2020 මැයි 23 වන සෙනසුරාදා

කොරෝනා කාලේ ඈලියාවට ගිය ටියුෂන් පන්ති

 2020 මැයි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 198

ලාංකික පාසල් අධ්‍යාපනයේ සියලු කඩඉම් අද්දර ටියුෂන් හෙවත් උපකාරක පංති අධ්‍යාපන ක්‍රමයද තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරමින් සිටියි. ඒ නිසාම කොරෝනා කාලේ පාසල් වැසීම මෙන්ම උපකාරක පංති වසාදැමීමද බොහෝ දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කඩඉම් සඳහා එල්ලකර ඇත්තේ විශාල බලපෑමකි. කොරෝනා කාලේ ටියුෂන් පිළිබඳව සාකච්ඡාවට අප තීරණය කළේ එබැවිණි.

මාර්තු දෙවැනි සතියේ පාසල් වසාදැමීමට සමගාමීව මෙරට සියලු උපකාරක පංතිද නවතා දැමීමට උපකාර පංති ගුරුවරු කටයුතු කළහ. එදා තීරණය ගනු ලැබුවේ සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය මඟිනි. එහි හිටපු මහ ලේකම් වත්මන් මාධ්‍ය ඒකක ප්‍රධානී තිරංජය ගම්ලත් මහතා මෙම තීරණය සම්බන්ධව අප සමඟ සාකච්ඡා කළේය.

උපකාර පන්ති කියන්නේ ලංකාවේ පළමු වතාවට ස්වකැමැත්තෙන් නවතා දැමුණු ස්වාධීන වෘත්තියයි. පාසල් සහ සමාන්තරව මාර්තු මාසේ දොළොස් වැනිදා ලංකාවේ සියලු උපකාරක පංති වසා දමන්න අපේ සංගමය විසින් තීරණය කළා. එම තීරණය කිසිවකුගේ බලපෑමකින් තොරව මතුවිය හැකි අවදානම තේරුම් ගනු ලැබූ තීරණයක්. මේ වනවිට මෙම තීරණය අරගෙන මාස තුනක් පමණ ගතවෙලා. උපකාරක පංති ගුරැවරැන්ටත් කිසිදු ආදායමක් නොමැතිව තමා මේ කාලය ගත කරන්න වුණේ. ඒ වගේම ගෙවුණු කාලය තුළ වැඩිහිටියන්ටත් වඩා දරැවන් තුළ ඇතිවුණේ ඔද්දල්වුණ මානසිකත්වයක්.

පසුගිය කාලය තුළ රජය මූලික වී රෑපවාහිනී නාළිකා තුළින් අධ්‍යාපන ලබාදීමේ උත්සාහයකද නිරත විය. එසේම මේ වනවිටත් දරැවන්ට ඔන්ලයින් අධ්‍යාපන ලබාදීමට මෙරට රජයේ පාසල් මෙන්ම ජාත්‍යන්තර පාසල්ද උත්සාහා දරමින් සිටියි. එසේම දරැවන්ට ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපන ලබාදීමට උපකාරක පංති ගුරැවරැද උත්සාහ කළහ. එහෙත් ඒ කිසිවක් සිතූ තරම් සාර්ථකත්වයක් අත්කර නොගත්හ. මේ හේතුවෙන් ඇතැම් උපකාරක පංති ගුරැවරැ ඔන්ලයින් ක්‍රමය අතහැර දමා ඇති බවටද තොරතුරැ තිබේ.

මෙම සියලු ගැටලු සම්බන්ධව සමස්ත ලංකා වෘත්තීය දේශකවරැන්ගේ සංගමය අග්‍රාමාත්‍යවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරිය සමඟ සාකච්ඡා කොට තිබේ. එහිදී දැන ගන්නට ලැබී ඇති පරිදි ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය ඔක්තෝබර් මාසය දක්වා කල්දැමීමේ සූදානමක් තිබේ. මෙය දරුවන්ගේ පැත්තෙන් සාධනීය තත්ත්වයකි. මෙරට අධ්‍යාපනයේ යථාර්ථයට නම් මෙම විභාග දෙක දරැවන් අධ්‍යාපන කඩිඉම් ඉක්මවා යන ජීවන කඩඉම් බවට පත්ව තිබීමයි. සාමාන්‍ය පෙළ විභාගය පිළිබඳ දැනට තිබෙන සාකච්ඡාව නම් තුන්වැනි වාරයේ අධ්‍යයන කොටස් මඟහැර විභාගය ප්‍රශ්නය පත්‍ර සැකසීමයි.

අපි සංගමයක් විදිහට අග්‍රාමාත්‍යතුමා, සෞඛ්‍ය ඇමතිතුමිය සමඟ සහ අධ්‍යාපන ඇමති තුමා සමඟ සාකච්ඡා කළා. මේ සියලු පාර්ශවවලින් අපිට ආශිර්වාදයක් ලැබුණා පාසල පටන් ගන්නා ක්‍රමවේදයට අනුවම ඊට සමාන්තරව උපකාරක පංති ආරම්භ කරන්න දෙන්න. දැනට පාසල් පටන්ගන්න තීරණය කරලා තියෙන්නේ අදියර කිහිපයකින්. මුලින්ම උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ ආරම්භ වෙනවා. ඉන්පසුවයි අනෙකුත් ශ්‍රේණි ආරම්භ වෙන්නේ.

කෙසේ වෙතත් උපකාරක පංති ආරම්භ කිරීම අභියෝගයක් බව එම ගුරැවරැම පිළිගනිති. වැඩිහිටියන් සංචරණ නීති අනුව හික්මවන පරිද්දෙන් දරුවන් හික්මවීම පහසු නැත. ඒ නිසාම ඊට විශේෂිත වැඩපිළිවෙළක් මේ වනවිටත් සකසා තිබේ. වෘත්තීය දේශකවරැන්ගේ සංගමයේ වත්මන් සභාපති අමිත් පුස්වැල්ල මහතාගෙන් අපි ඒ පිළිබඳ විමසීමක් කළෙමු.

අපි සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡා කරලා උපදේශන සංග්‍රහයක් හදලා තිබෙනවා. අධ්‍යයන ආයතන විදිහට කොරෝනා ව්‍යසනයෙන් ළමයින්ව ආරක්ෂා කරන්න ඕනෑ කියන ආකාරය පිළිබඳව. දරුවන් හැසිරවීමේ ක්‍රමවේද ඇතුළත් මෙම පොත් ලංකාව පුරා අධ්‍යාපන ආයතනවලට අපි බෙදාහරිනවා. ඊට අමතරව දරැවා විසින් අනුගමනය කළයුතු පිළිවෙත් රෑපමය සරල පැහැදිලි කිරීම් සහිත පෝස්ටර් සකස් කරලා තිබෙනවා. ඒ වගේම අත් පත්‍රිකාත් සකස් කරලා තිබෙනවා. ඒවා බෙදාහරින සහ ප්‍රදර්ශනය කරන්න කටයුතු කරනවා.

සංගමයක් විදිහට අපේ සංගමයේ ලියාපදිංචි ආයතන ගුරුවරු විනය නීති පද්ධතියක් ඇතුළේ වැඩ කරගෙන යනවා. පාසල් ආරම්භ වීමත් සමඟ තමා උපකාරක පංති ආරම්භ කිරීම සිදුවීමට නියමිතයි. දැනට ඔන්ලයින් ක්‍රමයට සහ සමාජ මාධ්‍ය හරහා දරුවන්ට විෂය දැනුම ලබාදීමට අපි උත්සාහයක නිරතවෙලා ඉන්නවා. තාක්ෂණික ගැටලු නිසා යම් අපහසුතා තිබෙනවා. කොහොම වුණත් උසස් පෙළ වගේ විභාග කල් දැමීම තමා වඩා සුදුසු. දැනටමත් ඒ පිළිබඳව සාකච්ඡා සිද්ධවෙලා තිබෙනවා.
ලාංකික අධ්‍යාපනය ටියුෂන්වලින් වියුක්ත කර කතා කළ නොහැකි පසුබිමක උපකාරක පංති ගුරැවරැන්ගේ මෙම මැදිහත් වීම ප්‍රශංසනීයයි. මේ අතර මෙවර උසස් පෙළ දරුවන් පිළිබඳ විශේෂයෙන්ම සිහිකළ යුතුයි. ඔවුහු අනපේක්ෂිත සමාජ බිඳවැටීම් දෙකට මුහුණදී සිටිති. පසුගිය වසරේ පාස්කු ප්‍රහාරයත් අපට අමතක කළ නොහැක. අධ්‍යාපනික මෙන්ම මානසික බලපෑමක් දරැවන්ට එහිදී සිදුවිය. මේ වසරේ ‍කොවිඩ් වසංගතය ඊටත් වඩා ප්‍රබල බලපෑමක් ඔවුන්ට සිදුකරමින් සිටී. සමස්ත උපකාරක පංති ගුරැවරැන් නියෝජනය කරමින් අමිත් පුස්වැල්ල මහතා දරැවන් ආමන්ත්‍රණය කරන්නේ එබැවිණි.

අපි දරුවන්ට කියන්නේ ධෛර්යෙන් වැඩකරන්න කියලා. මහන්සිවෙලා වෙලා වැඩකළොත් කොරොනා ව්‍යසනය තුළත් අපිට ජයගන්න පුළුවන්. මේක ලෝකයම මුහුණදෙන අභියෝගයක්. ඒ වගේම අපි දරුවන්ව දැනුම්වත් කිරීම සම්බන්ධ පොඩි පොඩි වැඩසටහන් කිහිපයක් සිදුකරමින් යනවා. මීට අමතර අපි රජය සමඟ සාකච්ඡා කරලා තිබෙනවා ඉදිරි ක්‍රියාමාර්ග ගැන. පාසල් ආරම්භ වීමත් සමඟ උපකාරක පංති ආරම්භ කිරීමට කිසිදු විරෝධයක් නෑ. දරුවන්ගේ සුරක්ෂිතභාවය තහවුරැ කරගනිමින් ඉදිරියේදී අපි මේ අභියෝගයට මුහුණ දෙනවා.

සැබැවින්ම ජාතියක් ලෙස අලුත් බලාපොරොත්තු සහිතව නැගී සිටීමට උත්සාහ දරන මොහොතක ජාතියේ අනාගත අපට අමතක කළ නොහැක. හෙට ඔවුන් හමුවේද විශාල අභියෝගයක් තිබේ. අද අප ඊට මුහුණදීමට ඔවුන්ව ශක්තිමත් කළයුතුව ඇත. එය කිරීමේ විශ්මකර්ම හැකියාව ලද්දෝ ගුරුවරුන් පමණි. පාසලේ වුව උපකාරක පංතියේ වුව ගුරුවරයා යනු ගුරුවරයාමය.

 චමිඳු නිසල් ද සිල්වා

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00