2020 මැයි 23 වන සෙනසුරාදා

කොරෝනාව මැදින් ඉහළ නැග්ග අපේ තේ මිල

 2020 මැයි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 164

කොවිඩ් 19 වසංගතය ලොවටම බලපෑම් එල්ල කළ වාතාවරණයක් තුළ සෑම කළු වළාවක රිදී රේඛාවක් ඇතැයි කියන්නා සේ එය ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයට යහපත් කලදසාවක් උදා කර තිබේ. මේ දිනවල ශ්‍රී ලංකා තේ සඳහා වාර්තාගත ඉහළ මිලක් ලැබෙමින් පවතී.. 

කොරෝනා අර්බුදය හේතුවෙන් මාර්තු මස 16 වැනිදායින් පසු තේ වෙන්දේසිය පැවැත්වීමට නොහැකි වූ අතර සතියකට වරක් පැවැත්වෙන තේ වෙන්දේසිය සති තුනක පමණ කාලයක් ඇනහිටියේය. යළි තේ වෙන්දේසිය පැවැත්වූයේ  අප්‍රේල් 4 දාය. තේ අපනයනකරැවන්  සඳහන් කරන අයුරින් තේ මිල ඉහළ යෑමට සාධක කිහිපයක් බල පෑවේය.

මේ සම්බන්ධයෙන් අපට අදහස් දැක්වූ කොළඹ තේ වෙළෙඳුන්ගේ සංගමයේ සභාපති ජයන්ත කරුණාරත්න මහතා 
සති කිහිපයක් තේ වෙන්දේසිය නොපැවැති හෙයින් අපගේ ගැනුම්කරැවන්ගෙන් විශාල ඉල්ලුමක් තිබුණා. ඒ නිසා අප්‍රේල් 4 දා තේ වෙන්දේසිය පැවැත්වූ අවස්ථාවේ ඉල්ලුම වැඩිවීම මත තේ මිල ඉහළ ගියා. අපගේ ගැනුම්කරැවන් කිසි විටෙක මෙවැනි තත්ත්වයක් අපේක්ෂා නොකළ හෙයින් ඔවුන් වරින් වර මිලදී ගත්තේ එම කාලයට අවශ්‍ය තේ ප්‍රමාණය පමණයි. එහෙත් සති කිහිපයකින් තේ වෙන්දේසිය නොපැවැති හෙයින් ඔවුනට තේ මිලට ගැනීමට නොහැකි වුණා. ඒ නිසා ඔවුන් සතු තොග අඩුවුණා. යළි වෙන්දේසිය පැවැත්වූ විට ඔවුන් වැඩි වශයෙන් තේ මිලදී ගැනීමට පියවර ගත්තා. සෑම සතියකම තේ කිලෝ මිලියන පහත් පහමාරත් අතර ප්‍රමාණයක් වෙන්දේසි වෙනවා. රුපියල ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වීමද තේ මිල ඉහළ යෑමට බලපෑවා. පසුගිය මාස තුනක කාලය තුළ අපේ තේ නිෂ්පාදනය පහත වැටුණා. එය පසුගිය වසරට සාපේක්ෂව 25ටත් වඩා වැඩි ප්‍රමාණයක්. ඒ නිසා ඉල්ලුමට සරිලන සැපයුම කළ නොහැකි වුණා. මෙම සියලු කරුණු තේ මිල එකවර ඉහළ යෑමට බලපෑවා.

පසුගිය දිනවල පැවැති තේ වෙන්දේසියට සාමාන්‍යයෙන් ඉදිරිපත් කෙරෙන තේ තොග ප්‍රමාණය ලැබුණේ නැත.. මෙවර එය 30ත් 40ත් අතර ප්‍රමාණයකින් පහත වැටීම නිසා ඉල්ලුම අනුව සැපයිය නොහැකි වීමත්  ඉන්දියාවේ සහ අප්‍රිකාවේ තේ නිෂ්පාදනය අවම වීමත් ශ්‍රී ලංකාවේ තේවලට ඉහළ මිලක් ලැබීමට බල පෑ බව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ හිටපු සභාපති ලුසිල් විජේවර්ධන මහතා සඳහන් කරයි.
ඇතැම් රටවල් අපේ තේ මිලදී ගන්නේ අප්‍රිකානු හා ඉන්දියානු තේ සමග මිශ්‍ර කිරීම සඳහායි. එම රටවල තේ මිල අපේ තේ මිලට වඩා අඩුයි. ඒ නිසා ලංකාවේ තේ 20ක් 30 වගේ ප්‍රමාණයකට ඉන්දියානු හෝ අප්‍රිකානු තේ මිශ්‍ර (Blend) කරලා ඔවුන් වෙළෙඳ පොළට නිකුත් කරනවා. අපේ තේවලට වැඩි ඉල්ලුමක් ඇති වූයේ මේ මිශ්‍රණය සඳහා අවශ්‍ය ශ්‍රී ලංකා තේවල හිඟයක් ඇති වේය යන සැකය නිසයි. තේ ගැනුම්කරුවන් තේ වෙන්දේසියේදී ඉහළ මිලක් ගෙවා ඒවා මිලදී ගැනීමට පෙළඹුණා. මේ වන විට අපේ තේ අපනයනකරුවන්ට ඇනවුම් විශාල ප්‍රමාණයක් ලැබී තිබෙනවා. තේ සඳහා ඉහළ මිලක් ලැබුණත් අලෙවි වූ තේ ප්‍රමාණය පෙරට වඩා අඩුයි. යනුවෙන් ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.
ලොව රටවල් 150ක් පමණ ශ්‍රී ලංකාවෙන් තේ මිල දී ගනී. ඒ අතුරින් රටවල් 15 පමණ විශාල වශයෙන් තේ මිලට ගන්නා රටවල්ය. ශ්‍රී ලංකාව වාර්ෂිකව තේ කිලෝග්‍රෑම් මිලියන 320ත් 340ත් අතර ප්‍රමාණයක් අපනයනය කරයි. එමගින් අප රටට ලැබෙන වාර්ෂික ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 වැනි ප්‍රමාණයකි. පසුගිය කාලයේ නිමි තේ කිලෝග්‍රෑමයක් සඳහා හිමි වූයේ රැපියල් 350ත් 500ත් අතර මිලකි. මේ වන විට පහතරට නිමි තේ කිලෝවක් සඳහා රැපියල් 750ක මිලක් ලැබේ. කිලෝවකට රුපියල් 500ත් 550ත් අතර මිලක් ලබාගත හැකිනම් එය ඉතා සාධාරණ මිලක් යැයි කොළඹ තේ වෙළෙඳුන්ගේ සංගමයේ සභාපති ජයන්ත කරැණාරත්න ප්‍රකාශ කළේය.

පසුගිය දිනවල රත්නපුර දිස්ත්‍රික්කයේ එක්තරා තේ කම්හලක මගින් නිපදවන ලද බීඕපී 1 වර්ගයේ නිමි තේ කිලෝවක් සඳහා රුපියල් 2600ක පමණ වාර්තාගත මිලක් හිමිවී තිබේ. එය පහත රට තේ සඳහා මෙතෙක් ලද ඉහළම මිල ලෙස සඳහන්ය. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලුසිල් විජේවර්ධන මහතා සඳහන් කළේ එවැනි ඉහළ මිලක් දැබුණද එවැනි කර්මාන්තශාලා  තේ වෙන්දේසියට ඉදිරිපත් කරන්නේ බොහෝ විට කිලෝ 300ත් 500ත් වැනි සුළු ප්‍රමාණයක් බවයි.
ඇතැම් රටවල් මිශ්‍ර කිරීම සඳහා තේ මිලට ගනියි. අපගේ පහත රට තේ සමග වියට්නාම් තේ මිශ්‍ර කළ හැකිය. උඩරට තේ සමග කෙන්යානු තේ මිශ්‍ර කළ හැකිය. එහෙත් ලොව  වැඩි පිරිසක් ශ්‍රී ලංකා තේ පානයට ප්‍රිය හෙයින් අපේ තේ පමණක් මිලට ගනිති. කොවිඩ් වෛරසයට ප්‍රතිශක්තිකාරකයක් ලෙස තේ පානය සුදුසු බවට කිසියම් ප්‍රචාරයක්ද පැතිර ගියේය. එහෙයින් ලොව බොහෝ රටවල ජනතාව වැඩි වැඩියෙන් තේ පානයට යොමු වී තිබේ.
පසුගිය සමයේ අමු තේදලු සඳහා ගෙවූ මිල විශාල ලෙස පහත වැටී තිබිණි.. එහෙත් තේ මිල ඉහළ යෑම නිසා කුඩා තේවතු හිමියන්ට තමන්ගේ  අමු දලු සඳහා ඉහළ මිලක් හිමිවී තිබේ. පසුගිය සමයේ අමු තේ දලු කිලෝවක් සඳහා ගෙවන උපරිම මිල රුපියල් 85ත් 100ත් අතර විය. එය පසුගිය අප්‍රේල් මාසයේදී 130 දක්වා ඉහළ ගියේය.

ගාල්ල යක්කලමුල්ල ප්‍රෙද්ශයේ තේ වගාකරුවකු වන පී. එස්. බුද්ධදාස මහතා වසර 15 පමණ කාලයක සිට තේ වගාවේ නිරතවන්නෙකි. ඔහුගේ දලු ලබා දෙන්නේ වවුලගල තේ කම්හලටය. තමන්ට එම කම්හලෙන් තේ කිලෝවක් සඳහා රුපියල් 130 හිමිවන බව ඔහු සඳහන් කළේය.  මම තේ වගාව ආරම්භ කලේ මීට වසර 15 විතර ඉස්සෙල්ල. ඒ කාලේ අපිට දලු කිලෝවකට ලැබුණේ රුපියල් 48ත් 55ත් අතර මිලක්. දැන් අපේ වත්තටම කම්හලේ ට්‍රැක්ටරය ඇවිත් තේ දලු මිලදී ගන්නවා. වත්තටම එන නිසා දලු කිලෝවකට රුපියල් දෙකක් අයකරනවා. අපට 128ක් ලැබෙනවා. එය අපට විශාල පහසුවක්. අපට කම්හලෙන් පෝරටික මිලට ගන්න පුලුවන් නිසා වගාව සාර්ථකව කරගෙන යන්න බාධාවක් නැහැ. යනුවෙන් පැවසීය. 
2016 සිට අමු තේ දලු සඳහා ගෙවන මිල ක්‍රමයෙන් වැඩි වූ බව කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති විජේරත්න දේවගෙදර මහතා පවසයි. 2015 වගේ කාලේ අමු තේ දලු කිලෝවකට ගෙව්වේ රුපියල් 35ක් 45ක් වැනි මිලක්. පසුව උඩරට තේ සඳහා රුපියල් 80ක් 90ක් වැනි මිලක් හා පහත රට තේ සඳහා රුපියල් 110ක් වගේ මිල ඉහළ ගියා. පහතරට මාතර ගාල්ල රත්නපුර දිස්ත්‍රික්කවල වැඩිම තේ නිෂ්පාදනයක් පවතිනවා සමස්ත තේ නිෂ්පාදනයෙන් 48 පමණ නිපදවන්නේ පහත රට තේ කම්හල්. මගින්. පසුගිය කාලයේ මේ ප්‍රදේශවල වැඩි වශයෙන් තේ වගා කෙරැණා.

දැන් තේ මිල ඉහළ ගිහින්. පසුගිය කාලයේ පැවැති දැඩි නියඟය නිසා තේ නිෂ්පාදනය අවම වීමත් කොරෝනා වසංගතය නිසා තේ අපනයනය ඇනහිටීමත් ඊට බලපෑවා. පසුගිය දිනවල පැවැති තේ වෙන්දේසිය පැවැත්වුණේ ඔන්ලයින් ක්‍රමයටයි. එහිදී පැවැති තරගකාරිත්වය මත අපේ තේවලට වැඩි ඉල්ලුමක් ඇතිවුණා. යැයි ප්‍රකාශ කළේය. 

බොහෝ ප්‍රදේශවල කම්හල් හිමියන් තමන්ට අමු තේ දලු සපයන්නන්හට නියමිත මුදල ගෙවන නමුදු ඇතැම් ප්‍රදේශයන්හි කම්හල් හිමියන් රුපියල් 20ක් 30ක් පමණ අඩුවෙන් ගෙවන බවද වාර්තා වේ. අමු තේ දලු කිලෝවක් සඳහා ගෙවිය යුතු මිල සඳහන් සූත්‍රයක් තේ කොමසාරිස්වරයා චක්‍රලේකයක් මගින් නිකුත් කර තිබේ. එහි සඳහන් වන අයුරින් අමු දලු කිලෝ සියයකින් තේ කිලෝ 21ක් නිපදවිය හැකිය. ඒ අනුව  තේ කිලෝවක් සඳහා ලැබෙන මිල 4.65න් බෙදා 68න් වැඩි කර එන ගණන අමු තේ දලු කිලෝවක් සඳහා ගෙවිය යුතුය. එහෙත් ඇතැම් කම්හල් නියමිත මිල නොගෙවන බවටෙ චෝදනා එල්ල වී තිබේ.. 

කොවිඩ් 19 වසංගත තත්ත්වය යටතේ ඉහළ ගිය තේ මිල යළි පහත නොවැටී රඳවා ගැනීමට පියවර ගත යුතුව තිබේ. ඒ සඳහා තේ ප්‍රවර්ධන කටයුතු නොනවත්වාම කිරීමට අපනයනකරුවන්ට සිදු වේ. තේ මිල ස්ථාවරව රඳවා ගැනීමට හැකි වුවහොත් ඉන් උපයාගත හැකි විදේශ විනිමය ප්‍රමාණය විශාලය. තේ මණ්ඩලයේ හිටපු සභාපති ලුසිල් විජේවර්ධන මහතා සඳහන් කරන පරිදි මේ වන විට තේ නිෂ්පාදනය ඉහළ යමින් පවතී. එම නිෂ්පාදන තේ වෙන්දේසියට එන්නේ ලබන ජුනි ජුලි මාසවලෙදීය. එවිට දැන් ලැබෙන මිල මඳක් පහත වැටීමට ඉඩ තිබේ..

මිල තීරණය වන්නේ ඉල්ලුම හා සැපයුම යන න්‍යාය අනුවයි. සෑම වසරකම අප තේ කිලෝ මිලියන 300ක් පමණ අපනයනය කරනවා. පසුගිය මාසයේ තේ සැපයුම විශාල ලෙස පහත වැටුණා. සමාන්‍යයෙන් තේ වෙන්දේසිය සඳහා සතියකට තේ කිලෝ මිලියන පහක් පමණ ලැබෙනවා. ඒ අනුව මසකට තේ කිලෝ මිලියන 20ක් පමණ වෙන්දේසි කෙරෙනවා. පසුගිය කාලයේ ලැබුණේ සතියකට කිලෝ මිලියන 4ක් 4.5ක් පමණ ප්‍රමාණයක්. තේ කිලෝවක් සඳහා රුපියල් 600කට වැඩි මුදලක් හිමිවෙනවා නම් එය හොඳ මිලක්. පහත රට තේ කිලෝවක් සඳහා රුපියල් 770ක් පමණ ලැබී තිබුණා. 

තේ සඳහා ලැබෙන මිල යළි එකවර පහත නොවැටෙන බව ජයන්ත කරුණාරත්න මහතා කියා සිටී. ශ්‍රී ලංකා තේ සඳහා ඇති ඉල්ලුම දිගටම පවතින හෙයින් දැනට ලැබෙන මිල ගණන් ටික කාලයක් ගතවන තෙක් මේ අයුරින්ම පවතීවි. එහෙත් මෙම මිලට වඩා ඉහළ මිලක් අපේක්ෂා කිරීම අසීරැයි. තේවල මිල සඳහා හේතු ගොඩක් බලපානවා. අපෙන් තේ මිලට ගන්නා රටවල පවතින මිලදී ගැනීමේ ශක්තිය, මුදලේ අගය ඉහළ පහළ යෑම, තෙල් මිල අඩුවැඩිවීම  වැනි බොහෝ කරුණු තේ මිල තීන්දු කිරීම සඳහා බලපානවා විශේෂයෙන් තෙල්මිල වැඩිවන විට ඔවුන්ගේ මිලදී ගැනීම් වැඩි වෙනවා. අඩු වන විට පහත වැටෙනවා. පසුගිය සමයේ රුසියාවේ රූබලයේ අගය පහත වැටුණා. එවැනි කරුණු අපගේ තේ වෙළෙඳපලටත් බලපානවා යැයි ප්‍රකාශ කළේය.

කලක් අපට වැඩිම විදේශ විනිමයක් ගෙන දුන් තේ කර්මාන්තය විවිධ හේතුන් මත කඩා වැටීමට ලක් විය. එහෙත් සිලෝන් ටී සඳහා තවමත් ලොව පුරා විශේෂ ප්‍රසාදයක් පවතී. අපේ තේ කර්මාන්තය ඉහළ නැංවීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගැනීම ඕනෑම රජයක ප්‍රතිපත්තියක් විය යුතුය. පසුගිය කාලයේ වතුකම්කරුවන් දිනකට රුපියල් දහසක වැටුපක් ඉල්ලා උද්ඝෝෂණ කළහ. නව රජය ඔවුන්ට එම වැටුප ගෙවන බවට පොරොන්දු වුවද එය මෙතෙක් ඉටු වී නොමැත. තේ කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා විවිධ පියවර ගන්නා අතරම සේවක ප්‍රශ්නද විසඳීම රජයේ යුතුකමකි.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා