2020 මැයි 16 වන සෙනසුරාදා

ලෝක ඉස්ලාම් සංවිධානය ලංකාවේ රජයට එවූ විරෝධතා ලියුම

 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 81

මළ සිරුරු ආදාහනය කිරීම බෞද්ධයන්ගේ චාරිත්‍රයකි. එහෙත් ඉස්ලාම් භක්තිකයෝ සිරුරු ආදාහනය නොකරති. ඔවුන්ගේ චාරිත්‍ර අනුව එය මිහිදන් කෙරේ. කොරෝනා වෛරසය මේ සියලු චාරිත්‍ර උඩුයටිකුරු කළේය. කොරෝනා වසංගතයෙන් මිය යන පුද්ගලයන්ගේ දේහ පිළිබඳ අවසන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සියලු රටවල් වෙත නිර්දේශයක් ලබා දී තිබේ. ශ්‍රී ලංකා රජය කටයුතු කළේ එම නිර්දේශයනට අනුකූලවය. 

එහෙත් එය ඉස්ලාම් භක්තිකයන්ගේ දෝෂදර්ශනයට හා විරෝධයට ලක් විය. කොරෝනා වෛරසයෙන් මිය යන ඉස්ලාම් බැතිමතුන් ආදාහනය කිරීම සම්බන්ධයෙන් මෙරට මුස්ලිම් දේශපාලනඥයන් විවිධ අවස්ථාවන්හි ප්‍රකාශ නිකුත් කර තිබිණි. ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ට තම දහමට අනුකූලව කටයුතු කිරීමට අවකාශ ලබා නොදීම හෙළා දකිමින් ජාත්‍යන්තර ඉස්ලාමීය සහයෝගීතා සංවිධානය (ඕ.අයි.සී.) ශ්‍රී ලංකා රජයට ලිපියක් යොමුකර තිබේ. එහි මෙලෙස සඳහන්ය.

ශ්‍රී ලංකාවේ මුස්ලිම්රැන්ට එරෙහි වෛරී ප්‍රකාශ සහ එදිරිවාදිකම් වර්ධනය වන බවට වන වාර්තා සම්බන්ධයෙන් මහලේකම් කාර්යාලයේ අවධානය යොමුවී තිබේ. කොරෝනා වෛරසය පැතිරීමට වගකිව යුත්තේ මුස්ලිම් ප්‍රජාව බවට කරන චෝදනා අප විසින් ප්‍රතික්ෂේප කරන අතර වසංගතයට ගොදුරැ වූ මුස්ලිම්වරුන්ගේ සිරුරු බලධාරීන් විසින් ආදාහනය කිරීමට කටයුතු කිරීම සහ එවැනි ක්‍රියා ප්‍රතික්ෂේප කරන මුස්ලිම් ප්‍රජාවේ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම පිළිබඳවද ඉස්ලාමීය සහයෝගීතා සංවිධාන මහලේකම් කාර්යාලය දැඩි කනස්සල්ල පළ කර සිටී. 

මුස්ලිම් ප්‍රජාවේ ආරක්ෂාව සහ අයිතිවාසිකම් සහතික කරන ලෙසට ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු. ලොව පුරා සිටින සියලු මුස්ලිම්වරැන්ගේ අයිතිවාසිකම්, සියලු ප්‍රතිපත්ති හා භාවිතයන් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් තම සංවිධානය දැඩි අවධානයකින් පසුවන අතර ලොව ඕනෑම ස්ථානයක වෙසෙන මුස්ලිම්වරුන්ගේ සිරිත් විරිත්, ආගමික වත්පිළිවෙත් හා ඔවුන්ගේ ගෞරවය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් සහ ශ්‍රී ලංකාව තුළ වෛරය, ඉස්ලාම් භීතිකාව සහ මුස්ලිම් විරෝධී හැඟීම් ප්‍රවර්ධනය කිරීම පිටුපස සිටින සියලු පාර්ශ්වයන්ට එරෙහිව  ඉස්ලාමීය සහයෝගීතා සංවිධානය පෙනී සිටියි.

කොවිඩ් 19 වසංගතයට සාමූහිකව හා ඵලදායී ලෙස මුහුණ දීම සඳහා වර්තමාන ගෝලීය තත්ත්වය තුළ රාජ්‍යයන් අතර සහයෝගීතාව සහ සහජීවනය ශක්තිමත් කළ යුතු වන අතර ඒ සඳහා සියලු දෙනාගේ මැදිහත්වීම අවශ්‍ය බවද අවධාරණය කරමු* යනුවෙන් එහි සඳහන්ය.

කොවිඩ් 19 වෛරසයෙන් මියයන ඉස්ලාම් භක්තිකයන්ගේ අවමංගල්‍ය කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

කොවිඩ් 19 වෛරසයෙන් මිය යන ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරැරැ ආදාහනය කිරීම හේතුවෙන් මුස්ලිම් ප්‍රජාව දැඩි කනස්සල්ලට පත්ව සිටින අතර එය විශාල ඛේදවාචකයක් යැයි එහි සඳහන්ය. එම නිසා කොවිඩ් වෛරසයෙන් මිය යන පුද්ගලයින්ගේ මළ සිරුරු ආදාහනය කිරීම සම්බන්ධයෙන් දැනට නිකුත් කර ඇති ගැසට් නිවේදනය සහ උපදෙස් මාලාව සංශෝධනය කොට මළසිරුරු භූමදානය කිරීම සදහා අනුමැතිය ලබාදෙන ලෙස ඔහු  ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.
ඉස්ලාම් භක්තිකයන්ගේ මළ සිරුරු ආදාහනය කිරීම සම්බන්ධයෙන් මුලින්ම විරෝධය පළ කළේ මුස්ලිම් කොන්ග්‍රස් නායක රවුෆ් හකීම් විසිනි. කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගිය දෙවැනි පුද්ගලයාගේ දේහය පිළිබද අවසන් කටයුතු සිදු කළ ආකාරය සම්බන්ධයෙන් ඔහු තම විරෝධය පළ කරමින් ෆේස් බුක් ගිණුමේ සටහනක් තැබීය එහි මෙලෙස සඳහන් විය.

මීගමුවේදී මියගිය ඉස්ලාම් භක්තිකයා අපගේ ඇදහිල්ලෙහි නියම කර ඇති පරිදි භූමදානය කිරීමට අවසර නොදී ආදාහනය කර තිබීම අවාසනාවන්ත, කණගාටුදායක තත්ත්වයකි.. කඩිනමින් ආදාහනය කිරීම වැළැක්වීම සඳහා ඉහළ දේශපාලන බලධාරීන් හා වෛද්‍ය බලධාරීන් දැනුම්වත් කිරීමට අපි පියවර ගතිමු. ආගමික සංවේදීතාවන් සහ අවශ්‍යතාවන්ට ගරැ කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව බලධාරීන්ට ඒත්තු ගැන්වීමට උත්සාහ කළෙමු.  යනුවෙන් එහි සඳහන් විය.

පසුගිය අප්‍රේල් මාසයේ පැවැති සර්ව පාක්ෂික රැස්වීමේදී ඔහු කියා සිටියේ මෘත දේහයකින්  රෝගය පැතිරයනු ඇතැයි යන මතය මිථ්‍යාවක් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ප්‍රකාශ කර ඇතැයි යනුවෙනි. එහෙයින් ඉස්ලාම් භක්තිකයන්ගේ මෘත දේහ ආදාහනය නොකොට මුස්ලිම් ආගමික චාරිත්‍රානුකූලව භූමදානය කළ යුතු යැයි ඔහු ප්‍රකාශ කළේය. එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ක්‍රමවේදවලට අනුකූලව මෙම ආදාහන කටයුතු සිදු කර ඇතැයි සෞඛ්‍ය බලධාරීහු ඔහුට ප්‍රකාශ කළහ.
වසංගත රෝගයකදී මිය යන පුද්ගලයන්ගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සියලු රටවල් වෙත නිර්දේශ කර තිබේ..

ඒ අනුව මිය ගිය පුද්ගලයාගේ දේහය පැය විසිහතරක් ඇතුළත අවසන් කටයුතු කළ යුතු අතර මරණ පරීක්‍ෂණ හෝ ආගමික කටයුතු සිදු කළ නොහැකිය.

පවුලේ සාමාජිකයන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා ඉතා සීමිත කාලයක් ලබාදෙන අතර එය රෝහල් පරිශ්‍රය තුළදී සිදු කළ යුතුය.

ඥාතීන්ට පෙන්වනු ලබන්නේ මියගිය පුද්ගලයාගේ මුහුණ පමණක් වන අතර ශරීරය ස්පර්ශ කළ නොහැකිය. දේහයන් බහාලීම සඳහා නිර්දේශ කර ඇති විශේෂිත ප්ලාස්ටික් ආවරණයක බහා පෙට්ටියකට දමා සීල් තබනු ලැබේ. ඉන්පසු මිහිදන් කිරීම හෝ  පුළුස්සා දැමීම කළ යුතුය. මිහිදන් කරන්නේ නම් අඩි 6ක වළක් නොව අඩි අටක් ගැඹුරැ වළක දැමිය යුතුය. ආදාහනය කිරීම සඳහා සහභාගිවන පුද්ගලයන් නිසි සෞඛ්‍ය ආරක්ෂිතව එය කළ යුතු වන අතර ඒ අවස්ථාවේ ඔවුන් ඇඳ සිටි ඇඳුම් ආදිය සියල්ලම මෘත ශරීරය සමගම පුළුස්සා දැමිය යුතුය.

මුස්ලිම් නායකයන් ඉල්ලා සිටින පරිදි මිහිදන් කරන්නේ නම් එයට වැඩි පිරිසකගේ දායකත්වයක් අවශ්‍ය වන බවත්, එය අවදානම් සහිත බවත් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සර්ව පාක්ෂික රැස්වීමේදී හකීම් මහතාට කියා සිටියේය. බෞද්ධ ජනතාවට පවා පාංශකූලය නොදී ආදාහනය කිරීමට සිදුව ඇති බවද එය දැඩි සිත් වේදනා ගෙන දෙන කරැණක් වුවද වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නීතිරීති අනුව කටයුතු කළ යුතු බවද සෞඛ්‍ය ඇමතිනී පවිත්‍ර වන්නිආරච්චි මහත්මියද එම අවස්ථාවේ ප්‍රකාශ කළාය.

මේ අතර කිතුණු භක්තිකයකු විසින්ද කොවිඩ් -19 වංසගතයට ගොදුරැවීමෙන් මියයන පුද්ගලයන්ගේ මළසිරුරු සමීප ඥාතීන්ට භාර නොදී පැය 24ක් ඇතුළත ආදාහනය කිරීමට බලය පවරමින් සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලරහිත කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.

කොවිඩ් මරණ සිදුවන තෙක්ම මියගිය පුද්ගලයන්ගේ අවසාන කටයුතු සමීප ඥාතීන්ගේ අවශ්‍යතාව මත සිදු කෙරුණද, කොවිඩ් 19 වසංගත රෝගය ආසාදනය වීමෙන් මෙරට සිදුවූ මරණයත් සමඟ එම රෝගයෙන් මියගිය පුද්ගලයන්ගේ අවසන් කටයුතු රජයට පවරා ගත් බව ඔහු තම පෙත්සමේ සඳහන් කර තිබේ.

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා