2020 මැයි 09 වන සෙනසුරාදා

කොරෝනා මාරයා පසුපස පොලීසියේ සුපිරි මෙහෙයුම

 2020 මැයි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1565

කොරෝනා මර්දන ක්‍රියාදාමය තුළ මෙරට සෞඛ්‍ය අංශය සේම ආරක්ෂක අංශද විශාල කාර්යයක් ඉටුකරන බව අමුතුවෙන් කිවයුතු නැත. ඔවුන් තමන්ගේ ජීවිතයද කැපකරමින් මේ අවදානම ගෙන කටයුතු කරන්නේ ඔබේත් මගෙත් ආරක්ෂාව සඳහාය. විශේෂයෙන් නොහික්මුණු සුළුතරයක් හේතුවෙන් ව්‍යසනයකට මුහුණදෙන සමස්ත ප්‍රජාවක් රුකගැනීම ඔවුන්ගේ ප්‍රධානම කාර්යය වී ඇත.

කෙසේ වෙතත් ආරක්ෂක අංශවලින් ශ්‍රී ලංකා පොලීසිය සිදුකරන සුවිශේෂී කාර්යයක් ගැන මෙලෙස සඳහන් කරන්නේ ඔවුන් සම්බන්ධයෙන් ලියැවෙන ඇගයීම් මෙන්ම කතාබහද අඩු නිසාය. ඒ නිසාම මේ වෛරසයට එරෙහි සටනේ විශාල කාර්යයක් සිදුකරන පොලීසියේ අංශ දෙකක ප්‍රධානීන් දෙදෙනකු සමඟින් මෙම සාකච්ඡාව සිදුකළෙමු. ඒ පොලිස් විශේෂ කාර්යංශයේ නියෝජ්‍ය පොලිස්පති තිලක් ධනපාල සහ පොලිස් තොරතුරු තාක්ෂණ හා මැතිවරණ කොට්ඨාශ බාර අධ්‍යක්ෂ අශෝක ධර්මසේන යන මහත්වරැන් සමඟය.

අපි මේ වසංගතය චීනයේ වූහාන් වලින් ආරම්භ වෙලා ක්‍රමයෙන් ලෝකය පුරා ව්‍යාප්ත වෙන්න ගන්නකොට සුදානම් වුණා එන අභියෝගවලට මුහුණ දෙන්න. ඒ සඳහා අපි වැඩපිළිවෙළක් වැඩබලන පොලිස්පතිතුමා එක්ක සකසමින් හිටියේ. ඒ සියල්ල මේ වෙනකොට ප්‍රයෝජනයට ගත්ත නිසයි අද මේ ආකාරයෙන් මේක පාලනය කරගන්න හැකි වුණේ යැයි නියෝජ්‍ය පොලිස්පති ධනපාල මහතා සඳහන් කරයි.

පොලීසියට සැබවින්ම අභියෝගය එල්ල වන්නේ මෙරට පළමු ආසාදිත ශ්‍රී ලාංකිකයා මාර්තු 11 වැනිදා හමුවීමත් සමඟය. ඒ ඔහු ඇසුරැ කළ අයත්, ඒ වගේම ඒ වනවිට මෙරටට පැමිණි සිටින එහෙත් නිරෝධායනය නොවූ පිරිස සොයා ගැනීමත් හරහාය. ඒ පිරිස මාර්තු 1 වැනිදා සිට 12 වැනිදා තෙක් මෙරටට පැමිණි අයයි.

අපිට සිදුවුණා ඒ වෙනකොට ලංකාවට ආපු විශාල පිරිසක් හොයාගන්න. 12079 වගේ පිරිසක්. ඒ නිසා අපි ක්‍රම කිහිපයක් යොදාගත්තා. එක තමයි ඒ අයට අපි මැසේජ් එකක් දුන්නා හැකි ඉක්මනින් දුරකථනය හරහා ඔවුන්ගේ විස්තර දෙන්න කියලා. දෙක අපි ආගමන විගමන එකෙන් ඒ ආපු අයගේ තොරතුරු ගත්තා. ඊටපස්සේ අපි බැලුවා තොරතුරැ ලබාදීලා තියෙන අය කවුද කියලා යැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

පොලිස්පතිවරයා විසින් 119 හදිසි ඇමතුම් අංකයට අමතරව 1933 නව අංකයක්ද හඳුන්වා දුන් අතර ඒ හරහා විදේශ රටවල සිට පැමිණි අයගේ තොරතුරැ ලබා ගැනීම පැය 24 පුරා සිදුකරනු ලැබීය. මේ හරහා සීඝ්‍රයෙන් තොරතුරු රැස් කරගැනීමට හැකිවූ අතර මහජනතාවද නොමඳ සහයෝගයක් ලබාදුන් බව ඔවුහු පවසති.

කෙසේ වෙතත් විදේශ ගතව පැමිණි ඇතැම් අයවලුන්ගේ ගුවන් ගමන් බලපත්‍රවල නිසි තොරතුරු නොලැබීම නිසා ගැටලු මතුවී ඇත. ඔවුන් වසර ගණනාවක් විදෙස්ගතව සිට එරටදී ගුවන් බලපත්‍ර සකසා ගැනීමෙන් පසුව මෙරට නිශ්චිත ලිපිනයන් නොමැති වීම නිසා ඔවුන්ගේ තොරතුරු ගලා ඒම ප්‍රමාද වන්නට විය. මේ නිසා ඔවුන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා බුද්ධි අංශය යෙදවීමට සිදුවී තිබිණි. ඒ අනුව එසේ කිසිම තොරතුරක් නොමැති කණ්ඩයම් සම්බන්ධයෙන් බොහොමයක් තොරතුරු බුද්ධි අංශ හරහා ක්‍රමයෙන් පොලීසිය වෙත වාර්තා විණි.

අපට තොරතුරු ලැබෙන්නට පටන් ගත්තාම අවශ්‍යතාවයක් ආවා මේ තොරතුරු නිසිපරිදි පොලීසියේ ඉහළ නිලධාරීන්ටත්, ස්ථානාධිපතිවරුන්ටත් බෙදාහරින්න. දැනුවත් කරන්න. ඒ වගේම ඇතැම් චක්‍රලේඛන, නියෝග ඉක්මනින් පොලිස් කොට්ඨාශ වෙතත්, පොලිස් ස්ථානාධිපතිවරුන්ටත් ලබාදෙන්න. අපි ඒ නිසා ඒ අයට ස්මාර්ට් ෆෝන් ලබාදීලා ඒ ෆෝන්වලට වට්ස්ඇප් ගෲප් හැදුවා. ඒ කියන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු, නියෝජ්‍ය පොලිස්පතිවරු, කොට්ඨාශ බාර අය, අධ්‍යක්ෂවරු, නියෝජ්‍ය අධ්‍යක්ෂවරු, ස්ථානාධිපතිවරුන්‍ට වෙනකල්ම එක එක ගෲප් හැදුවා. එතකොට එක තැනකින් එන නියෝගයක් ඉතාම ඉක්මනින් අදාළ කණ්ඩායම් වෙත යොමුකරන්න හැකිවුණා. ඒ වගේම වේගවත් වුණා. ඒ සියල්ල මෙහෙයවන්නේ තොරතුරු තාක්ෂණ හා මැතිවරණ කොට්ඨාශයෙන්. ඊටපස්සේ අපිට විතරක් භාවිත කළ හැකි වෙබ් අඩවියක් නිර්මාණය කළා. ඒක තමයි වෙබ් අඩවිය. ඒකට සියලු තොරතුරු එනවා. ඒ සියල්ල යාවත්කාලීන කරන්න අපි පුහුණු කළ නිලධාරීන් දෙදෙනා බැගින් පොලිස් ස්ථාන වෙත යොමුකරලා තියෙන්නේ. පොලිස් ස්ථාන 494 ඒ ආකාරයෙන් ජාලගත කළා. ඒකට සියලු තොරතුරු ඇතුළත් කරන්න අපි පියවර ගත්තා. ඒ සඳහා අපි වැඩකටයුතු කරගෙන යාම හරහා විශාලා දත්ත ගබඩාවක් සකස් කරගත්තා* යැයි තොරතුරැ තාක්ෂණ හා මැතිවරණ කොට්ඨාශය බාර අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අශෝක ධර්මසිරි මහතා පැවසීය.

කෙසේ වෙතත් අවසානයේ එම දත්ත ගබඩාව විදෙස් ගතව මෙරට පැමිණි අයගෙන් සීමාවූයේ නැත. කෝවිඩ් 19 වෛරසයට අදාළව එම තොරතුරැ ගබඩා පුළුල් කරනු ලැබීය. ඒ ස්වයං නිරෝධායනය වන අය, නිරෝධායන මධ්‍යස්ථානවල ඉන්නා අය, සැකපිට ප්‍රතිකාර ලබන අය, රෝගීව ප්‍රතිකාර ලබන අය ලෙසය. ඒ සියල්ලන්ගේ සංඛ්‍යාව 86802 ක සංඛ්‍යාවකි.

&අපි ඒ 86802 ක පිරිස එකම ඩේටා බේස් එකකට ගත්තා. අරගෙන අපි නිතර ඔවුන් අධ්‍යයනය කරනවා. ඔවුන්ගේ තොරතුරු යාවත්කාලීන කරනවා. දැන් හිතන්න රෝගය හොඳවෙලා ගියා කියලා, නැත්තන් නිරෝධායනය අවසන් කළා කියලා. ඒ ගියත් අපි අපේ දත්ත ගබඩාවට ඒ අයගේ තොරතුරු නිතර අප්ඩේට් කරනවා. එක ලෙඩෙකුට එක පොලිස් නිලධාරියා බැගින් ඉන්නවා. ඒ නිලධාරියා අදාළ කෙනා ගැන අවධානයෙන් ඉන්නේ. ඒ වගේ දැනට අපි 34017 ක් ෆලෝ කරනවා* යැයි ධර්මසේන මහතා පැවසීය.

කෙසේ වෙතත් මේ එක් එක් පුද්ගලයා  සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති නිසා යම් ආකාරයකින් යම්කිසි අයෙක් නිරෝධායන නීති කැඩූ සැණින් තොරතුරැ ලබා ගැනීමේ හැකියාවක් පවතින බව ඔහු සඳහන් කළේය. විශේෂ කාර්යංශයේ නියෝජ්‍ය පොලිස්පති ධනපාල මහතා සඳහන් කර සිටියේ ඒ හැම දෙයක් සම්බන්ධයෙන්ම පොලිස් විශේෂ කාර්යංශයේ නිලධාරීන්ද බුද්ධි මෙහෙයුම්වල නිරත වී කටයුතු කරන බවය.

අපේ අය නිතර ඒ ඩේටා බේස් එකේ ඉන්න අයගැන අවධානයෙන් ඉන්නේ. යම් ආකාරයකින් අදාළ කෙනෙක් නිරෝධායනය රෙගුලාසි කැඩුවොත් එවලෙම අපිට තොරතුරු එනවා. ඒ තොරතුරු වට්සැප් මාර්ගයෙන් අපිට ආපු ගමන් අපි හැකි ඉක්මනින් නිල ඇඳුමෙන් පොලිස් නිලධාරියකුත්, සෞඛ්‍ය පරීක්ෂකවරුත් යොමුකරනවා. ඒ පුද්ගලයටවත් හිතාගන්න බැරි වෙන්න. දැන් ඒ නිසා ගොඩක් දෙනෙක් නිරෝධායනය නීති කඩන්නේ නැතුව ඉන්නවා. ඒ නිසා තත්ත්වය පාලනය කරගන්න හැකිවුණා යැයි ධනපාල මහතා කීය.

කෙසේ වෙතත් ඉහත කී 86802 සංඛ්‍යාවකින් යුත් දත්ත ගබඩාවේ එක් එක් පුද්ගලයාට අදාළව නිරෝධායනය වැඩපිළිවෙළ පමණක් නොව ලේ වර්ගය, ඔවුන්ට ඇති වෙනත් අසනීප, ඔවුන් ලබාගන්නා බෙහෙත් වර්ග පවා සියල්ලද ඇතුළත් කර ඇත. එසේම සාර්ථක ලෙස නිරෝධායනය සමය අවසන් කළ අය සම්බන්ධයෙන් අදාළ සහතිකයද ඊට ඇතුළත් කර තිබේ. ඒ අනුව යම් අයකුට තමන් සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් ගැනීමට අවශ්‍ය නම් ඉල්ලීමක් මත එම වාර්තාවක්ද ලබාදීමේ හැකියාවක් පවතින බව එම නිලධාරීහු පැවසූහ.

මේ ඇඳිරි නිතීයත් එක්ක අපි ඊළඟ අභියෝගයකට සූදානම් වුණා. ඒ තමයි ඇඳිරිනීතියත් එක්ක මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් කෙටි මාර්ග හරහා මත්ද්‍රව්‍ය සොයාගෙන යන්න පුළුවන් නිසා. ඒ නිසා අපිට විශාල අභියෝගයක් වුණා මේක පාලනය කරගන්න. අපි කරපු දේ පොලීසියට අමතරව යුද හමුදාව වගේ යොදවලා ඒ වතු හරහා සංචාරය කරන්න පුළුවන් ප්‍රධාන ස්ථාන වහලා දැම්මා. ඊට අමතරව අපි බුද්ධි අංශය යොදවලා සොයලා බැලුවා. ඒත් ඒ සියල්ලම මැද්දේ ගිය අයත් ඉන්නවා. දැන් ඔය සුදුවැල්ල සිද්ධිය එහෙම එකක්* යැයි නියෝජ්‍ය පොලිස්පති ධනපාල මහතා කීය.

කෙසේ වෙතත් මෙම වෛරසයෙන් විශාල අභියෝගයක් පැමිණියේ නාවික හමුදා සෙබළුන්ට වෛරසය ආසාදනය වීමත් සමඟිනි. ඒ අනුව පොලීසිය නාවික හමුදාවේද සහය ඇතිව ඒ සම්බන්ධයෙන් වෙනම තොරතුරැ ජාලයක් නිර්මාණය කළේය. ඒ සඳහා නාවික සෙබළුන් සමඟ ගනුදෙනු කළ පුද්ගලයන් 4000 කට ආසන්න සංඛ්‍යාවක් හඳුනාගෙන ඔවුහු නිරෝධායනය සඳහා යොමුකරනු ලැබූහ. වැලිසර නාවික හමුදා කඳවුරේ සාමාජිකයන්ට අමතරව තවත් කඳවුරක කිහිප දෙනෙකුද නිරෝධායනය සඳහා යොමුකර ඇත. කෙසේ වෙතත් එම නිලධාරීන් සඳහන් කළේ නාවික හමුදාවේ තත්ත්වය ඉක්මනින් කළමනාකරණය කර ගැනීමට හැකිවූ බවය. ඒ නිසා සිදුවන්නට ගිය විශාල හානියක් අවම කර ගැනීමට හැකිවූ බවද ඔවුහු පවසති.

කෙසේ වෙතත් නියෝජ්‍ය පොලිස්පති ධනපාල මහතා සඳහන් කළේ. සැකසහිත පුද්ගලයන්ගෙන් 99%ක්ම ස්ව කැමැත්තෙන් ඉදිරිපත් වූ බවත් 1%ක සංඛ්‍යාවක් සැඟවුණු බවත්ය. එම 1%ටද රජයේ රෝහල් වෙත යාමේ අපහසුතාවය, රෝග ලක්ෂණ නොපෙන්වීම, රෝග ලක්ෂණ පෙනුණත් ඒ ගැන තැකීමක් නොවීම ආදී කරැණු බලපා ඇති බව සොයා බැලිම්වලදී තහවුරු වුණු බවය. විශේෂයෙන් ගල්කිස්සේ මැණික් ව්‍යාපාරිකයා උදාහරණයක් හැටියට ගත හැකි බවත් එහිදී සඳහන් කෙරිණි.
අපිට තියෙන ලොකුම අභියෝගය මේ හැමදේටම වඩා රෝග ලක්ෂණ නොපෙන්වන රෝගීන්. ඒ අය තහවුරු කරගන්නවත්, සහතික කරගන්නවත් ක්‍රමයක් නෑ. ඒ තත්ත්වය මත තව ගොඩ දෙනෙක්‍ට හැදෙන්න පුළුවන්. ඔය ගොඩ දෙනෙක් කියන්නේ 1% ක් වගේ පිරිසට. 99% ක්ම සෞඛ්‍ය පුරුදු, උපදෙස් පිළිපදිනව. ඒත් කීප දෙනෙක් සමාජ දුරස්ථභාවය රැකගන්නවා අඩුයි. විශේෂයෙන් කොළඹ වතු ආශ්‍රිතව වැඩියි. පොඩි ඉඩක් තුළ ගෙවල් විශාල සංඛ්‍යාවක්, නැත්තන් එක් ගෙදරක පවුල් කිහිපයක්. මේ නිසා එවැනි ප්‍රශ්න මත ඉදිරි අභියෝගය තරමක් තියෙනවා. රට විවෘත වෙන්න ඕනේ එහෙම වෙනකොට ජනතාව විශාල වශයෙන් එක් නොවී තම තමන් සෞඛ්‍යාරක්ෂිත වුණා නම් ඒ අවදානම ඉක්මනින් ඉවර කරන්න පුළුවන් යැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.

එසේම මෙම මෙහෙයුම යටතේ පොලිස් ඇඳිරි නීති වලංගු පත්‍ර ලබාගැනීමද ජාලගත කර ඇත. ඇතැම් අයකුගේ ඇඳිරිනීති වලංගු පත්‍ර කාලය නිමාවු විට එය පද්ධතියෙන් පෙන්වන බවත් ඔවුහු සඳහන් කළහ.

මේ ක්‍රමය යටතේ කාටවත් බොරු කරන්න බෑ.මොකද හැමදේම මොනිටර් වෙනව. අපේ නිලධාරියෙක් යම් බොරැවක් කරලා තියෙනවා නම් ඒක ඉක්මනින් මේ ජාලගත කිරීම තුළින් පෙන්වනවා. එතකොට ඒ අයට විරුද්ධව ආයතනික විනය ක්‍රියාමාර්ගවලට යනව. ඒ නිසා හැමෝම වගකීමෙන් බැඳිලා ඉන්නේ යැයි තොරතුරු තාක්ෂණ හා මැතිවරණ කොට්ඨාශයේ අධ්‍යක්ෂ ධර්මසේන මහතා කීය.

එහිදී ඔවුන් දෙදෙනාම වැඩ බලන පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපය අගය කළහ. විශේෂයෙන් නූතන තාක්ෂණය යොදා ගැනීම සඳහා පොලිස්පතිවරයාට අවශ්‍යතාවයක් තිබුණ බවත්. ඒ සම්බන්ධයෙන් ඔහු නිතර තමන් දිරිමත් කළ බවත් ඔවුහු සඳහන් කළහ. එසේම පොලිස් විශේෂ කාර්යංශය දැනට වසරක සිට පොලිස්පතිවරයා විසින් ක්‍රමයෙන් පුළුල් කළ බවත් ඒ සඳහා තාක්ෂණයෙන් පරිපූර්ණ නිලධාරින් පිරිසක් පුහුණුවීම් සිදුකළ බවත් කීහ. විශේෂයෙන් වසර ගණනාවක් බුද්ධි අංශයේ ක්‍රියාකළ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන වර්තමාන වැඩබලන පොලිස්පති වික්‍රමරත්න මහතා මේ වෛරසය පාලනය සම්බන්ධයෙන් දෛනිකව නිලධාරි සමඟ සාකච්ඡා කරන බවත් කොරෝනා අභියෝගයට මුහුණ දී එය මර්දනය කිරීමට පොලිස්පතිවරයා විශාල වැඩකොටසක් සිදුකළ බවත් ඔවුහු සඳහන් කළහ.

මෙම නිලධාරීන් දෙදෙනා මෙම මෙහෙයුම ඉතාමත් සාර්ථක ලෙස මෙහෙයවනු ලබන ආකාරය අපට මෙම සාකච්ඡාව අතර මැද දැකගන්නට හැකිවිය. හැම මොහොතකම ඔවුහු දුරකථනය හා සම්බන්ධ වෙමින් තොරතුරු ගලා එන ආකාරයන් පිළිබඳව අධ්‍යනය කළහ. ඒ සියල්ල ඔවුන් නූතන තාක්ෂණයේ ප්‍රධානම අංගය වන දුරකථනය හරහා සිදුකරන්නේ ඉතාම පහසුවෙනි. එදාමෙන් දැන් ෆැක්ස් නැත, දුරකථන ඇමතුම් නැත, ටෙලිග්‍රෑම් නැත. අවශ්‍ය තොරතුර තත්ත්පරයෙන් අදාළ තැන් වෙත යොමුවෙයි. මෙය වැදගත්ම දෙය නම් මේ සියලු ඇප්ස්, මෘදුකාංග ශ්‍රී ලංකා පොලීසියේ තොරතුරැ තාක්ෂණ හා මැතිවරණ කොට්ඨාශයේ අධ්‍යක්ෂ අශෝක ධර්මසේන මහතා ඇතුළු කණ්ඩාමේ නිර්මාණයන් වීමයි. මෙය ශ්‍රී ලංකා පොලීසියේ නව තාක්ෂණ වැඩකටයුතු රාශියක ආරම්භක පියවරක් වනු ඇති බව සහතිකය.

 ගයාන් ගාල්ලගේ
සේයාරූ I සුමුදු හේවාපතිරණ