2020 මැයි 23 වන සෙනසුරාදා

කොරෝනාවට ඔරවා ඉල්ලන් කෑ නායකයෝ

 2020 මැයි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 8

ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවා ගන්නට බැරි බවට අප අතර කියමනක් තිබේ. සද්ධර්ම රත්නාවලිය ලියූ ධර්මසේන ස්ථිවිරයෝ ඊටත් වඩා අගේ ඇති උපමාවකින් ආඳා යවා තබාලා වල්පත ගත්තා සේ යනුවෙන් ඒ හා සමාන අදහසක් ඉදිරිපත් කළෝය.

ආඳාට යන්නට ඉඩදී උගේ වල්ගෙන් ඇල්ලුවාට ඌ අතට අසුවන්නේ නැත. ඌ ලිස්සා යාමෙන් සිදුවන්නේ අපේ අභිප්‍රාය ඉෂ්ට නොවීමය. කළ යුතු දේ නිසි වෙලාවට කළ යුතුය. එසේ නොකළහොත් ඇතිවන ප්‍රතිඵලය හානිදායකය.
අපේ ධම්මපදයේ කියැවෙන පරිදි අප්‍රමාදය නිවනට මගය. ප්‍රමාදය මරණයට මගය. නිසි වෙලාවට කළ යුතු දේ නොකර ලෝකයේ රාජ්‍ය නායකයන් හත් අට පොළක් කොරෝනා උවදුර ඉදිරියේ අපේ බාසාවෙන් කියන ආකාරයට ඇන ගත්තෝය. එකී ප්‍රමාදය නිසා රෝගීන් එක්කෙනෙක්, දෙන්නෙක් නොව දහස් සංඛ්‍යාවක් මරණයට පත්වූවෝය. මේ කියන රාජ්‍ය නායක හත් අට පොළ අප්‍රමාදව ක්‍රියාකළෝ නම් දැනට කෝවිඩ් 19 වෛරසය ආසාදනයෙන් මරැමුවට පත්වූ තුන් ලක්ෂයකට අධික රෝගීන් දහස් ගණනකගේ ජීවිත බේරාගන්නට ඉඩ තිබිණි. මේ ගැන මීට මාසයකට පෙර පටන් ලෝකයේ මාධ්‍ය වාර්තා පළවේ. කොරෝනාව අවතක්සේරු කළ රාජ්‍ය නායකයන් කළ කී දෑ කෙරෙහි අවධානය යොමු කිරීමෙන් අපටත් පාඩම් ඉගෙන ගත හැකිය.

කොරෝනා වෛරසයට කෙසේ ප්‍රතිකාර කරම්දෝයි මීට වෛද්‍යවරුන් ලතවෙද්දී චීන රජය මිලියන 50ක පමණ ජනකායක් හුදෙකලා කොට ලොක්ඩවුන් කිරීමට භාජනය කළේය. එහෙත් මේ උවදුරේ තරම ගැන බැරෑරුම්ව සිතන්නට ඇතැම් ලෝක නායකයන්ට මාස දෙක තුනක් ගතවූයේය.

ප්‍රමාදී බව ඇරඹුණේ චීනයෙන්මය. මුලින්ම අවතක්සේරු කිරීම් කළේත් චීන නායකයන්මය. පසුගිය දෙසැම්බරයේ රෝගය පැතිරයාම පටන් ගත්විට ඒ පිළිබඳ වැදගත් තොරතුරු සන්නිවේදනය කරන්නට අසමත් වීම නිසා ලෝකය පුරා මිලියන ගණනක් මිනිසුන්ට ගමන් බිමන් යන්නට ඉඩ ලැබුණේ අනතුර ගැන හරිහැටි දැනීමක් නැතිවය. චීනයේ වූහාන් නගරයෙන් පළමුව කොරෝනා වෛරසය මතුවෙන්නට ගත්තේ දෙසැම්බරයේය. එහෙත් නොවැම්බර් මාසයේ පවා එය සැරිසරමින් තිබූ බවට දැන් පර්යේෂකයෝ සැක පහළ කරති. දෙසැම්බර් 31 වැනිදා චීන රජය ලෝක සෞඛ්‍ය සංවිධානයට ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ මේ රෝගය &වැළැක්විය හැකි, පාලනය කළ හැකි* රෝගයක් බවයි. එහෙත් ජනවාරි අග වනවිට, චීන බලධාරීහු මෙම රෝගය අලුත් වර්ගයේ කොරෝනා වෛරසයකින් බෝවෙන බවත් එය මිනිසාගෙන් මිනිසාට පැතිරී යන බවත් වටහා ගත්තෝය. එහෙත් චීන රජය, ජනයා ලොක්ඩවුන් කිරීමට පටන් ගන්නට පෙරාතුව මිලියන ගණනක් ජනයාට රිසි පරිදි ගමන් බිමන් යමින් රෝගය බෙදාහදා ගන්නට ඉඩ සැලසුවේ එහි දරැණු බව අවතක්සේරු කරමිනි.
වූහාන් නගරයේ නගරාධිපතිවරයා කියා සිටියේ ලොක්ඩවුන් කිරීමට පෙර මිලියන 5ක් ජනයා නගරයෙන් පිටත්ව ගොස් සිටි බවයි. නිව්ෙයා්ර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ මිලියන 7ක් ජනයා, ජනවාරියේ ගමන් බිමන් තහනම් කරන විට වූහාන් නගරයෙන් බැහැර ගොස් සිටි බවකි.

රෝගය දරුණු ලෙස පැතිර යද්දී, වෛරසය පැතිර යන බවට අනතුරැ ඇඟවූ සෞඛ්‍යාරක්ෂණ සේවකයන්ට චීන බලධාරීන් බැණ වැදුණේ, වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව හා මරණ සංඛ්‍යාවේ වැදගත්කම නොසලකා හරිමිනි. චීන ජනාධිපතිවරයා සහ කොමියුනිස්ට් පක්ෂය රෝගයේ පැතිරයාම පිළිබඳව සැර බාල කරමින් වැරදි තොරතුරු ඉදිරිපත් කරන බවට, ඇමෙරිකානු බුද්ධි කමිටුව වාර්තා කර සිටියේය.

චීනයට චෝදනා කරන ඇමෙරිකාවද ඊට දෙවැනි නැත. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පුන පුනා මෙම වෛරසය අවතක්සේරුවට ලක් කළේය. මෙය තරහට කරන රැවටිල්ලකැයි මුලසිටම කියා සිටි ඔහු සියල්ල සම්පූර්ණයෙන්ම පාලනයට නතුකොට ඇතැයිද කීවේය. ජනවාරි, පෙබරවාරි, මාර්තු මාසවලදී මේ කතාව කියමින් උන් ට්‍රම්ප් ඉදිරි කාලයේදී මෙය නැතිවී යනු ඇත. ඉන්පසු ඇමෙරිකාවට නැවත ඉක්මනින්ම තම කටයුතු ආරම්භ කොට පවත්වාගෙන යා හැකිය යනුවෙන් කටමැත දෙඩවීය. මෙය කාලයකට එන උණක් යැයි කියමින් ඔහු මාර්තු මාසයේදී මෙම තර්ජනයේ විපුලතාව බිංදුවටම දැමුවේය. දැන් මේ වනවිට අමෙරිකාව ගෝලීය වශයෙන් රෝගය බෝ කරන අපිකේන්ද්‍රය බවට පත්ව තිබේ. දැන් අමෙරිකාවේ රෝගීන් සංඛ්‍යාව 1,509,341කි. මරණ සංඛ්‍යාව 90,134කි.

රෝගය පැතිරුණු මුල් සති කීපයේ පරීක්ෂණ සංඛ්‍යාව අඩුවෙන් කිරීමෙන් අමිහිරි ප්‍රතිඵල ඇමෙරිකාව අත්වින්දේය. එකටෙක පරස්පර පණිවිඩ නිකුත්කළ අමෙරිකාව සමාජ දුරස්ථකරණය පිළිබඳ කතා කියමින් රට සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇතැයි නිවේදනය කළේය. එහෙත් අප්‍රේල් මැද වනවිටත් ජාතික වශයෙන් ලොක්ඩවුන් කිරීමක් ඇමෙරිකාවේ සිදු නොවුණි. එක් එක් ජනපද තම තමන්ගේ මාර්ගෝපදේශ කීවද ගෙදරට වී සිටින්නට යැයි අප්‍රේල් මැද වනවිටත් කීවේ නැත.
ඉතාලියානු ඇගමැති ගුයිසෙප්පේ කොන්ටේ පෙබරවාරියේදී කොරෝනා වෛරසය අවතක්සේරැවට ලක් කරමින් කතා කළේය. ඒ රටේ විදේශ ඇමැතිවරයා රෝගය බෝවීම ගැන පමණට වඩා තොරතුරැ හුවා දක්වමින් පළ කරන්නේ යැයි කියමින් මාධ්‍යයට චෝදනා නැගුවේය. ඉතාලිය රටපුරා වසා දැමීම් තුළද රෝගය බෝවීම පටන්ගත් පෙබරවාරියේ කීවේ පරස්පර කතාය. රෝගීන් සංඛ්‍යාව වැඩිවෙද්දී එරට රජයේ ප්‍රතිචාරද මන්දගාමී විය. එරට විදේශ අමාත්‍ය ලයිජි ඩි මායියෝ ඉහත කී පරිදි මාධ්‍යයට දොස් නගමින් නිරෝධායනයේ පසුවන්නේ ඉතාලියානුවන්ගෙන් සියයට බිංදුවයි දශම බිංදුවයි අටයි නමයයි (0.089) පමණකැයි කීවේය. ඒ වනවිට සමාජ දුරස්ථකරණ පියවර අනුගමනය කළේ ප්‍රාදේශීය වශයෙන් පමණකි. රෝගය පැතිරීම ආරම්භ වූ ලොම්බාර්ඩ් ප්‍රදේශයට සැතපුම් කිහිපයක් ඈතින් පිහිටි මිලානෝ නගරයේ නගරාධිපතිවරයා පවා ජනතාව නිදහසේ සැරිසැරීම ගැන මිලාන් නගරයේ විරෝධයක් නැතැයි කීවේ ඊට උල්පන්දම් දෙමිනි. ඔහු සංචාරක ස්ථාන සහ දේවස්ථාන (පල්ලි) ආදිය විවෘතව තැබුවේය. නිව්ෙයා්ර්ක් ටයිම්ස් පුවත්පත පවසන පරිදි කිසිදු දෙගිඩියාවකින් තොරව ජනයා නිවෙස්වලින් පිටත සැරිසරමින් විනෝද වූවෝය. ලිප ගිනි මොළවන තෙක් දිය සැලියේ* කකුළුවා නැටූ නැටුම තමන් නැටූ බව ඉතාලියානුවෝද නොදත්හ.

එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්, කොරෝනාව පැතිර ගිය මුල් මාසවලදී කොරෝනා වෛරසය, මධ්‍යම ප්‍රමාණයේ එකකැයි කියමින් එය දෙකේ කොළේට දමා ලේබල් ඇලෙව්වේය. ඔහු උත්සාහ කළේ සාමූහික ප්‍රතිශක්තිකරණ ක්‍රමවේදයකින් කොරෝනාවේ සැර නිවාදමන්නට විනා එය මර්දනය කිරීමේ පියවර ගන්නට නොවේ. මාර්තුවේදී පවා කිසිවක් තුට්ටුවකට මායිම් නොකළ ජොන්සන් රෝහල්ගතව සිටින කොරෝනා රෝගීන් සමඟ අභීතව අතට අත දුන්නේය. ඉන්පසු ආදරයෙන් කොරෝනාව වැළඳගත් හෙතෙම දොස්තරවරැන්ගේ ප්‍රතිකාරවල පිහිටෙන් ගොඩ ආවේය. මාර්තුවේදී යුරෝපය පුරා අවන්හල් සහ බාර් වසා දමන්නට පටන් ගනිද්දී ජොන්සන් කළේ ගෙයින් පිට ගොස් රාත්‍රියේ අවන්හල් වලින් කෑම ගැනීම නවත්වන ලෙස කරන ඉල්ලීමක් පමණකි. ඔහු කිසිදු නියේගයක් ඒ සඳහා නිකුත් නොකළේය. එහි ප්‍රතිඵලය වූයේ ලන්ඩනය පුරා ජනයා රිසිසේ රංචු ගැසීමයි. 17 වැනිදා වනවිට රෝගීන් 240,161ක් සහ කොරෝනා මරණ 34,466ක් හිමිකර ගනිමින් එක්සත් රාජධානිය 4 වැනි ස්ථානයේ පසුවිය.

ඉරාන බලධාරීන් තම රටවැසියන්ට මහත් ආත්ම විශ්වාසයකින් යුතුව කියා සිටියේ වෛරසය එරටට ගැටලුවක් නොවන බවය. චීනයට වුණු හදිය තමන්ට නොවන බව කියමින් ඔවුහු චීනයට ආධාර ලෙස මුහුණු වැස්ම තොගයක් යැවීමට හැකිවීම ගැන කයිවාරු ගැසුවෝය.

එහෙත් සති දෙකක් ඉකුත්වෙද්දී ඉරානයේ පුරසාරම් බොඳවී ගොස් ලෝකයේ කොරෝනා වෛරස වැළඳුණු රටවල් අතර ඉරානය ඉහළටම ආවේය. මාර්තු මුල වනවිට එරට රජය රෝගය පැතිරීම වළක්වාගත නොහී දනිපනි ගාමින් දොරින් දොර ගොස් සෞඛ්‍යාරක්ෂිත බව විමර්ශනය කිරීම හමුදාවට පැවරිය යුතු බවට යෝජනා කර සිටියේය. මුහුණු වැසුම් එක්රුස් කරගෙන ඉන්නා පුද්ගලයන්ටත්, ඖෂධ සැපයුම් නතර කරගෙන ඉන්නා පුද්ගලයන්ටත් මරණ දඬුවම පමුණුවන බවට ඉරාන රජය තර්ජනය කළේය.

පිටතට තොරතුරු දෙන හෙද හෙදියන්ට සහ සෞඛ්‍ය සේවකයන්ට එරට රජය කට පියාගෙන ඉන්නා ලෙස තරයේ අවවාද කළේය. රෝගීන් පිළිබඳ තොරතුරු සාකච්ඡා කිරීම පවා ජනතාව භීතියට පත් කිරීමක් සේ ඒ වනවිට සළකන බවත් එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව බලධාරීන් කියන බවත් එක් හෙදියක් කියූ ආකාරය නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පළ කළේය. මේ වනවිට ඉරානයේ වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 110,767කි. මරණ සංඛ්‍යාව 6,733කි.
කොරෝනා හෙවත් කෝවිඩ් 19 රෝගී සංඛ්‍යාව ඉහළ යද්දී ස්පාඤ්ඤයේ අග්‍රාමාත්‍ය පෙඩ්රෝ සැන්චෙස් කළේ දැවැන්ත රැස්වීම්වලට හා ක්‍රීඩාගාරවලට සෙනඟ ඒකරාශී වන්නට ඉඩ සැලසිමයි. මැඩ්රිඩ් නුවර පැවති කාන්තාවාදය හා බැඳුණු රැස්වීමකට මාර්තු මාසයේ මුලදී එක්ලක්ෂ විසි දහසක සෙනඟක් ඒකරාශී වූවෝය.

රෝගය පැතිරීම ආරම්භ වෙද්දී රජය තේරැම් ගත්තේ එය එක තැනකට සීමා වූ තර්ජනයක් ලෙසයි. එය එරට ජනතාව අර්බුදයට පත්කරන බෝවෙන රෝගයකැයි එරජය නොසිතුවේය. සැන්චෙස් ආඳා යවා තබාලා වල්පත ගනිමින් රටපුරා ලොක්ඩවුන් කළේ මාර්තු 14 වැනිදාය. ඒ වනවිට පමා වූවා වැඩිය.

මෙක්සිකෝ ජනාධිපති ඇන්ඩ්‍රෙස් මැනුවෙල් ලොපෙස් කොරෝනා වෛරසය පිළිබඳ අනතුරු ඇඟවීම් නොහික්මුණු ලෙස නොසලකා හරිමින් මෙක්සිකානුවන්ට රිසිසේ සරන්නට දිරිදුන්නේ බොරු භීතියට හසුවන්නට එපා යයි කියමිනි. මෙම තර්ජන පමණට වඩා හුවාදක්වන්නේ යයි ඔහු මාධ්‍යයට චෝදනා එල්ල කළේය. මාර්තු මාසයේ අවසාන දින කිහිපයේ පවා ගමන් බිමන් සීමා කරන්නටත්, ජනයා එකිනෙකා ස්පර්ශවීම වැළැක්වීමේ පියවර ගන්නටත් ඔහු මැලි වූයේය. ඒ කාලය වනවිට ජනාධිපතිවරයා දරුවන් ප්‍රසිද්ධියේ සිප ගත්තේය. තම ආධාරකරුවන් වැළඳ ගත්තේය. බැක්ටීරියා නසන ජෙල් භාවිතා කිරීම ප්‍රතික්ෂේප කළේය.

සෞඛ්‍ය සේවකයන්ගේ අවවාද නොතැකූ ඔහු මෙක්සිකෝවේ ඒ වනවිට තිබූ වෛද්‍ය උපකරණ සහ රෝහල්වල ගිලන් ඇඳන් හොඳටම ප්‍රමාණවත් යැයි කීවේය. එහෙත් මෑතදී ලැබුණු වාර්තා අනුව මෙක්සිකෝවේ සිටින්නේ හෙදියන් ටික දෙනෙකි. පුද්ගලයන් දාහකට ඇති ගිලන් ඇඳන් සංඛ්‍යාව රෝගය උග්‍ර ලෙස පැතිර ගිය ඉතාලියට, අමෙරිකාවට හා දකුණු කොරියාවටත් වඩා අඩුය. මෙක්සිකෝව හදිසි සෞඛ්‍ය තත්ත්වය ප්‍රකාශයට පත්කළේ මෝඩයාගේ දවසේ හෙවත් අප්‍රේල් පළමු වැනිදාය.
බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල් සොනාරෝ කොරෝනා වෛරසය අවතක්සේරැ කළේ එය සුළු හෙම්බිරිස්සා ගතියකැයි කියමිනි. සමාජ දුරස්ථකරණයකින් ඇති බලය කිමදැයි ඔහු ප්‍රශ්න කොට සිටියේය. මාර්තු මස අගදී එරට සෞඛ්‍ය අමාත්‍යංශයේ අවවාද නොතකා බ්‍රසීලයේ කාර්යබහුල වාණිජ දිස්ත්‍රික්කයකට ගිය බොල්සොනාරෝ ආපසු වැඩට යන්නට බ්‍රසීලියානුවන් දිරිමත් කළේය.

වෛරසයෙන් කට්ටියක් මැරේවි. ඒක තමා ජීවිතය කියන්නේ යනුවෙන් ප්‍රසිද්ධියේ කියන තරමට ඔහු මෙම වසංගතය හෑල්ලු කළේය. නිරෝධායන මාර්ගෝපදේශ තඹේකට නොගත් ඔහු ආර්ථික හානියම සළකා වයිරස මර්දනය නොකර උන්නේය. වෛරසය මර්දනය කිරීමට බොල් සොනාරෝගේ අකමැත්ත නොසලකා තම තමන්ගේ ස්වාධීන පියවර ගන්නට රටේ ප්‍රාන්ත ආණ්ඩුකාරවරැන්ට සිදුවිය. ජනාධිපතිවරයා කියන දේ ගණන් නොගෙන ගෙදරට වී දොර වසාගෙන ඉන්න යැයි ඔවුහු තම ජනයාට කීහ. බ්‍රසීලයේ වාර්තා වූ රෝගී සංඛ්‍යාව අදට දෙලක්ෂය ඉක්මවා තිබේ. මරණ 13,000ට වැඩිය.

අන්තර්ජාලයේ ඇති සටහනකට අනුව තනි කොරෝනා වෛරසයක බර ඇටෝග්‍රෑම් 0.85කි. හෙවත් 0.85X10-18 ග්‍රෑමයකි. තවත් අයුරකින් කිවහොත් එය ග්‍රෑමයකින් ට්‍රිලියන එකකිනුත් බිලියන එකක බරකි. එවිට වෛරස බිලියන 70ක බර වෙන්නේ ග්‍රෑමයකින් 0.0000005 බරකි. එවිට මිලියන දෙකකට වැඩි ජනකායකට රෝගය ආසාදනය කරන්නට යන කොරෝනා වෛරසවල බල ග්‍රෑමයකුත් නැති තරම් බරකි. මුළු ලෝකයම සලිත වී ඇත්තේ ග්‍රෑමයක්වත් බර නැති වෛරස ඉදිරියේය. එහෙත් ඒ යථාර්ථයයි.

සතුරා නිතරම නාලාගිරියා මෙන්, ගැල් සුන් කෙරෙමින්, සොඬ ඔසවාගෙනැ, කන්වැල් හුවාගෙනැ, පර්වතයක් සෙයින් අප ඉදිරියට එන්නේ නැත. මිනිසුත් උත්ත්‍රාස කරවමින් ආවද කොරෝනාව සුළඟටත් වඩා හෑල්ලුය. එනිසා අප එය අවතක්සේරු කළ යුතු නැත.

ආඳා යවා තබාලා වල්පත ගන්නා සේ වැනි උපහැරණ සුද්දාට සමීප නැති වුවද, අස්පයා පැනගිය පසු ඉස්තාලය වහන්නට එපා වැනි කියමන් තම තමන්ට තේරෙන බාසාවෙන් ලෝකයේ ඕනෑම ජාතියකට තිබේ.


► සමන් පුෂ්ප ලියනගේ

 2020 මැයි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 මැයි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 මැයි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 මැයි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00