2020 මැයි 23 වන සෙනසුරාදා

රතු බිල් නැතුවම රටම රත්කළ විදුලි බිල

 2020 මැයි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 130

මාර්තු සහ අප්‍රේල් මාසවලදී ක්‍රියාත්මක කෙරුණු නිරෝධායන ඇඳිරි නීතිය සමයේ වැටුප් ලබන ඇතැම් පිරිස් ද ඇතුළුව බහුතර ජනතාවගේ ආදායම් ලැබීම ඇණ හිටියේය. ණය වාරික හෝ බිල්පත් ගෙවීමට අවස්ථාවක් නොවූයෙන් ජනතාවට අවැසි සහනය ලබා දෙන්නැයි ආණ්ඩුව අදාළ ආයතනවලින් ඉල්ලීම් කළේය. අදාළ මාස දෙකට අයත් විදුලි බිල්පත් කිසිවෙකුටත් නොලැබුණේ ඇඳිරි නීතිය හේතුවෙන් විදුලි පාරිභෝගික සම්බන්ධීකාරක නැතිනම් මනු කියවන අයට පැමිණීමට අවස්ථාවක් නොවීමෙනි. අවසන්වරට පාරිභෝගිකයන් වෙත නිකුත් කෙරැණේ පෙරකී මාස දෙකටම අයත් එක් බිල්පතකි. එහි වැඩි වටිනාකමක් සටහන්ව තිබීම හේතුවෙන් විදුලි පාරිභෝගිකයෝ අපහසුතාවකට පත්ව සිටිති.

විදුලිය භාවිතා කරන සෑම පාරිභෝගිකයකුම දින 30කට වරක් නියමිත බිල්පත ගෙවිය යුතුය. එසේ නොවුණු විට රතු පැහැයෙන් යුතු දෙවැනි බිල ලබා දෙන්නේ ඊළඟ මාසයට අදාළවය. එහි සඳහන්ව ඇත්තේ දින 7ක් ඇතුළත නියමිත ගෙවීම සිදුකර විදුලිය විසන්ධි කිරීම වළක්වා ගන්නා ලෙසය. විදුලි පාරිභෝගිකයන් මේ ක්‍රමවේදය දන්නා නමුත් පසුගිය දෙමසට අදාළ බිල්පත් සැකසීම සඳහා පාරිභෝගික සම්බන්ධීකාරකවරුන්ට නිවෙස් හෝ ආයතන වෙත පැමිණීමට අවස්ථාවක් ලැබුණේ නැත. අනතුරුව මාස දෙකටම අදාළ කරගනිමින් එක් බිල්පතක් ලබාදීමට විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබිණ. අදාළ බිල්පත්වල වටිනාකම කොපමණ වුවද කිසිදු පාරිභෝගිකයකුගේ විදුලිය විසන්ධි නොකිරීමටත් ඉදිරියේදී අදාළ ගෙවීම් සිදු කිරීමටත් අවස්ථාව සැලසීමට ලංකා විදුලිබල මණ්ඩලයට හා ලංකා විදුලි සමාගමට විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් උපදෙස් ලබා දී ඇත. එසේම මාර්තු හා අප්‍රේල් මාස සඳහා වෙන් වෙන් වශයෙන් බිල්පත් නිකුත් කිරීමට කටයුතු කරන ලෙස ද අදාළ මාස දෙකේ ගාස්තු ගෙවීම සඳහා පාරිභෝගිකයන් සඳහා මාසයක සහන කාලයක් ලබාදෙන ලෙසද අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබේ.

ගැටලුව සම්බන්ධයෙන් මැදිහත් වූ මහජන උපයෝගිතා කොමිසම විදුලි පාරිභෝගිකයන්ට උපරිම සහනයක් වන ලෙස මාසික බිල්පත් නිකුත් කිරීමට හා ගෙවීමට සහන කාලයක් ලබාදීමට ද නියම කර ඇතැයි මහජන උපයෝගිතා කොමිසමේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා පැවසීය.

මේ සඳහා සකස් කළ උපමාන ලංකා විදුලි බල මණ්ඩලයට හා ලංකා විදුලි පෞද්ගලික සමාගම මගින් ක්‍රියාවට නංවනු ඇත. මෙහිදී මාස දෙකට අයත් වන බිල්පත් වෙන වෙනම නිකුත් කිරීම ප්‍රමාද වුවද සහන මිලට ලැබෙන විදුලි ඒකක ප්‍රමාණය (අනුපාත ක්‍රමයට අනුව) එලෙසින්ම පාරිභෝගිකයන්ට ලැබෙන සේ බිල්පත් ගණනය කිරීමට ගෙවීමේ සාධාරණ කාලයක් ලබාදීමට පියවර ගැනීමට නියමිතය. මේ ක්‍රමවේදය සැකසීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ලංකා විදුලි පෞද්ගලික සමාගමේ යෝජනා සමඟ ඇතැම් පාරිභෝගිකයන්ගේ පැමිණිලි භාවිතයට ගත් බව ජයනාත් හේරත් මහතා පැවසීය.

මාස දෙකක් තිස්සේ විදුලි බිල් නොගෙවීම නිසා එම ආයතනවලට මූල්‍ය වශයෙන් බරපතළ පාඩුවක් සිදුව ඇති හෙයින් හිඟ බිල්පත් කඩිනමින් ගෙවීමට පියවර ගැනීම හරහා එම ආයතනවල මූල්‍ය තත්ත්වය යහපත් ලෙස පවත්වාගෙන යා හැකි බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

ඇඳිරි නීති කාලයට අදාළව නියමිත බිල්පත් සැකසීම නිර්දේශ කිහිපයක් යටතේ සූදානම් කෙරේ. ඒ අනුව ඇඳිරි නීතිය ආරම්භයේ සිට අවසාන මනු කියවීමෙන් පසුව නිකුත් කෙරෙන සියලුම බිල්පත් පෙර පරිදිම මාසික පදනම මත හා සහන විදුලි ගාස්තුව හිමිකම තහවුරු කරමින් ඒ ඒ මාස සඳහා වෙන් වශයෙන් නිකුත් කෙරේ.

එම බිල්පත් ගෙවීමට පාරිභෝගිකයන් වෙත ලබාදෙන සහන කාලය විදුලි බල මණ්ඩලය විසින් ප්‍රසිද්ධ කරනු ඇත. ඒ වනතෙක් බිල්පත් නොගෙවීම සඳහා විදුලිය විසන්ධි කිරීමක් සිදුවන්නේ නැත. පසුගිය මාස දෙකේ විදුලිය භාවිතා කෙරැණ ද ඊට පෙර මාසවල භාවිතය හා සසඳා ආසන්න වශයෙන් මසකට භාවිතා කළ ඒකක ප්‍රමාණය අනුව මාර්තු අප්‍රේල් මාසවලට බිල ගණනය කරනු ඇත. දැනට නිකුත් කර ඇති බිල්පත් හෝ ඉදිරියේදී නිකුත් කරනු ලබන බිල්පත් සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත්ව ඇති අවස්ථාවලදී එම විදුලි සම්බන්ධතා විසන්ධි නොකිරීමට තීරණය කර ඇත. විදුලි බිල්පත් පැමිණිලි සම්බන්ධයෙන් ලැබෙන විසඳුම් පිළිබඳ එකඟ නොවන අවස්ථාවලදී පාරිභෝගිකයාට සිය ගැටලුව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම වෙත යොමු කරන්නැයි එම කොමිසමේ සන්නිවේදන අධ්‍යක්ෂක ජයනාත් හේරත් මහතා පැවසීය.

බිල්පත් වැරැද්ද අපි නිවැරදි කළා

සුලක්ෂණ ජයවර්ධන
මාධ්‍ය ප්‍රකාශක - ලංකා විදුලිබල මණ්ඩලය

හදිසියේ රටේ ඇති වූ තත්ත්වය නිසා පසුගිය මාසවල පාරිභෝගික සම්බන්ධීකාරකවරැන්ට නියමිත පරිශ්‍රවලට යාමට අවස්ථාව ලැබු‍ණේ නෑ. මේ නිසා මාර්තු හා අප්‍රේල් බිල්පත් නිකුත් කිරීම අඩාල වුණා. නමුත් අපි පාරිභෝගිකයන්ට සහනයක් විදිහට නොකඩවා විදුලිය ලබාදුන්නා. සාමාන්‍යයෙන් දින 30කට වරක් බිල්පත් නිකුත් කරනවා. ඊටපස්සේ රතු බිල නිකුත් කරනවා දින 7ක් තුළ ගෙවීම් සිදුකරන ලෙස දන්වලා. නමුත් එහෙම කිසිම බිල්පතක් අපි කිසිවෙකුට නිකුත් කළේ නෑ. මේ නිසා ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාල හා සෙසු ශාඛා මගින් මාස දෙකට අදාළව වෙන වෙනම බිල්පත් නිකුත් කිරීමට තීරණය කළා. එය ඉදිරියේදී සිදුවෙනවා. මෙය ගණනය කිරීමේදී කිසිදු ගැටලුවක් ඇතිවෙන්නෙ නෑ.

මාර්තු මාසේ බල ගණනය කරන්න දැන් අපහසුයි. ඒ නිසා පෙබරවාරි මාසෙට සමාන බිලක් මාර්තු මාසෙට ලැබෙනවා. මාස දෙකටම එක බිලක් නිකුත් කිරීම නිසා ඇතැම් පාරිභෝගිකයන්ට ගැටලුවක් ඇති වුණා. දැන් එහෙම ප්‍රශ්නයක් ඇති කරගත යුතු නෑ.

අපේ ගාස්තු නිර්ණායක පදනම් වන්නේ දින 30ක මාසයට අදාළවයි. විදුලි ඒකක 0-30 දක්වා ඒකකයක මිල රැ.2.50යි. ඒකක 31-60 දක්වා ඒකකයක් රු.4.85ක් හා ඒකක 1-60ට වැඩිනම් රු.7.85ක් ලෙස ගණනය සිදුකෙරේ. නමුත් මෙකී දිනවලට අදාළව මහජන උපයෝගිතා කොමිසමේ උපමාණවලට යමින් කිසිදු විදුලි පාරිභෝගිකයකුට අසාධාරණයක් සිදු නොකරන බව කිව යුතුයි.

තමන්ගේ බිල්පත නිවැරදිද කියලා බලන්න අවශ්‍යනම් මහජන උපයෝගිතා කොමිසමේ වෙබ් අඩවියට පිවිසිලා බලන්න පුළුවන්. ඊට අමතරව යම් ගැටලුවක් තිබේනම් ප්‍රාදේශීය විදුලි ඉංජිනේරැ කාර්යාලයෙන් විමසන්න අවස්ථාව තිබෙනවා.

 සමන්ත ප්‍රදීප් විල්තෙර