2020 මැයි 23 වන සෙනසුරාදා

රත්නපුරයම ගිලගත් අම්ෆන් චන්ඩියා

 2020 මැයි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 36

බෙංගාල බොක්ක ආශ්‍රිතව ඇතිවූ අම්ෆන් සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක බොහොමයකට විශාල බලපෑමක් එල්ල විය.

මේ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, ඇලපාත, කලවාන, රත්නපුර සහ කිරිඇල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නායයාම් අධි අවදානම් කලාපයේ ජීවත්වන ජනතාවට ආරක්ෂාකාරීව එම ප්‍රදේශවලින් ඉවත්වන ලෙස පසුගියදා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දැනුම් දී තිබිණි.

මීට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, නෙළුව, තවලම මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල, මාවතගම, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට මෙන්ම මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර සහ කොටපොළ යන ප්‍රදේශවලද යම් අවදානමක් පැවතිය හැකි බවත්, ඒ පිළිබඳව දැඩි අවධානයෙන් සිටිය යුතු බවත් දැනුම් දී ඇත.

අම්ෆන් සුළි සුළඟ හේතුවෙන් බොහෝ දිස්ත්‍රික්කවල තද වැසි ඇති තත්ත්වයත්, එම වර්ෂාවත් සමඟ හමාගිය තාවකාලික සුළඟේ වේගය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල නායයාම්, කඳු කඩාවැටීම්, ගල් පෙරලීම්,  පස් කණ්ඩි කඩා වැටීම් හේතුවෙන් ජනතාව දැඩි අසීරැතාවයට මුහුණ දුන්හ. පසුගියදා ගාල්ල දිස්ත්‍රික්කය හරහා හමාගිය සුළං තත්ත්වය හේතුවෙන් නිවාස හතළිස් පහකට හානි සිදුව තිබේ.

අම්ෆන් සුළිකුණාටුව බලපෑම හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව හතකි. ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් එක් මරණයක්ද, කළුතර දිස්ත්‍රික්කයෙන් මරණ දෙකක්ද, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් මරණ දෙකක්ද, රත්නපුර දිස්ත්‍රික්කයෙන් තවත් මරණ දෙකක්ද වාර්තා වී ඇත. මේ වනවිට නිවාස විසි දෙකකට පූර්ණ හානි සිදු වී ඇති අතර නිවාස දෙදහස් හාරසිය දහයක් අර්ධ හානි සිදුව ඇත.

මේ අනුව පසුගිය දින කිහිපය තුළ පැවති රට තුළ අධික වර්ෂාව හේතුවෙන්, කළු ගඟ, නිල්වලා ගඟ ජල මට්ටම ඉහළ ගියේය. මේ නිසාම ඇතැම් ප්‍රදේශවල ගංවතුර අවදානමත් පැවතිය හැකි බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කර තිබිණි. වර්ෂාව වැඩි බොහෝ ප්‍රදේශ ජලයෙන් යටවීම හේතුවෙන් බොහෝ ජනතාව අධික ලෙස පීඩාවට පත්වූහ.

කෙසෙල්ගමුඔය පිටාර ගැලීම හේතුවෙන් බගවන්තලාව කොටියාගල වතුයායේ නිවාස කිහිපයක් ජලයෙන් යටවුණි. මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් නාවලපිටය නිවාස කිහිපයක ජනතාව අවතැන් වී ඇති බවට වාර්තා විය. මධ්‍යම කඳුකරයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ, ලක්ෂපාන, විමලසුරේන්ද්‍ර ජලාශ වාන් දැමීමද සිදුවුණි.

දින කිහිපයක් තුළ පැවැති මෙම වර්ෂාවත් තාවකාලික සුළඟත් හේතුවෙන් ගස් කඩාවැටීම්, නායයාම්, කඳු කඩා වැටීම් වාර්තා වී ඇත. මෙම බලපෑම හේතුවෙන් නැවත දැනුම් දෙනතුරැ දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. දැනට මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස් හැකි ඉක්මණින් ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථාන කරා පැමිණෙන ලෙසත් මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

එමෙන්ම මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යා හැකි බැවින් මුහුදු රළ ගොඩබිමට පැමිණිය හැකි බවත් කාලගුණ නිවේදනයේ සඳහන් විය.
දිස්ත්‍රික්ක කිහිපයක් තුළ ඇතිවුණ වර්ෂාවත්, තාවකාලික සුළ තත්ත්වයත් හේතුවෙන් පවුල් හාරදහස නවසියයකට අධික පවුල් සංඛ්‍යාවක ජීවත්වන දාහත්දහස දෙසීයකට අධික පුද්ගල සංඛ්‍යාවක් පීඩා විඳිති. කෙසේ වුවත් මාර්තු මස පහළොස්වැනිදා සිට දින කිහිපයක් පැවැති මෙම තත්ත්වයේ යම් අඩුවීමක් ඉදිරියේදී වාර්තා විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිස්ත්‍රික්ක කිහිපයක පැවැත්වුණ එම තත්ත්වයේ ඇති ගංගා ජල මට්ටමේ යම් අඩුවීමක් වෙමින් පවතී. රත්නපුර ප්‍රදේශයේත් කළු ගඟේ ජල මට්ටමක් යම් අඩුවීමක් පෙන්නුම් කරයි. ගිංගඟ සහ නිල්වලා ගඟේත් පැවැතුණ සුළු ජල ගැලුම අඩුවෙමින් පවතින බව වාරිමාර්ග වාර්තා මගින් පෙන්නුම් කෙරේ.

රත්නපුර, කෑගල්ල, මාතලේ, නුවර, නුවරඑළිය, කොළඹ, කළුතර, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට පනවා ඇති නායයාම් නිවේදනය බ්‍රහස්පතින්දා (21) වනවිටද වලංගුව තිබිණි. නායයාම් ලක්ෂණ පිළිබඳව විමසිලිමත්ව සිටීම ඉතාම වැදගත්වේ. නායයාමකට පෙර එම ලක්ෂණ මතුවේ. පොළොවේ ඇතිවන පැලුම්, පිපිරීම් වැනි දෑ සම්බන්ධයෙන්ද නිවෙස්වල පහළ සිට ඉහළට ඇතිවී තිබෙන පිපුරැම් සම්බන්ධයෙන්ද, මඩ ජලය සහිත දිය උල්පත් ඇතිවීම හෝ පැවැති ඇතැම් උල්පත් සිඳීයාම, ගස් ඇලවීම වැනි විශේෂ ලක්ෂණ පිළිබඳව සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ. දින කිහිපයක් පැවැති අධික වර්ෂාවෙන්, තාවකාලික සුළං තත්ත්වයේත් යම් අඩුවීමක් ඉදිරි දින කිහිපය තුළ පෙන්නුම් කළ හැකි යැයි නිවේදනය කර තිබේ.

 දිශානි ජයමාලි කරුණාරත්න