2020 අප්‍රේල් 04 වන සෙනසුරාදා

හිණිපෙත නගින කොරෝනා යක්ෂයා...!

 2020 අප්‍රේල් 04 වන සෙනසුරාදා, පෙ.ව. 12:00 208

රටවල් 3ක පුරවැසි බව දරන ප්‍රකෝටිපති ව්‍යාපාරික එලෝන් මස්ක් සැලසුම් කර තිබුණේ මේ වසර තුළ අභ්‍යවකාශ හෝටලයක් හදා නමෝවිත්තියෙන්ම උඩු ගුවනේ සංචාරක ව්‍යාපාරයට අත ගසන්නටය. නමුත් ඔහු දැන් ඒ සියලු සිහින ව්‍යාපාර අතහැර  ලෝකයේ ජනතාවට හුස්ම ගැනීම පහසු කරන (වෙන්ටීලේටර’ නිෂ්පාදනය අරඹා තිබේ. ඔහුගේ ලෝප්‍රකට ‘ටෙස්ලා’ සමාගම මේ දිනවල මුළුමණින්ම අතගසා ඇත්තේ ඒ කටයුත්තටය. ලෝකයේ කොවිඩ් 19 අසාදිතයන් ගණන මිලියනයත් පන්නා 51 දහසකට වැඩි ජීවිත ගණනක් මේ අලුත් මාරකයට බිලිවීමත් සමඟිනි. ඉතා ඉක්මණින් මෙහි පළමු තොගය නොමිලයේම බෙදාහරින්නට ඔහු තීරණය කර ඇත. අමෙරිකාවේ මතු නොව අපරට තුළින්ද කොවිඩ් 19 භීෂණය හමුවේ අලුත් නිර්මාණකරැවන් රැසක්ම ඉදිරියට ආ සතියක් ලෙස ගෙවීගිය සතිය හැඳින්විය හැකිය. අපට ඇති හැකි පමණින් මේ මාරකය ජය ගැනීමට අවශ්‍ය තාක්ෂණික උපකරණ ගණනාවක්ම අඩු මුදලට නිපදවන්නට හැකි බව මේ දක්ෂයින් සනාථ කළහ.

මිද්දෙණිය සපුගහයාය ප්‍රදේශයේ පදිංචි එස්.ආර්. තේජන දෙව්මිණ නමැති 15 හැවිරිදි  සිසුවා රෝගීන් අසලට ගොස් ප්‍රතිකාර කළ හැකි රොබෝ යන්ත්‍රයක් නිපදවීමට සමත්ව තිබුණි. මෙම රොබෝ නිර්මාණය සිදුකළ තේජන ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ 10 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබයි. තේජන පවසන අන්දමට මෙම රො‍බෝ යන්ත්‍රය තුළින් රෝගියාගේ ලේ සාම්පල් ලබා ගැනීමට, රෝගියාට ඖෂධ ලබාදීමට, රෝගියා සමඟ දුරකතනයෙන් සම්බන්ධ වී මුහුණ බලා කතාකිරීම සහ තවත් බොහෝ කාරණා මෙම රොබෝ යන්ත්‍රය තුළින් සිදුකළ හැකිය. මෙම කුඩා රොබෝ යන්ත්‍රය වැඩිදියුණු කර අවශ්‍ය කරන විශාලත්වයෙන් නිර්මාණය කිරීම ඔහුගේ අදහස වේ. මෙය සැලවීමත් සමඟ යුද හමුදාව මගින් මෙම සිසුවාගේ නිවසට ගොස් ඔහුව හෝමාගම පිහිටි යුද හමුදා තාක්ෂණික පුහුණු මධ්‍යස්ථානය වෙත සිසුවාගේ පියාත් සමඟ රුගෙන ගොස් ඇත්තේ ඔහුගේ නව නිර්මාණය ප්‍රායෝගිකව යොදා ගන්නට ඇති හැකියාව සොයා බලන්නටය.

ඒ අතර ජංගම රෝග නිරීක්ෂණ ඇඳක් මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් තුන්දෙනෙකු නිර්මාණය කළ බව වාර්තා වූයේය. වෘත්තීය තාක්ෂණික විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙකු  වන රවිඳු සමරසිංහ වෛද්‍යවරුන් පළඳින පී.පී.ඊ. නැමැති ආරක්ෂණ ඇඳුම නිපදවා ඇත්තේ එයටම නව සිසිලන පද්ධතියක්ද එක් කරමිනි.

ඒ අතර ස්වෙච්ඡා ඉංජිනේරු කණ්ඩායමක් විසින් නිපදවන ලද කෘත්‍රිම ස්වසන යන්ත්‍රය සාර්ථක ලෙස අවසන් අදියරට පැමිණෙමින් පැවතිණි. නවීනතම යන්ත්‍රයක අඩංගු වන ස්වයංක්‍රීය පහසුකම් මෙන්ම ආරක්ෂණ ක්‍රම මෙහි ඇතුළත්ව ඇති අතර මෙහි බොහෝ යාන්ත්‍රික, ඉලෙක්ට්‍රොනික කොටස් මෙන්ම සියලුම Software/Firmware කොටස් මේ අය  විසින්ම නිර්මාණය කර තිබේ.

මේ දිනවලදී තත්ත්ව පරීක්ෂාවන් හා ආරක්ෂණ ක්‍රමවේදයන් පරීක්ෂාව සිදුවන අතර නොබෝ දිනකින් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඒවා යෙදවීමට හැකි බවට ඔවුහු  බලාපොරොත්තු පළ කළහ. ඉදිරි සතියේ මෙම යන්ත්‍ර 3ක් නිපදවීමට ඔවුන්  බලාපොරොත්තු වන අතර, ඉන්පසු අවශ්‍යතාවයට අනුව ලංකාව තුළදීම මෙම උපකරණ අඩු මුදලකින් නිපදවීමට හැකියාව පවතින බව ඔවුහු පෙන්වා දෙති. ඒ අතර අම්පාර මහා රෝහලට රෝගින් රැගෙන එන ගිලන් රථ ජීවානුහරණය කිරීම සඳහා ඒ වෙනුවෙන්ම සකස් කරන ලද විශේෂ විදිනයක් අම්පාර කේ.ඒ. සුරංග මහතා විසින් අම්පාර මහා රෝහලට පරිත්‍යාග කරනු ලැබීය. අම්පාර මහා රෝහලට පැමිණෙන ගිලන් රථ ජීවානුහරණය කිරිම මෙතෙක් දියර ඉසින යන්ත්‍ර මගින් සිදුකර ඇත. මෙම උපකරණය මගින් විනාඩි 03ක් පමණ කාලයකදී ගිලන් රථයක් මුලුමනින්ම ජීවානුහරණය කිරීමට හැකියාව තිබේ. මේ සඳහා රැපියල් 30,000 ක පමණ මුදලක් වැයවී තිබේ.

මහනුවර මහ රෝහලේ හෘද ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ හෙද නිලධාරි බිහාන් සපුතන්ත්‍රි එකව ‍රෝගීන් 4 දෙනෙකුට ස්වසන ආධාර සැපයීය හැකි කෘත්‍රිම ස්වසන යන්ත්‍රයක් අලුතෙන් නිපදවා තිබුණි. රටින් ගෙන්වන විට ලක්ෂ 40ක් පමණ වැයවන කෘත්‍රිම ස්වසන යන්ත්‍ර අප රටේ ඇත්තේ 500ක් පමණය .කොවිඩ් 19 බරපතළ රෝගින් සඳහා අත්‍යවශ්‍ය මේ යන්ත්‍රවලින් සේවයට යොදාගත හැකිව ඇත්තේ 300ක් පමණ අඩු ගණනකි. නමුත් සපුතන්ත්‍රි මහතාගේ නව හඳුන්වාදීම නිසා එක යන්ත්‍රයකින් ලෙඩුන් 4 දෙනෙකුට සේවය ලබා ගත හැකිය. මේ නිසා සෞඛ්‍ය සේවාවේ ඉතා හදිසි අවශ්‍යතාවක් බවට පත්ව තිබූ මේ යන්ත්‍ර අලුතෙන් ගෙන්වනවා වෙනුවට ස්වසන අවශ්‍යතා සහිත රෝගීන් 2000කට පවතින යන්ත්‍ර වැඩි දියුණුකර ගැනීමෙන් වහා සේවය සැපයීමට හැකිවනු ඇත. මේ නව නිර්මාණ ගැන දැන් රජයේ අවධානය යොමුව තිබේ.

මෙබඳු නව නිපැයුම් තනමින් දිනෙන් දින ඉක්මන් පැතිරීමක් දක්වන කොවිඩ්19 සඳහා සාර්ථකව මුහුණ දෙන්නට සැරසෙද්දී සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවා ඇත්තේ අප දැන් සිටින්නේ අවදානම ඉතා ඉහළ අවධියක බවටය. අපේ රටද කොවිඩ් අවදානමේ 3 වැනි මට්ටමෙන් 4 වැනි මට්ටමට පනින ලකුණු පෙන්වා හමාරය. එනම් නිවෙස් ආශ්‍රිතව රෝගීන් සමූහ ලෙස වාර්තා වීම සහ ගම් නගර ආශ්‍රිතව කුඩා කණ්ඩායම් ලෙස වාර්තා වීම වෙනුවට සමස්ත රටපුරා සමාජගතවන ලකුණු පෙන්වීමය. වෛද්‍ය නිලධාරීන් කියන ආකාරයට අප්‍රේල් 30 වනවිට මේ ආසාදන උපරිමය කරා පැමිනෙන අතර ඒ සංඛ්‍යාව 3000ක් පමණ වනු ඇත. ඒ වනවිට අසාධ්‍ය පිරිස 600ක් පමණ වනු ඇත. මේ කතාව සනාථ කරන්නට මෙන්  ලංකාවේ 4 වැනි මරණයත් ඉකුත් සිකුරාදා පාන්දර  වන විට වාර්තා විය. එදින වනවිට අසාදිත පිරිස 152ක්ව තිබුණි. අසාධ්‍ය මට්ටමේ 5 දෙනෙක් වූහ. සුවය ලබා පිටව ගිය අය 21කි.

සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, අත්සේදීම, නිවසට වී සිටීම, සැක පහළ වූ විගස වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවීම යන මූලික ආරක්ෂණ පිළිවෙත් අනුගමනයෙන් ලංකාවේ තත්ත්වය තවමත් පාලනය කරගත හැකිය. නමුත් ඇඳිරි නීතියද නොතකා සෞඛ්‍ය උපදෙස් මඟහැර අනාරක්ෂිතව කටයුතු කළහොත් ඉදිරි සතිය වනවිට අසාදිත සංඛ්‍යාව හිටි අඩියේම නොසිතූ විරූ මට්ටමකට ඉහළ යා හැකි බවට සෞඛ්‍ය අංශ අානතුරැ අඟවයි. එහෙයින්ම විටින්විට ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් අයහපත් ප්‍රතිඵල ලබාදෙන බවද සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දී තිබේ.

මේ මොහොත වනවිට ලෝකයේ කොවිඩ්19 කොරෝනා උවදුරෙන් නිරුපද්‍රිතව තිබෙන්නේ ඝන අයිස් තට්ටුවකින් වැසී තිබෙන දක්ෂිණ ධ්‍රැවයේ ඇන්ටාක්ටිකාව පමණකි. ලොකයේ සමස්ත භූමි ප්‍රමාණයෙන් දහයෙන් එකක් වසා සිටින ඇන්ටාක්ටිකාව වර්ග කිලෝමීටර් පනස් හතර ලක්ෂයක් විශාලය. එයින් පනස් තුන් ලක්ෂයක්ම හිමෙන් වැසී පවතී. සාමාන්‍ය ඌෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් සෘන ( - ) 60 -70  අතරය. මේ හිම තලය හැර සෙසු ලෝකයම අද පාළු වී ගොසිනි.

සිකුරාදා පාන්දර වනවිට ලොව රටවල් 204ක් වෛරසයට ගොදුරුව තිබුණි. ඒ වන විට 10,74387ක් අසාදිතයන් ලෝකය පුරා පැතිර උන්හ. මරණ ගණන 55,965 ක් විය. රෝගය වැළඳී සුවපත් වූ ගණන 210,520කි.

සිකුරාදා වනවිට චීනය අභිබවා ගොස් ඇති අමෙරිකාවේ සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 6,335ක් දක්වා ඉහළ ගියේය. ආසාදිත ගණන 260,751කි. ධවල මන්දිරය පුරෝකතනය කර ඇත්තේ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඇමෙරිකාව තුළ පුද්ගලයින් ලක්ෂයත්, දෙලක්ෂ හතළිස් දහසත් අතර පිරිසක් මිය යා හැකි බවය. එබැවින් ඉදිරි දෙසතිය ඇමෙරිකානුවන්ට අතිශය වේදනාකාරි කාල පරිච්ජේදයක් විය හැකි බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේය. මේ අතර ඉතාලියෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 14,675 ක් දක්වා ඉහළ ‍ගොස් තිබුණි. ස්පාඤ්ඤයෙන් ආසාදිතයින් 116358ක් වාර්තා වන අතර මියගිය සංඛ්‍යාව 10,805 කි. අපේ අසල්වැසියා, ඉන්දියාවෙන්  සිකුරාදා පාන්දර වනවිට වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 86ක් වන අතර එරටින් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 3075 කි.

- සුගත් පී. කුලතුංගආරච්චි