2020 මැයි 23 වන සෙනසුරාදා

ඇඳිරිනීතිය කඩාගෙන ඇතුළට ගිය හැටදාහ

 2020 මැයි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 36

මාර්තු 11 වැනිදා මෙරට පළමු කොවිඩ් ආසාදිතයා හඳුනාගනු ලැබීය. වසංගත අවදානමෙන් රටත් මහජනතාවත් ආරක්ෂා කර ගැනීම සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩල හා ආරක්ෂක අංශ විසින් තවමත් විශේෂ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙයි. තත්ත්වය විධිමත් ලෙස පාලනය කිරීම සඳහා සමස්ත දිවයින පුරාමත් විටෙක හඳුනාගත් දිස්ත්‍රික්කවලටත් ඇඳරි නීතිය ක්‍රියාත්මක කෙරිණ. මේ දක්වා වරින්වර ලිහිල් කරමින් පවත්වාගෙන යන නිරෝධායන ඇඳිරි නීතිය වසංගතයට එරෙහිව ගත්තා වූ සියලු ක්‍රියාමාර්ග අතරින් ජනතාවට වඩාත් දැනුණු එකකි.

නිරෝධායන ඇඳිරි නීතිය බලපැවැත් වූ සෑම අවස්ථාවකදීම අදාළ ප්‍රදේශවල පොලිස්ථාන මගින් නිතිපතා සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලැබීය. එහිදී ඇඳිරි නීතිය කඩකිරීම හා ඇඳිරිනීති බලපත්‍ර අවභාවිත කිරීම සම්බන්ධයෙන් සැකකරැවෝ විශාල පිරිසක් අත්අඩංගුවට ගනු ලැබූහ. මේ ආකාරයට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ මාර්තු 18 වැනිදා සිට මැයි 20 වැනිදා තෙක් මාස දෙකකදී එවැනි සිදුවීම්වලට එරෙහිව අත්අඩංගුවට පත් පිරිස 60,425කි. ඒ සමඟ අත්අඩංගුවට ගත් රථවාහන ප්‍රමාණය 16,924කි. මේ පිරිස අතරින් 17,193කට එරෙහිව නඩු පවරා ඇති බවත් එම නඩු ආශ්‍රයෙන් 6480කට දඬුවම් නියමකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නිතීඥ ජාලිය සේනාරත්න මහතා පවසයි.

අත්අඩංගුවට ගත් අයගෙන් දැනටමත් 55,000කට අධික පිරිසක් අධිකරණය හමුවේ වරදකරැවන් වී සිටිති. ඔවුන්ට සිරදඬුවම් හෝ දඩ මෙන්ම ඇතැමුන්ට සිරදඬුවම් සමඟ දඩ යන දඬුවම් දෙකට නියමකොට තිබෙන බව පොලිස් නීති කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය. ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන ඉදිරි දිනවලදීද එම නීතිය උල්ලංඝනය කරන පිරිසට එරෙහිව සෝදිසි මෙහෙයුම් සිදුකරන බවත් සැකකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවය. අදාළ මෙහෙයුම් ක්‍රියාවලිය සඳහා පොලිස් නිලධාරීහු රාජකාරි ඇඳුමට පරිබාහිරව සිවිල් ඇඳුමින්ද රාජකාරියේ නිරතව සිටිති. මේ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටින්නේ පොලීසිය සිදුකරන අදාළ මෙහෙයුම් සඳහා මහජනතාවගේ සහාය අපේක්ෂා කරන බවය. එසේම අවශ්‍ය සහාය ලබා නොදෙන පිරිස් සම්බන්ධයෙන්ද නීතිමය පියවර ගැනීමේ හැකියාව ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

මෙරට ඉතිහාසයේ යම් යම් කාලසීමාවලදී ක්‍රියාත්මක කෙරැණු ඇඳිරි නීතිය බහුතර ජනතාව අත්විඳ ඇත. අප දන්නා හා මතක පරිදි එම ඇඳිරි නීති ක්‍රමවේද රටේ නීතිය හා සාමය පවත්වාගන යාම සඳහා ක්‍රියාත්මක කළ ඒවාය. එහෙත් මාර්තු 18 වැනිදා සිට ක්‍රියාත්මක කෙරැණු ඇඳිරි නිතිය මාරාන්තික කොරෝනා වසංගතය ව්‍යාප්තවීම පාලනය කිරීමට යෙදවූ එකකි. පොලිස් මූලස්ථානය හා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ මෙය නිරෝධායන ඇඳිරිනීතිය බවය.

කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවලට යෙදූ ඇඳිරි නීතිය නොකඩවා ක්‍රියාත්මක කෙරෙන පසුබිමක සෙසු දිස්ත්‍රික්කවල පැවති ඇඳිරි නීතිය ඉවත්කර දින කිහිපයකි. සෞඛ්‍ය උපදෙස් අනුව ජනජීවිතය පවත්වාගෙන යාමට හා ජනතාවගේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා අවස්ථාව සලසමින් එම ප්‍රදේශවල ඇඳිරි නීතිය ලිහිල් කෙරිණ. එහෙත් එම ලිහිල් කිරීම ඇතැම් පිරිස් අවභාවිත කළ සිදුවීම් වාර්තා වූ අතර පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේද එවැනි පිරිසකි. කෙසේ වෙතත් පවතින කොරෝනා අවදානම හමුවේ තවදුරටත් නැවත දැනුම් දෙනතුරැ කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය ක්‍රියාත්මකය.

මේ ආකාරයෙන් පැවති ඇඳිරිනීතිය ලිහිල් කෙරැණේ රටේ අත්‍යවශ්‍ය සේවා ව්‍යාපාර හා කෘෂිකාර්මික නිෂ්පාදන ක්‍රියාවලිය නොනවත්වාම පවත්වාගෙන යාමටය. මේ කාලය තුළදී විවෘත කරන ආයතන කාර්යාල ආදියෙහි සේවයේ නියුතු සේවක පිරිස්වල අවශ්‍යතා හා ප්‍රවාහන පහසුකම් ආයතන ප්‍රධානීන් වගබලා ගත යුතු විය. ඒ සඳහා සෞඛ්‍ය අංශ මගින් උපදෙස් මාලාවක් නිකුත් කිරීමටද පියවර ගෙන තිබිණ.

මෙම ක්‍රමවේදය හරහා අත්‍යවශ්‍ය හා සීමිත වෙළෙඳ කටයුතු ප්‍රමාණයක් පවත්වාගන යමින් රට විවෘත කිරීමට ආණ්ඩුව අවධානය යොමුකර තිබිණ. එසේ රටේ ආර්ථිකය යම් පමණකට ගොඩනැංවීමත් ඊට ගැලපෙන පරිදි ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය පදනම් කරගෙන ජනතාවට නිවෙස්වලින් බැහැර යාමේ ක්‍රමයද හඳන්වා දෙනු ලැබීය. මෙය නීතියක් නොවුණද පොලීසිය සෞඛ්‍ය අංශ හා සෙසු ආරක්ෂක අංශ වෙතින් ගත්තා වූ කාලෝචිත සෞඛ්‍යාරක්ෂක ක්‍රමයකි.

තත්ත්වය එසේ වුවද පවතින නිදහස අයුතු භාවිතයෙන් සාද පැවැත්වීම විනෝද චාරිකා යාම හා කණ්ඩායම් වශයෙන් රුස්වී ක්‍රීඩා කිරීම හා ආගමික උත්සව පැවැත්වීම සපුරා තහනම්ය. එවැනි සිදුවීම්වලට එරෙහිව ක්‍රියාත්මක වන පොලිසිය නිරෝධායන නීතිය අනුව දැඩි නීතිමය පියවර ගැනීම සිදුකරනු ඇත.

 සමන්ත ප්‍රදීප් විල්තෙර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00