2020 මැයි 23 වන සෙනසුරාදා

ඡන්ද වියදම මේ පාර ඩබල් වෙයි?

 2020 මැයි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 68

ප්‍රජාතන්ත්‍රවාදය යන වචනයට විවිධ අර්ථකථන ඉදිරිපත් කර තිබේ. ප්‍රජාතන්ත්‍රවාදය යන වචනයේ ඉංග්‍රීසි වචනය ඩිමොක්‍රසි යන්නයි. එය ඩිමොස් සහ ක්‍රාතොස් යන ග්‍රීක් වචන දෙකේ එකතුවයි. ඩිමොස් යනු මහජනතාවයි. ක්‍රාතොස් යනු පාලනයයි. එහෙයින් ප්‍රජාතන්ත්‍රවාදය යන වචනයේ තේරැම මහජනතාවගේ පාලනයයි.

මහජනයා පාලනයට හවුල් වන්නේ ඔවුනගේ අභිමතය පළ කිරීමට ඡන්ද බලය පාවිච්චි කිරීමෙනි. ඩොනමෝර් සාමිවරයාගේ සභාපතීත්වයෙන් යුතු ඩොනමොර් කොමිසම මඟින් සර්ව ජන ඡන්ද බලය ශ්‍රී ලංකාවට හඳුන්වාදෙනු ලැබීය. ඒ 1931 දීය.

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ඉහළ මිලක් ගෙවිය යුතුයැයි කියමනක් තිබේ. මැතිවරණයෙන් මැතිවරණයට ඉහළ යන මැතිවරණ වියදම දෙස බැලූ කල ඒ කියමන සත්‍ය වී ඇතැයි බොහෝවිට සිතිය හැක.

මැතිවරණ වියදම් අතර ඉහළම වියදමක් සිදුවන්නේ අමෙරිකානු මැතිවරණ ව්‍යාපාරයටය. 2014 ඇමෙරිකානු ජනාධිපතිවරණයේ වියදම ඩොලර් බිලියන 6.5ක් විය. ඉන්දියාවේ 2014 මැතිවරණ වියදම කෝටි 3500කි. ඉන්දියාවේ මැතිවරණ වියදම අමෙරිකාවේ මට්ටමට ළඟා වන බවට චෝදනා කළ විද්‍යාර්ථියෝ ර‍ටේ දිළිඳු බව තුරන් කිරීම, යටිතල පහසුකම් සැපයීම, පානීය ජල පහසුව සැපයීම, පවුල් සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීම් සඳහා ඇති මහජන මුදල් සම්පත් මෙසේ වැය කිරීම අසාධාරණයක් යැයි හඬ නැඟූහ. මෙහි ප්‍රතිඵලයක් ලෙස මැතිවරණ වියදම් අඩුකිරීමේ යෝජනා ගැන කරැණු සොයා බැලීමට ඉන්දියාවේ වගකිව යුතු අංශ අවධානය යොමු කර තිබේ.

ඡන්දය ජනතාවගේ අයිතියකි. ජනතා කැමැත්තෙන් මහජන නියෝජිතයන් තෝරා ගැනීමට මැතිවරණයක් පැවැත්විය යුතුය. පළාත් පාලන ආයතන, පළාත් සභා, පාර්ලිමේන්තු මහ මැතිවරණය හා ජනාධිපතිවරණය වශයෙන් අංශ හතරක මැතිවරණ මෙරට පැවැත්වෙයි.

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ වුවද මහ මැතිවරණ උණුසුම තවමත් දේශපාලන වේදිකාවෙන් මැකී ගොස් නැත. කෙසේ වෙතත් දැනට තිබෙන තත්ත්වය අනුව අධිකරණ නියෝගයක් නොලැබුණත් මැතිවරණය ජූනි මස 20 දින නොපැවැත්වෙනු ඇති බව දැන ගන්නට ඇත.

ඕනෑම මැතිවරණයක් වෙනුවෙන් ආණ්ඩුව වියදම් කරන අතර අනෙක් පැත්තෙන් අපේක්ෂකයෝ හා පක්ෂ මහා ධනස්කන්ධයක් වැය කරති. මැතිවරණ කොමිසම සිය මුදල ආණ්ඩුවෙන් ලබා ගන්නා අතර එය ජනතාව ගෙවන බදු බව පෙන්වා දිය යුතු‍ය.ලංකාව මැදි ආදායම් රටකි. ජනගහනයෙන් සෑහෙන කොටසක් සහනාධාර මත ජීවත් වෙති. රට තුළ සෑහෙන ප‍්‍රශ්න තිබේ. අධ්‍යාපන, සෞඛ්‍ය හා ප‍්‍රවාහන අංශවල දීර්ඝ කාලයක් නොවිසඳුණු බරපතළ තැන් ඇත. අලුත් වියදම් සඳහා ආණ්ඩුවට ධනය නැති අතර ධනය උත්පාදනය කරන මාර්ග ඇති කරන ප‍්‍රයත්නය සාර්ථක කරගැනීමට නොහැකි වී තිබේ. එවැනි පසුබිමක ඡන්ද වියදම් ගැන නැවත සිතා බැලීම සුදුසුය.

ලංකාවේ ඡන්දදායකයන් ඡන්දය පාවිච්චි කිරීමේදී වසංගතය බෝ නොවෙන ආකාරයට ආරක්ෂිතව කටයුතු කරනු ඇතිද යන කාරණය පිළිබඳව සෞඛ්‍ය අංශ මෙන්ම මැතිවරණ කොමිසම ද සැලකිල්ලට ගෙන ඇත.

කෙසේ වෙතත් මහ මැතිවරණය සඳහා වන වියදම කොරෝනා වසංගතය නිසා ඉහළ යා හැකි බව මේ වනවිටත් මැතිවරණ දෙපාර්තුමේන්තුව පෙන්වා දී ඇත. ඒ පිළිබඳව මැතිවරණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකුගෙන් අපි විමසීමක් කළෙමු.
සෞඛ්‍ය අංශ මගින් යෝජනා කර තිබෙන නිර්දේශ තවමත් අපට ලැබී නැහැ. එම නිර්දේශ පිළිබදව ඇති අනුමානයන්ට අනුව, එළැඹෙන මැතිවරණය සඳහා යන වියදම, සාමාන්‍ය ඇස්තමේන්තුගත වියදම මෙන් දෙගුණයකින් ඉහළ යා හැකියි.
ඒ අනුව, මැතිවරණය සඳහා යන වියදම බිලියන 14 ක් හෙවත්, රැපියල් ලක්ෂ 14,000ක් විය හැකිය. නමුත් එය නිශ්චිතවම කියන්න බැහැ.

සමාජ දුරස්ථාභාවය රඳවා ගැනීම සහ ඡන්ද රාජකාරියේ යෙදෙන නිලධාරීන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග අනුගමනය කිරීම සඳහා තමයි මෙසේ මැතිවරණ වියදම ඉහළ යන්නේ.

 සටහන හසිත් අංජන