2020 මැයි 23 වන සෙනසුරාදා

කොරෝනා කාලේ කන්තෝරු ආතල්

 2020 මැයි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 299

කොල්ලුපිටියේ ලිබර්ටි එකට ගිහින් එන්න කියලා දොරෙන් එළියට ගිහින් කොරිඩෝවෙන් හැරුණා විතරයි ඔෆිස් එකේ එකෙක් වීදුරු ජනේලයට තට්ටු දාලා කතා කරා... ආයෙත් දොර ඇරගෙන ඇතුළට යද්දී පොල්කිච්චා වගේ හැමවෙලේම ඔළුව උස්සා උස්සා වටේටම හොටදාන අපේ ෆොටෝග්‍රැපර් කට උල්කර කර මාස්ක්... මාස්ක්... කීවා. එළියට බැස්සේ මාස්ක් නැතුව කියලා මතක් වුණේ ඌ පොල්කිච්චා වගේ කට උල්කර කර කෑගහද්දී... ඇත්තම කතන්දරේ අපි මාස්ක් දාගෙන එළියට බැස්ස ජාතියක් නෙවෙයිනේ.... ඉතින් අමතකා... යි...

චීනේ වූහාන් වල කොරවෙන්න කොරෝනා තියෙද්දී කිසිම හාවක් හූවක් නැතුව ආතල් එකේ හිටපු අපිට මත්තෙගොඩ රණසිංහට කොරෝනා කියලා දැනගත්ත වෙලේ ඉඳන් හැදුනා කියහන්කො වලිප්පුව.... ඊටපහුවදා ඉඳන් ගෙදර නැවතිච්ච අපේ සමහර සගයෝ අද දක්වා එළියට බහින්නෙ නෑ කොරෝනා භීතිකාව.... කන්න බොන්න ගෙන්න ගන්නෙත් දෙගුණෙ තෙගුණෙ දීලා හරි Online Delivery. හරියට ලෝකයට පළවෙනි වතාවට වෛරසයක් ආවා වගේ කට්ටිය පණපිටින්ම සීතල වෙලා කුජීත විදියටම හැංගෙන්න පටන් ගත්තා. පරිස්සම වටිනවා මචෝ.... ඒත් පරිස්සමයි බයේ හැංගිල්ලයි කියන්නේ පැහැදිලිවම එකක් නෙමේ දෙකක්. එහෙම බයේ හැංඟෙද්දී ඇඟේ ප්‍රතිශක්තිකරණයත් මිසින් වෙනවා... කොරෝනා එන්න ඉස්සර පැපොල, කම්මුල්ගාය, සරම්ප වගේ කී නොකී වෛරස්... ගමේ ව්‍යවහාරයෙන් කියනවා නම් දෙයියන්ගේ ලෙඩ අපේ රටේ උන්ට පරම්පරාවෙන් පරම්පරාවට පත්තියන් වෙච්ච ජාතියක්.... ඒ අල්ල පනල්ලේ ඩෙංගු සූ ගෑවිල්ලේ ඇවිලිච්චි ගින්දරක්...
හැබැයි දෙයියන්ගේ අලකලංචියි ඩෙංගියාගේ ඩෙංගුවයි සීතලේ ආතලේ අධෝ වාතයක් තරමටවත් ගණන් නොගත්ත අපේ රටේ උන් කොරෝනාවලට දක්වපු බය කොච්චර මාරාන්තික වුණාද කියනවා නම් ඔෆීස් එක ඇතුළේ එකෙකුට නිකම් හෙම්බිරිස්සාවක් හැදෙන්න කිඹිහුමක් ගියත්, පිට උගුරේ ගිහින් කැස්සක් ආවත් ඌ දිහා බැලුවේ නිකම් මරාගෙන මැරෙන ඝාතකයෙක් දිහා බලනවා වගේ මෙව්වා එකකින්... ඇත්තටම කොරෝනා කාලේ ඔෆීස් ආලේ වෙච්ච Changes ඔබත් හරි පුදුමයි... ඔබේ ආදරෙත් පුදුමයි අපි යකෝ වෙනස් වෙලා... බෑ යකෝ බෑ.... වගේ.... කොරිඩෝවක එහෙම මූණට මූණ හම්බවෙන විදිහට එකෙක් ආවත් අනිකා නිකම් අං තියෙන හරකෙක් ඉස්සරහට එද්දි වගේ අනිත් පැත්තට පනින්නේ. හැබැයි එහෙම පනින සමහර එවුන්ට දවල්ට කද්දි ඒ මීටරයයි කොරෝනාවයි දෙකම අමතකයි. එක බත් එකෙන් එකට ගුලි ගැහිලා කෑව කොල්ලෝ සෙට් එක ඒ විදිහට කන බොන ගමන් වීරයෝ වගේ කියන්නේ අපි එකට කන එක නවත්වන්ට කාටවත් බෑ යකෝ කියලා... පුහ්... බලපල්ලකෝ ඒ ගැම්ම....

දැන් ඔෆීස් සිස්ටම් මාර වෙනස්.... වාහනයෙන් ඔෆීසියේ දොරකඩ බැස්ස ගමන් කකුලෙන් පාගන ටැප් එකෙන් අත් සෝදාගෙන බේසම් පොඩ්ඩක දාලා තියෙන පන්ච් කෑල්ලක් උඩින් පැනගෙන එද්දී සිකුරිටි එකේ අන්කල් කෙනෙක් ශරීර උෂ්ණත්වය බලන්න පොඩි මැෂිමක් නළලට අල්ලනවා... හිටපු ගමන් සමහර සිකුරිටි අංකල්ලාට මැෂිමේ ඉලක්කම වරදිනවා. වෙනදා වගේ නෙවෙයි එයාලත් පට්ට බිසීනේ ඉතින්... මේ ළඟදි දවසක ඒක නළලට තියලා ඇඟේ උෂ්ණත්වය 20යි කියපි. අංකල්ගේ උෂ්ණත්ව මාපකයට අනුව මම මැරිලා දවස් දෙකක් විතර වෙන්ට ඕනෑ... මාස්ක් එකට යටින් පොඩි බකස් එකක් ගියත් ඒ වැරදීම් දෙන සුන්දර ආතල් විඳ විඳම මම උඩට ආවා....

මේ ළඟදි අපේ පොල්කිච්චාගේ උපන්දිනේ... වෙනදට කේක්... මෙදා සැරේ No කේක්... එයාගේ නෝනා උපන්දිනේට මුං කිරිබත් හදලා... කට්ට සම්බලයක් හදලා... මූ හොරාට කිරිබත් කෑලි දෙක ගාණේ ඔතාගෙන ඇවිත් ඔෆීස් එකේ ඉන්න කළු කෙල්ලකටයි.... සුදු කෙල්ලකටයි දීලා දෙන ගමන් හොරෙන් කාපන් කියලා... එදාම ඔෆීස් එකේ තව කොල්ලෙක්ගේ අම්මා උදේට කන්න එවලා තියෙන්නෙත් මුං කිරිබත් හා කට්ට සම්බල්. අර සුදු කෙල්ල කිරිබත් කාලා අත හෝදන්න යන ගමන් අර කිරිබත් පාර්සලේ දැකලා හොරෙන් කන්න කියපු එක අමතක වෙලා ඒකිට හිතිලා තියෙන්නේ ඒකත් පොල්කිච්චා ගෙනත් දුන්න එකක් කියලා... හානේ ගාගෙන ඕපාදූපෙ දිගඇරියලු.... හොරාට කිරිබත් දුන්න ගේම මාට්ටු.... කොරෝනා පීඩනය අස්සේ කට්ටියගේ ස්ට්‍රේස් දන්නෙම  නැතුව නැතිවෙන්නෙ මෙන්න මේ වගේ රස රස අලකලංචිවලින් තමා. 

තවත් දවසක් මේ බුවාට නෝනා කට්ටිය එක්ක කන්න කියලා බැදපු කොස් රස කැවිල්ලක් දීලා... මූට ඒක මතක් වෙලා තියෙන්නෙ ගෙදර යන්න යද්දි... ඒ වෙලාවේ ඉඳලා තියෙන්නේ අර සුදු කෙල්ලයි තව මහත්තුරු දෙන්නෙකුයි විතරයි... මූ කොස් බාගයක්ම අර කෙල්ලට දීලා... මූ කොච්චර සිරාද කියනවා නම් නෝනා ගෙදරින් එවන රස බත් එක මල්ලේ දාගෙන ඒක අමතක කරලා කඩෙන් කෑම අරගෙන කන පොරක්...

මේක මේ අපි දන්න ඔෆීස් එකක වෙච්ච එකක්... කට්ටියට සහනාධාර හම්බවෙලා හාල් කිලෝ 10යි සැමන් 5යි... පරිප්පු 5යි ඔය විදිහට... එදා නිකම් කට්ටියට රජ මඟුල් වගේලු.... සහනාධාර මලු ටික උස්සාගෙන එන්න කට්ටියම වාහනේ ළඟට ගිහින්. මේ අතරේ ඉන්නවලු ටිකක් වයසක පහේ කොට ටිකක් ප්‍රාඥ ඩයල් එකක්... තව එකෙක් ඉන්නවා වයස 30 පැන්න ගමන් උස රැවුල් ඩයල් එකක්... 30 වුණාට හැත්තෑවක අනූවක ලෙඩ ගොඩක් ඌ.... කොටින්ම ජංගම රෝහලක්... හැබැයි විනෝද චාරිකාවක් වගේ යන්න කියාපු පොරක්. ට්‍රිප් ගියාම තොප්පිය නැතිවුණ බව කියාගෙන කෙල්ලන්ගේ කාමරවලට එහෙම තට්ටු දාලා පට්ට ආතල් දෙන බුවෙක්. මූ... සහනාධාර මලු උස්සාගෙන එන අතරේ අර කොට ඩයල් එක හොයනවා. මචං කෝ බං... අපේ.... පෑගිලා මැරුණාවත්ද කියලා....

තව සගයෙක් ඉන්නවා සෙත් කවි, අර කවි, මේ කවි, හඳහන්, පොරොන්දම් ඒවාට මේවාට නම්දරාපු පොරක්. ට්‍රිප් එකක් ගියොත් මෙයා කොස් තම්බගෙන ගලේ අඹරලා රතු සම්බෝලයක් හදාගෙන කැන්ද කොළ එහෙමත් අරගෙන එන සිරා බුවා... කොරෝනා කාලේ ආසාවකට කඩචෝරැවක් කන්ට නැතුව හූල්ලා හූල්ලා හිටපු එවුන්ට දවසක් මේ බුවා  කොස් හැලියක් පිටින් තම්බගෙන සරැ සම්බෝලෙකුත් එක්ක උස්සාගෙන ආපි. කැන්ද කොළ අහුරකුත් එක්කම... එදා දවල් කෑම කට්ටියටම පට්ට... ඇත්තටම කොරෝනා කාලේ මිසක් මේ වගේ ආදර බැඳුම් ඊට ඉස්සර තිබුණේ නෑනේ... කාමරංගා... අඹ... දවසින් දවස එක එකා මාරුවෙන් මාරුවට ගේනවා. මිනිස්සු කෑම කන්නේ බඩගින්නටම නෙමෙයිනේ.... කෑමකද්දී මාර ආතල් Friend Ship  එකක් ගොඩනැගෙනවානේ... දන්නෙම නැතුව.... අන්න ඒක මේ කාලේ ඔෆිස් සෙට් මාරෙටම වින්ද එකක්. ඒ විතරක්ද ගෙදර වත්තෙන් ඉඟුරු ගෙනත් කට්ටියටම ඉඟුරැ තේ හැදුවෙත් ජීවිතයට ගෙදරදී තේ එකක් නොහදන අපේ බුවාලම තමයි.

ඒ අතරේ දවසක් හැර දවසක් නැත්නම් සතියකට දවසක් දෙකක් බීපු උන්ට නිකම් කලන්තෙ වගේ... උන්ට වෙනම සික් එකක්... හිඟන්නො වගේ කට්ටිය ෂොට් එකක් දෙකක් හරි හොයනවා... අම්මා.... හද පැලෙන්න මිත්‍රත්වය උඩට එන වෙලාවලුත් මේ අල්ල පනල්ලේ රබර් බෝල වගේ උඩට මතුවෙච්චි... කට්ටිය තමන් ළඟ තිබුණ ෂොට් එක දෙක එක එක බෝතල්වල දාලා නැතුවම බැරි උන්ට ගෙනත් දෙන අතරේ අපේ රසකතා සාගරයක් වෙච්චි කා.කා.ස. කෙනෙක් අනේ මහත්තයෝ ගගා හතර වටේ වැඳ වැඳ ගිහින් අරවගෙන් මේවගෙන් එකතු කරගෙන අන්තිමට සමහර බ්‍රෑන්ඩ් කාල 800 ගානේ විකුණලාලු.... ඒ කොරෝනා ආතල් අස්සේ වෙච්ච අහිංසක ගේම්....
වහලා වහලා තිබ්බ බාර් ඇරිය දවසේ එක ඔෆීසියක කොල්ලො සෙට් එකකට ත්‍රිපල් ආතල්... ඔෆීස් වෙලාවෙම ඔන්න ඕන එවුන්ගේ ලිස්ට් එකත් හදාගෙන ඔෆීසියට කම්පියුටරේ දාගෙන එන බෑග් දෙකකුත් උස්සගෙන උන් ගියාලු ළඟපාතක සුපර්මාකට් එකේ අහවල් අංශෙට.... පෝලිමේත් ලැගලා ලැගලා ඉඳගෙන අහවල් අංශෙ ළඟට ගොඩවෙන්න හැදුවා විතරලු පොලිසියෙන් අයි.ඩී.ය චෙකින්ලු... උන් දෙන්නගේම අන්තිම අංකෙට එදාට එළියට බහින්න බෑලු... ඉතින් හිස් බෑග් එකත් උස්සාගෙන හූල්ල හූල්ලා ඇවිත් එකෙක් මුගෙ ලොක්කාට කීවලු පෝලිමේ අපේ ඔෆීසියේ අහවලත් හිටියා. ඌ නම් ගත්තා කියලා... යකෝ තෝ වෙනදට පට්ට චීත්තෙ වගේ හැම ඕපාදූපෙම කෝල් කර කර කියන එකා ඒ වෙලාවේ කීවා නම් ඌට කියලා බඩු ටික ගන්නවනේ කියලා මූ ඉතින් දවසම උගෙ ඔළුව කාලා... ඔන්න කොහොම හරි හවස ආයෙත් අයිඩෙන්ටියේ අංක දෙක ගැලපෙන තවත් උන් දෙන්නෙක් අර විදිහටම බෑග් අරගෙන අර සුපර් මාර්කට්ටුවට යද්දී කිලෝමීටර් දෙකක් විතර පෝලිමලු.... ඉතින් හූල්ල හූල්ලා හැරිලා ආවලු... ගොරකා සයිස් එකට මූණ එල්ලගෙන උන් ආව හැටි කෙල්ලන්ට එහෙම පට්ට ආතල්....

කොරෝනා කාලේ කැන්ටිමෙන් නැත්නම් අරහෙන් මෙහෙන් කන්ට බලාගෙන වෙනදට එන එවුන්ටත් පට්ටෙටම කෙළවුණා... අපේත් හිටියා එහෙම කෙල්ලක්.... උන්ගෙ ගෙදර වැඩිපුර උයන්නේම ඌරු මස්.  කොහොමත් උන් කන්නෙම කඩෙන්... දැන් කෝ කඩ කෑම... ඉතින් ඔය කෙල්ල පාන්දර නැගිටගෙන උයාගෙන හැමදාම දුක කිය කියා ඔන්න එනවලු ඔෆීසියට...

කොරෝනා කාලේ ගත්ත තව ආතල් එකක් තමයි අමුතු අමුතු අර්ථකථන එක්ක සමහර ප්‍රසිද්ධ ඈයින්ගේ වගේම අපේ සගයන්ගෙත් නම්වලට අර්ථ නිරුක්ති දෙන එක. එහෙම බලද්දි එකෙක්ගේ නමේ තේරැම හින්දි හා ඉංග්‍රීසි භාෂාවෙන් විග්‍රහ කළාම නැවතියන් මිනිහෝ... අනිත් එකාගේ එක සිංහලෙන් විග්‍රහ කරද්දී නොම්බර එකේ ගොන් ගහ.... කොරෝනා පීඩනය දූරින්භූත වෙන්න මේ ආතල් පට්ට ඈ..... ආතල් අස්සේ වේලාවකට ඔෆීසිය රෑට මළගෙදර වගේ කට්ටිය සෙට්වෙච්චි දාන් අදින්න.... කාඩ් සෙල්ලමට.......

උද්දච්ච තමන් පොර කියලා හිතාගෙන ඉන්න කෑලි කොතැනත් ඉන්නවනේ.... එහෙම සමහර කෑලි ඔෆිස් වාහනේ එන්නේ පස්සෙ නගින උන්ට සීට් අල්ලගෙන.... හරියට ඒ වාහනේ උන්ගේ අම්මාගේ තාත්තාගේ වගේ... ඒ වගේ ගොන් කෑලිවල ගොන්පාට් වැඩත් කොරෝනා කාලේ අත්දැකීම්...

සමහර ප්‍රයිවට් සෙක්ටර්වල පඩි නෑ... සමහරුන්ට බාගෙට බාගෙ කැපිලි... ඕ.ටී... බෝනස් ඉස්සරහට නෑ කියලා ලියුම් මැසේජ් හෝ ගාලා.... කොරෝනා හැදිලා මැරුණානම් සැපයි යකෝ.... පවුල් බරෙන් මිරිකිච්ච උන් ඔෆීස් ඇවිත් බිල්ඩින් දෙදරන්ට හූල්ලන හීල්ලිල්ලට තට්ටු ගොඩනැගිලිවල ඉඳන් වැඩ කරන්න බයයි යකෝ.... සමහර යාළුවෝ උන්ගේ දුකත් කියන ගමන් අන්න එහෙමයි ටෝක් කළේ....

වෙනදට මාර මේකප් දාගෙන ඔෆීස් එන සමහර කෙල්ලෝ මාස්ක් දාන නිසා නළලෙ විතරක් පවුඩර් ගාලා ඇස්වල විතරක් කළු පැන්සලෙන් ඇඳලා... එතැනින් පල්ලෙහා මූණේ වෙනදා වහපු වළවල් එළියේ... මාස්ක් එක දාද්දී දාඩිය ගලන හින්දා උන් ඒ කොටස ස්වභාවිකවම තියලා... ඒත් ඔෆීස් ඇවිත් මාස්ක් ගලවද්දී තමා මෙච්චර කල් පට්ටකෑලි කියලා හිතන් හිටපු සමහරුන්ගේ උපන් කැත වළවල් ආවාට පේන්න ගත්තේ...

එහෙම බලද්දී කොරෝනාව අස්සේ කොල්ලන්ට මාර දූවරු සිහිවෙච්ච අනියතත් මෙනෙහි වෙච්ච වෙලාවල් නැතුව නොවේ.... ඔෆීස්වල ආතල් ජරමරවලටත් හපන් ගෙවල්වල ජරමර. සතියක් ඉන්න.... ඒ අලකලංචි ගැන එන සතියේ කතාකරමු.


 සංජු