2020 මැයි 23 වන සෙනසුරාදා

ළඟ ඉන්න කෙනාට කොරෝනා කියලා සැකද? එහෙමනම් මොකද කරන්නේ?

 2020 මැයි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 42

මාස දෙකකට ආසන්න දින ගණනාවක්ම ඇඳිරි නීතිය හේතුවෙන් වසා තැබූ රාජ්‍ය හා පෞද්ගලික සේවා ආයතනන නැවතත් විවෘත වුණි. නමුත් මේ වනවිටත් කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක වේ. විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ වැඩි වශයෙන් රාජ්‍ය හා පෞද්ගලික ආයතන පැවැත්වෙන බැවින් අනෙකුත් දිස්ත්‍රික්කවල ජීවත්වන සේවක සේවිකාවෝ පිරිසක් දිනපතා තම සේවයට වාර්තා කරති.

වර්තමානය වනවිට කොරෝනා වසංගතය යම් මර්දනයක් සිදුවී තිබුණද අදටත් දිනපතා යම් ආසාධිත සංඛ්‍යාවක් වාර්තාවීමක් සිදුවේ. එය අවම මට්ටමක් වන අතර මෙසේ වැඩිවශයෙන් වාර්තා වන්නේ නාවික හමුදා රණවිරුවන් හා ඔවුන් ආශ්‍රය කළ පුද්ගලයන්ය. කෙසේ වුවද අද වනවිට කොරෝනා වසංගතය පිළිබඳව ජනතාව තුළ යම් අවබෝධයක් පැවතියද තවමත් ඇතැමුන්ගේ පසුවන්නේ නොසැලකිලිමත්කමිනි. මේ නිසාම කොරෝනා පිළිබඳව යම් සැකයක් පවතී නම් ඒ පිළිබඳව සෞඛ්‍ය අංශය ලබා දී ඇති උපදෙස් අනුව ක්‍රියාකළ යුතුවීම අවශ්‍යය.

“රට සෙමින් ලිහිල්වන මේ කාලය තුළදී අපට සුපුරුදු පරිදි අපේ රාජකාරිවලට යන්න සිදුවෙනවා. නමුත් වෙනදාටත් වඩා අපි මේ කාලයේදී පරිස්සම් වියයුතු වෙනවා. රජය සහ සෞඛ්‍ය අංශ ඇතුළු ඒ සියලු අංශයෙන් මෙම රෝගය පොකුරු පැතිරයාම අද වනවිට ඉතා හොඳින් පාලනය කරල තියෙනවා. මේ සියලුම දේ පැතිරවීම වැළැක්වීමට අද වනවිට සියලු විධිවිධාන ගෙන තිබෙනවා. නමුත් රෝග තත්ත්වයන් බොහෝ ආසාදිතයන්ගෙන් පෙන්නුම් කරන්නේ නැති නිසා බොහෝ විට මේ තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. මේ නිසාම ඒ පිළිබඳව අපි සැලකිලිමත් විය යුතුමයි. අද දක්වාම රෝගය වාර්තාවන්නේ යම් නියැදියක් ඔස්සේයි. මේ නිසාම මේ කාලයේදී උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ පවතී නම් රාජකාරියට වාර්තා කරන්න එපා.”

යැයි කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ ප්‍රධාන හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යාණි ද සොයිසා මෙනවිය දේශයට පැවසීය.

කොරෝනා රෝගය ප්‍රධාන රෝග ලක්ෂණය වන්නේ කැස්ස සහ උණය. ශ්වසන පද්ධතිය ආශ්‍රයේ හටගන්නා මෙම රෝගයෙන් උණ, වියළි කැස්ස, හුස්ම හිරවීම සහ හුස්ම ගැනීමේ අපහසුතාවය, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණද ඇතිවිය හැක. මේ තත්ත්වය මත නියුමෝනියාව සහ දරුණු නිදන්ගත රෝග, වකුගඩු දුර්වල වීම වැනි ආසධ්‍ය රෝග තත්ත්වයන් උත්සන්න වීමද ඇතිවිය හැක. කොරෝනා ආසාදිතයන් බොහෝ දෙනෙකුට මෙවැනි රෝග ලක්ෂණ ඇතිවුවද ඇතැමුන්ට රෝග ලක්ෂණ පෙන්නුම් නොකරයි. මොවුන් රෝග වාහකයකු මෙන්ම ආසාදිතයකුද විය හැක. මේ නිසාම මේ පිළිබඳව සැලකිලිමත් විය යුතුමය.

ඔබ රාජකාරියට යන සෑම විටකදීම නිවසින් එළියට බසිනා සෑමවිටකදීම මුව ආවරණයක් (face marsk) පළඳින්නට වගබලා ගන්න. අද වනවිට වෙළඳපොළේ විවිධ මිල ගණන් යටතේ මුව ආවරණ විකිණීමට ඇත.

ඔබ නිවසින් බැහැරවෙන සෑම විටකදීම මුව ආවරණ පළඳින්න. එය පළඳින්නට පෙර හොඳින් අත් සෝදන්න. මුව ආවරණය පැළඳීමෙන් පසුව නිතර නිතර එය ඇල්ලීම, ගලවා නැවත නැවතත් පැළඳීම නොකළ යුතුය. වෙළෙඳපොළේ අද වනවිට විෂබීජ නාශක මුඛ ආවරණ විකිණීමට තිබෙනවා. ඒ ඇතැම් මුඛ ආවරණ පාවිච්චි කළ හැක්කේ එක දිනක් පමණයි. එවැනි මුව ආවරණ දිගින් දිගටම පාවිච්චි කරන්න එපා. ඔබට නිවසේදීම පිරිසුදුව මුව ආවරණ මසා ගැනීමට වුවත් පුළුවන්. එවැනි පිරිසිදු මුව ආවරණයක් වුවත් පාවිච්චි කරන්න.*යැයි පුෂ්පා රම්‍යාණි ද සොයිසා මෙනෙවිය වැඩිදුරටත් පැවසීය.

ඔබ නිවසේදී මසාගත් මුව ආවරණයක් පළඳී නම් සෑම දිනකම එකම මුව ආවරණය එක දිගට පරිහරණය කිරීමෙන් වළකින්න. ඒ වෙනුවට අඩුම තරමේ මුව ආවරණ දෙකක් හෝ දවසින් දවස මාරැකොට පළඳින්න. පැළඳි මුව ආවරණය සබන් හෝ යම් විෂබීජ නාශක දියරයක් හෝ ගල්වා හොඳින් යොදා තද අව් රශ්මියෙන් හොඳින් වියළා නැවත පාවිච්චියට ගන්න. වෙළෙඳපොළේ ඇති විෂබීජහරණ සහිත මුව ආවරණයක් ඔබ පරිහරණය කරයි නම් පාවිච්චි කළ පසුව පියන සහිත කසළ බඳුනකට එය බැහැර කරන්නට අමතක නොකරන්න.

සේවා ආයතනයේදී ඔබ රාජකාරි කටයුතු ආරම්භ කිරීමට පළමුව ඔබ විසින් පරිහරණය කරනු ලබන බඩුභාණ්ඩ විෂබීජ නාශක දියරයකින් පිසදමන්නට වගබලාගන්න. ඔබටම වෙන්වුණ පෑනක් තබාගන්න. කිසිවිටෙකත් එවැනි දෑ තවත් කෙනෙකුගේ පරිහරණයට ලබා නොදෙන්න. ලිපිගොනු හුවමාරැ කරන සෑම මොහොතකට ඔබේ දෑත් පිරිසිදු කරගන්න. තවත් කෙනෙකු දුන් ලිපිගොනු, ලියකියවිලි, ඔබ පරිහරණය කරන මොහොතේදී මුහුණ, දෑස නිතර නිතර ඇල්ලීමෙන් වළකින්න. නිසියාකාරව වැසිකිළි පාවිච්චිය, සෞඛ්‍ය පුරුදු පවත්වාගෙන යන්න. තැන් තැන්වල කෙළ ගැසීමෙන් වළකින්න.

ඔබ රාජකාරිය කරන ස්ථානයේ කොරෝනා රෝග ලක්ෂණ ඇති සේවකයකු සිටිනා බවට සැකයක් පවතී නම් සෞඛ්‍ය අංශයට දැනුම් දී රෝගියා රෝහල්ගත කරවන්නට වගබලාගන්න. නිවසින් පිටවන සෑම විටකදීම මීටරයක දුර පවත්වාගෙන යන්න. පොදු ප්‍රවාහන සේවයෙන් ඔබ රාජකාරියට පැමිණෙන්නේ නම් රජය හා සෞඛ්‍ය අංශය ප්‍රකාශය කර ඇති නීති රීතිවලට අනුකූලව එම ප්‍රවාහන සේවයේ ගමන් කරන්නට වගබලා ගත යුතුය. මඳ වශයෙන් හෝ ඔබට උණ, හිසරදය, ශ්වසන අපහසුතා, මස්පිඬු වේදනවා හා උගුරේ වේදනාව පවතී නම් රාජකාරියට නොගොස් නිවසේ රුඳී සිටින්න. කොරෝනා රෝගය පිළිබඳව ඔබට යම් සැකයක් පවතී නම් ඉක්මණින්ම ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. බොහෝ අයට වෛරසය අසාදනය වූ අවස්ථාවේ සිට දින දාහතරක් හෝ දින විසිහතරක් ඇතුළත රෝග ලක්ෂණ පෙන්නුම් කළද ඇතැමුන්ට කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකර වෛරසය ආසාදනය විය හැක. එමනිසා ඔබ කොරෝනා ආසාදිතයකු ඇසුරැ කර ඇත්නම්, විදෙස්ගතව සිට මෙරටට මේ කාලය තුළදී පැමිණි විදේශිකයකු හෝ ලාංකිකයකු ඇසුර කර ඇත්නම් ඒ පිළිබඳව සෞඛ්‍ය අංශය දැනුවත් කොට තම නිවසේදීවත් ස්වයං හුදෙකලාවීමක් සඳහා හෝ යොමුවන්නට වගබලා ගන්න. කිසිම විටකදීවත් මත්පැන් හෝ මත්ද්‍රව්‍ය ගෙන ඔබ ඔබේ ප්‍රතිශක්තිය දුර්වල කර නොගන්න.

වර්තමානය වනවිට කොරෝනා මුළු රටින්ම යම් දුරකට මර්දනයක් පෙන්නුම් කරයි. එය නැවතත් හිස ඔසවන්නට කිසිවිටෙකත් ඔබ රෝග වාහකයෙකු නොවිය යුතුය. ඒ වෙනුවට යථා තත්ත්වයට මෙරට පත්කොට සුපුරුදු පරිදි රට පවත්වාගෙන යන්නට ඔබ දායකත්වය ලබාදිය යුතුය.

 දිශානි ජයමාලි කරුණාරත්න

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00