2020 මැයි 23 වන සෙනසුරාදා

සල්ලි ගන්න ඇවිත් ජීවිතය දන් දුන් මාලිගාවත්තේ කතුන් තුන්දෙනා

 2020 මැයි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 262

කොළඹ දිස්ත්‍රික්කයට නැවත දැනුම්දෙන තුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මකය. නීතියට අනුව රාජකාරි මට්ටමින් හැරෙන්නට අත්‍යවශ්‍ය කටයුතු සඳහා ජනතාවට නිවසින් පිටව යා හැක්කේ ජාතික හැඳුනුම්පත් අංක ක්‍රමයටය. එවැනි පසුබිමක ජනතාව ඒකාරාශී වීම සපුරා තහනම්ය. ඒ අතරේ පොලීසිය හෝ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී දැනුම්වත් නොකොට පිරිසක් රුස්කර මුදල් බෙදාදීමකට සූදානම් වූ මොහොතක සිදුවූ දැඩි තෙරපීම නිසා කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ කාන්තාවන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වීම බරපතළ සිදුවීමකි. 

සිද්ධියට මුහුණ පෑ තවත් කාන්තාවන් සිව්දෙනෙකු ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ වැඩිදුර ප්‍රතිකාර ලබන අතර තවත් සිව්දෙනෙක් එම රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබති. මේ හැරෙන්නට තවත් කාන්තා හා පිරිමින් විශාල ප්‍රමාණයක් සුළු තුවාල සිදුවී ප්‍රතිකාරයක් පවා නොලබා සිටින බව වාර්තා වේ. මේ වසරේ රාමසාන් උත්සවය සඳුදා (25)ට යෙදී තිබේ. එය සැමරීම සඳහා මාලිගාවත්ත ජුම්මා මස්ජිඩ් පාරේ පදිංචි නිවැසියන්හට මුදල් ආධාර ලබාදීමට ව්‍යාපාරිකයකු සූදානමින් සිට ඇත. මේ සම්බන්ධයෙන් වන කතාව කටින්කට ගොස් මාලිගාවත්ත, ඇපල්වත්ත ආර්.බී වත්ත. 250 වත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවෝ රැසක් ඒකරාශි වූවෝය. ඒ මාලිගාවත්ත ජුම්මා පාරේ දරුසලාම් පාසල අසල අංක 248 ස්ථානයේ පිහිටි නිවසක් ඉදිරිපිටය. 

දෙහිවල ප්‍රදේශයේ පදිංචි මෝටර්රථ අමතර කොටස් තොග විදේශවලින් ගෙන්වා බෙදාහරින ව්‍යාපාරිකයකුට අයත් ගබඩා සංකීර්ණයක් ජුම්මා පාරේ පිහිටා තිබෙන බැවින් එහි අසල්වැසියන්ට රාමසාන් උත්සවය වෙනුවෙන් මුදල් පිරිනැමීම ඔහුගේ අදහස වී තිබිණි. ඒ සඳහා රුපියල් ලක්ෂ පහක් පරිත්‍යාග කිරීමේ සූදානමින් සිට ඇති අතර සියලු විස්තර ප්‍රදේශවාසීන්ට ආරංචිවීම නිසා බ්‍රහස්පතින්දා පෙරවරු 10.30-11 පමණ වන විට පිරිස එක්රැස් වෙමින් සිට ඇත. මේ අතර ව්‍යාපාරිකයා අපේක්ෂා කර ඇත්තේ ජනතාව අඩුවෙන් ඒකරාශි වී ඇත්නම් රු. 2000 බැගින් සහ පිරිස වැඩිවශයෙන් සිටියේනම් රු. 1000 බැගින් පරිත්‍යාග කිරීමටය. ඒ අනුව සූදානම් වූ ව්‍යාපාරිකයා පදිංචි දෙහිවල සිට නියමිත ඇඳිරිනීති බලපත්‍රයක් මාලිගාවත්ත දක්වා ලබාගෙන තිබුණේ ව්‍යාපාරික කටයුතු සඳහා යන බව දක්වමිනි. එසේ පැමිණි පුද්ගලයා සමඟ තවත් පුද්ගලයන් හතර දෙනකු පැමිණ තිබෙන අතර පෙර සටහන් කළ අංක 248 නිවසට ඔවුන් පැමිණ තිබුණේ පෙරවරු 11ට පමණය. 

ඒ වන විටත් හාර පන්සීයක ජනතාවක් එම නිවස ඉදිරිපිට රැඳී සිට තිබෙන අතර ව්‍යාපාරිකයා හා ඔහුගේ හිතවතුන් පවසා ඇත්තේ මුදල් ලබාදීම දවල් 1ට පමණ සිදුකරන බැවින් එතැනින් පිටත්ව ගොස් නැවත පැමිණෙන ලෙසය. මෙහිදී රැස්වූ පිරිස කතා කරගෙන ඇත්තේ දැනට මෙතරම් සෙනඟක් සිටින බැවින් පිටවී ගොස් නැවත පැමිණීමේදී තවත් සෙනඟ වැඩිවී සිටිය හැකි බවය. එබැවින් රුස්වූ පිරිස එතැනම රුඳී සිට ඇති අතර මෙවැනි පිරිසක් රුස්කර මුදල් පරිත්‍යාග කිරීමක් සිදුකරන බව ග්‍රාමසේවක නිලධාරීට හෝ පොලිසීයට දැනුම්දීමක් සිදුකර නැත. 

සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් සම්බන්ධයෙන් සොයා බැලීමට මාලිගාවත්ත පොලිසියේ නිලධාරින් පිරිසක් ගොස් තිබුණේද දවල් 1ට ආසන්නව තිබියදීය. ව්‍යාපාරිකයා ඇතුළු පිරිස රැඳී සිටි නිවස ඉදිරිපිට වූයේ අඩි 10ක් පමණ උස සවි ශක්තිය ඇති ගේට්ටුවකි. එහි කෙළවර අඩි 2ක් තරම් කුඩා ගේට්ටුවක් වූයේ වරකට එක් අයෙකුට පමණක් ඇතුල්විය හැකි පරිද්දෙනි. මුදල් පරිත්‍යාග කිරීම සඳහා දහවල් 12.50ට පමණ ව්‍යාපාරිකයාගේ හිතවතකු පෙරකී කුඩා ගේට්ටුව විවෘත කළා පමණි. කිසිම පිළිවෙළක් හෝ විනයක් නොමැතිව ඇතුළට යන්නට ජනතාව පොර කෑහ. එහිදී ඇති වූ තෙරපීම බලා සිටිය නොහැකි තරම් අනතුරුදායක විය. එය වළක්වා ගැනීමට ක්‍රමයක් ද නොතිබිණි.

මේ දරැණු තෙරපීම මැද රැස්කමින් සිටි මැදිවියේ කාන්තාවන් කිහිපපොළක් සෙනඟ මැද ඇද වැටුණේ තවත් කෙනකුට නැගිට්ට වීමට හෝ ඉඩක් ලබා නොදෙමිනි. පාලනයකින් තොරව කුඩා ඉඩක රැස්වූ ජනතාව තෙරපී බිම ඇදවැටී පෑගී ගියේ කිසිවකුත් නොසිතු ලෙසය. ඒ මොහොතේම පැමිණි පොලිස් නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් තුවාල ලබා සිහිසුන්ව වැටී සිටි කාන්තාවන් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබිණි.

අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ කාන්තාවන් තිදෙනෙකු රෝහල් ගතකරන විටත් ජීවිතක්ෂයට පත්ව සිටි බවද වාර්තා වූයෙන් එම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ව්‍යාපාරිකයා ඇතුළු පුද්ගලයන් 6 දෙනකු අත්අඩංගුවට ගැනිණ. ඒ සමඟ නඩු භාණ්ඩ වශයෙන් බෙදාදීමට සූදානමින් තිබූ රුපියල් ලක්ෂ පහද ඉදිරිපත් කෙරිණ. අලුත්කඩේ අංක 4 අධිකරණව B-32333/4/20 නඩු අංක යටතේ ගොනු කෙරුණු නඩුවෙන් පසුව සැකකරැවන් පිරිස ජූනි 4 වැනිදා තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නේරංජලා ද සිල්වා මහත්මිය නියෝග කළාය. 

සිදුවීමෙන් මියගොස් තිබුණේ ලක්සිත සෙවන, මාලිගාවත්ත, කොළඹ 10 පදිංචි උමා අකිලා (62) ජුම්මා මස්ජිඩ් පෙදෙස මාලිගාවත්ත පදිංචිව සිටි මොහොමඩ් ෆවුසියා (59) සහ ලක්සිත සෙවන, මාලිගාවත්ත පදිංචිව සිටි ෆරීතා මුසම්මිල් (68) නැමැති තිදෙනාය. සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන මාලිගාවත්ත පොලිස්ථානය මගින් සිදුකරනු ලබන අතර කොළඹ මධ්‍යම (3) සහකාර පොලිස් අධිකාරි කරුණාසිංහ මහතාගේ උපදෙස් මත මාලිගාවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අනුර උදය කුමාර මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ප්‍රභාත් ගුණරත්න මහතා සිදුකළේය. මෙහි අධිකරණ කටයුතු උසාවි අංශ ස්ථානාධිපති පොලිස් සැරයන් 14719 ප්‍රියන්ත මහතා විසින් මෙහෙයවනු ලැබීය.

 සමන්ත ප්‍රදීප් විල්තෙර