2020 මැයි 23 වන සෙනසුරාදා

හණමිටි ආර්ථිකයෙන් ගැලවෙන හැටි

 2020 මැයි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 14

ජගත් ප‍්‍රජාව මෑත ඉතිහාසය තුළ කිසි දිනෙක අත් නොවිඳින ලද අභාග්‍ය සම්පන්න අවස්ථාවකට මුහුණ පා සිටී. කොවිඩ්-19 වයිරසය ලෝකයේ අස්සක් මුල්ලක් නෑර ව්‍යාප්ත වී තිබේ. ජනීජනයා එක පැත්තකින් සිය සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධ අවිනිශ්චිත ස්වභාවයකය. අනෙක් පැත්තෙන් ආර්ථික දුෂ්කරතාවයක බව ප‍්‍රකාශ කළ යුතුය. නිෂ්පාදනය සීමා වී තිබේ. අලෙවිය පහත වැටී ඇත. ලක්ෂ ගණනින් රුකියා ස්ථාන වැසී ගොස් ඇති අතර එහි ප‍්‍රතිඵලයක් වශයෙන් අඩුම තරමින් ලක්ෂ විසිපහකට වෘත්තීය අවස්ථා අහිමි වී තිබේ.

ප‍්‍රබලම රටවල ආර්ථිකය ඍණ අගයකට පත්වනු ඇතැයි සැලකේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආර්ථික දැක්ම අනුව 2020 වසර තුළ ලෝක ආර්ථිකය සියයට තුනකින් පමණ පහළ වැටෙනු ඇත. එය 2002-2009 කාලයේ පැවැති ආර්ථික අර්බුදයට වඩා දරැණු තත්ත්වයකි. එය සමහරවිට 1930 දී ඇති වූ අර්බුදයසේ සියයට විසිපහකට පමණ රැකියා අහිමි වූ වාතාවරණයක් ඇති කරන්නට ඉඩ තිබේ. ආසියානු කලාපයේ රටවල් යම් පමණකට යහපත් තැනක පවතිනු ඇති නමුත් එය කිසිසේත් ප‍්‍රමාණවත් නැති අතර ඉතිහාසයේ නොතිබුණ අඩු වර්ධනයක් විය හැකිය. ලෝකයේ සියලුම රටවල් බලවත් අර්බුදයකට පත්කර ඇති කොවිඩ්-19 වයිරසයේ වසංගත තත්ත්වය ශ‍්‍රී ලංකාවද පීඩනයකට ලක්කර තිබේ. මෙම වසර තුළ දළ දේශීය නිෂ්පාදිතය ඍණ 0.5ක් (දශම පහක්) විය හැකි බව දැක්වෙයි. 

වයිරසයේ බලපෑමෙන් ගැලවීමෙන් පසු ආර්ථිකය පුනර්ජීවනය කරගත හැකි අන්දම ගැන නොයෙක් අදහස් තිබේ. දේශීය, ආර්ථික පර් යේෂණ ආයතනයක් වන පාත්ෆයින්ඩර් පදනම විශේෂඥයන්ගෙන් සමන්විත මණ්ඩලයක් පවතින ස්වභාවය අවබෝධ කරගෙන නැවත නිසිමඟට අවතීර්ණවීම අරමුණු කරගෙන රාමුවෙන් ඔබ්බට හිතන දර්ශනයක් ඉදිරිපත් කර ඇත. විශේෂඥ නිර්දේශ සහිත පාත්ෆයින්ඩර් වාර්තාව පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදෙන ලද අතර ආර්ථිකය නංවන හා දරිද්‍රතාවය තුරන් කරන කාර්යසාධන බලකායේ විශේෂ නියෝජිත බැසිල් රාජපක්ෂ මහතා වෙතද පිරිනමා තිබේ. 

• ජන ජීවිතය සුරක්ෂිතකර සහන සැලසීම

මෙම වාර්තාව පෙන්වා දෙන පරිදි ඉදිරිපත් කරන විසඳුම සම්ප‍්‍රදායික දෘ‍ෂ්ඨියකින් බැහැර එකකි. අඩු වර්ධනයක් තිබුණ 1970-77 කාලය හා 1977 ට පසු විවෘත ආර්ථික කාල පරිච්ඡේදය යන දෙපැත්තම සලකා බලා ඒවායෙන් අත්දැකීම් ගෙන නැවත පුනර්ජීවනයක් ඇතිකරන අලුත් සංකල්පයන්ගෙන් සමන්විතය. සමස්තයක් වශයෙන් සාමාන්‍ය ජනතාවට බරක් නොවන කෙටි කාලයකින් ආර්ථික ස්ථාවර බව හා ආයෝජන හිතකර තත්ත්වයක් ඇති කරන යෝජනාවලින් මෙම වාර්තාව සමන්විතය. ප‍්‍රධාන කරැණු තුනක් ගැන අවධානය යොමුකර තිබේ. ජන ජීවිතය සුරක්ෂිතකර සහන සැලසීම සඳහා කෙටිකාලීන හා මධ්‍යකාලීන සැලසුම් දක්වා ඇත. අභ්‍යන්තර හා බාහිර අංශවල මුල්‍ය සංචිත ගොඩනගාගෙන සාර්ථකව මුහුණ දෙන පියවර අවශ්‍ය බව දක්වයි. රාජ්‍ය හා පෞද්ගලික අංශවල ව්‍යාපාර ප‍්‍රතිව්‍යුහගතකර ආයෝජනයට ඉඩ ලැබෙන පරිදි ප‍්‍රතිපත්ති සම්පාදනය කළ යුතු බව අනාවරණය කර තිබේ. සම්පූර්ණ වාර්තාව අංශ නමයකට වෙන්කර ඇති අතර ගැඹුරින් අධ්‍යයනය කර මෙකී අත්‍යවශ්‍යම කරැණු වහා ක‍්‍රියාවට නැංවිය යුතු බව රජයටට යෝජනා කරයි. හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මෙම විද්වත් මණ්ඩලයේ ප‍්‍රධානියා වශයෙන් කටයුතු කර ඇත. 

ආදායම් අහිමි වූ ජන කොටස්වලට මුදලින් ආධාර කළ යුතු බව වාර්තාව පෙන්වා දෙයි. සමෘද්ධි වැඩසටහන සමාලෝචනය කළ යුතුය. කොවිඩ් - 19 බලපෑමෙන් තවත් කොටසක් ආදායම් අහිමිවන තැනට පත්වීම එයට හේතුවයි. නිදහස් වෙළෙඳ කලාප, වතු හා සෞඛ්‍ය අංශවල සහන ලැබිය යුතු ඉලක්කගත කොටස තෝරා අවශ්‍ය උපකාර කළ යුතු බව දක්වා තිබේ. ආදායම් තත්ත්වය සලකා සෞඛ්‍ය රක්ෂණයක් දිය හැකිය. සමුපකාර හා ඉතිරි කිරීමේ බැංකු ක‍්‍රම ග‍්‍රාමීය මට්ටමින් වැඩි දියුණු කළ යුතු බවද මෙම වාර්තාව අවධාරණය කර ඇත. 

ක්‍රියාවට නැංවිය හැකි අදහස් වෙනුවෙන් විශේෂ කාර්යසාධන බළකායක් පත්කර ඉක්මන් පියවර ගත යුතු අතර එහිදී පැරණි යල්පැන ගිය නීති ඉවත්කර නිලධාරීවාදය පැත්තකට කරන පියවර ගතයුතු බවද යෝජනා කර තිබේ. රාජ්‍ය සේවයේ ඇතැම් අංශ සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණයක් කළ හැකිය. රජයේ නිලධාරීන් අතර හා නිලධාරීන් හා පුරවැසියන් අතර සන්නිවේදනයට ඊ මේල් භාවිත කළ යුතු බවට බල කළ යුතු අතර දැනට සාර්ථකව පවත්වාගෙන යන රාජ්‍ය සේවයේ ඩිජිටල් අංශ තවත් අංශ ගණනාවකට එය ව්‍යාප්ත කළ හැකිය. නිලධාරීවාදය අහෝසි වන අතර කාර්යක්ෂමතාව ඇතිවෙයි. තරගකාරීත්වය තුළින් පෞද්ගලික අංශයට ද අලුත් අවස්ථා හිමිවන බව දක්වයි. අන්තර් ආයතනික ඉක්මන් තොරතුරැ හුවමාරැව හෙයින් සංවර්ධන ව්‍යාපෘති වේගවත් කළ හැකි අතර ආර්ථික සැලසුම් නංවන්නට වැඩි අවකාශයක් ලැබෙන බවද පෙන්වා දී තිබේ.   

• ජනතාවට ඉඩම් අයිතිය දී ව්‍යවසායකයන් බවට හැරවීම

සෑහෙන ජන කොටසකට ඉඩම් කොටසක නීත්‍යානුකූල අයිතිය නැත. ඉඩමක් හිමිකාරීත්වය තුළින් පහළ ආදායම් ලබන ජනයා ප‍්‍රාග්ධනයක් ඇති පිරිසක් බවට පත්වෙති. එය ව්‍යවසායකත්වයට අවස්ථාවකි. සමෘද්ධි ව්‍යාපාරය මගින් කණ්ඩායම් ණය ක‍්‍රම පවත්වාගෙන යන අතර එය තරුණන්ට අත්වැලක් විය හැකිය. නමුත් පවතින දුෂ්කරතා අනුව එම පියවර පවා සෑහෙන වෙනස්කම්වලට ලක්කළ යුතුය. දැනට ව්‍යවසාය කරගෙන යන අංශ වලට සහන අවශ්‍ය අතර ප‍්‍රතිසංස්කරණයකට ඉඩ දීම අවශ්‍යය. අලුතින් ණය ගැනීම හා ආයෝජනය වෙනුවෙන් අවකාශය සැලසිය යුතුය. අඩු පොලී අනුපාත යටතේ බැංකු ණය නිකුත් කළ යුතු අතර ඇතැම් අවස්ථාවල රජය හා මහ බැංකුව එකතු වී දෙන ඇප නිර්දේශ මත අන්තර්ජාතික ප‍්‍රභව මගින් ණය අරමුදල් ඉල්ලුම් කළ හැකි බව පෙන්වා දී තිබේ.  

ආහාර සුරක්ෂිත භාවයද මෙම වාර්තාව මතුකර ඇති පැත්තකි. කෘෂිකර්මය නවීකරණය කළ යුතුය. එය ආනයනය මත යැපීම සීමා කෙරේ. රජය දැනටමත් බෝග වගා ගණනාවක් මෙරට වගාකරනු සඳහා විශේෂ සහන සපයා ඇත. ණය සහ බීජ වෙනුවෙන් වැයකරන මුදල සම්පූර්ණයෙන් ගෙවන තීරණයකට පැමිණ තිබේ. තෙත් කලාපයේ ගොවියන්ට එය ස්වර්ණමය අවස්ථාවකි. වගා කරන දෙය ගැන තීරණය කරන නිදහස සහ වියදම ගැන බර ඉවත්කළ විට කෘෂි අංශය නැගෙන බව පාත්ෆයින්ඩර් වාර්තාව යෝජනා කරයි. ලබන අස්වැන්න අනුව ආහාර ආනයනය සීමාවන හෙයින් මෙරට විනිමය ඉතිරිවෙයි. එය ගෙවුම් ශේෂය මත බලපවත්වන පීඩනය අඩු කෙරේ. පෞද්ගලික හා රාජ්‍ය සහයෝගීතාවය ඇතිව පසු අස්වනු හානිය අවම කරගන්නා වැඩපිළිවෙළක්ද අවශ්‍යය. ගබඩා, ශීතාගාර, ප‍්‍රවාහන අවශ්‍යතා දියුණු කර තත්ත්වය ගැන අවධානය යොමු කරන සැලසුම් සකස් කිරීමෙන් හානිය අවම වෙයි. සුපිරි වෙළෙඳසල් හා අනෙක් මිල දී ගන්නා පාර්ශ්ව සමඟ සම්බන්ධ කරන ජංගම දුරකතන ඇප් ජනප‍්‍රිය කළ යුතුය. එවිට අලෙවියට අවස්ථා ඇතිවෙයි. තාක්ෂණය යහමින් ප‍්‍රයෝජනයට ගත හැකි අතර එය කෘෂිකර්මයෙහි නිරත ජනීජනයාගේ ජීවන තත්ත්වයට උසස් කරනු ඇත.  

• ණය බර කළමනාකරණය

කොවිඩ්-19 පීඩනයෙන් ගැලවෙනු සඳහා අලුත් ධනය සොයාගත යුතුය. දේශීය හා විදේශීය වශයෙන් ණය ගැනීමේදී මූල්‍ය අවදානමක් ඇතිවීමට ඇති පසුබිම තේරැම් ගැනීම අවශ්‍ය බව මෙම වාර්තාව කියයි. කෙසේ වෙතත් ණය ගන්නා අවස්ථාවේ දී නිෂ්පාදනයක් ඇති කරන ආයෝජන වෙනුවෙන් හෝ සමාජ සුරක්ෂිතභාවය සඳහා පමණක් වෙන් කරන බව තරයේ මතක තබා ගත යුතු බව පාත්ෆයින්ඩර් විශේෂඥ කණ්ඩායම අවධාරණය කර තිබේ. ජාත්‍යන්තර ණය දෙන ආයතන හා රටවල් සමග එකඟතාවයකට යා යුතු අතර දැනට ගෙවන ණය ආපසු ගෙවීම සඳහා අඩුම තරමින් වසර දෙකක සහන කාලයක් ඉල්ලා සිටිය යුතුය.

පාත්ෆයින්ඩර් පදනම විශේෂඥ මණ්ඩලය රජයට අයත් ව්‍යාපාර ගැන දක්වන යෝජනාද ගැඹුරු අවධානයට ගත යුතුය. ඒවා කළමනාකරණය කරගතහොත් පාඩුව අවම වන අතර ණය කළමනාකරණයට මගකි. ලාභ ලබන තැනට පත්කළ නොහැකි උපායශීලී වැදගත්කමක් නැති ආයතන පෞද්ගලීකරණය කළ යුතු බව කියා තිබේ. එයින් ආණ්ඩුවේ බර සැහැල්ලු වන අතර ජනතා සුබසාධනය ගැන වැඩි නැඹුරැවකින් ක‍්‍රියා කළ හැකිවෙයි. පෞද්ගලීකකරණයේ දී සමහර ආයතන දේශීය සමාගම්වලට පැවැරීමට හැකියාවක් තිබේ. කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තු ගත කළ හැකිය. රජයට අයත් ඇතැම් ආයතනවල සීමිත කොටස් ප‍්‍රමාණයක් ලැයිස්තු ගත කළහොත් එය දැනට පවතින තත්ත්වයට වඩා වෙළඳපොළ සක‍්‍රීය කරන හේතුවකි. ආයෝජන ශක්තිය ඇත. පෞද්ගලික අංශයට අයත් මෙරට සමාගම් සෑහෙන ප‍්‍රමාණයක් ඇත. මෙම අවස්ථාවේදී ජාතික වගකීමක් සේ සලකා ප‍්‍රතිපත්තියක් අනුව තීරණ ගත හැකිය. රජයට සිදුවන පාඩු අවම වන අතර ආර්ථිකය පුනර්ජීවනයට එක හේතුවකි. 

ආයෝජන මණ්ඩලය දැනට කරගෙන යන ආයෝජන ප‍්‍රවර්ධනය තවත් ඉහළට ගෙන යා යුතු බව පෙන්වා දී තිබේ. තීරණ ගැනීම වේගවත් කළ යුතු බව පාත්ෆයින්ඩර් වාර්තාව කියයි. වරාය මෙහෙයුම් හා භාණ්ඩ ප‍්‍රවාහනය යන අංශ වල අලුත් ආයෝජනයට ඉඩකඩ තිබේ. කොළඹ වරාය පුළුල් කිරීම හා වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය තුළ ඇති අවකාශය ජාත්‍යන්තරයට පෙන්වා දිය හැකිය. ආයෝජනය වෙනුවෙන් ඇති හිතකර බව දැක්වෙන අයුරින් රාජ්‍ය අංශය කළමනාරණය ඉතාම වැදගත්ය. ලෝකයේ රටවල් ගණනාවක් සමග ශ‍්‍රී ලංකාව වෙළෙඳ ගිවිසුම් අත්සන් කර ඇති අතර පවතින අවකාශය සලකා මේවා නැවත සලකා බැලීමට පුළුවන්කම තිබේ. එයින් ද්විපාර්ශවික වාසි අත්පත් කරගත හැකිය.

• වැඩියෙන් වැඩකර අහිමි වූ වකවානුව දිනා ගැනීම

කම්කරැ නීති නවීකරණය ගැන අවධානය යොමු කිරීම වැදගත්ය. වැටුප්, පඩි රහිත නිවාඩු, යනාදිය සංශෝධනය කරන අතර ආයතන මුහුණ පා ඇති තත්ත්වය සලකා වන්දි හා සියලු ගෙවීම් කර අත්‍යවශ්‍ය නොවන කාර්ය මණ්ඩලය පහසුවෙන් ඉවත්කරන්නට හැකි අවකාශය දිය යුතු බව මෙම වාර්තාව පෙන්වා දී තිබේ. ආයතන වලට බරක් නොවන අතර එම ප‍්‍රතිපාදන මත තමන්ටම ව්‍යවසායයක් අරඹන අවස්ථාව එයින් අත්පත් වෙයි. එමගින් විධිමත් ව්‍යවසායවලට අමතරව රටපුරා අලුත් අවිධිමත් සුළු ව්‍යාපාර විශාල ප‍්‍රමාණයක් ඇතිකරන්නටද හේතුවක් වනු ඇත. මෙරට වාර්ෂික නිවාඩු අඩු කිරීමට ඇති හැකියාවද අවධානයට ගතයුතු බව පාත්ෆයින්ඩර් වාර්තාව කියයි. පවතින රාමුවෙන් ඔබබ්ට හිතන්නට අපට අවශ්‍ය වන අතර දැනට පවතින නිවාඩු දින ගණන විසිපහක සිට දහතුන දක්වා අඩුකරන අතර වසර 2021 තෙක් සෙනසුරාදා දිනය ද වැඩකරන දිනයක් බවට පත් කළ හැකිය. එමගින් දැනට රටට අහිමි වූ සති පහළොවක කාලය හා ඉදිරියේ දී තවත් කොපමණ කාලයක් සමාජ දුරස්ථභාවය සහිතව පවත්වාගෙන යන්නට සිදුවේ දැයි නොදන්නා තත්ත්වය පාලනය කරගත හැකිවනු ඇත. ශ‍්‍රම බලකාය පුහුණු කළ යුතුය. ආසියානු ඵලදායීතා සංවිධානය හා ජාතික ඵලදායී ලේකම් කාර්යාලයට එකතු වී එයට පියවර ගත හැකිව තිබේ.   

රජය හා දේශීය ව්‍යාපාරික සංගම් එකතු වී අන්‍යොන්‍ය අවබෝධයක් ඇති කරගත යුතු බව පාත්ෆයින්ඩර් පදනමේ විශේෂඥ කමිටුව තවදුරටත් යෝජනා කරයි. ශ්‍රී ලංකාව අලුතින් ප‍්‍රවර්ධනය කළ යුතුය. අපනයන ප‍්‍රවර්ධනය කළ යුතු අතර ආයෝජන හා සංචාරක කටයුතු සම්බන්ධ අවස්ථා විදේශ කටයුතු අමාත්‍යංශය සමග එකතු වී නැවත ගොඩනගන්නට අවශ්‍යය. ව්‍යාපාරික සංවිධාන හා ජාතයන්තර දූත පිරිස් එකතු වී ජාතික වැදගත්කමකින් යුතු ආර්ථික ප‍්‍රමුඛතා ගැන සැලසුම් හැදිය හැකි අතර චීනය, ජපානය හා කොරියාව යන රටවල ආයෝජන එම රටවලින් බැහැරව ශ‍්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එයින් අවකාශය විවෘත වනු ඇත. 

පාත්ෆයින්ඩර් විශේෂඥ කමිටුව

පාත්ෆයින්ඩර් පදනමේ ජ්‍යෙෂ්ඨ සාමාජික, හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි (සභාපති) වශයෙන් කටයුතු කළ අතර ආචාර්ය සිසිර පින්නවල (පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා පීඨය) සහ ආචාර්ය ගනේෂ් විග්නරාජා (විධායක අධ්‍යක්ෂ - ලක්ෂමන් කදිරගාමර් ආයතනය) ප‍්‍රධාන සංස්කාරකවරැ වෙති.  මහාචාර්ය සිරිමල් අබේරත්න, ආචාර්ය සුජාතා ගමගේ, ආචාර්ය දිලිණි ගුණවර්ධන, මහාචාර්ය ආරියරත්න හේරත්, මහාචාර්ය සරෝජ් ජයසිංහ, මහාචාර්ය මල්ලිකා පින්නවල, මහාචාර්ය රොහාන් සමරජීව, ක‍්‍රිෂාන් බාලේන්ද්‍ර, නිමල් කුක්, ෂෙරාන් ප‍්‍රනාන්දු, ඩිරෙන් හෙලොක්, ජියැන්ග් හොයුලින්ග්, මුරතාසා ජෙෆර්ජී, මහාචාර්ය මුතුකි‍්‍රෂ්ණා සර්වනාතන්, මොහමඩ් මුෂීන්, අශ්රෆ් ඔමාර්, අරැන් පතාක්, සුරේන් රත්වත්තෙ, ආචාර්ය හාන්ස් විජේසූරිය, මංගල බෝයගොඩ, එම්. එච්. ජමල්ඩීන්, එහිලියන් කදිරගාමර්, නිලංග සමරසිංහ සහ රාජේන්ද්‍ර තේවරාජ් සෙසු සාමාජිකයෝ අතර වෙති. 

 ගාමිණී සරත් ගොඩකන්ද

 2020 ජුලි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ජුනි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ජුනි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ජුනි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00