2020 මැයි 23 වන සෙනසුරාදා

හාල් මලු ඇතුළේ වටේම ගිය තාරකගේ කුඩු

 2020 මැයි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 55

මීට මාස තුනකට පෙර මත්ද්‍රව්‍ය කාර්යංශයට තොරතුරක් ලැබුණි. ඒ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලය විසින් මෙරටට හෙරොයින් තොගයක් ගෙන්වීමට සූදානම් බවය. ඒ අනුව මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීහු එම නැව සම්බන්ධයෙන් තොරතුරු සොයන්නට වූහ.

එහිදී අනාවරණය වුණේ එම නැව පාකිස්ථානයේ සිට මෙරටට පැමිණෙන බවය. පසුව සිදුකරන ලද ආවේෂණ රාජකාරිවලට අනුව හෙළිවූයේ කුඩු තොගය දකුණේ ප්‍රබල පාතාල කල්ලියක් වන කොස්ගොඩ තාරක විසින් මෙරටට ගෙන්වන බවය.

කොස්ගොඩ තාරක යනු කලක් කොස්ගොඩ සුජී නැමැති පාතාල නායකයාගේ කල්ලියේ සිටි සාමාජිකයෙකි. එහෙත් එම කල්ලියෙන් ඉවත්ව දැන් තාරක වෙනම පාතාල කල්ලියක් තබා ගනිමින් මංකොල්ල කෑම්, කුඩු ව්‍යාපාර, කුලියට මිනීමැරීම් සිදුකරනු ලබයි. එකී තාරක මේ වනවිට රටටම කුඩු බෙදන ව්‍යාපාරයේ මොළකාරයෙක් වී සිටියි.

කෙසේ වෙතත් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීහු කොස්ගොඩ තාරක පසුපස සිටියහ. එහිදී අනාවරණය වුණේ තාරක බන්ධනාගාරයේ සිට සැටලයිට් තාක්ෂණය හරහා පාකිස්ථානයෙන් පිටවුණු බෝට්ටුව සමඟ සම්බන්ධ වන බවය. කෙසේ වෙතත් එය නවතාලීමට පොලිස් නිලධාරීන් ක්‍රියා කළේ නැත. හෙරොයින් ටික පැමිණි පසු මෙරටදී බාරගනු ලබන පුද්ගලයා කවුරුන්ද යන්න සොයා ගැනීම පොලීසියේ අරමුණ විය. ඒ අනුව අදාළ නැව හලාවත ප්‍රදේශයට ඈතින් මුහුදේ නවතා බෝට්ටු මගින් ගොඩ බිමට රැගෙන එන බව තොරතුරු හරහා වාර්තා වෙමින් තිබිණි. පොලීසිය සියල්ල අධීක්ෂණය කරමින් සිටියේය.

එසේ රැගෙන ආ මත්කුඩු හලාවත ප්‍රදේශයේ එක්තරා තැනකදී පිරිසක් විසින්  ඒ මත්කුඩු තොගය හා ගෝනි තුළ බහාලනු ලැබීය. ඒ හෙරෝයින් තොගය කොළඹට රැගෙන ඒම සඳහාය. ඒ හෙරොයින් තොගයෙන් කිලෝ 40 ක් වෙනත් ස්ථානයකට යැවීමට ද ඒ වනවිටත් තාරක තීන්දු කර තිබුණේය.

ඒ අනුව හෙරොයින් තොගය හාල් මලු හරහා රාගම වැලිසර මාබෝල ප්‍රදේශයේ නිවසකට රැගෙන එනු ලැබීය. ඒ මෙම මත්ද්‍රව්‍ය තොගයේ එක් හිමිකරුවකුගේ නිවසටය. එහිදී එම මලු තොගය ලොරියෙන් නිවසට රැගෙන යන අවස්ථාවේ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීහු වටලා සැකකරුවන් අත්අඩංගුවට ගත්හ. ප්‍රධාන සැකකරු ඇතුළුව සැකකරැවන් සිව්දෙනෙක් එහිදී අත්අඩංගුවට පත්වූහ. එහිදී හෙළිවුණේ කිලෝ හතළිහක ප්‍රමාණයක් මොවුන් හබරකඩ ප්‍රදේශයට රුගෙන යාමට සූදානම් කරන බවය.

කෙසේ වෙතත් මෙම මත්ද්‍රව්‍ය තොගය පාකිස්ථානයේ සිට ආවත් එහි අරාබි අකුරෙන් කන්දහාර් ලෙස සඳහන් කර තිබිණි. ඒ අනුව එම මත්ද්‍රව්‍ය තොගය ඇෆ්ගනිස්ථානයේ සිට පැමිණි බවද එහිදී තහවුරු විය.

කෙසේ වෙතත් මෙහි හොඳම කතාව එන්නේ පසුවය. එනම් මේ හොරොයින් තොගයේ සැබෑ හිමිකරු තාරක නොවන බවය. ඒ පසුපස මහා පරිමාණයේ මෙරට මත්ද්‍රව්‍ය ජාවරම්කරුවකු සිටිනා බව අනාවරණය විය. ඒ වෙනින් කවුරුත් නොව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මොහොමඩ් සිද්ධික්ය. මොහොමඩ් සිද්ධික් ගැන දන්නා අයකු හිතන්නේ ඔහු බන්ධනාගාරයේ සිටින බවය. එහෙත් සිද්ධික් වසර ගණනාවකට පසුව ඇප ලබා පසුගිය කාලයේ එළියට පැමිණ සිටී. එහෙත් සිද්ධික් ඉන්නා තැනක් කවුරුත් දන්නේ නැත. එළියට පැමිණි සිද්ධික් පසුගිය දවසක ආධාර බෙදූ බවටද තොරතුරු ලැබී ඇත. එහෙත් ඒ ස්ථානය සඳහන් නොකරන්නේ රහසිගත තොරතුරක් නිසාය.

සැබවින්ම සිද්ධික් යනු බරපතළ ගණයේ මත් ජාවාරම්කරුවෙකි. ඔහු කාලයක් මෙරටට හෙරොයින් රහසිගතව ගෙන්වූ අතර පසුව මෙරට සිටි ප්‍රධාන ජාවරම්කරුවකු වන වෙලේ සුදා සමඟ එක්විය. ඉන් අනතුරුව වෙලේ සුදා සමඟ කුඩු කිලෝ ගණනින් මෙරටට පැටවීය. ඒ ඉතිහාසයේ කිසිවකුත් කුඩු ජාවාරම් නොකළ පරිද්දෙනි. පාකිස්ථාන ජාවාරමේ ප්‍රධාන ඒජන්තයා වූ සිද්ධික් මහා පරිමාණයෙන් රටට කුඩු ගෙනාවේ ඩුබායි සිටය.

එහෙත් වෙලේ සුදා කොටු වී මරණීය දණ්ඩනය හිමි වීමත් සමඟ කුඩු ජාවාරමෙන් සිද්ධික්ගේ නම සැඟව ගියේය. ඒ වෙනුවට මධූෂ්, අන්නාසි මොරිල්, කංජිපානි වැනි ජාවාරමුන්ගේ නම් එළියට පැමිණියේය. අවසානයේ ඔවුන් කොටු වුණත් කුඩු නැවතුණේ නැත. ඒ සිද්ධික් වෙනමත් වෙලේ සුදා වෙනමත් මෙරටට හෙරොයින් ගෙනෙන ජාවාරමේ සිටින බැවිනි. දැන් දෙදෙනා වෙන වෙනමය. එහෙත් ජාවාරම් කරන්නේ කුඩුය. කොතරම් කුඩු ගෙන්නුවත් එළියට එන්නේ නැත.

කෙසේ වෙතත් සිද්ධික් පොලීසියෙනුත් සැඟව ජීවත් වෙන්නේ කොහෙද යන්න කවුරැත් දන්නේ නැත. කොයි මොහොතක හෝ සිද්ධික් මතුවනු ඇත. මේ ආකාරයෙන් නොව කුඩු කිලෝ ගාණකුත් සමඟය. එහෙත් සිද්ධික් ඇල්ලූ පමණින් කුඩු නවතින්නේ නැත. සිද්ධික් එළියේ සිටියත් ඇතුළේ සිටියත් සිදුකරන්නේ එකී ව්‍යාපාරය මිස තෙල් බෙහෙත් විකිණීම නොවේය.

ගයාන් ගාල්ලගේ