2020 මැයි 23 වන සෙනසුරාදා

හැරවුම් ලක්ෂයක් සනිටුවහන් කළ කොවිඩ් බදාදා

 2020 මැයි 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 144

මේ ගෙවී ගියේ කොවිඩ්-19 වසංගතය ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේද කැපී පෙනෙන හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ සතියකි. ලංකාවේ මුල්ම කොවිඩ් රෝගියා වාර්තා වී මාස 03යි දින 23ක් ගතව යද්දී ගිය බදාදා මේ රට කොවිඩ්-19 ආසාදිත සංඛ්‍යාව දහස පැන්නුවේය. එදා ලෝකයේ කෝටි භාගයකට වැඩි පිරිසක් වෛරස දරන්නන් බවට පත්ව සිටියහ. ඉන් මුල්තැන ගෙන තිබුණේ අමෙරිකාවයි. වෛරස ව්‍යාප්තිය ආරම්භයේ සිට දිනක් තුළ ලෝකය පුරා වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වන  106,000 ක් වාර්තා වී ඇත්තේද බදාදාය.

කෝටි භාගයකට කොරෝනා වැළඳී ඇතැයි වාර්තා වූ ඒ බදාදා වනවිට අමෙරිකාවෙන් හඳුනාගෙන සිටි කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 1.5 ඉක්මවා ගියේය. එරට මියගිය පිරිස +97214ක් වූ අතර කවදත් අමුතු පන්නයේ කතා කියන එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙදා කීවේ කොවිඩ් 19 ආසාදිතයන් වැඩි පිරිසක් අමෙරිකාවෙන් වාර්තා වීම සිය රටට ලද ගෞරවයේ සංකේතයක් ලෙස තමා දකින බවය. ඒ ගැන වහාම පැහැදිලි කිරීමක්ද ඉදිරිපත් කළ ට්‍රම්ප්, “අප ආසාදිතයන් වැඩිම රට යැයි යමෙකු පැවසුවහොත්, එසේ වන්නේ ලොව අන් රටවල් සියල්ලටම වඩා අප රට වැඩි පරීක්ෂණ ප්‍රමාණයක් සිදුකර ඇති නිසයි. මම එය සළකන්නේ ගෞරවයක් ලෙසට” යැයි කියා තිබුණි. ලොව පරීක්ෂණ නොපමාව අරඹා ඒවා බහුල ලෙස පවත්වා කොවිඩ්-19 ජයගත් ප්‍රමූඛ රට ලෙස වියට්නාමය තවමත් කීර්ති නාමය රුකගෙන සිටිති.

ලංකාවේ දිස්ත්‍රික්ක 18ක් කොවිඩ් වෛරස ආසාදිතයන් සහිත බව වාර්තා වී තිබේ. සිකුරාදා රටපුරා පැතිර ඇති රෝග ආසාදිතයන් ගණන + 1,055ක්ව තිබුණි. ඒ වනවිට මරණ සංඛ්‍යාව 09ක් වූ අතර ලෝකයේ වසංගතය මගින් බිලිගත් සමස්ත ගණන + 332,884ක් ලෙස සටහන් විය. ඒ වනවිට රටවල් 213ක් තුළ ආසාදිතයන් වාර්තා වූහ. එදාම රටවල් 12 ක් ආසාදිතයන් ලක්ෂයේ සීමාව පන්නා තිබුණි.

වැඩිම ආසාදිත ගණනක් අමෙරිකාව තුළ වාර්තාවෙද්දී වසංගතය පැතිර යාමෙන් දෙවැනි තැනගත්තේ රැසියාවයි. ඒ +317,554ක සමස්ත ආසාදිතයන් පිරිසක්  සමගිනි. නමුත් වඩාත් භයානක තත්ත්වයක් දක්නට ලැබුණේ බ්‍රසීලයේය. බ්‍රසීලයේ මෙතෙක් වාර්තා වූ වැඩිම ආසාදිතයන් ගණන බදාදා වාර්තා විය. එම සංඛ්‍යාව 21,472 කි. බ්‍රසීලයෙන් වාර්තා වූ වැඩිම දෛනික මරණ සංඛ්‍යාව වාර්තාවී ඇත්තේද බදාදාය. එය 911 කි. සිකුරාදා වනවිට බ්‍රසීලයේ තත්ත්වය ඉතා බරපතළ අඩියක පැවතිණි. එහි  සමස්ත ආසාදිතයන් ගණන +296,113 දක්වා ඉහළ ගිය අතර මරණ සංඛ්‍යාව 19,156ක් බවට පත්විය. මේ අතර කොවිඩ් වෛරසයට ප්‍රතිකාරයක් ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රවර්ධනය කෙරුණු, මැලේරියාවට ලබාදෙන ඖෂධයක් වන ක්ලෝරොක්වීන් ඖෂධය භාවිතය වැඩි කිරීම සඳහා මේ වනවිටත් ජනතා විරෝධයට සහ ලෝකාපවාදයට මුහුණ දී සිටින බ්‍රසීලයේ බොල්සොනාරෝ පාලනය පියවර ගත්තේය.

ලොව කොවිඩ් වසංගතය ඇරුඹුණ දා සිට මේ දක්වා කඩිනමින් එය සිය රටින් තුරන් කර දැමීමට සමත් වූ ප්‍රමුඛ රට ලෙස කීර්තිනාමයට හිමිකම් කියන්නේ වියට්නාමයයි. එරටින් අවසන් ආසාදිතයාත් හමුවී මාසයක් ඉක්මගොස් ඇති වටපිටාවකදී කිසිදු බියකින් තොරව ඉතා ඉක්මනින් ඔවුන්ට රට යළි විවෘත කිරීමට හැකියාව ලැබී ඇත්තේ, වංසගත ව්‍යාප්තිය ආරම්භ වූ අවස්ථාවේදීම නොපමාව එයට තුළට ඒම වළක්වා, රෝග මර්දනයට කඩිනම් පියවරගත් හේතුවෙනි. තවත් රටවල් 33කට ආසන්න ගණනකින්ම  මියගිය ආසාදිතයින් කිසිවෙකුත් වාර්තා නොවූවත්, මිලියන 97ක ජනගහනයක් ජීවත් වන වියට්නාමයේ විශේෂත්වය වන්නේ, වංසගතයේ තිඹිරි ගෙය වූ චීන දේශ සීමාවේ පිහිටා තිබියදීත් එරට එකදු ජීවිතයක් හෝ කොවිඩ් මරණ ලැයිස්තුවට එක්වීමට ඉඩ නොදී සිය ජනතාවගේ ජීවිත රුකගැනීම නිසාය. 

මෙම වසංගතයට වියට්නාමය සූදානම් වූයේ, කොවිඩ් වසංගතයෙන් චීනයේ “වූහාන්හි” මරණ දෙකක් වාර්තා වීමත් සමගිනි. නව කොරෝනා වෛරස ව්‍යාප්තිය ඉතා සමීපව නිරීක්ෂණය කළ වියට්නාමය අවසානයේ එරට චීන දේශසීමාව වසා දැමීමටත්, සංචරණය සීමා කිරීමටත්, දේශසීමාවේ සහ අවදානනමට ලක්විය හැකි ස්ථානවල සහ පරීක්ෂාවන් වැඩි කිරීමටත් දැඩි තීන්දු තීරණ ගත්තේය. ජනවාරි මාස අවසානයේ අලුත් අවුරුද්ද සැමරීම වෙනුවෙන් එරට වසා දැමුණු පාසල් මැයි මැද දක්වා එලෙසින්ම වසා තැබීමට බලධාරීහු ක්‍රියා කළහ. ඇත්තෙන්ම මේ කොරෝනා කාලේ එරට දුරදිග බැලූ රටකි. වියට්නාමය කොරෝනා වසංගතයෙන් මිදීම සඳහා ක්‍රියාත්මකවී ඇත්තේ, ලොව සෙසු රටවල් ඊට අවශ්‍ය පියවර ගැනීමට බොහෝ කලකට පෙර වීම එරට විශේෂත්වයකි. වූහාන් සිට වියට්නාමයේ හෝ චී මිං නගරයේ සිටින සිය පුත්‍රයා බැලීමට පැමිණි පුද්ගලයෙකු ජනවාරි 23 වැනිදා එරට පළමු රෝගියා වාර්තා විය.

මාර්තු මාසයේ මුල් භාගය වනවිට රටට ඇතුළු වූ සියලු දෙනා මෙන්ම කොරෝනා ආසාදිතයින්ට සම්බන්ධ සියලු පාර්ශව දින 14ක නිරෝධායන ක්‍රියාවලියකට යොමුකර ඇති අතර, නිරෝධායනය වූ සියලු දෙනා වෛරස පරීක්ෂාවට ලක්කර තිබේ. වාර්තා වන ආකාරයට වියට්නාමයේ කොවිඩ් පරීක්ෂණ 275000 කට අධික ප්‍රමාණයක් මේ දක්වා සිදුකර ඇත. වියට්නාමයෙන් මේ දක්වා වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 324ක් වන අතර ඉන් 264 දෙනෙකුම සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. අද වනතුරැ මරණ කිසිවක් නැත.

වියට්නාමය මෙන්ම රුවන්ඩාව, උගන්ඩාව, මොසැම්බියා දේශය මොංගෝලියාව, භූතානය, ග්‍රීන්ලත්නය, සී-ෂෙල්ස් වැනි රටවල් 33කින් ද මෙතෙක් කිසිදු කොවිඩ් මරණයක් වාර්තා වී  නැත.

මේ අතර පසුගිය වකවානූවේ අමෙරිකාව සහ යුරෝපය කෙරේ වැඩි බලපෑමක් ඇතිකළ නව වෛරසය ක්‍රමක්‍රමයෙන් අලුත් ගොදුරැ බිම් සොයායන බවක් පෙන්නුම් කැර ඇත. ඒ අනුව ලතින් අමෙරිකාවට එහි වැඩි බලපෑමක් පෙන්නුම් කරයි. බ්‍රසීලයට පසු එම කලාපයේ වැඩිම බලපෑමක් එල්ල වූ රට වන පේරැ රාජ්‍යයෙන් බදාදා දිනයේදී ආසාදිතයන් +4,000 ඉක්මවූ පිරිසක් අලුතින් හඳුනාගැනීමත් සමඟ එරට සමස්ත ආසාදිතයන් ගණන +104,000 ඉහළ ගියේය. ඒ කොවිඩ් ආසාදිතයන් ලක්ෂය ඉක්ම වූ 12 වැනි රට බවට පත්වෙමිනි. මෙක්සිකෝව සහ චිලී රාජ්‍යය කලාපයේ වැඩිම කොවිඩ් බලපෑමට ලක්වූ සෙසු රටවල් වෙති.

අසල්වැසි ඉන්දියාවද කොවිඩ්-19 නව වාර්තාවක් තබන්නට ඉකුත් සතියේ සමත්විය. ඒ කොවිඩ්-19 ආසාදිතයින් 100,000කට වඩා වාර්තා වන රටවල් අතරට එක්වීමෙනි. එරට ආසාදිත ගණන 118,226ක්වූ අතර මරණ 3,584ක් විය. අලි මදිවාට හරක් කීවාක් මෙන් දැන් එරට සුළි කුණාටුවකටද ගොදුරැව ඇත.

මේ අතර කොවිඩ් සාර්ථක ලෙස පාලනය කළ ලෝකයේ ප්‍රමූඛ රටක් ලෙස දිනාගත් විරැද නාමය එයට මනාව සුදුසු බව දකුණු කොරියාව නැවතත් තහවුරැ කළේය. ඒ    වසංගතයෙන් මාස තුනකට පසු දකුණු කොරියාවේ පාසල් නැවත විවෘත කිරීමත් සමගිනි. අදියර කිහිපයකින් හා ආරක්‍ෂිත උපක්‍රම අනුගමනය කරමින් පාසල් විවෘත කිරීමට ඔවුන් කටයුතු කර තිබේ.

නව ක්‍රමවේදයකට අනුව දරැවන් පාසල්වලට කැඳවා ඇති අතර එහිදි ප්‍රථමයෙන් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන්ට පාසල් විවෘත කර ඇත. ඔවුන් මුහුණු ආවරණ සහිතව පාසලට පැමිණිය යුතු අතර පාසලට පැමිණි විට උෂ්ණත්වය පරීක්ෂා කිරීමද සිදුවෙයි. එමෙන්ම සමාජ දුරස්ථභාවය පවතින ලෙස ඔවුන්ට අධ්‍යාපනය ලැබීමටද පහසුකම් සලසා තිබේ.  දකුණු කොරියාව මෙන්ම නවසීලන්තය ද සති 08ට පසු ඉකුත් සතියේ පාසල් විවෘත කළේය. ඔස්ට්‍රේලියාවේද ඇතැම් ප්‍රදේශවල පාසල් ආරම්භ කර ඇත. වඩාත් අපූරැ කාරණාව වෛරසයේ තිඹිරි ගෙය ලෙස හඳුන්වන චීනයේ වූහාන්හි ද පාසල් මේ වන විට ආරම්භ කර තිබීමය.

 සුගත් පී. කුලතුංගආරච්චි