2020 අප්‍රේල් 04 වන සෙනසුරාදා

පිටරට සිටින අපේ අය ඒ රටවල දකින කොරෝනා ලෙඩේ

 2020 අප්‍රේල් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 999

කොවිඩ් 19 වෛරසය මේ වන විට ලොවම ආක්‍රමණය කර අවසන්ය. මෙතෙක් වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වූයේ ඉතාලියෙන් හා ස්පාඤ්ඤයෙනි. වත්මනෙහි කොරෝනා වෛරස ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් ප්‍රාන්තයයි. මේ වන විට ඇමෙරිකාව මෙම වසංගතයේ උච්ඡතම අවස්ථාවට ළඟා වී ඇතැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා තිබේ. දැනට එරට සිටින රෝගීන් සංඛ්‍යාව 1,88,639ක් වන අතර මරණ  4065කි. දිනක වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තා වූයේ ඉතාලියෙනි. ඒ දිනකට 700ත් 900ත් අතර ප්‍රමාණයකිනි. මේ වන විට ඉතාලියේ 13155දෙනෙක් මරණයට පත්ව තිබේ. ස්පාඤ්ඤයේ ආසාදිතයන් සංඛ්‍යාව 102,136ක් වන අතර මරණ සංඛ්‍යාව 9642කි. මෙම වෛරසයේ ආරම්භක ස්ථානය වූ චීනයේ ආසාදිතයන් සංඛ්‍යාව 81,554ක් වන අතර මරණ සංඛ්‍යාව 3319කි. ජර්මනියේ ආසාදිතයන් 72383ක් වන අතර මරණ සංඛ්‍යාව 801ක් ලෙස වාර්තා වේ.

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා විවිධ රටවල දැඩි නීති ක්‍රියාවට නංවා ඇති අතර ඇතැම් රටවල් තවමත් ලිහිල් ප්‍රතිපත්තියක පසු වේ. මේ සෑම රටකම පාහේ ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් වාසය කරති.  කොරෝනාවෙන් ආරක්ෂා වීම සඳහා එම රටවල ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව තොරතුරැ විමසා බැලීමට රටවල් කිහිපයක වෙසෙන ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනකු සම්බන්ධ කර ගැනීමට අපි උත්සාහ කළෙමු. පහත පළවන්නේ ඔවුන් අප හා පැවසූ තොරතුරුය.

ජර්මනිය
පහසුකම් විවෘතයි: හැබැයි වැඩ තනිවමයි

ප්‍රථමයෙන් අපට තොරතුරු කීවේ 30 වසරකට අධික කාලයක් ජර්මනියේ වාසය කරන රන්ජන් ධර්මරත්න මහතාය.  ඔහු ජර්මනියේ  ප්‍රකට සංචාරක සමාගමක සේවය කරන අතර  එරට එෆ්. එම්. නාලිකා දෙකක ගුවන්විදුලි වැඩසටහන් සම්පාදකවරෙයකි. කොවිඩ් 19 වෛරසය පාලනය කිරීම සඳහා ජර්මනිය ගෙන ඇති පියවර පිළිබඳව ඔහු මෙලෙස අදහස් දැක්වීය.

කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා පනවා ඇති නීති රීති පිළිපදින ඕනෑම කෙනෙකුට කොරෝනාවෙන් ආරක්ෂා විය හැකි බව ජර්මනියේ චාන්සලර් ඇන්ජෙලා මර්කල් කියා තිබෙනවා. 2020 ජනවාරි 27 දා  බැවේරියාවේ ස්ටර්න්බර්ග් නගරයෙන් ජර්මනියේ පළමු කොරෝනා රෝගියා වාර්තා වුණා. ඔහුට එය වැළඳී තිබුණේ ඔහු සේවය කළ සමාගමේ සේවය කළ චීන ජාතිකයකුගෙන්. එය දැන් ජර්මනියේ ප්‍රාන්ත 16ටම බලපා ඇති වසංගතයක් බවට පත්වෙලා. දිනෙන් දින එය පැතිර යාම වර්ධනය වෙනවා. ජර්මනියේ ඉතිහාසය තුළ කිසි දිනෙක නොවූ අයුරින් විවිධ නීති රීති හා සීමාවන් පැනවීමට රජය කටයුතු කළේ වෛරසයේ පැතිරීම සීග්‍ර යෙන් සිදු වූ නිසයි. පාසල්, දිවා සුරැකුම් මධ්‍යස්ථාන, සාප්පු, ක්‍රීඩාංගන, හෝටල්, කුඩා අවන්හල් සියල්ල වසා දමලා. එහෙත් මේ දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර නැහැ. සියලු ජර්මානු වැසියන් දුරස්ථකරණයට ලක් කරලා. තම ඥාතීන් හැර වෙනත් පුද්ගලයන් ඇසුරු කිරීමෙන් වැළකී සිටින ලෙසත් පුද්ගලයන් දෙදෙනකු අතර පරතරය මීටර් එකහමාරක් පමණ විය යුතු බවටත් කියා තිබෙනවා. පිටස්තර පුද්ගලයකු සමඟ හෝ තම නිවෙසේ සාමාජිකයකු සමඟ හෝ නිදහසේ එළිමහනේ ගැවසිය නොහැකියි. වෛද්‍යවරයකු හමුවීමට, රැකියා ස්ථානයට යෑමට, අහාරපාන ලබා ගැනීමට යෑමට, පිරිසුදු වාතාශ්‍රය සහිත ස්ථානයක ව්‍යායාම කිරීම වැනි දේට  බාධාවක් නැහැ. එහෙත් ඒ සියල්ල කළ යුත්තේ හුදකලාවයි. 

පොදු ස්ථානවල හා මහල් නිවාසවල කණ්ඩායම් වශයෙන් එක්වීමට අවසර නැහැ. නියාමන බලධාරීන් හා පොලිසිය මිනිසුන් නීතිරීතිවලට අනුකූල වන්නේදැයි යන්න පිළිබඳව නිරීක්ෂණය  කරනවා. සම්බාධක උල්ලංඝනය කරන ඕනෑම පුද්ගලයකුට එරෙහිව නීතියෙන් ක්‍රියා කිරීමට ඔවුහු කටයුතු කරනවා. එසේ නීති කඩකරන්නන්හට යුරෝ 250ත් 300ත් අතර මුදලක්  පැනවෙනවා. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් 50000ත් 60000ත් අතර මුදලක්.

සුපිරි වෙළෙඳසල්, ඖෂධ අලෙවිසල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු, තැපැල් සේවා වැනි පහසුකම් විවෘතයි. මේවා දැඩි සනීපාරක්ෂක නීති යටතේ ක්‍රියාත්මකයි. අත්‍යවශ්‍ය භාණ්ඩ යම් සීමාවකට ලක් කර තිබෙනවා. පුද්ගලයකුගේ සාමාන්‍ය අවශ්‍යතාව ඉක්මවා භාණ්ඩ මිලදී ගන්නේ නම්  වැඩිපුර ගන්නා ද්‍රව්‍ය සඳහා වැඩි මිලක් අයකරනවා. මෙලෙස සීමා පනවා ඇත්තේ හිඟයකින් තොරව සැමට භාණ්ඩ ලබා දීම සඳහායි. ඔබේ වෛද්‍යවරයා හමුවිය යුතුනම් දුරකතනයෙන් හෝ විඩියෝ තාක්ෂණය මගින් ඔහු සම්බන්ධ කරගත හැකියි. නියම කරන ඖෂධ ලැයිස්තුව ඊමේල් හෝ වට්ස් ඇප්,  වයිබර් මගින් ඔහුට ලැබෙන අතර එය අන්තර්ජාලය ඔස්සේ ඖෂධ වෙළෙඳසලට  යවා නිවෙසටම ඖෂධ ගෙන්වාගත හැකියි. 

සිනමා ශාලා, ඔපෙරා හල්, නාට්‍ය හා ප්‍රසංග ශාලා, කෞතුකාගාර, සත්ව උද්‍යාන, බාර්, පබ් වැනි ස්ථාන සියල්ල වසා දමලා. අවන්හල් මගින් ආහාර පාන ගෙන්වා ගැනීමේ දුෂ්කරතාවක් නැහැ. එහෙත් එම අවන්හල් ජනතාව සඳහා විවෘත කර තැබිය නොහැකියි. එසේ කළහොත් පළමු වරට යුරෝ 4000ක දඩයක් හා දෙවැනි වතාවටත් එම වරද කළහොත් යුරෝ 27000ක දඩයකට යටක් වීමට සිදුවනවා. 

පොදු ප්‍රවාහන සේවා සියල්ල සනීපාරක්ෂක නීතිරීතිවලට අනුකූලව සේවා සැපයිය යුතුයි. සේවකයන්ගේ හා මගීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඒවා සපයන සමාගම් වගකිවයුතුයි. ප්‍රවාහන සේවා මෙන්ම ගුවන් ගමන්ද සීමා කරලා. මාර්තු 20 දින සිට ජර්මනියේ සිට ඔස්ට්‍රියාව, ප්‍රංශය, ලක්සම්බර්ග්, ස්විට්සර්ලන්තය හා ඩෙන්මාර්කය වැනි රටවලට ඇති දේශසීමා සියල්ල වසා දමලා. කොවිඩ් 19 රෝගීන්ගේ වර්ධනයක් ඇතිවිය හැකි බවට සැක කරන හෙයින් ඒ සඳහා රෝහල් සූදානම් කරලා.. ඇඳන් ප්‍රමාණය වැඩි කර ඇති අතර ඒ සඳහා අවශ්‍ය  සියලු අවශ්‍යතා සූදානම් කර තිබේ. පාර්ලිමේන්තුවේ සම්මත කළ කෝවිඩ් 19 රෝහල් සහන පනත යටතේ රෝහල්වලට මුදල් සැපයීමට කටයුතු කෙරනවා. එමෙන්ම රෝහල් සඳහා නොමිලයේ ලබා දෙන සෑම ඇඳක් සඳහාම  දිනකට  යුරෝ 560ක දීමනාවක් රජයෙන් හිමිවන අතර එම ඇඳ කොවිඩ් 19 රෝගීයකු සඳහා වෙන් කළ යුතුයි. රෝහල්වල අලුතින් එක්කරන සෑම දැඩි සත්කාර ඇඳක් සඳහාම ඔවුනට යුරෝ 50000ක ප්‍රසාද දීමනාවක් හිමි වනවා.

ප්‍රංශය
පහසුකම් ඉහළ වුණත් වසංගතය හමුවේ ෆේල්

මේනකා ජයසුන්දර මහත්මිය ප්‍රංශයේ පැරිස් නගරයේ වාසය කරන ශ්‍රී ලාංකික කාන්තාවකි. ප්‍රංශයේ පවතින තත්ත්වය පිළිබඳව ඇය මෙලෙස කියා සිටියාය.

මාර්තු මාසයේ දෙවැනි සතිය වන විට ප්‍රංශය තුළ කොරෝනා ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව ඉතා සීග්‍රයෙන් ඉහළ යමින් තිබුණත් මහජනතාවට මෙන්ම පාලකයන්ටත් පවතින තත්වයේ බරපතළකම වැටහී තිබුණේ නැහැ. ඒ නිසා  විධිමත් අකාරයෙන් ජනතාව දැනුවත් කිරීමක් හෝ වෛරසය පැතිරීම පාලනයට රජය විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් ඒ වනවිටත් අරගත්තෙ නැහැ. ඒ වන විටත් මුඛ ආවරණ සහ අත් පිරිසිදු කරන ඇල්කොහොල් ද්‍රාවන වල හිඟයක් තිබුණද ඒවා අවශ්‍ය තරම් සපයා දීමේ වැඩපිළිවෙලක් ද තිබුණේ නැහැ.

ප්‍රංශ රජය මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූයේ මාර්තු 13 වැනිදා සිටයි. මාර්තු 16 වැනි සඳුදා සිට සියලුම දිවා සුරුකුම් මධ්‍යස්ථාන, පාසල් සහ විශ්වවිද්‍යාල නැවත දැනුම් දෙන තෙක් වසා දමන බවට ප්‍රකාශ කළා. එසේම මාර්තු 16 වැනිදා සිට සංචරණයන් අවම කරන ලෙසත්, නිවසේ සිට රාජකාරි කිරීමට කටයුතු කරන ලෙසත් ජනතාවට දැනුම් දුන්නා..

බොහෝ විරෝධතා මධ්‍යයේ පළාත්පාලන මැතිවරණයේ පළමු අදියර මාර්තු 15 වැනි ඉරිදා පවත්වන්නට ජනාධිපතිවරයා තීරණය කරන්නෙ මෙවන් වාතාවරණයක් යටතේ. ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂාව උදෙසා අඛණ්ඩව මැතිවරණ පැවැත්වීම වැදගත්ය යන්න ඔහු නිදහසට කී කාරණයයි. නමුත් ඉරිදා සහ සඳුදා දෙදින ඇතුළත තත්ත්වය සීග්‍රයෙන් දරැණු අතට හැරෙන්නට වුණා. රටම Lockdown කරන්නට ප්‍රංශ ජනාධිපතිවරයා තීරණය කරන්නෙ ඉන් පසුවයි. 

ඒ අනුව මාර්තු 17 වැනිදා සිට සති දෙකක කාලයක් සදහා ප්‍රංශය Lockdown කළ රටක් ලෙස ප්‍රකාශ කළා. එනම් අත්‍යාවශ්‍ය කාරනා හැරෙන්නට නිවෙස් වලින් බැහැරට යාම තහනම් වුණා. අත්‍යාවශ්‍ය රාජකාරි, ආහාරද්‍රව්‍ය මිලදී ගැනීම, ඖෂධ මිලදී ගැනීම යනාදී අත්‍යවශ කාරනා සදහා පමණක් නිවෙසින් බැහැරට යාමට අවසර ඇති නමුත් ඒ සෑම අවස්ථාවකම අන්තර්ජාලය ඔස්සෙ බාගත කරගත් විශේෂ අවසර පතක් රුගෙන යා යුතුයි. දෙවන සතිය වන විට මෙම අවසර පත සහිතව වුවද නිවසින් බැහැරව යා හැක්කේ තමා පදිංචි ස්ථානයේ සිට කිමි 1ක උපරිම දුරකට පමණක් වන අතර එය ද පැයක් සඳහා බවට නියෝග පැනවුණා. අදාළ අවසර පත්‍රය නොමැති නම් දඩයක් ගෙවීමට සිදුවනවා. 

මේ කාලය තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගත හැකි සුපර් මාකට් සහ ඔසුසල් සාමාන්‍ය පරිදි විවෘතව පවතිනවා. එහෙත් ඒවා ඉදිරිපිට මීටරයක පරතරයක් සහිතව දිගු පෝලිම්වල රුඳී සිටින්නට ජනතාවට සිදු වෙලා. වෙළෙඳසල තුළට වරකට ඇතුළු කරගනු ලබන්නේ සීමිත පිරිසක් පමණයි. අවශ්‍ය තරම් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තිබෙන බව රජය ප්‍රකාශ කළද කල් තබා ගත හැකි සමහර ආහාර ද්‍රව්‍යවල හිඟයක් දැකිය හැකියි. එමෙන්ම පැරසිටමෝල් වැනි ඖෂධ වර්ග නිකුත් කිරීමද සිමා කරලා. මුඛ ආවරණ සහ අත් පිරිසිදු කරන ඇල්කොහොල් ද්‍රාවණ ඇත්තෙම නැහැ. මාර්තු 30 වැනිදා ඉදිරිපත් කළ සංඛාලේඛන වලට අනුව Covid-19 හේතුවෙන් ප්‍රංශයේ මිය ගිය ගණන 3024 කි. විසිඑක් දහසකට ආසන්න පිරිසක් රෝහල් ගත කර තිබෙනවා. වයස අවුරුදු දහසයක දැරියක් මිය ගියේ මීට දින කිහිපයකට පෙරයි. 

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් වෛද්‍යවරැ තිදෙනෙක් සහ සෞඛ්‍ය සේවකයන් මිය යාම සහ බොහෝ පිරිසකට රෝගය ආසාදනය වීම නිසා වෛද්‍යවරැන් ඇතුළු සෞඛ්‍ය අංශයන්හි විරෝධය ද මේ වන විට රජය වෙත එල්ල වෙමින් පවතිනවා. ඒ ඔවුන්ට අත්‍යාවශ්‍ය  මුඛ ආවරණ සහ අනෙකුත් උපකරණ අවශ්‍ය ප්‍රමාණයට ලබා දීමට කටයුතු නොකිරීම හේතුවෙන්.  මේ වන විට කොරෝනා වයිරස් වසංගතය පැතිරීම සීමා කිරීමට පියවර ගැනීමෙන් හිතාමතාම වැළකී සිටිය බවටත් අවශ්‍ය තරම් සනීපාරක්ෂක උපකරණ සැපයීමට කටයුතු නොකරන බවටත් චෝදනා කරමින් වෛද්‍යවරු පිරිසක් ප්‍රංශ අග්‍රාමාත්‍යවරයා වන Edouard Philippe, හිටපු සෞඛ්‍ය ඇමැතිණිය වූ Agnes Buzyn සහ සෞඛ්‍ය අධක්ෂක ජනරාල්වරයා වන Jerome Salomon ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

පැරිසිය අවදානම් කලාපයක් ලෙස නම් කොට තිබෙනවා. මේ වන විට පැරිසියේ රෝහල් කොරෝනා ආසාදිත රෝගීන්ගෙන් පිරි ගොස් තිබෙන අතර සෞඛ්‍ය අංශවල කාර්යමණ්ඩල හිඟයක් පවතිනවා.  එම නිසා රෝගය වැළදුණද අසාධ්‍ය නොවන පිරිස් වලට තම නිවෙස්වලම ප්‍රතිකාර ගනිමින් රුඳී සිටීමට උපදෙස් දී තිබෙනවා. ප්‍රංශය සෞඛ්‍ය පහසුකම් අතින් ඉහළ රටක් වුවද මෙම වසංගත තත්වය හමුවේ අසමත්ව ඇති අතර දිනෙන් දින සීඝ්‍රයෙන් ඉහළ යන ආසාදිතයන් ප්‍රමාණයට සෞඛ්‍ය සේවයට දරාගත හැකි ධාරිතාව ඉක්මවමින් සිටිනවා. මෙම තත්ත්වය මත නිවෙස්වලම රුඳී සිටිමින් ආරක්ෂා වනවා හැරෙන්නට පැරිස් වාසින් වන අපට කරන්නට දෙයක් නැහැ. අප්‍රේල් 15 දක්වා වන lockdown කාලය බොහෝ දුරට නැවතත් දීර්ඝ කෙරෙනු ඇතැයි සිතනවා.

එංගලන්තය
රෝහල්වලට බාරගන්නෙ නෑ

වෘත්තියෙන්  නීතිවේදියකු හා ලන්ඩනයේ පලකෙරෙන ලංකා නිව්ස් පුවත්පතේ සම කතුවරයකු වන ශාන්ති සේනාධීර මහතා වසර 30කට අධික කාලයක් පුරා එංගලන්තයේ වාසය කරන ශ්‍රී ලාංකිකයෙකි. ඔහු වාසය කරන්නේ ලන්ඩන් සීමාව ආසන්නයේ ඇති බානට් නම් ප්‍රදේශයේය. එංගලන්තයේ කොරෝනා තත්ත්වය පිළිබඳව ඔහු මෙලෙස අදහස් දැක්වීය.

මෙම ප්‍රදේශය මිශ්‍ර නොවූ පළාතක් ලෙස පැවතියත් පසුගිය වසර 10ක පමණ කාලයකදී විවිධ ප්‍රදේශවලින් පිරිස පැමිණ පදිංචි වුණා. මේ පළාතේ ඉතා උසස් අධ්‍යාපන ආයතන පවතින නිසා තම දරැවන් එම අධ්‍යාපන ආයතනවලට ඇතුළත් කිරීමේ අරමුණින් බොහෝ දෙනෙක් මෙහි පැමිණියා. දැන් මෙම පළාත ජනාකීර්ණ වී තිබෙනවා. එංගලන්තයට කොරෝනාව පැතිරුණේ විවිධ රටවල සංචාරයට ගොස් පැමිණි අයගෙන්. ඩේලි මිරර් පුවත්පත සඳහන් කරන විදියට සෑම මිනිත්තු 13කට එක් රෝගියෙක් හමුවෙනවා. තවමත් එංගලන්තයේ පවතින්නේ ලිහිල් ප්‍රතිපත්තියක්. මානව අයිතිවාසිකම් පිළිබඳව වැඩි අවධානයක් යොමුවන නිසා හදිසි නීති තත්තවයක් ප්‍රකාශයට පත් කරන්නේ ඉතා කලාතුරකින්.  ඒ සම්බන්ධයෙන් අගමැති බොරිස් ජොන්සන් විවේචනයට ලක් වුණා.  පසුව ජාතික හදිසි නීති තත්ත්වයක් ප්‍රකාශයට පත් කර නිවෙස්වලම රුඳී සිටින ලෙසට ප්‍රකාශ කළා.  

රෝහල්වලට යෑමට නොහැකි තත්ත්වයක් දැන් මතුවෙලා. වයසක අය ඇතුළත් කර ගන්නේ නැහැ. ඔවුන්ට දුරකතන මාර්ගයෙන් උපදෙස් ලැබෙනවා. රෝගීන්  වැඩි නිසා අවශ්‍ය තරම් හෙද කාර්ය මණ්ඩලවල අඩුවක් පවතිනවා. එම සේවය මඳක් අකර්මණ්‍ය වී ඇති බවක් පෙනෙනවා. ලන්ඩනයේ එක්ස්එල් සෙන්ටර් නමින් පැවැති 4000කට එකවර අසුන් ගතහැකි සම්මන්ත්‍රණ ශාලාව මේ වන විට රෝහලක් බවට පරිවර්තනය කර තිබෙනවා. බර්මින්හැම් ප්‍රෙද්ශයෙත් 1500කට ප්‍රතිකාර කළ හැකි රෝහලක් ඉදිවෙනවා.

ආහාර හා ඖෂධ දුරකතන මගින් ඇනවුම් කර ගෙන්වා ගත හැකියි. පසුගිය දිනවල සුපිරි වෙළෙඳසල්වල භාණ්ඩ හිඟයක් ඇතිවුණා. දැන් තොග වශයෙන් භාණ්ඩ ලබාගත නොහැකියි. ඒවාට සීමා පනවලා. 60 වැඩි අය නිවෙස්වලම සිටිය යුතුයි. එක් පුද්ගලයකුට පමණක් අවශ්‍ය ද්‍රව්‍ය මිලට ගැනීම සඳහා පිටට ගිය හැකියි. හදිසි නීතිය යටතේ පොලිසියට බලතල දීලා. දෙදෙනෙක් ගියොත් ප්‍රශ්න කළ හැකියි. සියයට 60 පමණ රාජ්‍ය  හා පෞද්ගලික සේවකයන් නිවෙස් තුළ සිටම සේවය කරනවා. පාසල් වසැ දැමුවත් ගුරැවරැ අන්තර් ජාලය ඔස්සේ අධ්‍යාපනය ලබා දෙනවා.   ගුවන් සේවා සම්පූර්ණයෙන්ම අඩාලයි. බ්‍රිටිෂ් එයාවේස් සමාගමේ සියලුම ගුවන්ගමන් නැවතිලා. ඊසි ජෙට් සමාගම ගුවන් යානා 330ක් සතු සමාගමක්. එම සමාගම වසා දමලා. පුවත්පත් මුද්‍රණය ඇනහිටලා.

අමෙරිකාව
මිලියන තුනකට ජොබ්ගහලා ගියා

මේ වන විට කොවිඩ් 19 වෛරසයේ වැඩියෙන්ම බලපා ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයටය  මේ වන විට එහි සිටින ආසාදිතයන් සංඛ්‍යාව 215,344කි. මරණ 5122කි. වැඩිම බලපෑම නිව්යෝක් ප්‍රාන්තයටය.
නිව්යෝක් ප්‍රාන්තයට අයත් දූපතක් වන ස්ටේටන් දිවයිනේ  වසර 30කට ආසන්න කාලයක් වාසය කරන ධම්මි හෙට්ටිආරච්චි මහත්මිය එහි පවතින තත්ත්වය පිළිබඳව අපට මෙලෙස අදහස් දැක්වූවාය.
නාගරික සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරන අයුරින් මෙම ප්‍රදේශයේ මේ වන විට කොරොනා ආසාදිතයන් යැයි සැක කරන රෝගීන් 32,000ක් පමණ සිටිනවා. මරණ සංඛ්‍යාව 52ක්. පසුගිය ඉරිදා වන විට කොරෝනා වැළඳී ඇති බවට තහවුරු වූ පිරිස 1866ක්.. 

කොරෝනා නිසා දූපතේ පාසල් මෙන්ම, ප්‍රාන්තයේම පාසල් හා විශ්වවිද්‍යාල වහලා. ළමයින්ට අන්තර්ජාලය ඔස්සේ උගන්වනවා. කාර්යාලවල බොහෝ පිරිස් ගෙදර සිට වැඩ. ඇතැම් සුළු රුකියා නතර වෙලා. මිනිසුන්ට ආර්ථික ප්‍රශ්න පැනනැඟිලා. නිව්යෝක් ප්‍රාන්තයේ  මධ්‍යම ප්‍රමාණයේ කාර්යාල පවා වැහිලා රැකියා අහිමි වූ අය මිලියන 3.1 පමණ වෙතැයි වාර්තා වෙනවා. බොහෝ පිරිස් විරැකියා ආධාර ඉල්ලා තිබෙනවා. වෙළෙඳසල් සම්පූර්ණයෙන් වසා නෑ. සුපිරි වෙළෙඳසල්, බැංකු විවෘත කළත් වෙනදා මෙන් රාත්‍රිය වන තෙක් විවෘතව ඇත්තේ නැහැ. මගුල් හා  වෙනත් උත්සව සියල්ල අවලංගුයි. විෂබීජ නාශක මුහුණු ආවරණ, අත්වැසුම්  හොයා ගන්න බෑ. බස් හා   යාත්‍රා ගමන් අඩුයි. අත්‍යවශ්‍ය දෙයකට හැර ගමන් බිමන් නොයන ලෙස පවසා තිබෙනවා.. ලංකාවේ වගේ ඇඳිරිනීතිය දැම්මා නම් මට හිතෙනවා මීට වඩා ලෙඩේ පැතිරීම් අඩුවෙයි තාවකාලිකව විශ්ව විද්‍යාල රෝහල් බවට පත්කර ගන්න බැව් දැක්කා.

එංගලන්තය
නගර ඔක්කොම පාළු වුණා

බර්මින්හැම් සිටි විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධිය හදාරා එංගලන්තයේ පුරවැසිහාවය හිමිකරගෙන වසර අවුරුදු 18ක් එංගලන්තයේ පදිංචිව සිටින චාන්දනී ගයන්ත්‍රා බණ්ඩාරනායක වාසය කරනුයේ සරේ ප්‍රාන්තයේ වර්ජිනියා වෝටර් නගරයේය. ලන්ඩනයේ හිත්රෝ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙ අනුබද්ධ ආයතනයක සේවය කරන ඇය එහි වත්මන් තත්ත්වය පිළිබඳව මෙලෙස අදහස් පළ කළාය.

මේක නගරයක් කියනවට වඩා කුඩා ගම්මානයක් කිව්වොත් නිවැරදියි. එමෙන්ම ජනාකීර්ණ නොවුන ප්‍රදේශයක් විදියට හදුන්වන්න පුලුවන්. 2019 දෙසැම්බර් මාසෙ අපිට මුලින්ම දැන ගන්න ලැබුනෙ යම් වෛරසයක් පැතිරෙනව කියල. සුපුරුදු විදියට ගුවන්තොටුපළ කාර්යයන් සිදු වුණා. පෙබරවාරි මාසයෙ මුල චීනයෙ වෝහෑං නගරයට සියලු ගුවන් ගමන් අවලංගු උණා. පෙබරවාරි මාසය වෙනකොට ලෝකෙ බොහොමයක් රටවලට මේ වෛරසයේ බලපෑම තියනව කියල දැනුම් දිමක් කළා. චීනයේ වෝහැං නගරයට ඇර අනිත් සියලුම ගුවන් ගමන් සිදු වුණා. මේ වෛරසයේ බලපෑම මුලින්ම එංගලන්තයට දැඩි ලෙස දැනෙන්න ගත්තෙ මාර්තු මාසෙ මුල. විවිධ සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම සදහා ජනතාව යොමු කරන්න සෞඛ්‍ය අංශ ක්‍රියා කළා. ඒ වෙනකොටත් අපි අපේ සාමාන්‍ය රජාකාරී කටයුතු වල යෙදුණා. ඒ වෙනකොටත් ගුවන්තොටුපළ ගුවන් මගීන්ගෙන් පිරිල. මේ වෛරසයේ අවදානම ගැන දිනෙන් දින මාධ්‍ය හරහා ජනතාව දැනුවත් වෙනකොට අපේ ජීවිතවලට ඇති අවදානම අපිට හොදටම දැනුණා..

අගමැතිවරයා පාසල් නිල වශයෙන් වසා දමන්න තීර්ණය කළා. විදේශික විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් දැඩි අපහසුතාවයකට පත්වුණා. ඔවුන්ට තමන්ගෙ රටවලට යන්න ගුවන් ටිකට්පතක් මිලදී ගැනීමට ලොකු සටනක් කරන්න වුණා. මේ කාලය වෙනකොට බොහොමයක් ගුවන්සේවා ඔවුන්ගේ ගුවන් ගමන් අත්හිටවල තිබුණා. ඒ අතර අගමැතිවරයා නිවේදනය කළා බ්‍රිතාන්‍යයේ කටයුතු අඩපණ කරන්න තීර්ණය කළ බව. මේ නිවේදනයත් සමගම ගොඩාක් ජන ජීවිත දැඩි අපහසුතාවයකට පත් වුණා. 
අත්‍යවශ්‍ය සේවා ඇර අනිත් සියලු දෙනා නිවෙස් තුළ සිටිය යුතුයි කියල දැඩි තීරණයට රජය ආවෙ වෛරසයේ ව්‍යාප්තිය අවමකර ගන්නයි.. නමුත් මේ අත්‍යවශ්‍ය සේවාවන් මොනාද කියන එක ලොකු ගැටලුවක් වුණා. අත්‍යවශ්‍ය කටයුතු සදහා හැර වෙන කිසිම කටයුත්තක් සදහා නිවසින් පිටව්ම තහනම් කළා. තහනමක් නොවුණත් ඒක දැඩි ඉල්ලීමක් විධියට තමයි ක්‍රියාත්මක වුණේ. අවශ්‍ය ආහාර බෙහෙත් මිලට ගැනීමට හා ව්‍යයායාම සදහා ඇර නිවසින් බැහැර නොවන ලෙස දැනුම් දුන්න. එතැන ඉදල ජනජීවිත නතර උනා වගේ උනා. රට නිහඩ උනා වගේ වුණා.. පාරවල් පාළු වුණා. මිනිස්සු එකිනෙකාගෙන් ඈත් උනා. අසල්වාසීන් පවා නොපෙනෙන තත්වෙකට ආව. පූර්ණකාලීනව රුකියා වල යෙදන බොහොමයක් අයට මේ තත්වය දරා ගන්න අමාරැයි. ඉතා කාර්යබහුල වෙලා හිටපු තරුණ පිරිසට මේ තත්ත්වය දැඩිව බලපාල තිබෙනවා. පැය විසිහතරක් පුරාවට බිත්ති හතරක් ඇතුලෙ කොටු වෙලා ජීවත් වෙන එක හරිම අමාරැ කාර්යයක්. පහුගිය කාලය තුළ වෙළදසල් වල බඩු හිගයක් තිබුණත් ගිය සතිය වෙනකොට ඒ තත්ත්වය ටිකක් අඩුවෙලා. අත්‍යවශ්‍ය බඩු වෙළදසැල් වල දැන් මිලදී ගන්න පුළුවන්. උදේට ව්‍යායාමවලට හෝ අත්‍යවශ්‍ය දෙයක් මිළට ගන්න යන කෙනෙක් හැර පාරක කිසිවකු දකින්න නෑ. 

බොහෝ පිරිස්  බුද්ධිමත්ව වගකීමෙන් තම යුතුකම ඉෂ්ඨ කරන බව පේනවා. කාර්යබහුල ලන්ඩන් නගරයත් ඒ වගේම පාළුවට ගිහිං කියල තමා මාධ්‍ය සඳහන් කරන්නේ.  මම පදිංචි වෙලා ඉන්න ප්‍රදේශයෙ මහලු අයගෙ අවශ්‍යතා කවුන්සලය මගින් සපයනව. ඔවුන්ට අවශ්‍යය ආහාර හා බෙහෙත් ඔවුන්ගේ නිවසටම ගෙන යාමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වෙනව. ඒ වගේම වෙළදසැල් අබියස අත්වැසුම් නොමිලේ ලබා දෙනව. රටපුරාම තාවකාලික රෝහල් ඉදි වෙනව. පවතින තත්වයෙන් සෞඛ්‍ය සේවකයන්ට ඇතිවන බලපෑම අවම කරන්න විශ්‍රාම ගිය සෞඛ්‍යය සේවකයින් නැවත සේවයට කැඳවනව. මේ වන විට රජය මේ වෛරසය ව්‍යාප්තිය අවම කරන්න හැකි සෑම පියවරක්ම ගන්නව. ඒ වගේම පොලීසිය ඇතුළු අනිත් ආරක්ෂක හමුදා ඔවුන්ගෙ උපරිමයෙන් කැප වෙනව. 

ආරක්ෂක හමුදාවල වෛද්‍ය හෙද හෙදියො පවා උපරීම කැප වීමක් කරනව ජිවිත බේර ගන්න. කොවිඩ් 19 වෛරසය නිසා  මිනිස් ජීවිතවලට ඇති කර තිබෙන දීර්ඝ කාලීන මානසික  හා ශාරීරික අපහසුතාවය අවම කරන්න හැකි උපරිම පියවර ගන්නව. දැනට රජය වගකිවයුතු වැඩ කොටසක් නිම කරල තියනව.
නමුත් මේ තත්වය පහවූ පසු ජිවිත යථා තත්වයට ගෙන එන එක ලොකු අභියෝගයක්. රුකියා අහිමිවීම් ජීවිත අහිමිවීම් මානසික පීඩනය ආතතිය නිසා නැවත යථා තත්වයට එන්න ගොඩ කාලයක් ගත වෙයි. පැය විසිහතරක් පුරාවට සක්‍රීය වෙච්ච මිනිස් ජීවිත පැය විසිහතරක් අක්‍රීයව පැවතීම අභියෝගයක්.

ඉතාලිය
නොසැලකිල්ල නිසා මරණ වැඩිවුණා

වසර 17කට ඉහත ඉතාලියට පැමිණි තිලක නවරත්න මහතා කලක් සිළුමිණ පුවත්පතේ නියෝජ්‍ය කතුවරයා ලෙස සේවය කළ ආයුර්වේද වෛද්‍යවරයෙකි. ඉතාලියේ වත්මන් තත්ත්වය පිළිබඳව ඔහු මෙලෙස අදහස් දැක්වීය.
අප්‍රේල් පළමුවැනිදා වන විට ඉතාලියේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව  110,574ක්.  මරණ සංඛ්‍යාව 13155කි. සතිය පටන් ගැනීමේදී වාර්තා වූ පහත වැටීමේ ප්‍රවණතාව අප්‍රේල් 1 දින  යළි වෙනස් වෙලා. ඉතාලියේ   බලපත් සහිත ශ්‍රී ලාංකිකයන් එක්ලක්ෂ දසදහසක් පමණ සිටින අතර බලපත් නොමැති පිරිස 30000ක් පමණ වනවා. මා සිටින පළාතේ ශ්‍රී ලාංකික පවුල්  15,000ක්  පමණ සිටිනවා. 

ඉතාලිය වෛරසය පැතිර යන මුල් අවස්ථාවේ ලොක්ඩවුන් නොකළ බැවින් මෙය පැතිරුණා. ඉතාලියේ පළමු කොරෝනා ආසාදිතයා චීන ජාතිකයන් දෙදෙනෙක්. ඉතාලියට කොරෝනාව ගෙන ආවේ චීනයේ සිටි පැමිණි ජර්මානු ජාතිකයකුගෙන් බව පසුව අනාවරණ වුණා. මම ඉන්නේ දකුණු ඉතාලියේ  කම්පානියා හි ෆෝරි ග්‍රොත්තා කියන ප්‍රදේශයේ. කම්පානියාවල 70ක් පමණ මැරුණා. පොත්ත්සෝලි ප්‍රදේශයේ රෝහලේ පුද්ගලයෙක් මියගියා. ඔහු සුව නොවන රෝගවලින් පෙළුණු කෙනෙක්. ඒ නිසා එම මරණය මේ පළාතේ අය එතරම් ගණන් ගත්තේ නැහැ. මේ ප්‍රදේශයේ වැසියන්ගේ මරණ සිදු වූයේ  එම නොසැලකිල්ල නිසයි. රෝගය පාලනය කිරීම සඳහා මාර්තු 10 දින ඉතාලිය වසා දැමුණා. ඊට කලින් ඇඳිරි නීතියවත් ක්‍රියාත්මක වුණේ නැහැ.

ආහාරපාන හිඟයක් නැහැ. ඖෂධ තිබෙනවා. දේවස්ථාන සියල්ල වසා දමලා නගරයේ කිසිවකු මහමඟ ඇවිදින්නේ නැහැ. බස්රථ, දුම්රිය ධාවනය වනවා. ඒවා පාලනය වන්නේ රජයෙන්. එහෙත් මගීන් ඇත්තේම නැති තරම්. මෙහෙ බස් දුවන්නේ දුම්රිය ස්ථාන වෙතටයි. බොහෝ දෙනා ගමන් බිමන් යන්නේ දුම්රියෙන්. දැන් කිසිවකු එළියට යනවා නම් ඒ සඳහා පෝරමයක් තිබෙනවා. එය ස්වයං ප්‍රකාශනයක්. එළියට යා හැකි කරුණු 4ක් තිබෙනවා. රුකියාව කරන ස්ථානයට, යළි නිවෙස බලා යෑමට, සෞඛ්‍ය අවශ්‍යතා සපුරා ගැනීමට, බැංකු හා වෙනත් අත්‍යවශ්‍ය කටයුතු පිළිබඳ එම පෝරමයේ සඳහන් කළ හැකියි. බොරු ප්‍රකාශ කරන්න බැහැ. පොලිසිය සොයා බලනවා. වෙළෙඳසල්, පාමසි අසල කිසිවකු පෝලිම්වල නැහැ. හැමෝම හතර පැත්තටම මීටරයක් බැගින් වන පරිදි දුරින් සිටිනවා. දැන් මිනිස්සු ස්වයංපාලනයට පුරැදු වෙලා. නීත්‍යානුකූල නොවන  ලෙස සිටින පුද්ගලයන්ට වුව සෞඛ්‍ය පහසුකම් ලැබෙනවා. ඔවුන්ට පුණ්‍ය ආයතනවලින් තුන් වේලටම ආහාරපාන ලබා දෙනවා. හමුදාව නැහැ. පොලිසිය මගින් නගරවල කටයුතු මෙහෙයවනවා.


ඕස්ට්‍රේලියාව
සෞඛ්‍යය ගැන එතරම් සැලකිල්ලක් නෑ

අනෙක් රටවලට සාපේක්ෂව කොවිඩ් 19 ඔස්ට්‍රේලියාවට තවමත් බලපා ඇත්තේ මන්දගාමි ලෙසින්. අප්‍රේල් 1 දින සවස තුන වන විට එරටින් වාර්තා වූ කෝවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 4860කි. කොරෝනා ව්‍යසනය හමුවේ ඔස්ට්‍රේලියාව ක්‍රියාකරන ආකාරය පිළිබඳව අප විමසා බැලුවේ වසර ගණනක සිට මෙල්බර්න්හි වාසය කරන ප්‍රසාද් දසනායක මහතාගෙනි.  
මෙල්බර්න්වල ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් වාසය කරනවා. මම ජීවත් වෙන්නේ ක්‍රෙපිබර්ග් පළාතේ. වික්ටෝරියා ප්‍රාන්තයෙන් කිසිදු කොරෝනා රෝගියෙක් වාර්තා වුණේ නැහැ. එහෙත්  සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සියල්ලම වැසී ගිහින්. මහජනතාව වැඩියෙන් ගැවසෙන කොෆි ෂොප්, පිහිනුම් තටාක, ක්ලබ්, පාසල් විශ්වවිද්‍යාල සේරම වහලා. මිනිසුන්ට නිවෙස්වලම සිට සේවය කළ හැකියි. සේවයට පැමිණිය යුතු සේවකයන් කණ්ඩායම් දෙකකට බෙදා වැඩ මුර දෙකකට සේවයට යොදා ගන්නවා. රුකියා විශාල ප්‍රමාණයක් අහිමිවෙමින් පවතිනවා. ක්වාන්ටාස් ගුවන් සේවයේ 20,000කට පමණ රුකියා නැහැ. විශාලතම ෂොපිං මෝල් වසා දැමීම නිසා ඒවායේ සේවකයන්ට රුකියා නැහැ. මේ සතියේ සිට රුකියා අහිමි පුද්ගලයන්ට සති දෙකක්ට වරක් ඩොලර් 1500ක් බැගින් දෙන්න යනවා. ලොකුම අර්බුදය ඇත්තේ මෙරට සිටින විදේශීය ශිෂ්‍යයන්ට. ඔවුන්ට රජයෙන් කිසිදු වරප්‍රසාදයක් ලැබෙන්නේ නැහැ. පාට් ටයිම් වැඩ කරපු සිසුන්ට ඒවා අහිමි වෙලා. සියල්ල ලැබෙන්නේ ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට සහ පී. ආර් එක තියෙන අයට පමණයි.

මෙහෙ අය තවමත් සෞඛ්‍ය ගැන එතරම් සැලකිලිමත්වන බවක් පෙනෙන්නට නැහැ. මුව ආවරණ පළඳින්නේ නැහැ. එමෙන්ම  අත් සෝදන දියර දැඩි හිඟයක් පවතිනවා. පසුගිය දිනවල භාණ්ඩ හිඟයක් පැවතුණත් දැන් එම තත්වය පහව ගිහින්. මිනිස්සු අනවශ්‍ය පරිදි භාණ්ඩ රැස් කළ නිසා එවැනි තත්ත්වයක් ඇති වුණා. එමෙන්ම චීන මාෆියාවක් පැවතුණා. චීන ව්‍යාපාරිකයන් සුපිරි වෙළෙඳසල්වල තිබූ භාණ්ඩ විශාල වශයෙන් මිලට ගෙන කන්ටේනර්වල පටවා චීනයට යැව්වා. ඔස්ට්‍රේලියානු භාණ්ඩවලට චීනයේ විශාල ඉල්ලුමක් තිබෙන බැවින් ඔවුන්ට වැඩි මිලට ඒවා විකිණීමේ හැකියාවක් තිබුණා. පසුව ඒවාට තහංචි දැමීමට රජය කටයුතු කළා. දැන් නීති රීති ටිකක් දැඩි කරලා. පිටස්තරයන් දෙදෙනකුට වඩා එකට එක් වෙන්න බැහැ. සැම විටම මීටර් එකහමාරක් දුරින් සිටිය යුතුයි. නිවෙස් තුළ වුවත් මෙම ක්‍රමය අනුගමනය කළ යුතුයි. නීති කැඩුවොත් දඩ ගැසීමක් තවම නැහැ.
 දැඩි නීතිමය  වාරණ පැනවිය නොහැකියි. ශ්‍රී ලංකාවේ නම් ජනාධිපතිවරයාට අවශ්‍ය පියවර ගත හැකියි. එහෙත් ඔස්ට්‍රේලියානු අගමැතිවරයාට තනි තීරණ ගත නොහැකියි.  කැබිනට් එකේ අනුමැතිය අවශ්‍යයි. වෛරසය ලොව පුරා පැතිර යන විට පාසල් වැසීමට  අගමැතිවරයා තීරණය කළත් මුදල් අමාත්‍යවරයා ඊට විරුද්ධ වුණා.

දැනට පවතින වෛද්‍ය පහසුකම් ප්‍රමාණවත් වුවත් ඉතාලියේ මෙන් ව්‍යාප්ත වුවහොත් ඔස්ට්‍රේලියාවේ පහසුකම් මදි. මේ පළාතෙන් රෝගීන් 500ක් විතර ආවොත් වෛද්‍ය පහසුකම් සැපයීම අසීරැ වේවි. ලීසිං, මෝගේජ් වැනි දේවල් සය මසක් යන තෙක් අය නොකිරීමට තීරණය වී තිබෙනවා. ගෙවල් කුලී නොගෙව්වොත් නිවෙස්වලින් එළියට දාන්න බැහැ. විදුලිය, අන්තර්ජාල පහසුකම් නොකඩවා ලැබෙනවා.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00