2020 මැයි 23 වන සෙනසුරාදා

කොරෝනා කාලේ මොකද කළේ?

 2020 මැයි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 126

වත්මන් ලෝකය පුරා ඉතා බිහිසුණු ලෙස පැතිර යමින්, මිනිස් ජීවිත ලක්ෂ ගණනාවක් බිලිගනිමින් සිටින නව කොරෝනා වෛරස් වසංගතය නිසා දැඩි පීඩාවට පත් නොවූ ක්ෂේත්‍රයක්, පීඩාවට පත් නොවූ කෙනෙකු සොයාගැනීමට බැරි තරම්ය.

දශක ගණනාවක කාලයක් පුරා අප රැකගෙන ආ අපට හුරුපුරුදු සමීප මිනිස් සබඳතාවයන්ගෙන් මිදී නිවෙස් තුළම සිරවී හුදෙකලා වීමට සිදුවීම අපිකවුරුත් මෑත ඉතිහාසයේ මුහුණ දුන් නුහුරු වගේම කටුක අත්දැකීමකි.
කිසිවෙකුටත් පාලනය කිරීමට නොහැකි වූ වේගවත් ගමනක යෙදී සිටි මිනිසාගේ ජීවන රටාවේ වේගය අඩාල කිරීමට සොබාදහම කොරෝනා උපයෝගී කළාදැයි අපට විටෙක සිතෙන්නට පුළුවන.

කොරෝනා උවදුර නිසා කලා ලොවේ විවිධ ඉසව් ස්පර්ශ කරනා ජනප්‍රිය ශිල්පීන් ශිල්පිනියන් කිහිප දෙනෙකු ඔවුන් මේ නුහුරු අත්දැකීමට මුහුණ දුන් අයුරු, ඒ තුළින් ඔවුන් ජීවිතේට උකහාගත් පාඩම් සහ මෙම වසංගතය ඔවුන්ගේ වෘත්තියට බලපෑ අයුරු ගැන අදහස් දක්වන්නට සමඟ දොඩමලු වූහ.

• කීර්ති පැස්කුවල්

මම කැනඩාවෙ සංගීත ප්‍රසංගයකින් පසුව ලංකාවට ආවෙ මාර්තු 17 වැනිදා. මාර්තු 18 වැනිදා ඉඳලයි අපේ රටේ නිරෝධායන වැඩපිළිවෙළ පටන් ගත්තෙ. ඒත් මම සති දෙකක කාලයක් ස්වයං නිරෝධායනයේ නිවෙසට වෙලා කල්ගත කළා. ඒ කාලය තුළ මම මගේ සංගීත පන්තියේ සිසු සිසුවියන් සම්බන්ධ කරගෙන වට්ස්ඇප් ගෘෘප් එකක් හදලා ඒ අයත් එක්ක සම්බන්ධ වෙලා විවිධ ක්‍රියාකාරකම් කළා. ඒ සිසුන් අතර වැඩිපුරම හිටියෙ වැඩිහිටි අය. ඒ අයගෙ මානසික ආතතිය නැති කරගන්නත් එක්ක අපි සංගීතයට සම්බන්ධ ක්‍රියාකාරකම් වගේම දැනුම මිනුම වැඩසටහනුත් කළා. අවසාන කාලය වෙද්දි මම ඔන්ලයින් සංගීත පන්ති පවා පැවැත්වූවා.

ඒ වගේම මම මූණු පොතේ පෝස්ට් එකක් දැම්මා නවක දක්ෂතා පිරි අයට ගීත රචනා, කවි, නිසඳැස් එවන්න කියලා. ඒකට හොඳ ප්‍රතිචාර ලැබුණා. දැන් ඒවා පරීක්ෂා කරගෙන යනවා. හොඳම ගීත රචනාව මම ගායනා කරන්න තීරණය කළා. ඒ වගේම කවි, නිසඳැස් ජාතික පුවත්පත්වලට යොමු කරන්න කටයුතු කරනවා. මේ දේ කරන්න මට හිතුනෙ, මම දැක්කා සමහර අය සින්දු කියලා මූණු පොතේ දාලා තියෙනවා. තම තමන් සතු ගායනා හැකියාව ඒකෙන් ඉස්මතු කරන්න අවස්ථාව ලැබුණා. මම හිතුවා නිර්මාණශීලීව ලියන්න පුළුවන් අයටත් එවැනි අවස්ථාවක් ලබාදෙන්න.

මේ කාලය තුළ මට මගේ පවුලේ අයත් එක්ක ගත කරන්නට ලැබුණ එක ගැන හරිම සතුටුයි. මගේ දුවලා දෙන්නගෙ ගීත ගායනා හා සංගීත කටයුතුවලට අත දෙන්න පුළුවන් වුණා. කාර්යබහුල අපි වගේ අයට ඒ ලැබුණ අවස්ථාව ගැන ඇත්තටම සතුටුයි.

කොරෝනා වසංගතය නිසා අපේ කලා ක්ෂේත්‍රයට විශාල බලපෑමක් ඇතිවෙලා තියෙනවා. රටේ එදිනෙදා කටයුතු කවදා හෝ සාමාන්‍ය අතට හැරුණත් අපේ සංගීත කටයුතු යථා තත්ත්වයට පත්වෙන්න තව කාලයක් යයි. අපේ සංගීත ක්ෂේත්‍රයේ මේ ආර්ථික ප්‍රශ්නයත් එක්ක ජීවත්වෙන්න කොහොමද කියන එක විශාල ගැටලුවක්. මට ගායක ගායිකා සංගමයේ සභාපති වෙලා හිටිය කාලෙ ආරම්භ කළ අරමුදලේ සභාපති හැටියට ඉන්නෙ මම. ඒ අරමුදලෙන් ගායක ගායිකාවන් 150 දෙනෙකුට රු.10,000/- බැගින් ලබාදුන්නා. විවිධ සංවිධාන එකතුවෙලා කලාකරුවන්ට සහනදායී ණය මුදලක් ලබාදෙන්නට රජයෙන් ඉල්ලා තිබෙන බව ආරංචියි. ඒක ඇත්තටම කලාකරුවන්ට විශාල අස්වැසිල්ලක් වෙයි. ආර්ථික අතින් අමාරුවෙ වැටිලා ඉන්න කලාකරුවන්ට කාගෙන්වත් උදව් ඉල්ලන්නත් බැහැ. මොකද හැමෝටම ආර්ථික ප්‍රශ්න තියෙනවා. කලාකරුවො තම ස්වයං හැකියාවෙන් කුමන හෝ අමතර ආදායම් මාර්ගයක් හදාගෙන ඉදිරි අවුරුදු දෙකට සැලසුමක් හදාගන්න ඕනෙ. අතේ තියෙන මුදල් අරපිරිමැස්මෙන් වියදම් කරන්න ඕනෙ. ජීවිතේ යථාර්ථය අවබෝධ කරගන්න සොබාදහම අපිට උගන්වපු පාඩමක් තමයි මේක.

• දමිතා අබේරත්න

මේක මුලු ලෝකෙටම බලපාලා තියෙනවා. පුංචි රටක් හැටියට අපි ගොඩාක් පරිස්සම් වෙන්න ඕනෙ. මේක සමථයකට පත්වුණා කියලා එක සිතුවිල්ලකින්වත් හිතන්න එපා.
කලා ශිල්පීන් හැටියට අපි එදිනෙදා හම්බ කරලා ජීවත්වෙන කොටසක්. කලා ලෝකෙ වැඩි දෙනෙක් එහෙමයි. නළු නිළියන්ට අමතරව කාර්මික ශිල්පීන්, ටී බෝයිස්ලා, මේකප් ආර්ටිස් වගේ කොටස්වලට සම්බන්ධ සිය දහස් ගාණක් ඉන්නවා. සංගීත ක්ෂේත්‍රයේ හැමෝටමත් මේක බලපෑවා. මම අවුරුදු දෙකක නිහැඬියාවකින් පස්සෙ මේ අවුරුද්දෙ මුල චිත්‍රපටයක රඟපෑවා, අපට මුදලුත් අවශ්‍ය නිසා. හොඳම නිර්මාණ එනකම් බලන් ඉන්නත් බැහැනෙ.

මට විදෙස් සංචාර 4ක් නැති වුණා මේ කාලෙදි. මේක කලා ශිල්පීන්ට වැඩ අධික කාලයක්. ඉතින් මේ වසංගතය නිසා අපට නැති වුණ දේවල් බොහෝයි. අපි ළඟදි පිහිටුවාගත්ත ටෙලි වෘත්තිකයින්ගේ ජාතික සංගමය, ශ්‍රී ලංකා නිදහස් කලා සන්ධානය හා ටෙලිනිස සමඟ එකතුවෙලා රජයෙන් ඉල්ලීමක් කළා සියලු කලාකරැවන්ට සහනදායී ණය ක්‍රමයක් ලබාදෙන්න කියලා. අපට ඒ සුභවාදී පිළිතුරක් ලැබිලා තියෙනවා. ඒ සඳහා අදාළ ක්‍රමවේදය ළඟදීම ගැසට් නිවේදනයක් මගින් එළි දක්වන්නට නියමිත බව ආරංචියි. සමස්ත කලාකරැවන්ම එය ක්‍රියාත්මක වෙනතුරු බලාගෙන ඉන්නවා.

මම ඇත්තටම කොරෝනා වසංගත කාලයේදී වෙනදට වඩා කාර්යබහුල වුණා. ස්වාධීන රූපවාහිනී නාලිකාවේ සභාපති සුදත් රෝහණ මහතා සමඟ එකතුවෙලා අපි පොඩි කණ්ඩායමක් කලාකරැවො 4000කට පමණ සහන මල්ලක් ලබාදුන්නා. ඒ රජයේ මුදල්වලින් නෙවෙයි. මේ වෙලාවෙ හැටියට ඕනෙම කෙනෙකුට පරිප්පු ඇටයක්, බොම්බයි ලූනු ගෙඩියක් ලැබුණත් ලොකු දෙයක්. හැබැයි ඉතින් ඒකටත් දොස් කියපු පිරිසකුත් හිටියා. කොරෝනා නෙවෙයි, ඊට එහා දෙයක් ආවත් හැදෙන්නෙ නැති කොටසකුත් ඉන්නවනෙ.
කලාකරුවො හැටියට අපි මේ ඉගෙනගත්ත පාඩමෙන්, අපේ අනාගතය හැකි විදිහකින් සැලසුම් කරගන්න ඕනෙ. අපි සොබාදහමට, සතා සිවුපාවට, අනිත් අයගෙ සිතුම් පැතුම්වලට ගරැ කරන්න ඕනෙ. අපි අනිත් කෙනාව රුකගන්න ඕනෙ. අපි හැමෝටම හිතන්න දෙයක් ඉතුරු කරලා තියෙනවා.

• චන්දන වික්‍රමසිංහ

කොරෝනා ව්‍යසනය නිසා ලංකාවෙ කලා ක්ෂේත්‍රයේ හැමෝම වගේ අසරණ භාවයට පත්වෙලා ඉන්නෙ. නළු නිළියන්ට, ගායක ගායිකාවන්ට, චිත්‍රපට නිෂ්පාදක, අධ්‍යක්ෂවරැන්ට විවිධ සංගම් තියෙනවා. ඒත් නර්තන ශිල්පීන් වෙනුවෙන් එවැනි සංගමයක් මම දැනුම්වත්ව නම් නැහැ.

හැම උත්සවයක් ලස්සන කරන්න, වර්ණවත් කරන්න දායක වෙන නර්තන ශිල්පීන්, බෙර වාදන ශිල්පීන් සිය දහස් ගණනක් අද වැඩ නැතුව අසරණ වෙලා. මේ වෘත්තිය ගැන කවුරැත් හඬක් නගන්නෙ නැති හේතුව අපේ එකමුතුවක් නැතිකම නිසාද?
අපි ගැන හොයලා බැලුවෙ භාතිය ජයකොඩි විතරයි. භාතිය හා ඔහුගෙ කණ්ඩායම තමයි නැට්ටුවො ගැන වගකිවයුතු පාර්ශ්වයන්ට දන්වලා තියෙන්නෙ. සමහර අයගෙ පඩි 50- 60 අඩුකරලා තියෙනවා. ඒත් අපේ ආදායම 100ක්ම නැතිවෙලා. අපේ නැට්ටුවන්ට රජයෙන් දෙන රු.5000/-වත් ලැබිලා නැහැ.
රටේ අභිමානය වෙනුවෙන්, සංචාරක ව්‍යාපාර ප්‍රවර්ධනය වෙනුවෙන් පෙනී සිටින නැට්ටුවො මීට වඩා එකමුතු වෙන්න ඕනෙ. නැත්නම් අපි වෙනුවෙන් කතාකරන්න කවුරුත් නැතිවෙනවා.

 

• උරේෂා රවිහාරි

අපේ වෘත්තීය පැත්තෙන් ගත්තොත් අපිට ලොකු පාඩුවක් සිද්ධවෙලා තියෙනවා. මේ දේ සිද්ධ වුණේ අපට ෂෝස් වැඩිම කාලෙ. මගේ ගොඩක් සංදර්ශන කල් ගියා. පිටරට සංචාර 3ක් කල් ගියා. මට විතරක් නෙවෙයි පොදුවේ හැමෝටම මේක බලපාලා තියෙනවා.

මේ වගේ අත්දැකීමකට අපි මූණදෙන්නෙ ජීවිතේ පළවෙනි වතාවට. මේකෙන් ඉගෙන ගත්ත ලොකුම පාඩම තමයි කූඹියාගෙන් ඉගෙනගන්න තියෙන පාඩම. හදිසි අවස්ථාවකට ගන්න ඉතුරැවක් කළා නම් කොයිතරම් ප්‍රයෝජනවත් වෙනවද කියලා මිනිස්සුන්ට මේකෙන් තේරැම් ගියා. අනික අපි ඉස්සර කොච්චර කෑම නාස්ති කරනවද? මේ කාලෙ එහෙම නෑ. ඒවත් රත්කරලා ගන්නවා. නාස්තිය අවම කරනවා.

මේ කාලෙ කුණු ගෙනියන අයට අන්තිමට දෙන්න ඉඳුල් නැති තරම්. අපි කඩෙන් කන්න පුරැදුවෙලා හිටියනෙ නිතරම. දැන් ඒවත් නැවතුණා. කාර්යබහුලත්වය නිසා කරපිංචා පැලයක්වත් හිටවපු නැති මම දැන් එළවළු පැළ වගා කරන්න පටන් ගත්තා. ඒවායෙ පලදාව උයලත් කාලා තියෙනවා. මේ ව්‍යසනය නිසා සිද්ධවුණු හොඳම දේ තමයි මට පවුලේ අයත් එක්ක ගෙදර කාලය ගත කරන්න ලැබුණ එක. බබා එක්ක එයාගෙ දේවල් බෙදාහදාගන්න, මගේ මහත්තයා, මගේ අම්මා, තාත්තා එක්ක එකට ඉන්න ලැබුණ එක මම නම් හිතන්නේ සොබාදහමෙන් දීපු තෑග්ගක් කියලා. මට පොත් කියවන්න ගොඩක් කාලය ලැබුණා වගේම ගොඩක් අලුත් කෑම ජාති හදන්නත් මම මේ කාලෙදි පුරුදු වුණා.


• උදයකාන්ත වර්ණසූරිය

අපේ රටට විතරක් නෙවෙයි, මේ ප්‍රශ්නය මුලු ලෝකෙටම බලපාලා තියෙනවා. මම නියෝජනය කරන සිනමා ක්ෂේත්‍රයටත් මේක සෑහෙන්න බලපාලා තියෙනවා.
හැමෝම මේ වෙලාවේ හිතන්නෙ, මූලිකත්වය දීලා තියෙන්නේ ආහාරපාන, අධ්‍යාපනය, සෞඛ්‍ය වගේ දේවල්වලට. ඊටපස්සේ තමයි විනෝදාස්වාදය ගැන හිතන්නෙ. ඒත් මේ වගේ කාලෙක මානසික ආතතියෙන් පෙළෙන මිනිසුන්ට සුවයක් ගේන්නට පුළුවන් වෙන්නෙත් විනෝදාස්වාදය තුළින් බව වගකිවයුතු පාර්ශ්වයන් අවධානය යොමුකරන්න ඕනෙ. සිනමාහල්, නාට්‍ය ශාලා අරින පැහැදිලි කාලයක් ගැන අපි තාම දන්නෙ නැහැ. මගේ අලුත්ම චිත්‍රපටය ගින්දරී 3 මේ අවුරුද්දෙ ප්‍රදර්ශනයට සූදානම් කරලා තිබුණෙ. ඒත් ඒ හැම දෙයක්ම කල් ගිහින් තියෙනවා. සිනමා ශාලාවට ප්‍රේක්ෂකයින් නැවත ගෙන්වා ගන්න නම් මේ ප්‍රශ්නය සෑහෙන දුරට සමථයකට පත්වෙලා තියෙන්න ඕනෙ.
නිෂ්පාදක. අධ්‍යක්ෂකවරුන්ට වගේම සිනමාහල් හිමිකරුවන්ටත් ප්‍රශ්න තිබෙනවා. සිනමාවට සම්බන්ධ අසරණ වුණ අයට වගේම සියලු කලාකරුවන්ට සහනයක් ලබා දෙනව නම් හොඳයි. මම මේ කාලය ප්‍රයෝජනයට අරන් චිත්‍රපට තිරනාටක තුනක් ලිව්වා.

• රොෂාන් පිලපිටිය

මේ ව්‍යසනය කලාවට යම් බලපෑමක් කරලා තියෙනවා. ඒත් පෞද්ගලිකව මම කලකිරිලා නැහැ.
අපේ වෘත්තිය ස්ථීර නැති වුණත් මේ ව්‍යසනය අපට ගොඩාක් දේවල් උගන්වලා තියෙනවා. මේක අවසාන ව්‍යසනය නොවෙන්න පුළුවන්. ඉදිරියේදී වුණත් මෙවැනි ආපදාවකදී ඒවාට මුහුණ දෙන්න අපි සූදානමින් ඉන්න ඕනෙ. ලද දෙයින් සතුටුවෙලා හැම දෙයක්ම පිරිමහගෙන කටයුතු කරන්න අපි හැමෝම මේකෙන් ඉගෙන ගත්තා.

මම පැලයක්වත් හිටවපු කෙනෙක් නෙවෙයි. මගේ  බිරිඳ නම් ඉස්සර ඉඳන්ම වවනවා. බබාට වස විස නැති ආහාර අවශ්‍ය නිසා එයා කාලයක පටන් හැකි මට්ටමෙන් වගා කරනවා. මේ කාලෙදි මමත් වවන්න පෙළඹුණා. ඊට අමතරව කියවනවා. ව්‍යායාම් කරනවා. වෙලාවකට හිතෙනවා හුදෙකලා වීම කොච්චර හොඳද කියලා. අද හුදෙකලා වෙලා රස්සාවල් කරන්නත් පුළුවන් කියලා අපිට තේරැම් ගිහින් තියෙනවා. අලුත් පරම්පරාව දැන් ගොඩක් සොබාදහමට සමීපව ජීවත්වෙන්න පුරුදු වෙලා. ඒක හොඳ ප්‍රවණතාවයක්. සියලුදේ අත්හැරීම තුළින් ලැබෙන සැනසීම හා සතුට ගැන මිනිස්සුන්ට අවබෝධ වෙලා තියෙනවා.
මේ ව්‍යසනය ගැන අපිට කාටත් ඇඟිල්ල දික් කරන්න බැහැ. මම හිතනවා මේ රටේ හැමෝම මේ මොහොතෙ පක්ෂ පාට භේදවලින් තොරව මේ ප්‍රශ්නෙදි එක අරමුණක් වෙනුවෙන් එකතුවෙයි කියලා, කොරෝනාවලින් අපේ රට බේරගන්න.


• ගීත හා සාහිත්‍ය විචාරක වෛද්‍ය අසේල විජේසුන්දර

මේ වසරේ ජනවාරි පළමුවැනිදා මම අමරසිරි පීරිස් කියන මගේ අව්‍යාජ මිත්‍රයත් එක්ක ඔහුගේ දායකත්වයෙන් ඉදිකළ කෑගල්ලේ ශ්‍රී අමර විහාරයට ගියා. එදා කතාබහ අතරේ අමරසිරි පීරිස් චරිතාපදානය ලියන්න මම තීරණය කළත්, කරුණු එක්රැස් කරගත්තත් මගේ වෘත්තීය කාර්යබහුලත්වයත් එක්ක පොත ලියන්න පටන් ගන්න කාලයක් නැතුවයි හිටියේ. කොවිඩ් වසංගතයත් එක්ක ලැබුණු නිවාඩුවේ මම එම ග්‍රන්ථයේ පරිච්ජේද කිහිපයක්ම ලියලා ඉවර කළා. ඒ වගේම ගීත කිහිපයක් ලියන්න මට ඉල්ලීම් ලැබිලා තිබුණා. ඒ ඉල්ලීම් අතරේ එක් විශේෂිත ගීතයක් රචනා කරන්නත් මට ආරාධනාවක් ලැබිලා තිබුණේ. නිදහසේ ඒ ගීත කිහිපයම මේ කාලය තුළ මම ලීවා. පොත් කියවන්න, චිත්‍රපටයක් බලන්න, ගීයක් කවියක් රසවිඳින්න වුවමනාව තිබුණත්, උදේට කුරුල්ලන්ගේ කිචිබිචිය අහන්න ස්වභාව ධර්මය රස විඳින්න කාලය හොයා ගන්නේ හුඟක් අමාරුවෙන්. මේ කාලයේදී ඒ හැමදේටම ඉඩක් ලැබුණා.

ඒ වගේම මම ගෙදරට අවශ්‍ය එළවලු පලතුරු, පලාවර්ග සියල්ල මගේම ගෙවත්තේ වගා කරනවා. ඒ ආදර්ශය අපි අපේ දරුවන්ට දියයුතු දෙයක්. මේ කාලයේ මම අලුත් පාත්ති කිහිපයක් හදලා අලුත් වගාවන් කිහිපයක්ම ආරම්භ කළා. වෛද්‍යවරයෙක් වශයෙන් මේ කාලයේදී ඔබ මොනවද ලබාදුන් දායකත්වය කියලා ඔබ මගෙන් අහපු නිසා මම කියන්නේ හුඟක් මිනිස්සුන්ට මේ කාලයේ අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග ලබාගැනීම ඉතාම දුෂ්කර කාර්යක් වුණා. ඒ හුඟක් අයට මම කිසිදු අයකිරීමකින් තොරව බෙහෙත් වර්ග නිවෙසටම ගිහින් දුන්නා. දත් කැක්කුම කියන්නේ ඉවසන්න බැරි වේදනාවක්. කොරෝනා අවදානම මධ්‍යයේත් ඇතැම් අවස්ථාවල එවන් හදිසි අත්‍යවශ්‍ය දන්ත ප්‍රතිකාර අවශ්‍ය රෝගීන්ට මම නොමිලේම ඒ දන්ත වෛද්‍ය ප්‍රතිකාර ලබාදුන්නා. ඒ වගේම පසුගිය කාලයේ මම මගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා යොමු වී සිටියා. එහි අතපසු වූ පාඩම් වැඩත්, කාලයක සිට අදහසක් ලෙස පැවති කඩවත රෝස්වුඩ් ඩෙන්ටල් ඇන්ඩ් මෙඩිකල් මගේ පුද්ගලික රෝහලට ඉදිරියේදී තවත් සේවාවන් කිහිපයක් එක් කිරීමේ සැලසුමත් මේ කාලය තුළ මම සැලසුම් කළා. ස්වභාවධර්මයට එරෙහි නොවෙමින් ස්වභාවධර්මය හා මිත්‍රත්වයෙන් ආදරයෙන් ජීවිතය ගත කිරීමේ පාඩම මිනිසුන් ඉගෙන ගැනීම කොරෝනා සමයේ සිදුවූ වැදගත්ම සංසිද්ධියක්.

• මනෝජ් පීරිස්

මේ වගේ කාලෙකදී හුදෙකලාව තදින්ම බලපාන්නෙ මං වගේ තනිකඩ අයට කියලයි මම හිතන්නෙ. මාත් එක්ක ඉන්න හුරතල් බලු පැටව්, බළල් පැටව් එක්ක මේ කාලය ගෙවා දැම්මත්, ඒ අත්දැකීම හරිම කටුකයි.
පැය 24ක් ගෙවාගන්න මට මාසයක් විතර කාලයක් ගියා කියලයි මට හිතෙන්නෙ. සංගීත ශිල්පීන් හැටියට සංගීත අධ්‍යක්ෂකවරයෙක් හැටියට අපි හැමෝම වැඩකළේ මිනිස්සු එක්ක එකට. මේ වගේ හුදෙකලා වීම දරාගන්න හරිම අමාරුයි.
සංගීත ශිල්පීන්ගෙ ආර්ථිකයටත් මේ ව්‍යසනය ප්‍රබල ලෙස බලපෑවා. ගුවන් විදුලි සංස්ථාවට හා රාජ්‍ය සංගීත කණ්ඩායමට අයත් ශිල්පීන්ට විතරයි මාසිකව ස්ථීර පඩියක් ලැබෙන්නෙ.

අනිත් හැම සංගීත ශිල්පියෙක්ම එදිනෙදා වැඩකරලා මුදල් ලබාගන්නා නිදහස් ශිල්පීන්. ඒ වගේම තමයි සවුන්ඩ්ස්, ලයිටිං අංශවලට සම්බන්ධ අයටත් මෙය විශාල ලෙස බලපෑවා. මම විවිධ රෑපවාහිනී නාලිකාවල වැඩිම වැඩසටහන් සංගීත අධ්‍යක්ෂණයෙන් හා සම්බන්ධීකරණයෙන් දායකවෙලා වැඩකරපු කෙනෙක්. ඒ තරම් කාර්යබහුල කෙනෙක් එකපාරටම ගෙදරට වෙලා කොටුවෙලා ඉන්න ගියාම හරිම අමාරුයි.
මම දෙවියන්ගෙන් ඉල්ලා සිටිනවා මේ උවදුර හැකි ඉක්මණින් අපේ රටින් තුරන් කරලා දෙන්න කියලා.

 ර‍ෙම්ෂ් උවයිස්