2020 මැයි 23 වන සෙනසුරාදා

එංගලන්තයේ ගාඩියන් හදිසියේම දුටු ඊළාම් අවතාරය

 2020 මැයි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 38

ඊළාම් රාජ්‍යය වෙනුවෙන් සටන් කළ ප්‍රභාකරන් මරාදමා වසර එකොළහක් ගිය තැනද ලොවපුරා ඔහුගේ අවතාර හොල්මන් කරමින් සිටියි. පසුගියදාක එක්සත් රාජධානියේ ප්‍රකාශයට පත්කෙරෙන ද ගාඩියන් පුවත්පතේ වෙබ් සංස්කරණයේ පාඨක ප්‍රශ්නාවලියක එවන් ඊළාම් අවතාරයක් අපි දුටුවෙමු.

ගාඩියන්’ පුවත්පතේ වෙබ් සංස්කරණයේ අන්තර්ගත “Travel quiz: do you know your islands, Man Friday?” යන ප්‍රශ්නාවලියේ දෙවැනි ප්‍රශ්නය වූයේ ‘ඊළාම් යන ස්වදේශීය නාමය භාවිත වනුයේ කුමන ජනප්‍රිය නිවාඩු දිවයිනෙහිද?’ යන්නයි. 
එම ප්‍රශ්නය සඳහා ලබාදිය හැකි පිළිතුරැ අතර ‘ශ්‍රී ලංකාව’ යන්නද ලැයිස්තුගත කර තිබුණි. එසේම ශ්‍රී ලංකාව පිළිතුර ලෙස තෝරාගන්නා එය නිවැරදි පිළිතුර ලෙස පෙන්නුම් කළේය. එහිම වැඩිදුර විස්තරයක් ලෙස, ‘දිවයිනේ මෑත කාලීන හමුදා කැරැල්ලේ සම්පූර්ණ නාමය එල්.ටී.ටී.ඊ. - දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය’ යනුවෙන් පාඨකයන් හමුවේ ප්‍රදර්ශනය විය.

ලොව පිළිගත් ප්‍රධාන මාධ්‍ය ආයතයක් වන ද ගාඩියන් පුවත්පතේ මෙම ක්‍රියාව ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සුළුකොට තැකුවේ නැත. එම ප්‍රශ්නය සංචාරක ප්‍රශ්නාවලියෙන් ඉල්ලා අස්කර ගන්නා ලෙස බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය වන සරෝජා සිරිසේන මහත්මිය අදාළ පුවත්පතෙන් ඉල්ලා සිටියාය. මෙම තොරතුරැවල සාවද්‍යතාවය පිළිබඳව ද ගාඩියන් පුවත්පතේ කර්තෘ වෙත ලිපියක් යවමින් දැනුම් දෙමින් එම ඉල්ලීම සිදුකර තිබුණි.

කෙසේවෙතත් මෙම දැනුම්දීමෙන් පසුව මාර්තු 15 දා වනවිට “ද ගාඩියන්” පුවත්පතේ අන්තර්ජාල ප්‍රකාශනයේ ප්‍රශ්නාවලියන් මෙම මතභේදාත්මක ප්‍රශ්නය ඉවත්කර ඇත. මේ වනවිට අදාළ ප්‍රශ්නය එහි දැක ගැනීමට හැකියාවක් නොමැත. මෙම සිදුවීම ඉතා සරල සංසිද්ධියක් ලෙස පෙනුණද මෙහිදී සිදුවූ රාජතාන්ත්‍රික මැදිහත්වීම රටක් ලෙස අපට සුළුකොට තැකිය නොහැක. ඊළාම් අවතාරවලට නිසි ප්‍රතිචාරයක් නොදක්වා ගෙවුණු කාලයට සාපේක්ෂව මෙය සාධනීය ප්‍රවේශයකි. ඒ පිළිබඳ අප විද්වත් මත කිහිපයක් විමසා බැලීමට තීරණය කළේ එබැවිණි.

අපේ රට ගැන පළවෙන වැරදි මත කඩාදාන්න වැඩපිළිවෙළක් ඕනෑ

රත්මලාන ධර්ම පර් යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමි

මේ මොහොතේ ඊළම පිළිබඳ මතය ඛණ්ඩනය කරන්න ගත්ත පියවර අපි ප්‍රශංසා මුඛයෙන් කතා කරනවා. ඉදිරියේදී මේ වගේ දේවල් නිවැරදි කරමින් කටයුතු කරන්න අවශ්‍යයි. සමහර කාල වකවානුවල මේ වගේ මත නිවැරුදි ආකාරයට ඛණ්ඩනය කිරීමක් සිදුවුණේ නෑ. ඒ නිසයි මේ අය තවමත් විවිධ මත ඉදිරිපත් කරන්නේ.

දැන් ඉතිහාසය විකෘති කරලා තිබෙනවා. අපේ ශිලා ලේඛන සම්බන්ධව මේ අය තර්ක ඉදිරිපත් කරනවා. නමුත් ඒ මත නිවැරදි කරන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හෝ වෙන ආයතනයක් ඉදිරිපත් වෙලා නෑ. මේ වැරදි ඉතිහාස අන්තර්ජාලයේ සීඝ්‍ර ලෙස ව්‍යාප්ත කෙරෙනවා. ඒ නිසා අලුතින් මේවා පරිශීලනය කරන ප්‍රජාව තුළ වැරදි මත තහවුරැ වෙනවා. ඒ නිසා අපි කියන්නේ මේ වගේ මත ඛණ්ඩනය කරන්න වෙන්ම වැඩ පිළිවෙළක් අවශ්‍යයි.

වර්තමාන සිදුවීම නිදර්ශන කොට ඊට විරැද්ධ මත සම්බන්ධව ක්‍රියාකිරීමට අපි වෙන්ම බුද්ධි ඒකකයක් පිහිටුවිය යුතුයි. යුද්ධය තිබෙන අවස්ථාවේදී පවා අපි මේ සම්බන්ධව කතා කළා. මෙය කලාන්තරයක් තිස්සේ ගොඩනැගූ මානසික පසුබිමක්. අපි යුද්ධය නිමා කළාට මෙම මානසිකත්වය බිඳීම වෙනුවෙන් ක්‍රියාත්මක වුණේ නෑ. මතවාදීව මෙය ඛණ්ඩනය කරන තුරැ මේ ප්‍රශ්නය අළු යට තිබෙන ගිනි වගේ නැවත නැවතත් මතුවෙනවා.

රජයක් විදියට ප්‍රතිචාර දැක්වීම වැදගත්

සරත් වීරසේකර - හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී

මේ වගේ අපිව හාස්‍යයට ලක්වෙන දේවල් කරන්න පටන් ගත්තේ අද ඊයේ නෙවෙයි. යහපාලන රජය කාලේ කිසිම තැකීමක් නොවූ නිසා තමා මේ වගේ තත්ත්වයක් අපේ රටට ඇතිවුණේ. දැන් අපේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය මීට සම්පූර්ණ විරැද්ධත්වය ප්‍රකාශ කරපු නිසා ගාඩියන් පුවත්පත මේක නිවැරුදි කරලා තිබෙනවා. ඇත්තටම අපි රටක් ලෙස කටයුතු කරන්න ඕනෑ මේ ආකාරයට.

ඊළම නෙවෙයි අපේ රටේ නම සිංහලේ. 1815 දී බ්‍රිතාන්‍යන්ට සමඟ අත්සන් කරපු ගිවිසුමේ සඳහන් වෙන්නේ ඒ විදිහට. අපිට මේවා කියලා මිනිස්සු කුපිත කරවන්න අවශ්‍ය නෑ. ඒත් දෙමළ ඩයස්පෝරාවේ මේ වගේ දේවල්වලට රජයක් විදිහට ප්‍රතිචාර දැක්වීම වැදගත්. කාලයකදී අපේ රණවිරුවෝ යුධ අපරාධකරැවන් කියලා සමහරු පිළිගත්තා පිටරට ගිහිල්ලා.

ජාත්‍යන්තරය තුළ මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ දෙමළ ඩයස්පෝරාවේ තිබෙන බලවත්කම නිසා. නැත්නම් අපේ රටේ නම ගැන මේ රටවලට ප්‍රශ්නයක් නෑ. ඩයස්පෝරාවේ වාර්ෂික ආදායම ඩොලර් මිලියන හාරසීයයි. ඔවුන්ට ඕනෑතරම් සල්ලි තිබෙනවා යුරෝපා රටවල ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරැ අනුග්‍රහය දක්වනවා. අපිත් ජාතියක් විදිහට පිටරටවල ඉතා හොඳින් සංවිධානය වෙන්න ඕනෑ. අපිට මේ වගේ දේවල්වලට ප්‍රතිඋත්තර දෙන්න පුළුවන් එතකොටයි.

විරෝධය දැක්වීම හරියටම හරි

ප්‍රසන්ත ලාල් අල්විස් - ජනාධිපති නීතිඥ

නීතිමය පැත්තෙන් ගත්තාම ප්‍රතිබන්ධනය කියලා දෙයක් තිබෙනවා. යමක් කීවාට පස්සේ නොතකා හැරීමකින් අපි ඒක පිළිගත්තා වෙනවා. රාජ්‍යත්‍රාන්තිකව ගත්තම යම් රටක් මෙහෙම දෙයක් කීවාට පස්සේ අපි ඒකට විරෝධයක් හරි දක්වලා නැත්නම් ගැටලුවක් ඇති වෙනවා ප්‍රතිබන්ධනය කියන සිද්ධාන්තය මත.

මෙවැනි සිදුවීමකදී එම රට නියෝජනය කරන තානාපති අංශ හරහා අපි විරෝධය පළනොකළා නම් අපි ඒක පිළිගත්තා වෙනවා. ඒ නිසා මෙතැනදී විරෝධය දැක්වීම හරියටම හරි. මේතාක් කාලයක් අපි රාජ්‍යතාන්ත්‍රිකව මේ කාර්යය හරියට කරලා නෑ. පහුගිය කාලේ කැනඩාවේ පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගේනවා ලංකාවේ හමුදාව සමූල ඝාතන කළයි කියලා. කැනඩාවේදී ඒකට විරුද්ධව විරෝධය පළකිරීමක් වුණේ නෑ. එහෙම වුණාම රජයක් හැටියට රටක් හැටියට අපි ඒක පිළිගත්තා වෙනවා.

මේවාට තමයි ඒ ඒ රටවල රාජ්‍යතාන්ත්‍රිකයන් ඉන්නේ. නැතුව නිවට නියාලු වෙලා ඉන්න නෙවෙයි. ජනාධිපතිතුමා පසුගියදා කරපු ප්‍රකාශය මම අගය කරනවා. ඒ සංවිධාන එහෙම කරනවා නම් ඒ වලින් ඉවත්වීම තමයි සිදුකරන්න වෙන්නේ. නැත්නම් අපි ප්‍රතිබන්ධනය වෙනවා. මේ වගේ දේවල් ජාත්‍යන්තරයේ සිද්ධ වෙද්දී අපි කරැණු දක්වන්න ඕනෑ. අදාළ පුද්ගලයන් හමුවෙලා කරැණු පැහැදිලි කරන්න ඕනෑ. ඒ සඳහා තමා තානාපති සේවයට අපි වැටුප් ගෙවලා තියාගෙන ඉන්නේ.

 චමිඳු නිසල් ද සිල්වා