2020 මැයි 23 වන සෙනසුරාදා

වැලිසර කඳවුරේ කොරෝනා ප්‍රහේලිකාව

 2020 මැයි 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 64

මහ ජනතාව තුළ කොරෝනා ව්‍යාප්තිය සැලකියයුතු ලෙස පාලනය කර ඇති පසුබිමක තමත් සක්‍රීය නාවික හමුදා කොරෝනා පොකුර පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය යොමුවී තිබේ. මේ අතර විවිධ දුර්මතද නාවික හමුදා කොරෝනා කෝවිඩ් පොකුර ගැන පැතිර යමින් තිබේ. ඒ හේතුවෙන්ම වැලිසර නාවික හමුදා කඳවුරේ වර්තමාන තත්ත්වය පිළිබඳ සොයා බැලීමට අප තීරණය කළෙමු.

සුදුවැල්ලේ සිදුවීම හේතුකොට ගෙන නාවික හමුදා රණවිරුවන් කෝවිඩ් ආසාදිතයන් බවට පත්වූයේ අප්‍රේල් තෙවැනි සතියේය. එතැන් පටන් රට තුළ වාර්තා වූ ආසාදිතයන්ගෙන් අති බහුතරය නාවික හමුදා සෙබළු වූහ. මේ සතිය තුළද වැඩි වශයෙන් ආසාදිතයන් හඳුනාගනු ලැබුවේ වැලිසර කඳවුරු තුළිනි. 

මේ සම්බන්ධව පළමුව සාකච්ඡා කිරීමට අපි වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සම්බන්ධ කර ගතිමු.

අප්‍රියෙල් 21 වැනිදා පළමු රෝගියා හමුවෙද්දී වෛරසය යම්කිසි කාලයක් කඳවුර තුළ සංසරණය වෙලා තිබිලා තිබෙනවා. ඒ අවස්ථාව වනවිටත් රෝගය හැදිලා අවසන් අදියරේ ඉන්න අය වගේම බීජෞෂණ සමයේ ඉන්න අයත් කඳවුර තුළ සිටියා. ඒ හේතුවෙන් පරීක්ෂණවලදී හඳුනාගත හැකි මට්ටමේ අය වගේම හඳුනාගත නොහැකි මට්ටමේ අයත් කඳවුර තුළ සිටියා. මේ කඳවුරු ඇත්තටම ජනපදයක් වගේ. එක එක ගම්මාන වගේ කඳවුරැ වෙන වෙනම තිබෙනවා. මේ වගේ තැනක රෝගය පැතිරුණාම කාට කාගෙන්ද ආසාදනය වුණේ කියලා අපිට කියන්න බෑ. පෙර අවස්ථාවලදී නිශ්චිතව හඳුනාගැනීමක් අපට තිබුණා. කඳවුර තුළ තියෙන්නේ ප්‍රජාව තුළ වෛරසය පැතිරීම (community Transmission) කියන තත්ත්වය. ඇමරිකාවේ එංගලන්තේ සිද්ධවෙන දේ මේ කුඩා ජනපදය තුළ සිද්ධවෙලා තියෙන්නේ.

මෙම පැහැදිලි කිරීමට අනුව වැලිසර නාවික හමුදා කඳවුරෙන් දිගින් දිගටම රෝගීන් වාර්තාවීමට හේතුව අපට පැහැදිලිය. කෙසේ නමුත් විශ්වාසයෙන් සඳහන් කළ යුත්තේ මෙම තත්ත්වය පවතින්නේ කඳවුර තුළ පමණක් බවයි. සෞඛ්‍ය අංශ සහ නාවික හමුදා නිවාඩු ගිය සෙබළුන් නැවත කැඳවීමට ගත් තීරණය සහ රෝගය පාලනයට ගත් පියවර මීට හේතු වී ඇත. එමෙන්ම කඳවුර තුළ වෛරසය පැතිරයාම පිළිබඳ දැනගත් මොහොතේ සිට ගනු ලැබූ සියලු තීරණ අද පොදු සමාජයේ ගොඩනැගෙන සුරක්ෂිතභාවයට හේතුවී ඇති බව කිවයුතුය. කෝවිඩ් සතුරා කඳවුරැ තුළට කොටුකරගෙන ඔවුන් සිදුකරන්නේ සුළුපටු සටනක් නොවේ.

දැනට කඳවුර තුළ ගොඩක් දෙනෙක් වෛරසයට නිරාවරණය වෙලා ඉවරයි. වෛරසය ආසාදනය නොවුණු අයව ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක අපි ඉන්නවා. ප්‍රජාව තුළට වෛරසය අතුල් වෙලා නිසා ඒ ක්‍රියාවලිය දිගටම සිදුවෙනවා. එහෙම ගිහිල්ලා ටිකෙන් ටික තමා මේක අඩුවෙන්නේ. ඒ අතර පරීක්ෂා කිරීම දිගින් දිගටම සිද්ධ වෙනවා. මෙතැන ඉන්න අය නිරෝධනයට කඳවුරුවලට යවනවා. පිරිස තුනී කිරීමක් සිදුකෙරනවා. කොහොම වුණත් රෝගය කඳවුරෙන් පිටතට පැතිරීමක් නෑ. කඳවුර තුළ පැතිරීම ගැන බලන්න වෙන්නේ කඳවුරැ තුළ රෝගීන් වාර්තා වෙන ප්‍රවණතාවය එක්ක. දැනට තිබෙන තත්ත්වය අනුව තාමත් මෙතැන ඉන්න පුළුවන් රෝගය වැළඳිලා රෝග ලක්ෂණ මතු නොවුණු පිරිස. බීජෞෂණ සමයේ ඉන්න පොසිටිව් වෙන්නේ නැති අය. ඒ නිසා තව කාලයක් යනවා පොසිටිව් වෙන අය හඳුනාගන්න.

සමාජය තුළ වැලිසර සිදුවීම පිළිබඳ විවිධ දුර්මත මෙන්ම අනුවණ විචාරයන්ද දැකගත හැකිය. පී.සී.ආර් පරීක්ෂණ එකවර සිදුකර රෝගීන් හඳුනා නොගන්නේ ඇයිදැයි ඇතැමුන් ප්‍රශ්න කරන්නේ එබැවිණි. විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ඊට පිළිතුරක් ලබාදුන්නේය.

පරීක්ෂණ එකපාරටම කරන එක තේරුමක් නෑ මේ වගේ අවස්ථාවක. මෙතැනදී ප්‍රමුඛතාව දෙන්නේ රෝග ලක්ෂණ තිබෙන අයට. ඊළඟට වැඩි අවදානම තියෙන අයට. රෝගීන් වාර්තා වෙච්ච කඳවුරු වෙනම තියෙනවා රෝගී වාර්තා නොවුණු කඳවුරැත් තියෙනවා.

මේ අනුව සෞඛ්‍ය අංශ විසින් අදාළ ප්‍රතිකාර කටයුතු සාර්ථකව සිදුකරන බව නාවික හමුදාවද පෙන්වා දෙයි. එසේම නිවාඩු ගොස් සිටියදී නැවත කැඳවනු ලැබූ පිරිස් වෙන්ව හුදෙකලා කිරීම නිරෝධනයට කළයුතු පිරිස් වෙන්ව නිරෝධායනයට කිරීම ආදිය කඳවුර තුළ මේ වනවිටත් විධිමත්ව සිදුවී තිබේ. අපි වැලිසර කඳවුරේ වර්තමාන තත්ත්වය පිළිබඳ තවදුරටත් තොරතුරැ දැනගැනීමට නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරැ සූරියබණ්ඩාර සම්බන්ධ කරගතිමු.

වැලිසර කඳවුර අපි සම්පූර්ණයෙන්ම නිරෝධායනයට ලක්කරලා තිබෙන්නේ. නමුත් අදියරෙන් අදියර පිරිසුදු කිරීම් හුදකලා කිරීම් ආදිය සිදු කෙරෙනවා. නැවතත් කඳවුර විවෘත කිරීම සිද්ධවිය යුතු නිසා තමයි ඒ කටයුතු සිදු වෙන්නේ. ඊට අමතර යම් අයෙක්ට නෙගටිව් වුණා කියලා අපිට ඔවුන් නිරෝගී කියලා කියන්න බෑ. ඔවුන්ව නැවත පරීක්ෂා කිරීම් නිරෝධාන කාලයකට යටත් කිරීම් කරන්න ඕනෑ. ඒ කටයුතුත් සිද්ධ වෙනවා. නිරෝගී කියා හඳුනාගන්නා පිරිස් වෙන්කර තැබීම ආදියත් සිද්ධවෙනවා. මේ සියල්ල විධිමත්වයි සිදුවෙන්නේ.

මේ අතර පැතිර යන කටකතා සම්බන්ධව පිළිතුරැ දීමටත් අනවශ්‍ය කරැණක් බව නාවික හමුදාව  පෙන්වා දෙයි. ව්‍යවස්ථාපිත වෘත්තීය හමුදාවක් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරන බව ඔවුහු අවධාරණය කරති. ඒ අනුව මේ වනවිටත් වැලිසර කඳවුරේ වෛරසය ව්‍යාප්තිය සම්බන්ධ විධිමත් පරීක්ෂණයක් සිදුවෙමින් පවතියි.

වැලිසර කඳවුර වටා ගොඩනැගෙන සමාජ කතිකාව කුමක්වුවත් නාවික හමුදාව මේ මොහොතේ කෝවිඩ් මර්දනය වෙනුවෙන් කරමින් සිටින කාර්යභාරය අතිමහත්ය. යම් ගැටලුවක් මේ තුළ වෙතොත් එය අදාළ පරීක්ෂණවලින් හෙළිදරව් වනු ඇත. කවරක් වුවත් ඔවුන් ආසාදිතයන් බවට පත්වූයේ නොහික්මුණ සිවිල් සමාජය ආරක්ෂා කිරීමට ගොස් බව අප අමතක කළ යුතු නැත.

චමිඳු නිසල් ද සිල්වා