2020 මැයි 16 වන සෙනසුරාදා

කොරෝනා ව්‍යාප්තියට රටේ ආර්ථිකය ගොඩනගන්නට ස්වර්ණමය අවස්ථාවක්

 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 388

ශ්‍රී ලංකාව ලෝක ආර්ථිකයේ කොටසකි. අපට තනිව ජීවත් වීමට නුපුළුවන. ඒ නිසා ගෝලීය ආර්ථිකයේ බලපෑම් අපටද කාන්දුවෙයි. ඒ අනුව මේ නව කොරෝනා හෙවත් කොවිඩ් 19 වෛරසය ලෝක ආර්ථිකයට කරන බලපෑම අපටද සෘජුවම යටත්වීමට සිදුවේ. මෙම වෛරසයට සමාන වෛරස් වර්ගවල බලපෑම් මෙම ශත වර්ෂයේ මුලදි සිදුවිය. 1968 වසරේදී මෙවැනිම වෛරසයක් හොංකොංවලින් ආරම්භ වී මුළු ලොව පුරාම ව්‍යාප්ත විය. මෙහිදි ලෝක ජනගහණයෙන් මිලියනයක් පමණ මියගිය බවට වාර්තා වුණි. ඊටත් පෙරද 1956, 1958 කාලයේ මෙවැනිම වෛරසයක් ලොවම වෙලාගත් අතර චිනයෙන් පටන්ගත් මෙම වෛරසයෙන් මිය ගිය සංඛ්‍යාව මිලියන දෙකකි. අප්‍රිකාවෙන් මතුවූ එච්.අයි.වී. වෛරසය තවමත් ලොවපුරා ව්‍යාප්තව තිබේ. මේ එච්.අයි.වී. හැර අනිකුත් සියලු වෛරස් වර්ග කෙටි කාලයකදී උච්ඡතම අවස්ථාවට පැමිණ යළි අවම වූ බව කිව යුතුය. 

මෙම හානිවල අතුරුඵලයක් වශයෙන් අමෙරිකාවේ 2008-2009 වසරවල මූල්‍ය අර්බුදයක් උද්ගත වී මුළු ලොව පුරා ගමන් කළ අතර රට රටවලට වක්‍රාකාර බලපෑම් ඇතිවිය. දැනට පැතිරෙමින් යන නව කොරෝනා වෛරසය ලොව සෑම රටකම අහිතකර බලපෑම් ඇතිකරයි. මෙය තවම හරිහැටි මතුවී නැති අතර බොහෝ රටවල තවම ඇත්තේ ආරම්භ අවස්ථාවේය. අප්‍රිකාවේ, ලතින් අමෙරිකාවේ, නැගෙනහිර යුරෝපයේ හා ඉන්දියාවේද දැනට වාර්තා වී ඇත්තේ ස්වල්ප වශයෙනි. ඉන්දියාවේ ප්‍රදේශවල ජනතාව රටේ වෙනත් අභ්‍යන්තර කොටස්වලට යන නිසා මුළු රටටම කෙටි කාලයකදි වෛරසය ව්‍යාප්තවනවා ඇත. එසේම බංගලිදේශය, පාකිස්ථානය වැනි රටවලද මතුවට විශාල ලෙස මතුවිය හැකිය. ජර්මන් චාන්සරල්වරයා පසුගියදා පැවසුවේ ජනගහණයෙන් සියයට 70කට පමණ වෛරසය ආසාදනය වනු ඇති බවය. එයින් අදහස් වන්නේ කෝටි 6කට ආසන්නව මෙයට ගොදුරැවනු ඇතැයි යන්නය. ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වන්නේ අමෙරිකාවේ බෝවුණ වෛරසයට සමාන වෛරසයක් බව දැන් සොයාගෙන ඇත.

කොරෝනා රෝග ව්‍යාප්තිය නිසා ලෝක ආර්ථිකය කඩා වැටීමේ අවදානමකට ලක්ව ඇත. මෙය රටවල අභ්‍යන්තර ආර්ථික ක්‍රියාවලියට මෙන්ම ජාත්‍යන්තර වශයෙන් මුළු ලෝකයටම විනාශකාරි ලෙස බලපානු ඇත. ප්‍රංශ ජනාධිපති පසුගියදා බ්‍රිතාන්‍ය අගමැතිට පැවසුවේ වැළැක්වීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගතහොත් ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය අතර සියලුම ගමන් මාර්ග වසා දැමීමට සිදුවන බවයි. එවැන්නක් සිදු වුවහොත් මුළු ලොව ආර්ථිකය බිදවැටීමට එයම ප්‍රමාණවත් වෙයි. 

ලොව රටවල සෞභාග්‍යය පෙන්වන ප්‍රධානතම සාධකයක් වන්නේ කොටස් වෙළදපොළයි. අද ලංකාවේ පමණක් නොව සෑම රටකම එය කඩාවැටී ඇත. මෙයින් ව්‍යාපාර, ආයෝජනවලට නරක දසාවක් ඇතිවන බව පැහැදිලිවේ. ලොව රත්‍රන් මිල අඩුවූ අතර ඛනිජ තෙල් මිලද ප්‍රථම වරට විශාල ලෙස පහළ බැස තිබේ. දැනට ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් ඉල්ලුම ඍණ අගයක් දක්වා පහළ බැස ඇත්තේ ඉල්ලුම්කරුවන් අඩුවී ඇති නිසාය. මේ වනවිට තෙල් නිෂ්පාදකයන්ට ඉල්ලුම්කරැවන් සොයමින් යාමට සිදුව තිබේ. මෙම තත්ත්වයට ප්‍රතිචාර ලෙස ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 50ක පමණ බැංකු පොලී අනුපාත පහළ හෙලා ඇත. රටවල් 100ක් පමණ එකිනෙක අතර නාවික සහ ගුවන් ගමන් නවතා තිබේ. කලබලකාරීව පැවැති ඩුබායි ගුවන්තොටුපොළ සම්පූර්ණයෙන් වසා දැමීමට තීරණය වී ඇත. තත්ත්වය තව ස්වල්ප කාලයක් හෝ මෙලෙස පැවතුණහොත් සමස්ත ලෝකයේ ආර්ථික වර්ධන වේගය සියයට 1.5 දක්වා අඩුවෙනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයන් අනාවැකි පවසා තිබේ. 
අමෙරිකාව වැනි ලොව ආර්ථික බලවතුන් අද පත්ව ඇති තත්ත්වය ගැන පුරෝකතනය කරන විට වෙනත් දියුණු වෙමින් පවතින සහ නොදියුණු තුන්වන ලෝකයේ රටවලට මුහුණ පාන්නට වී ඇති අවදානම ගැන කුමන කතාද? ඒවාට ප්‍රතිකර්ම යොදා යථා තත්ත්වයට පත්කිරීම හිතන තරම් පහසු කාර්යයක් නොවනු ඇත. සමහරැන් මෙම තත්ත්වය මාස 3-4කින් අවසන් වනු ඇති බවට අදහස් කරන අතර ඇතැමුන් කියන්නේ අවුරුදු 3-4 පමණ ගතවනු ඇත යන්නය. වසර 5-10 ගතවනු ඇතිබව කියන විද්වතුන් සහ ආර්ථික විද්‍යාඥයන්ද සිටි. 

මෙම ව්‍යසනයේ හැඩතලය ඉංග්‍රීසි හෝඩියේ V, U, සහ L අක්ෂර ලෙස ලෝක ආර්ථික විද්‍යාඥයන් වර්ග කර තිබේ. V යනු සීඝ්‍රයෙන් පහළ ගොස් ඉහළ යන ස්වරෑපයකි. U යනු ස්වල්ප කාලයක් පහළ තිබී නැවත ඉහළ යාමක් වන අතර L අක්ෂර හැඩය අනුව රෝග බලපෑම පහළ ගොස් බොහෝ කාලයක් පහළ තලයේම තිබෙන බව කියන්නකි. අද පවතින තත්ත්වය මේ කුමන රටාවකට අනුකූලදැයි පැවසීමට තවම ඉක්මන් වැඩිය.

මෙම තත්ත්වය ලෝක ආර්ථිකයට අයහපත් වුවද මුළුමනින්ම හානිදායක ලෙස බලපානු ඇතැයි තක්සේරු කළ නොහැකිය. මෙයින් ලෝක ආර්ථිකය අවසන් නොවන අතර යළි නැගී සිටිනු ඇත. මෙවැනි ව්‍යසනයක් ලොව විටින් විට සිදුවූ අතර 1929-39 අතර කාලයේ ලොව විශාල ආර්ථික අවපාතයක් නිර්මාණය විය. එයින් ආර්ථිකය සියයට 25ක් වි අන්තර්ජාතික වෙළෙදාම සියයට 65 දක්වා කඩා වැටුණි. එහෙත් පසුව ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්විය. මෙවරද එවැන්නක් සිදුවනු ඇතැයි සිතේ. පවතින තත්ත්වය මුළු ලොවටම හානිකර වුවද යළි නැගිටීම සිදුවෙයි. 

ලෝක ආර්ථික තත්ත්වය ශ්‍රී ලංකාවට බලපාන්නේ කෙසේද යන්න ගැන අපි සලකා බලමු. පෙරදී මෙන් නොව වර්තමාන ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය සමග විවිධ පැතිකඩවලින් බද්ධවී තිබේ. මෙම ව්‍යසන තත්ත්වය අපට සෘනාත්මකවම බලපාන බව පැවසුවද එය එසේම නොවේ. සැම වළාකුලකම රිදී රේඛාවක් ඇත යන කියමන මෙන් මෙහි ධානාත්මක තත්ත්වයක්ද පෙනෙන්නට තිබේ. අපේ සංචාරක ව්‍යාපාරය මේ වනවිට මුළුමනින්ම කඩා වැටි තිබේ. පාස්කු ප්‍රහාරයෙන් පසු යම්තම් නැගී සිටීමට තැත්කරන විට යළි 0 දක්වා පහළ වැටුණි. වැඩිපුර ආදායම් ලබන යුරෝපා සංචාරකයන් මෙරටට නොපැමි‍‍ණේ. එසේම දේශීය හා විදේශීය ආයෝජකයන් අපට අහිමිවී ඇති අතර රට තුළ ව්‍යසායකයන්ගේ බලාපොරොත්තු කඩවී ඇත. ඇඟලුම් කර්මාන්තය බිඳ වැටීම නිසා ඇඟළුම් අපනයනයට පහර වැදී තිබෙන අතර නිදහස් වෙළෙඳ කලාපවල සේවය කරන දස දහස් ගණන් සේවකයන්ට රැකියා අහිමිව ඇති අතර ඔවුන්ගේ පවුල්වල ලක්ෂ ගණනකට ජීවත්වීමට හැකියාව නොමැති වී ඇත. ඇඟළුම් වෙනුවට මාස්ක් ආදී වෙනත් අපනයන සඳහා ඉල්ලුම වැඩිවී තිබේ. මැද පෙරදිග ඇතුළු විවිධ රටවල රැකියා කරමින් අපට විදේශ විනිමය සැපයූ විශාල පිරිසකට රැකියා අහිමිව ඇත. ඔවුන්ගේ පවුල් මහ මඟට ඇද වැටි තිබේ. ස්වයං රැකියාලාභින් සහ එදිනෙදා ශ්‍රමය හෙලා මුදල් උපයන ශ්‍රමික පවුල්වලට ජීවත්වීමට බාධා එල්ල වී තිබේ. එපමණක් නොව පීඩාවට පත්වූ ජනතාව සහන දීමට රජයට විශාල වෑයමක් දරන්නට සිදුව ඇත. හරිහැටි රාජකාරි ලබා නොගෙන රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීමට සිදුවීම දරාගත නොහැකි බරකි. එසේම ආදායම් බදු සහ විවිධ බදු ආදායම් නොලැබී ඇති අතර බැංකු ණයවලට සහන සැලසීම නිසා බැංකු පද්ධතිය දුර්වලවී තිබේ. මේ තත්ත්වය දිගටම තබාගත නොහැකිය. අනාගතයේදී විශාල වශයෙන් විදේශ රටවල රැකියා අපට අහිමිවේ. 

විදේශ ආයෝජන, සුරුකුම්පත්, ස්වදේශීය කර්මාන්ත ආදි වටිනාකම් එකතු කිරීමේ දම්වැල Value Chain පුරුක් බිඳී ගොස් ඇත. මෙහි මුල ඇත්තේ චීනයේ - අග ඉන්දියාවේය. ආර්ථික මූල ධර්මවලට අනුව ජනතා ආදායම අඩුවනවිට අනවශ්‍ය සුඛෝප‍භෝගී වැය කපා දැමීමට සිදුවේ. මෙය රටේ ආර්ථිකයට යහපත්ය. ඇතැම් ආහාර ද්‍රව්‍ය සහ අනවශ්‍ය අපනයනය සීම කිරීම නිසා නිතැතින්ම විදේශ විනිමය නාස්තිය අඩුවේ. ඇතැම් රටවල් තම අපනයන සීමාකර ඇති නිසා අපට වෙනදා තරම් භාණ්ඩ ආනයනය කිරීමට නොහැකිවේ. නිතැතින්ම සිදුවන අපනයන සීමාව යහපත්ය. අනවශ්‍ය ලෙස වාහන ආනයනය නොකිරීම විදේශ විනිමය පිරිමැසුමක් වේ. පසුගියදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විශේෂ ගැණුම් හිමිකම් ක්‍රමයේ (Special Drowing Rights) රටවල සලාකය ඉහළ දැමීමට තීරණය කර තිබේ. එය අප වැනි රටවලට වාසිදායක වේ. බොරතෙල් මිල වාර්තාගත ලෙස පහළයාම අපට වාසි සහගත ලෙස යොදා ගත හැකිය. වෙනත් රටවල් මෙවැනි අවස්ථාවල වැඩිපුර තෙල් මිලට ගෙන ගබඩාකර තබා ගන්නා නමුත් අපට එවැනි පහසුකමක් නැත. එසේම රත්‍රන් මිල පහළයාම උපයෝගිකර ගෙන අපට වාසි ලබාගත හැකිත නමුත් ඒ ගැන රජයේ අවධානය යොමුව නැත.

ආනයනයට දුෂ්කර වන දේ දේශීයව නිෂ්පාදනය කිරීමට උනන්දුවීම හොඳ ප්‍රවණතාවයකි. එවිට දේශීය කර්මාන්ත වර්ධනය වෙයි. ගෘහ ඒකකවලින් පටන්ගෙන රට පුරා මේ වනවිට කෘෂිකර්මය පිළිබඳ පිබිදීමක් ඇතිව ඇත. මේ තත්ත්වය රජයේ මැදිහත්වීමෙන් මහා පරිමාණ තත්ත්වයට පුළුල් කිරීම අවශ්‍ය වේ. ඉදිකිරීම් කර්මාන්ත පසු බසින විට එයින් පරිසර හිතකාමි ධානාත්මක ප්‍රතිඵල ලැබේ. වන විනාශය, වගුරැබිම් ගොඩ කිරීම, වැලිගොඩ දමා ගංගා ඉවුරු විනාශ කිරීම, අනවසර ඉදිකිරීම් ආදිය අඩුවීම යහපත්ය. එසේම නාගරික ජනගහනය අඩුවීම පරිසරය යහපත්වීමට බලපායි. දැනට චන්ද්‍රිකා ඡායාරෑපවලින් පෙනී යන්නේ නාගරීකරණය අඩුවී වායු දූෂණය අඩුවී වායුගෝලයේ ඔක්සිජන් ප්‍රතිශතය ඉහළ නැග ඇති බවය. එය නිරෝගී ජනතාවක් ඇතිවීමට හේතුවී ඇති බවය. 

ස්වයං රැකියාකරුවන් ඉහළට ඔසවා තැබීමට සුදුසු වටපිටාවක් නිර්මාණය වන්නේ නිරායාසයෙන් ආනයන පහළ බැසීම නිසාය. ඔවුන් දිරිගන්වා රටේ සංවර්ධනයට දායක කරගත යුතුය. ආහාරපාන ආනයනය සඳහා අප වාර්ෂිකව අමෙරිකානු ඩොලර් බිලියන 1.6ක් වැයකරන අතර තිරිඟු හා ඉරිඟු ආනයනයට පමණක් ඩොලර් මිලියන 400ක් වැය කරයි. මේ වන විට මුළු ආනයන වැයෙන් සියයට 9කි. රට සහලින් ස්යංපෝෂිත කර අනවශ්‍ය ආහාර ආනයන වියදම් අඩුකිරීමට මෙය අපට ලැබී ඇති ස්වර්ණමය අවස්ථාවකි. ඒ නිසා නැති හකුරට නාඩා තියෙන හකුර රැකගැනීමට අප සැලසුම් සහගතව කටයුතු කළහොත් නව කොරෝනා වින්නැහිය තුළින් රටේ ආර්ථිකය ගොඩනගා ගැනීමට හැකිවන බව පෙන්වා දෙමු. මේ සඳහා රජය සහ බලධරයන් වැඩි අවධානයක් යොමු කළ යුතුමය. 

► සාකච්ඡා කළේ - යසවර්ධන රුද්රිගු