2020 මැයි 16 වන සෙනසුරාදා

බැතිමතුන්ගෙන් තොර දළදා මාලිගාවේ පුදපූජා- දානමාන කෙරෙන හැටි

 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 276

කෝවිඩ් 19 වෛරස් රෝග වසංගතය ලොවපුරා ව්‍යාප්ත වී අවසානයේ මෙරටද ව්‍යාප්ත වී විශාල පිරිසක් ආසාදිත වී රෝගීන් බවට පත්වීමත් සමඟ රටපුරා අඛණ්ඩව නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක විය. මේ හේතුවෙන් ඓතිහාසික සෙංකඩගලපුර ශ්‍රී දළදා සමිඳුන් වැඩ සිටින ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයද බැතිමතුන්ගෙන් තොර ජනශූන්‍ය භූමියක් බවට පත් විය.

වෙනත් පෝය දිනයන්හි සහ වෙසක් පෝය දින දසදහස් සංඛ්‍යාත බැතිමතුන් සුදෝසුදු වතින් සැරසී ආගමික වතාවත් ඉටුකළ ශ්‍රී දළදා පුදබිම පාළු ස්ථානයක් බවට පත්වුවද ශ්‍රී දළදා සමිඳුන් උදෙසා අතීත රජ දවසේ සිට රාජ නියමයෙන් සිදුකෙරුණු ආගමික වතාවත් පුදපූජා දානමාන කටයුතු කිසිදු අඩුවකින් තොරව මල්වතු අස්ගිරි උභය මහා විහාර පාර්ශ්වයන් දෙකෙහි මහානායක හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් ශ්‍රී දළදා සමිඳුන්ගේ ප්‍රධාන දෛනික තේවා කටයුතු භාර මල්වතු පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ මේධංකර හිමියන්ගේ මූලිකත්වයෙන් අඛණ්ඩව සිදුකෙරැණේ රටපුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මකව තිබියදීය.

ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන ගිහි භාරකාරත්වය භාරව සිටින දියවඩන නිලමේ තැන්පත් ප්‍රදිප් නිලංග දෑල මහතාගේ අධික්ෂණයෙන් යුතුව ශ්‍රී දළදා මාලිගාවේ රාජකාරි කාර්ය මණ්ඩලය දිවා රාත්‍රී කැපවී ශ්‍රී දළදා සමිඳුන් උදෙසා දෛනිකව සිදුකෙරෙන සියලු පුද පූජා ආගමික කටයුතු වෙනුවෙන් ලබාදුන් සේවාව අගැයීමට ලක්විය යුතුය.

දිනපතා ශ්‍රී දළදා සමිඳුන් උදෙසා හිමිදිරියේ සිදුකෙරෙන කිරි ආහාර පූජාව, ව්‍යංජන 32කින් යුත් දහවල් මහා දානමය පූජාව සහ සවස්වරුවේ පැවැත්වෙන ගිලන්පස පූජාව බැතිමතුන් නොපැමිණියද සිදුකිරීමට දළදා සමිඳුන්ගේ තේවා පූජා කටයුතුවලට සහාය දක්වන රාජකාරි කාර්ය මණ්ඩලය වන ගෙපරාළ, වට්ටෝරු රාළ, මුළුතැන්ගෙයි කාර්ය මණ්ඩලය හා පල්ලේමාලේ රාළ ඇතුළු දස (10) දෙනෙකුට අධික රාජකාරි කාර්ය මණ්ඩලය මාස දෙකහමාරක් (2 ½) තිස්සේ ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රය තුළම රැඳී සිටිමින් ඉටුකරනු ලැබුවේ ඔවුන්ගේ නිවෙස් වෙත හෝ එම කාල සීමාව තුළ නොගොසිනි.

වෙසක් පුන් පෝය දිනයේදී සියලු ආගමික පුදපූජා වතාවත් ඉටුකරමින් ශ්‍රී දළදා මාලිගාව වාර්ෂිකව පවත්වන විශේෂ වෙසක් මහා පෙරහරද සුභ නැකැත් චාරිත්‍ර අනුව වෙසක් පෝය දින (මැයි මස 07) සිදුකරනු ලැබුවේ කිසිදු ජන සහභාගීත්වයකින් තොරවය.

සතියක් පුරා පරිත්‍රාණ ධර්ම දේශනා වැඩසටහනක් පවත්වා රටටත් සියලු ජනතාවටත් සෙත් පැතීමද සිදුකරනු ලැබුවේ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදිප් නිලංග දෑල මහතාගේ ප්‍රධාන දායකත්වයෙන් දළදා මාලිගා පොලිස් ස්ථානයේ සියලු නිලධාරීන් හා යුද හමුදා අනුඛණ්ඩයේ සියලු හමුදා නිලධාරීන් දළදා මාලිගාවේ පරිපාලන අංශයේ කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේද පූර්ණ සහාය ලබාගනිමිනි.

ඇඳිරි නීතිය සමය තුළද ශ්‍රී දළදා මාලිගාවට දිවාරාත්‍රී අඛණ්ඩ ආරක්ෂාවක් ලබාදී දළදා මාළිගා පරිශ්‍රයත්, ශ්‍රී දළදා සමිඳුන් වැඩසිටින වැඩසිටි මාලිගාවත් විෂබීජහරණය කරමින් දේශීය ඖෂධ වර්ගවලින් සැකසූ විෂබීජහරණ සුවඳ ධූපයන් දල්වමින් ආරක්ෂා කිරීමටද කටයුතු යොදා තිබිණි.

ශ්‍රී දළදා මාලිගාවට ඇතුල්වන සෑම පිවිසුම් ස්ථානයකම විෂබීජහරණය කිරීමේ කුටි ඉදිකර දළදා මාලිගා පරිශ්‍රයට ඇතුළුවන සැමදෙනා දෑත් සෝදා පිරිසිදු වී ඇතුල්වීමට අවැසි පහසුකම්ද සපයනු ලැබුවේ කිසිදු දිනෙක මාරාන්තික වෛරස් රෝග වසංගත තත්ත්වයක් රටතුළ ඇතිවේවි යැයි කිසිවෙකු නොසිතා සිටි අවදියකදීය.

මෙරටින් ප්‍රථම චීන ජාතික කොවිඩ් ආසාදිත රෝගී කාන්තාව හමුවෙන අවස්ථාවේදීද ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රය රෝගය ව්‍යාප්ත වීමේ අවස්ථාවට මුහුණදීම සඳහා සියලු ආරක්ෂාකාරී පියවරගෙන තිබිණි.
වෙනදා මෙන් ලොවපුරා සංචාරකයන් නොපැමිණීමද දළදා මාලිගාව අවට මල් අලෙවිසල් හිස්ව තිබීමද මාරාන්තික කෝවිඩ් 19 වෛරස් වසංගත රෝගය මෙරටට කර ඇති බලපෑම පිළිබඳ කදිම සාධක ලෙස සැළකිය හැකිය.
වෙනත් දිනවල ශ්‍රී දළදා මාලිගාව අවට සැරිසැරෑ දෙස් විදෙස් සංචාරක මාර්ගෝපදේශකයන්, මල් අලෙවිකරැවන් වෙනත් පූජා භාණ්ඩ අලෙවි කරමින් සිය දෛනික ජීවනෝපාය මාර්ග සලසා ගන්නන් බොහෝ දෙනෙකුට ඔවුන්ගේ ජීවනෝපාය මාර්ග අහිමි වී ගියේද කොරෝනා වසංගතය ව්‍යාප්ත වී රට වැසීයාමත් සමඟය.

කෝවිඩ් - 19 වෛරස් වසංගතය රටපුරා ව්‍යාප්ත වී ගියද ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයෙන් සෙංකඩගල නුවර පුරවරය සිසාරා ශ්‍රවණය වන තේවා බෙරහඬ සහ ශබ්ද පූජා නළා හඩ නිහඬ නොවන්නේ, එය දළදා සමිඳුන් උදෙසා දිනපතා අඛණ්ඩව සිදුකෙරෙන්නක් නිසාය.

ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රය වැසීමක් සිදු නොවුණද පැවැති වෛරස් රෝග ව්‍යාප්තිය නිසා බැතිමතුන්ට එහි ඇතුල්වීමට ආරක්ෂක අංශ ඉඩ ලබා නොදුන්නේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව උදෙසාය.
රට ගිලගත් කෝවිඩ් - 19 වෛරස් වසංගතය රටින් දුරැ වී සියලු රටවැසියන්ගේ සෞඛ්‍ය තත්ත්වය සුරක්ෂිත වී සැමට නිරෝගී සුවය පතා දළදා සමිඳුන් අබියසදී විශේෂ ආගමික පුදපූජා සහ ආගමික වතාවත් ඉටුකිරීම අදත් සිදුකෙරෙයි.
රටට කුමන අභියෝග, ත්‍රස්ත පීඩා, වසංගත රෝග ඇතිවුවද ශ්‍රි දළදා සමිඳුන්ගේ ආශීර්වාදයෙන් ඒ සියලු ව්‍යසන පහවී රටට දළදා සමිඳුන්ගේ රුකවරණය ලැබෙන බව අතීතයේ සිටම නුවර වැස්සෝ අත්දැක සිටිති. රටට කුමන විපත් ඇතිවුවද දළදා සමිඳුන් ඉදිරියේ ආශීර්වාද පූජා පවත්වමින් එම විපත් දුරු කරවීමට දළදා සමිඳුන් අභියසට රාජ්‍ය පාලකයන් පමණක් නොව රටේ සියලු මැති ඇමැතිවරුන් පැමිණෙන්නේ දළදා සමිඳුන්ගේ ආශීර්වාද ලබා ගැනීමටය.
කෝවිඩි වසංගතය ආරම්භ වී එම රෝගය රට පුරා ව්‍යාප්ත වෙමින් තිබියදීද රාජ්‍ය පාලකයන් සෞඛ්‍ය අංශ ප්‍රධානීන්, ත්‍රිවිධ හමුදා සහ පොලිස් ප්‍රධානීන් දළදා මාළිගාවට පැමිණියේ රටට සෙත්පතා ආශීර්වාද ලබාගෙන එම අභියෝගයට සාර්ථකව මුහුණදී රට සුරක්ෂිත කර ගැනීම සඳහාය.

කොරෝනා රෝගය ආසාදිත වූවකු බොහෝවිට හමුවූයේ දළදා මාලිගාව පරිශ්‍රයේ සිට කිලෝමීටර් 8ක් 10ක් දුරස්ථ වූ ගම් ප්‍රදේශවලිනි. ඇතැම් විට පිට පළාතකින් පැමිණි කෝවිඩ් ආසාදිතයකු මහනුවර දිස්ත්‍රික්කයේ ගම්මානවල සැරිසැරීම නිසාම ගම්පළ, අකුරණ, තලාතුඔය, මැදවල, බොක්කාවල, ගලහ වැනි ප්‍රදේශවල වැසියන් රැසකට නිරෝධායනයට ලක්වීමට සිදුවිය.

දළදා මාලිගාවේ සිංහල අවුරුදු චාරිත්‍රයද ඉටුකරමින් සුභ නැකැත් චාරිත්‍රයට අනුව කිරි උතුරුවා රටට සෙත් පැතීමද කෝවිඩ් - 19 වෛරස් වසංගත රෝගය වෙනුවෙන් ඇඳිරි නීතිය පනවා තිබූ අවස්ථාවේ සිදුකිරීමද විශේෂත්වයක් විය.
ශ්‍රී දළදා මාලිගාවට පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය පරිදි විෂබීජහරණ කටයුතු කිරීමටත් ඔවුන් සඳහා දෑත් පිරිසිදු කිරීමට පරිශ්‍රයේ සෑම ස්ථානයක විශේෂ ජල සැපයුම් ස්ථාන සැපයීමටත් කටයුතු යොදා තිබේ.


► ජේ.ඒ.එල්. ජයසිංහ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00