2020 මැයි 16 වන සෙනසුරාදා

ඇඳිරිනීතිය ලිහිල් කිරීම : ජනතාව දක්වන අදහස්

 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 48

රටක් ගොඩගැනීම සඳහා උපයෝගි වන ප්‍රධාන සාධක දෙකක් ඇතැයි කියති. පළමුවන්න ජනතාවගේ විනයගරුක හැසිරීමය. දෙවැන්න වැඩකිරීමේ හැකියාවය. රටවල් ධනවත් වන්නේද ඒ කරුණු දෙක මතය. විනයගරුක පුරවැසියා රටේ නීතියට අවනත වෙයි. එලෙසම තමන්ගේ මව්බිම හා ජාතිය ගැන හැඟුම්බර වෙයි. වැඩ කිරීමට නම්, පුරවැසියා නිරෝගී විය යුතු ය. දැනුමෙන් හා කුසලතාවෙන් පරිපූර්ණ විය යුතුය. ඒ සියල්ල තීන්දු වන්නේද තම තමන්ගේ චර්යා රටාවට හෙවත් හැසිරීමට අනුවය.

කොවිඩ් 19 වෛරසය නිසා මාස දෙකකට ආසන්න කාලයක් මෙරටට පනවා තිබූ ඇඳිරි නීතිය පසුගිය සඳුදා සිට යම් පමණකින් ලිහිල් විය. එය සිදුවන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ පිළිගනිමින් හා ඇතැම් රටවල කොරෝනා මර්දනයේ සාර්ථක අත්දැකීම්ද සැලකිල්ලට ගනිමින්ය. නීති රීති ලිහිල් කරන්නේ ප්‍රධාන සාධක දෙකක් ජයගැනීම සඳහාය. පළමු සාධකය වන්නේ ජනජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා සාර්ථක ආරම්භයක් ගැනීමය. දෙවැනි සාධකය වන්නේ ලොක් වී ඇති ආර්ථිකය නැවත පණගැන්වීම හෙවත් ආර්ථිකය සක්‍රීය කිරීම මේ සාධක දෙක නැතිව රටක් ඉදිරියට ගෙන යෑම අසීරුය.

කොවිඩ් 19  අර්බුදය හමුවේ ප්‍රධාන කාරණා දෙකක් මෙරට සමාජ කරළියට පැමිණියේය. පළමු මතයට අනුව මුළුරටම වසා දමා වසංගතය මර්දනය කළ පසු ආර්ථිකය යළි පණ ගැන්වීම හා ජනජීවිතය යථාවත් කිරීම සිදුකළ යුතුය. රට (ලොක් ඩවුන්) කළ පමණට රෝගයේ ව්‍යාප්තිය අඩු කරගත හැකි බව ඔවුන්ගේ තර්කය විය. දෙවැනි මතයට අනුව ආර්ථිකය ලොක් කිරීමෙන් වසංගතයට වැඩි හානියක් රටට සිදුවිය හැකිය. එහි ප්‍රතිඵලය වඩාත් භයානක විය හැකිය. කොරෝනා මර්දනය‍ට අදාළ කාර්ය සාධන බළකාය තුළ මේ තත්ත්වය දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වී ඇත. අවසන් තීන්දුව වී ඇත්තේ රෝග මර්දනයේ සාර්ථකත්වය මත රට කෙමෙන් විවෘත කළ යුතු බවය. දැන් එය පියවරෙන් පියවරට සිදුවෙයි.

කෙසේ වෙතත් රටෙහි ඇඳිරි නීතිය ලිහිල් කිරීමේදී සලකා බැලිය යුතු ඉතා වැදගත් කාරණය වන්නේ ජනතාවගේ හැසිරීමය. මීට පෙර අවස්ථා කිහිපයකදී පළාත් කිහිපයක ඇඳිරි නීතිය ඉවත් කළ අතර පිරිසකගේ හැසිරීම එතරම් සතුටුදායක මට්ටමක පැවතියේ නැත. රජය හඳුන්වා දී තිබූ ඇඳිරිනීතී සීමාවන් එකිනෙක බිඳී ගියේය. අවසන් ප්‍රතිඵලය වූයේ නැවතත් නීති රීති තද කිරීමට සිදුවීමය. මේ වනවිටත් ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පිරිස පනස් දහසකට ආසන්න වෙති. ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් භාරයේ ඇති වාහන සංඛ්‍යාව දොළොස් දහසක් පමණ වන බව කියති. ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම යනු රටේ පොදු නීතිය කැඩීමකි. එවැන්නන්ට අනිවාර්යයෙන්ම දඬුවමක් තිබිය යුතුය.

පසුගිය සඳුදා සිට මෙරට ඇඳිරි නීතිය ලිහිල් කර ඇත්තේ ජනතාව කෙරෙහි පූර්ණ විශ්වාසයක් තබාගෙනය. සමාජ දුරස්ථකරණය පවත්වා ගැනීම, මුඛ ආවරණ පැළඳීම, කණ්ඩායම් ලෙස රැස්වීමෙන් ඉවත්වීම, සංචාරය නැවැත්වීම, විෂබිජහරණය ක්‍රියාකාරකම්වල නිරත වීම ජනතාව නිසිලෙසම අනුගමනය කරනු ඇතැයි රජය විශ්වාස කරයි. මෙම පිළිවෙත් කඩකරන ඕනෑම කෙනකු වෛරසය තවත් අයකුට පැතිරවීමට උත්සාහ කරන තැනැත්තකු ලෙස හැඳින්විය හැකිය. තමන් කොවිඩ්-19 වෛරසයෙන් ආරක්ෂාවීම සිදුවන්නේ තම තමන්ගේ හැසිරීමට අනුවය. ඇඳිරිනීතිය ලිහිල්කර තිබියදී එහි නිදහස  උපරිම භුක්ති විඳීමට ගියහොත් සියල්ල අවුල්වීමට ඉඩ ඇත. එවිට සිදුවන්නේ යළිත් රට අවුලෙන් අවුලට පත්වීමය. එබැවින් රටෙහි ඇඳිරිනීතිය ලිහිල් කිරීමේදී වැඩිවගකීමක් පැවරී ඇත්තේ ජනතාව සතුවය.

විටින් විට රටෙහි දිස්ත්‍රික 21 කට ඇඳිරිනීතිය ලිහිල් කරමින් යළිත් පනවමින් රජය කොවිඩ්-19 රෝගය පාලනය කිරීමට මහත් වෙහෙසක් ගනියි. පසුගිය සඳුදා සිට ජන ජීවිතය යථා තත්ත්වය පත්කිරීමේ අරමුණින් රජය කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම යන දිස්ත්‍රික්කවලද ඇඳිරිනීතිය ලිහිල් කළේය. තවමත් සම්පූර්ණයෙන් මෙරටින් කොවිඩ්-19 රෝගය තුරන් වී ගොස් නොමැති විටක ඇඳිරිනීතිය ලිහිල් කිරීම පිළිබඳ පාර්ශ්ව කිහිපයකින් අපි විමසීමක් කළෙමු.

එළියට බහින්න බැරුව හිටපු අප මේ තීරණය හොඳයි
සී.එච්. රෝහිණී - සීදූව

කොරෝනා රෝගය රට පුරා ව්‍යාප්ත වීම නිසා දැන් මාස දෙකකට ආසන්න කාලයක පුරාවට ඇඳිරිනීතිය දාලා තියනවා අනෙක් දිස්ත්‍රික්කවලට ඇදිරිනීතිය අයින් කළත් තවමත් අපිට ඇදිරිනීතිය අයින් කරලා නැහැ. පසුගිය සඳුදා ඉඳන් කොළඹ, ගම්පහට ඇඳිරිනීතිය ලිහිල් කළත් එළියට යන්න පුළුවන් වෙන්නේ රාජකාරී සදහා යන අයට පමණයි. ඇත්තටම මාස දෙකකට ආසන්න කාලයක පවතින මේ ඇඳිරිනීතිය නිසා අපිට ගෙවල් වලින් එළියට බහින්න බැරිවෙලා තියනවා ඒ වුණාට මේ වසංගතය රටින් තුරන් කරන්න ඕන නිසා ඒ ඇඳිරිනීතිය දාපු එක හොඳයි. අපේ ප්‍රදේශයේ ජනතාවත් බොහොම පීඩාවට පත්වෙලා ඉන්නේ මේ ඇඳිරිනීතිය නිසා. කොහොම වුණත් ජනාධිපතිතුමා සඳුදා ඉඳන් මේ ඇඳිරිනීතිය ටිකක් හරි ලිහිල් කරපු එක හොඳයි. අත්‍යවශ්‍ය සේවා ඉටු කරගන්න පුළුවන් ඒ නිසා මේ තීරණය හොඳයි කියන එක තමයි මගේ අදහස.

බොරු ගමන් එපා: වගකීමෙන් වැඩ කරන්න
සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි

පසුගිය සුඳුදා දිනයේ සිට කොළඹ, ගම්පහ ඇතුළු දිවයිනේ සියළු ප්‍රදේශවල ඇඳිරිනීතිය ලිහිල් කරනු ලැබුවා. රටේ ආර්ථිකය පණ ගැන්වීම වෙනුවෙන් රාජ්‍ය අංශයෙත් පෞද්ගලික අංශයෙත් සේවාවන් ආරම්භ කළා. ඒ වගේම ජනතාවගේ ජන ජිවිතය නැවත යථා තත්වයට පත් කිරීමේ අරමුණින් තමයි අපි මේ ඇදිරිනීතිය ලිහිල් කරනු ලැබුවේ. ඒ වගේම තමයි ආරක්ෂක අංශයේ සෞඛ්‍ය අංශවල කැපවීම මත මේ වෙනකොට අපිට හැකිවෙලා තියනවා කොවිඩ් 19 වසංගත තත්ත්වය තරමක් දුරට අවම කරගන්න. නමුත් විශේෂයෙන් කියන්න ඕන මේ වසංගත තත්ත්වය තවමත් මෙරටින් පහව ගිහින් නැහැ ඒ නිසා ඇඳිරිනීතිය ලිහිල් කරුන් ලැබුවත් ජනතාව මේ වසංගතයෙන් ආරක්ෂා වීමට සෞඛ්‍ය අංශ විසින් ලබාදෙන උපදෙස් අනිවාර්යයෙන් පිළිපැදිය යුතුයි. පසුගිය දින කිහිපයේ පෙර පරිදි ආසාධිතයන් වාර්තා වූයේ නැහැ. ඒ වගේම මෙම වසංගතය ආසාධාදනය වු පිරිස් ක්‍රමයෙන් සුව වෙමින් සිටින නිසා තමයි වර්තමාන රජය මහජනතාවගේ යහපත වෙනුවෙන් මෙලෙස ඇඳිරිනීතිය ලිහිල් කරනු ලැබුවේ. ඒ නිසා ජනතාව වගකීමෙන් කටයුතු කරනවනම් කිසි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඇඳිරි නීතිය ලිහිල් කළත් තමන්ගේ පුද්ගලික ගමන් බිමන් යන්නේ නැතුව අත්‍යවශ්‍ය දෙයකට පමණක් නිවසින් එළියට යන ලෙසටත් අපි මහජනතාවගෙන් ඉල්ලාසිටිනවා.

රාජ්‍ය ආයතන හැමදාම වහලා තියන්න බෑ
ජයන්ත ද සිල්වා - රාජ්‍ය සේවක

පසුගිය සඳුදා සිට නැවත කොළඹ, ගම්පහ, ඇඳිරිනීතීය ලිහිල් කරලා තියනවා. ඒ වගේම රාජ්‍ය ආයතන පුද්ගලික ආයතනවල සේවකයන් නැවත කොළඹට පැමිණෙනවා වැඩකටයුතු කරගෙන යන්න. ඇත්තටම මේ වසංගතය නිසා රටේ සෑම දෙයක්ම වගේම ඇණහිට තිබුණේ. මමත් රජයේ ආයතනයක වැඩ කරන්නේ. මම වැඩකරන ආයතනය ජනතාවට ඉතා විශාල සේවයක් සපයනවා ඒ වගේම මේ ඇඳිරි නීතිය පනවන්න කලින් විශාල පිරිසක් අපේ ආයතනය පැමිණෙනවා තමන්ගේ ඒ අවශ්‍ය කටයුතු කරගන්න. මේ ඇදිරිනීතී කාල සීමාව තුළ ජනතාවගේ ඒ වැඩ කර ගැනීමට නොහැකි වුණා. ඉතිං රජය ගත්ත මේ ක්‍රියාමාර්ගය මගින් නැවත ජනතාවට පුළුවන් මේ සේවාවන් ලබා ගන්න ඇතැම් දේශපාලකයන් තමන්ගේ පටු පරමාර්ථ වෙනුවෙන් කියනවා මේ ඇදිරිනීතිය ඉවත් නොකළ යුතුයි කියලා. නමුත් ජනතාවට අවශ්‍ය සේවාවන් කරන්න තමයි රාජ්‍ය සේවය තිබෙන්නේ. හැමදාම රජයේ ආයතන වහලා තියන්නත් බැහැ. ඒ නිසා බොහෝදෙනා නිසි සෞඛ්‍ය ක්‍රියාමාර්ග පිළිපැදලා කටයුතු කළොත් හොඳයි වගේම මේ ඇදිරිනීතිය ලිහිල් කරපු එක වරදක් ලෙස මම දකින්නේ නැහැ.

ලොකුම වගකීම ජනතාවගේ අතේ
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා

පසුගිය 11 වැනි සඳදා සිට රටේ රාජ්‍ය අංශයේ මෙන්ම පුද්ගලික අංශයේ වැඩ කටයුතු කරගෙන යාම සඳහා ඇඳිරිනීතිය ලිහිල්කොට තිබෙනවා. කෙසේ වෙතත් මෙම ඇඳිරිනීතිය ඉවත් කිරීම තුළ රෝගීන් ප්‍රමාණය වැඩිවීම වගේම අඩුවීම වැනි කාරණා දෙකමත් බලපාන්න පුළුවන්. ඒ වගේම තමයි යම් හෙයකින් මේ තත්ත්වය තුළ රෝගීන් ප්‍රමාණයේ ඉහළ යෑමක් සිදු වුණොත් ඒ පිළිබඳව වහාම ක්‍රියාමාර්ග වලට එළඹිය යුතුයි. මෙහි ප්‍රධාන වගකිම තියෙන්නේ ජනතාව අතේ. මොකද ජනතාව සෞඛ්‍ය නිර්දේශවලට ඔබ්බෙන් කටයුතු කළොත් තමයි යම් ප්‍රශ්නයක් ඇතිවන්නේ. ඒ නිසා මේ ඇඳිරිනීතිය ලිහිල් කිරීම පිළිබද ජනතාවගේ හැසිරීම ඉවහල් වෙනවා.

මැතිවරණ ඕනෑකමට ජනතාව බිලිදීමක්
එක්සත් ජාතික පක්ෂ හිටපු ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි 

කොවිඩ්19 වසංගත තත්වය හමුවේ මේ ආණ්ඩුව අසමත් කියන එක දැන් මුළු රටම දන්නවා. දැන් වර්තමාන ආණ්ඩුව කරපු ඊළඟ දේ තමයි මේ ඇඳිරිනීතිය අයින් කරපු එක. තාමත් මේ රටින් කොවිඩ් වසංගතය නැතිවෙලා නැහැ. එහෙම තත්ත්වයක් තියෙද්දි තමයි මොවුන් මේ ඇඳිරිනීතිය ඉවත්කළේ. මේ රටට විශාල සේවයක් කරපු රණවිරුවන්ට මේ වසංගතය වැළඳුනේ මේ රජයේ නොසැලකිලිමත්කම නිසා. සෞඛ්‍ය අංශ තවමත් කියනවා මේ රටින් වසංගතය තුරන් වෙලා නැහැ කියලා. මේ ජනතාව බිල්ලට දෙමින් මොවුන් මේ ඇඳිරිනීතිය ලිහිල් කලේ වෙන කිසිවක් නිසා නෙවෙයි මොවුන්ට මැතිවරණයක් පවත්වන්න සුදුසු වාතාවරණයක් තියනවද බලන්න. මොවුන්ට ඕන මේ මැතිවරණය පැවැත්වීම විතරයි ජනතාවගේ ආරක්ෂාව මොවුන්ට අවශ්‍ය නැහැ. මේ වසංගතය තවමත් මෙරටින් පාලනය නොවූ තත්ත්වයක් තුළ මේ ඇඳිරිනීතිය ලිහිල් කිරිමට අපි තරයේ විරැද්දයි.

සෞඛ්‍ය නිර්ණායක පිළිපැදීම අත්‍යාවශ්‍යයි 
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා

පසුගිය මැයි 11 වැනි සඳුදා සිට කොළඹ දිස්ත්‍රික්කයේ බස්නාහිර පළාත සහ පුත්තලමෙහි ඇඳිරිනීතිය පවත්වාගෙන යන අතරතුර එදිනෙදා කටයුතු ආරම්භ කළා. මාසකට වැඩි කාලයක් මෙම ප්‍රදේශ වල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුණා. නමුත් පසුගිය සඳුදා දිනයේ සිට ඇඳිරිනීතිය පවත්වාගෙන යමින් නිරෝධායන රීතීන්ට ගරු කරමින් මෙම ප්‍රදේශ වල ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම ආරම්භ කරනු ලැබුවා ආර්ථිකය සදහා දායකත්වයක් ලබාදීම සහ ආනයන අපනයන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම ආදී සියලු කරැණු පදනම් කරගනිමින් කටයුතු සිදුවෙනවා.

නමුත් මෙහිදී ප්‍රමුඛස්ථානය ලැබෙන්නේ කොවිඩ් වසංගතය දුරැකිරීම යන සිද්ධාන්තයට. ආයතන ප්‍රධානීන්ගේ දැනුම්දීම පරිදි සේවකයන් මේ වනවිට සේවයට වාර්තා කරනවා. සෑම දෙනෙකුම කෝවිඩ් මර්දනය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිර්ණායක පිළිබඳ අවධානය යොමු කළ යුතු වනවා. එහි ඉතා පැහැදිලිව සඳහන් වෙනවා එක් එක් ආයතන පවත්වාගෙන යාම සහ කෝවිඩ් වසංගතය මර්ධනයට‌ ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව.

කොවිඩ්-19  තවමත් සම්පූර්ණයෙන් පහව ගොස් නොමැති අවධියක අවධාරණයෙන් කිව යුත්තේ මේ ලිහිල්කරණය අර්ථවත් ජීවන රටාවක් සඳහා යොදාගත යුතු බවය.

 හසිත් අංජන