2020 අප්‍රේල් 04 වන සෙනසුරාදා

කොරෝනා ආදාහනයට ආගම හරස් වීම

 2020 අප්‍රේල් 04 වන සෙනසුරාදා, පෙ.ව. 12:00 412

ආලෝකයක් ගැන සේයාවකුදු නැති අඳුරු උමගක සමස්ත ලෝකවාසීහු ඇවිද යති. මරණය සේම මළකුණුද ජීවත් වන්නවුන් තුළ ඇති කරනුයේ තැති ගැන්මකි. එසේ හෙයින් අප වසංගතයේ මරණයේ සහ අවමඟුලේ කතාව ඔබගේ අවබෝධය පිණිස ලියා තබමු

මේ වනවිට කෝවිඩ් 19 වසංගතයෙන් මියෙන අයගේ අවසන් කටයුතු සම්බන්ධව ලෝකය පුරාම විශාල කතාබහක් ඇතිව තිබේ. ශ්‍රී ලංකාව තුළද පසුගිය සතිය තුළදී මේ සම්බන්ධව ප්‍රබල කතාබහක් ඇතිවිය. එය ආගමික සාමාජීය සහ දේශපාලන සංවාදයක් දක්වා දික්ඇදුණි. මෙම සංවාදය ඇරඹියේ කෝවිඩ් 19 හේතුවෙන් මෙරටදී මියගිය දෙවැනි පුද්ගලයාගේ ආදාහනය සම්බන්ධයෙනි. ඔහු මුස්ලිම් ජාතිකයකු වූ නිසාවෙන් එම සිරුර භූමදානය කළයුතුව තිබුණු බව මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතා නිවේදනය කර තිබුණි. සමස්ත ලංකා ජමීයතුල් උලමා සංවිධනය ද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එවන් කතාවකි.

කෙසේ නමුත් මෙරට මෙන්ම ලෝකයේද කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ මෘතදේහයන් පිළිබඳ අවසන් කටයුතු සිදුවන්නේ ජාත්‍යන්තර නිරෝධායන රෙගුලාසි අනුවය. නව කොරෝනා රෝගියකුගේ අවසන් කටයුතු සම්බන්ධව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) නිර්ණායක අනුව සිරුර භූමදානයට හෝ ආදාහනයට (Burial or cremation) අවසර ඇත. එහෙත් එය තීරණය කරනුයේ අදාළ රාජ්‍යයයි. වසංගතය ඇරඹි චීනය මුළුමනින්ම පාහේ ආදාහන ක්‍රමවේදය අනුගමනය කරනු ලැබුවේ එබැවිනි. එහෙත් ඉතාලිය සිරැරැ භූමදානය කරන බව අප දනිමු. එසේ වුවත් ශ්‍රී ලංකාවේ ආදාහන ක්‍රමවේදය පමණක් අනුගමන‍ය කරන්නේ ඇයිදැයි ඔබට ගැටලුවක් ඇතිවිය හැක.

ඕනෑම වෛරසයක් හෝ වෙනත් ජීවී සෛලයක් විනාශ කිරීමට තිබෙන ප්‍රධාන ක්‍රමවේදය පිළිස්සීම හෝ දැඩි උෂ්ණත්වයක් ලබාදීමයි. ඒ අනුව මෙම වෛරසය හා එහි විෂබීජ විනාස කරන්නට තිබෙන සාධනීය හා ප්‍රායෝගිකම ක්‍රමය ආදාහනයයි. භූමදානය හරහා මෘත ශරීරය තුළ ඇති වෛරස විෂබීජ ජලය සමග මුසුවීමේ සහ පාංශු ජීවීන් මගින් නැවත පොළොව මතුපිටට පැමිණීමේ හැකියාවක් ඇතැයිද මතයක් තිබේ. කෙසේ වෙතත් එය තහවුරැ කරන ලද්දක් නොවේ. එහෙත් මෙය අල්ප මාත්‍රික හෝ අවදානමක් ගතයුතුයි මොහොතක්ද නොවේ.

පවතින තත්ත්වය හමුවේ වංසගතයෙන් මියගිය පුද්ගලයන්ගේ සිරුර අදාහනය කිරීම සිදුවන්නේ රාජ්‍ය මැදිහත් වීමෙන් බව සිහිපත් කර යුතුය. එම නිසා කෙටි කාලයක් තුළ අඩු ශ්‍රමයක් යොදාගෙන ආරක්ෂිතව මෙම කටයුත්ත සිදුකළ යුතුව තිබේ. නිරෝධානය රෙගුලාසි අනුව භූමදානය කරන්නේ නම් අදාළ වළ අඩි අටකට වඩා ගැඹුරැ විය යුතුය. මෙම වළවල් කැපීම සහ ඒවාට විෂබීජ සහිත මෘතදේහය බහාලීම ඉතා සංකීර්ණ කටයුත්තකි. එසේම සාමාන්‍ය කම්කරුවන් මේ සඳහා යෙදවීම සහ ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂා තහවුරු කිරීම සරල කටයුත්තක්ද නොවේ.

සැබවින්ම කෝවිඩ් 19 ආසාදිතයකු මියයෑමට පසු අනුගමනය කරනු ලබන ක්‍රමවේදය ඉතා සංකීර්ණය. ඉතා ආරක්ෂාකරී ක්‍රමානුකූලව සිදුවන විශේෂිත ක්‍රියාවලියකි.  ඒ අනුව වෛරසය හේතුවෙන් පුද්ගලයකු මියගිය පසු පළමුව ඔහුගේ මෘතදේහය බොඩි බෑග් නමින් හඳුන්වන විශේෂ බෑගයක බහාලීම සිදුවේ. ප්‍රාණය නිරුද්ධ වුවද මෙම මළසිරැරැ හරහා වෛරසය තවත් අයෙක්ට ආසාදනය වීමේ හැකියාවක් පවතියි. එම නිසාම සෞඛ්‍ය සේවකයෝ විශාල අවදානමක් සහිත විවිධ උපක්‍රම භාවිතා කරමින් මෘතදේහය සම්බන්ධව කටයුතු කරති. මියගිය පුද්ගලයාගේ සමීපතම ඥාතීන් දෙදෙනෙකුට ඔහුගේ මුහුණ පමණක් පෙන්වනු ලැබීම සිදුවන්නේ සෞඛ්‍ය ආරක්ෂා ගැන සැලකිලිමත් වෙමිනි. මේ පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙසේ පැහැදිලි කොට තිබුණි.

කොරෝනා වෛරසයෙන් අසාදනයට ලක්ව ප්‍රතිකාර ලබමින් සිට මියගිය අයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු විශේෂඥ අධිකරණ වෛද්‍යවරැන්ගේ, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරැන්ගේ අධීක්ෂණය යටතේ සිදු කෙරෙනවා. අවසන් කටයුතු සිදුවන ආකාරය පිළිබඳ නිර්දේශ කර තියෙනවා. මෘතදේහය අවශ්‍ය අවස්ථාවකදී ඔහුගේ ඥාතීන් දෙ‍ෙදනෙකුට මුහුණ පෙන්වීමට කටයුතු කරනවා. දේහය නිවසට අරන් යන්නේ නෑ. දේහය විශේෂ ආවරණයක බහා රෝහලේ සිටම අවසන් කටයුතු සඳහා රැගෙන යනවා.

මෙම සියලු කටයුතු සිදුකෙරෙන්නේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරැන්ගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරැන්ගේ අධීක්ෂණය යටතේය. රෑපවාහිනී මාධ්‍ය ඔස්සේ මෙරට පළමු සහ දෙවැනි මරණය සම්බන්ධව සෞඛ්‍ය බලධාරීන් ක්‍රියාකළ ආකාරය විකාශය විය. එය කොතරම් සංකීර්ණ අවදානම් කටයුත්තක්ද යන්න මේ වනවිට බහුතර ජනයා දනිති. කෙසේ වෙතත් මුස්ලිම් දේශපාලකයන් මතුකළ තර්කයද මෙහිදී සිහිපත් කළ යුතුය. රවුෆ් හකීම් මහතාගේ ප්‍රකාශයේ ඒ පිළිබඳ සඳහන්ව තිබුණේ මෙසේය.

කෝවිඩ් 19 වෛරසයේ මීගමුවේ වින්දිතයාගේ මෘතදේහය ආදාහනය කිරීම ගැනයි. අපගේ ඇදහිල්ලෙහි නියම කර ඇති පරිදි භූමදානය කිරීමට අවසර නොදී ආදාහනය කිරීම අවාසනාවන්ත, කනගාටුදායක හා ඇත්තෙන්ම නින්දිත සිදුවීමකි. මෙම කටයුත්තේදී ආදාහනය වැළැක්වීම සඳහා ඉහළ දේශපාලන හා වෛද්‍ය බලධාරීන් මැදිහත් වී අපේ හැකි උපරිමයෙන් අපි උත්සාහ කළෙමු. GMOA හි නිලධරයකු වන මඩකලපු ශික්ෂණ රෝහලේ වෛද්‍ය සුහයිල් සහ හිටපු රාජ්‍ය අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙයිඩ් අලි සහීර් මවුලානා සමඟ ඊයේ රාත්‍රිය වනතුරුම ඉතා ක්‍රියාශීලීව මා කටයුතු කළ අතර ආගමික සංවේදීතාවන් සහ අවශ්‍යතාවන්ට ගරැ කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව බලධාරීන්ට ඒත්තු ගැන්වීමට උත්සාහ කළෙමු. හදිසි වසංගත තත්වයන් තුළ සිරැර මුලින් මිහිදන් කිරීම මීගමු බලධාරීන්ගේ විකල්පයක් ලෙස පෙන්නුම් කළද, ඉහළ ජල මට්ටම සහ මිනීවළට ජලය කාන්දුවීම නිසා භූගත මට්ටමට අඩි 10ක් පහළින් භූමදානය කළ නොහැකි බව ඔවුන් කරැණු ලෙස ඉදිරිපත් කර තිබුණි.

මෙවන් විරෝධතා මතුවුවද සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් මුස්ලිම් ජාතිකයන් බලධාරීන්ගේ තීරණය සාධරණීකරණය කර තිබුණි. ඒ අතර ඇතැම් මුස්ලිම් ජාතිකයන් පවසා තිබුණේ ආදාහනයට බියෙන් රෝගය සැඟවීමට මුස්ලිම් ජනයා පෙළඹීමේ අවදානමක් ඇති බවයි. මේ සම්බන්ධව අග්‍රාමාත්‍යවරයා සමඟ රවුෆ් හකීම් ඇතුළු මුස්ලිම් දේශපාලකයන් සාකච්ඡා කර තිබේ. අග්‍රාමාත්‍යවරා ආරම්භයේදී ඔවුනට කරැණු පැහැදිලි කර තිබේ. කෙසේ වෙතත් මෙම විරෝධතාව වසංගතය හමුවේ තවදුරටත් රජය අපහසුතාවට පත් කිරීමක් ලෙස බොහෝ විවේචන මතුවිය. සමාජ මධ්‍යයේද මේ සම්බන්ධව විශාල සංවාදයක් ඇතිව තිබේ.

මෙරට වෛරසය මර්දනයේදී අනුගමනය කරනු ලබන්නේ චීනය විසින් අනුගමනය කළ පිළිවෙළට සමාන පිළිවෙතකි. චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසමද (National Health Commission) චීනයේ සෑම නව කොරෝනා මරණයකටම නිර්දේශ කර ඇත්තේ ආදාහන ක්‍රමවේදයයි. එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) නිර්දේශ අතර භූමදානය තිබෙන බව සැබෑය. එම නිර්දේශ 2003 සාර්ස්, 2016 ඉබෝලා ආදී වසංගතවලදී භාවිතයට ගනු ලැබීය. කෝවිඩ් 19 වෙනුවෙන් මෙම නිර්දේශ අලුත් වී නැති බව කියැවේ. මේ අතර සිහිකළ යුත්තේ මෙම වෛරසය හමුවේ සමස්ත ලෝකයම තවමත් අසරණ බවයි. ඖෂධයක් පාලනයක් නොමැතිව පැතිරයන වසංගතය හමුවේ මෙවැනි මොහොතක යම් පමණකට හෝ සාර්ථක වී ඇත්තේ චීනය ක්‍රමවේදය බවට අප අමතක නොකළ යුතුය. එම නිසාම ආදාහන පිළිවෙත ඉතා ප්‍රායෝගික ක්‍රමවේදයකි.

කෙසේ වෙතත් අවසානයේ කිවයුත්තේ ජාත්‍යන්තර නිරෝධායන රෙගුලාසි යටතේ සෞඛ්‍ය අංශ විශාල කැපකිරීමක් සිදුකරමින් මියගිය පුද්ගලයාගේ ආදාහන කටයුතු සිදුකර ඇති බවයි. එම කටයුත්ත අභියෝගයට ලක්කිරීම මෙවැනි අවස්ථාවකදී කෙතරම් සාධරණ ක්‍රියාවක්දැයි අප සියලුදෙනා දෙවරක් සිතා බැලිය යුතු කරුණකි. මේ මොහොතේ ආගම් ජාති සීමා බිඳ පැවැති යන වසංගතයකදී මෙස සංස්කෘතික සීමා මොහොතකට අමතක කර දැමීම යහපත් යැයි සිහිකළ යුතුය. මේ අඳුරු උමගේ ආලෝකයක් හමුවූ පසු මෙම සියලු සංස්කෘතික උරැමයන් ආරක්ෂා කරගත හැකිය. එතෙක් දැන් කළ යුත්තේ ජීවිතය රැක ගැනීමයි.

 චමිඳු නිසල් ද සිල්වා
විශේෂ ස්තූතිය: නිතීඥ හර්ෂණ එම් සිල්වා මහතාට

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00