරණකමින් හිත පිරිලා, හැමෝම එපාවෙලා වගේ දැනෙනවා, සමහර අය කොරොනා කියන වචනෙවත් අහන්න අකමැති වෙන්න පුළුවන්, ඒ සම්බන්ධ කිසිම මතක් කිරීමකටවත් කැමති නෑ, ඒවා මඟ අරිනවා.

එතකොට ඉස්සර ඉඳලාම මානසික රෝගයක්/ ගැටලුවක් ඇති අයට​, මේ තත්වය එවැනි තත්වයක් නැති කෙනෙකුට වඩා බලපාන්න පුළුවන්. විශාදය (depression) වැනි තත්වයක් තිබෙන කෙනෙක් නම්, ඒ තත්වය වැඩි වෙන්න පුළුවන්. මේ අයගේ එදිනෙදා කටයුතු පවා කළ නොහැකි තරමට පෙළඹවීම (motivation) අඩුවිය හැකියි. ඒවගේම ග්‍රස්තිය  (Obsessive Compulsive Disorder-OCD) කියන තත්වය ඇති මානසික රෝගීන් ගැන විශේෂයෙන්ම කියන්න අවශ්‍යයයි. විෂබීජ හා සම්බන්ධ බියක් (fear of contamination) ඇති ග්‍රස්ති රෝගීන් වෛරසය නිසා අතිශයෙන් භීතියට පත්විය හැක. සාමන්‍යයෙනුත් විෂබීජ වලට බියෙන්  පසුවන මෙම රෝගීන්ට කොරෝනා තත්වය හමුවේ සිදුවන බලපෑම ඔබට සිතාගත හැකියි නේද​?මේ අය නොවරදවා තමාට නිර්දේශ කර ඇති ඖෂධ ලබාගැනීමට වග බලාගත යුතුයි.

ඉතාමත්ම වැදගත් කාරණය වනුයේ මේ සිදුවන දේ හමුවේ අසරණභාවයක් ආරෝපණය කර නොගැනීමයි. මේ තත්වයට අප දක්වන ප්‍රතිචාරය තෝරාගැනීමට අපට පුළුවන්. 
මේ අපහසු අවස්ථාවේදී පහතින් දැක්වෙන කරුණු මානසික සෞඛ්‍යය රැකගැනීමට උපකාර කරගන්න​.

01 ඔබට පාලනය කළ හැකි සහ පාලනය කළ නොහැකි දේ හඳුනා ගන්න.

ඔබට මෙවැනි අවස්ථාවක කළ හැකි දේවල් තියෙනවා. කළ හැකි දේවල් ගැන සිත යොමු කරන්න​. සබන් හෝ විෂබීජනාශක දියරයක් භාවිතාකර දෑත් පිරිසුදු කිරීම​, මුඛ ආවරණයක් භාවිත කිරීම​, ජනයා වැඩිපුර ගැවසෙන ස්ථානවල ගැවසීම අඩුකිරීම වැනි දේ ඔබට කළ හැකියි නේද​? ඒ වගේම ඔබේ සිත ඉක්මනින්ම කැළඹෙනවා නම්/ඔබ ඉතාම සංවේදී කෙනෙක් නම් විනාඩි 5න් 5ට කොරෝනා තත්ත්වය ගැන තොරතුරැ සෙවීම​/ප්‍රවෘත්ති ඇසීම නවත්වන්න​. Facebook වැනි සමාජ ජාලා වල සැරිසරමින් නිතර රෝගය ගැන කියවෙන posts කියවීමෙන් වළකින්න. උදාහරණයක් ලෙස​ දිනකට ඉතාලියේ මියයන සංඛ්‍යාව, ඊයේ කීයද, අද කීයද, හෙට කීයක් වේවිද කියලා දැනගැනීමට ඔබට ඇත්තටම අවශ්‍යයද​? එසේ දැනගැනීමෙන් ඔබට ඇතිවන ප්‍රතිලාභයක්/වාසියක් තිබේද​?

02 ඔබට ආරක්‍ෂාකාරී හැඟීමක් ගෙන එන දේ කරන්න​.

ආරක්‍ෂාකාරී හැඟීමක් ගෙන එන දේ, කෙනෙක්ගෙන් තවත් කෙනෙකුට වෙනස් වනවා.එම නිසා එකිනෙකා සංසඳනය නොකිරීමට වගබලා ගන්න​. බොහෝදෙනා එක්‍ රුස්වන ප්‍රියසම්භාෂණ (parties, get-togethers) වැනිදේට සහභාගී නොවීමට ඔබ තීරණය කර ඇතිනම් එය හොඳ දෙයක්. නමුත් ඔබ මෙසේ කරන්නේ රෝගයට නිරාවරණය නොවී සිටීමටද නොඑසේනම්, පිරිස් අතර ගැවසීමට ඔබට දැනෙන අකැමැත්ත නොඑසේනම් හුදකලාවට ඇති කැමැත්ත නිසාද යන්න ඔබ හරි ආකාරව තේරුම්කර ගත යුතුය. ඒ මන්ද ඒවා විශාදයේ ලක්‍ෂණද වන බැවිනි.

03 එළියට පහළියට බහින්න​.

ගේ ඇතුළටම වෙලා මුළු දවසම ගෙවන්නෙ නැතුව එළියට බහින්න​. ගෙවත්තේ කාලය ගත කරන්න​. ඇඳිරි නීතිය නැත්නම් පොඩ්ඩක් ඇවිදින්න. ව්‍යායාමවල නිරත වෙන්න​. එය ශාරීරික මෙන්ම මානසික සෞඛ්‍යයටත් වැදගත්. මේ නිවෙස්වලම ගත කරන කාලය තුළ එකම දේ නොකර, දවස බෙදා ගෙන විවිධ දේවල් වල නිරතවීම, ඔබටත් ඔබේ දරැවාටත් ඉතාම වැදගත්. මෙසේ කිරීම තුළින් ඔබට සමාජ හුදකලාව තුළින් ඇතිවිය හැකි මානසික බලපෑම අවම කරගත හැක​.

04 මේ මොහොතේ ජීවත්වීමට උත්සාහ කරන්න​

සතිය -මේකට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ (mindfulness) කියලා. මෙහිදී අපි කරන්නේ, එළඹි සිහියෙන් සිටීමට උත්සාහ කිරීමයි. මේ ලිපියේ කලින් සඳහන් කළා වගේ, මේ කලබල අස්සේ අනාගතයටදත්, අතීතයටත් යන්න පුළුවන්. ඒ ගිහින් ඒ තැන්වල හිරවෙලා, සිත තව තවත් පීඩනයට පත්වෙන්න පුළුවන්. එහෙම වෙලාවට නැවතත් හෙමින් ඔබ ඉන්නා මේ මොහොතට එන්න​. ඒ අවස්ථාවේ ඔබට දැනෙන ශබ්ද​, ගඳ, සුවඳ, රස​, ස්පර්ශයන් වැනි සංවේදයන් පිළිබඳව අවධානය දෙන්න​. මේ මොහොතේ ජීවත්වීම තුළින්, අපගේ පාලනයෙන් යම් යම් දේ ගිලිහී යනවා යන හැඟීම ගොඩාක්දුරට අඩු කරගන්න පුළුවන්.

05 සම්බන්ධකම් තියාගන්න (stay connected) . ඔබට උදව් අවශ්‍යයනම් නොපැකිළ උදව් ලබාගැනීමට යොමුවන්න​.

ඔබේ හිතවත් යහලු මිත්‍රාදීන් සමඟ සබඳතා පවත්වන්න​. ඔවුන් මුණනොගැසී වුවත්  සම්බන්ධතා පැවැත්වීමට බොහෝ ක්‍රම දැන් තියෙනවා. ඔබේ විශ්වාසවන්තයන් සමඟින් ඔබට දැනෙනා දේ කතා කරන්න. ඔබට ඊටත් එහා ගිය සිතේ කලබල ගතියක්, කාන්සාවක්, ආතතියක් දැනේ නම්, මනෝ වෘත්තිකයෙකුගේ උපකාර ලබාගැනීමට යොමු වන්න​. මේ සඳහා ඔබට මනෝ වෛද්‍යවරයෙකු, මනෝවිද්‍යාඥයෙකු හෝ සුදුසුකම්ලත් මනෝ උපදේශකයෙකු වෙත යොමුවීමට පුළුවන්. අපේ ජාතික මානසික සෞඛ්‍යය විද්‍යාතනය මඟින් හඳුන්ව‍ාදුන් ජාතික මානසික සෞඛ්‍යය උපකාරක සේවාව 1926 අංකය ඔස්සේ ඇමතීම තුළිනුත්  ඔබට මනෝ වෘතිකයෙකුගේ උපකාර ලබාගැනීමට පුළුවන්.ඔබට දැනෙන ආකාරය  විශ්වාසවන්ත කෙනෙකු සමඟ බෙදා ගැනීමෙන් ඔබේ හිතට නිදහසක්/සහනයක් ලැබේවි. මෙය මානසික ආතතිය අවම කරගැනීමේ ඉතා වටිනා පියවරක්. ඒක නිසා තමයි ඉංග්‍රීසියෙන් කියමනකුත් තියෙන්නේ "a worry shared is a worry halved" කියලා. ඒ කියන්නේ දුකක් බෙදාගත්විට එය භාගයක් වෙනවා කියලා.  

ඕනෑම අවස්ථාවකට මුහුණ දීමේදී වඩාත්ම වැදගත්වනුයේ මානසිකව ශක්තිමත් වීමයි. මේ අදහස් කිහිපයත් එකතු කරගෙන අපේ මානසික සෞඛ්‍යය රැකගමු.

ඕෂධී ද සිල්වා, සායනික මනෝවිද්‍යාව පිළිබඳ කථිකාචාර්ය

 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00