2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා

ෆේස් බුකියේ කොවිඩ් දඩයක්කාරයෝ

 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:30 170

ගෝලීය වසංගතයක් ජයගැනීම හුදු ජීව විද්‍යාත්මක කර්තව්‍යයක් පමණක් නොවේ. මානව සිතුම් පැතුම් සහ සංනිවේදනය එහිලා විශේෂිත වැදගත් කමක් දරයි. එම නිසා ලොවපුරා පැතිර යමින් පවතින කෝවිඩ් 19 වසංගතය හමුවේ සමාජ මාධ්‍ය හැසිරීම අප පුළුල් නිරීක්ෂණය කළ යුත්තකි. පුරා සති දෙකට ආසන්න කාලයක් ෆේස්බුක්, ටුවිටර් සහ වට්ස් ඇප් ප්‍රමුඛ සමාජ ජාල පිළිබඳ කළ නිරීක්ෂණයක් ඇසුරෙන් මෙම සටහන ඔබ වෙත ගෙන එමු.

පොදුවේ ගත් කළ ගෝලීය වශයෙන් මෙන්ම දේශීය වශයෙන්ද බහුතර සමාජ ජාල ක්‍රියාකාරීන්ගේ හැසිරීම මේ මොහොතේ සාධනීය මට්ටමක පවතින බව පළමුව සටහන් කළ යුතුය. සතුරා පොදුවීම සහ ජීවිත අවදානම සියල්ලන්ටම දැනීම මෙම තත්ත්වයට හේතු වූ බව පෙනී යයි. සමාන්‍යයෙන් ගැටලුව තමන්ගේ නොවන විට වෛරී සහ දාර්ශනික හැසිරීම් පෙන්නුම් කිරීම සමාජ මාධ්‍යයේ ස්වභාවයයි. එය මෑතකාලීනව මනාව නිරෑපණය වූයේ දේශපාලනික සහ ජාතිවාදී අර්බුදයන් හමුවේය. එහෙත් අද තත්ත්වය වෙනස් වී ඇත. බහුතර සමාජ මාධ්‍ය ක්‍රියාකාරීහු පොදු සමාජයේ සුරක්ෂිත බව වෙනුවෙන් පෙනී සිටිමින් සිටිති.

කෙසේ වෙතත් මේ මොහොත වනවිට කෝවිඩ් 19 වසංගතයක් සහ සමාජ මාධ්‍ය කතිකාවේ ව්‍යාජ පුවත් යනු ප්‍රමුඛ සංවාදයකි. සමාජ මාධ්‍ය හරහා පැතිර යන ව්‍යාජ පුවත් ජනතාව අතර භීතිය සහ නොසන්සුන් භව ඇති කිරීම හේතු වූ අවස්ථා ලොව දසතින් වාර්තා වේ. මෙරට තුළද ව්‍යාජ පුවත් පැතිර වූ සමාජ ජාල ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. කොවිඩ්- 19 පුපුරා යාමේ සිට මේ දක්වා පැතිර යමින් ඇති මෙම ව්‍යාජ පුවත් වර්ග දෙකක් ඔස්සේ හඳුනාගත හැකිය. ඒ නම් සෞඛ්‍යාරක්ෂාව සහ දේශපාලනයි.

timesofindia indiatimes බ්ලොග් අඩවිය මේ පිළිබඳ වාර්තාවක් සපයන සමාජ මාධ්‍ය විශ්ලේෂකයකු පෙන්වා දෙන්නේ මේ වනවිට සමාජ මාධ්‍ය ව්‍යාජ ප්‍රවෘත්ති සම්පාදනය කරන්නන් සඳහා ප්‍රීතිමත් දඩයම් භූමියක් බවට පත්වෙමින් ඇති බවයි. පසුගිය සති කිහිපය තුළ නිරීක්ෂණය වූ ව්‍යාජ සෞඛ්‍ය ආරක්ෂක උපදේශන ලෙස වෛරසයෙන් ආරක්ෂා වීමට නිවෙස් පිළියම්, ගුප්ත විද්‍යාත්මක සුවකිරීම් මෙන්ම වෛරස් සම්ප්‍රේෂණය පිළිබඳ විද්‍යාත්මක නොවන ප්‍රකාශයන් ඇතුළත් වේ. ඇතැම් කුඩා වෙබ් අඩවි හරහා සහ ෆේස් බුක් පිටු හරහා මෙම ව්‍යාජ තොරතුරු ජනතාවට ගලායයි. මෙරට තුළදී මෙවන් ව්‍යාජය පුවත් හරහා විශාල හානියක් සිදු නොවුණද ඉන්දියාව ඇතුළු ඇතැම් රටවලට මෙම ව්‍යාජ සෞඛ්‍ය ආරක්ෂක තොරතුරු හේතුවෙන් සමාජ ගැටලුද නිර්මාණය වී තිබේ.

කෝවිඩ් 19 ආගමන සමග සමාජ මාධ්‍ය දේශපාලනය තරමක් පසුගාමී ඇති බව පෙනී යයි. ශ්‍රී ලංකාව තුළ පාර්ලිමේන්තු මැතිවරණ කල්දැමීම සහ දේශපාලන පුවත් සඳහා ප්‍රධාන ධාරාවේ මාධ්‍ය අවකාශය සීමාවීම ඊට හේතු වී තිබේ. කෙසේ වෙතත් වෛරසයේ ව්‍යාප්තිය ආරම්භයේදී මෙරට සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් එය දැඩිව දේශපාලනීයකරණය කළ බව සිහිපත් කළ යුතුය. එය පූර්ව මැතිවරණ ප්‍රචාරණයේ කොටසක් වූවා යැයි සඳහන් කිරීම නිවැරැදිය. එහෙත් මේ මොහොත වනවිට මෙම සමාජ මාධ්‍ය දේශපාලන බහුතර සමාජ ජාල ක්‍රියාකාරීන් පිළිකුල් කරන බව පෙනී යයි. එහෙත් සියුම් දේශපාලන උපහාස සහ භාවිතයන් නිතර දක්නට ලැබේ.

මුහුණු පොත ප්‍රධාන සමාජ ජාල ඇඳිරි නීතියත් සමඟ අධි ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරන බවද පෙනී යයි. වෛරසය ආරම්භක අවදියේ නව රෝගී සංඛ්‍යාව පෝස්ට් කිරීමේ ප්‍රවණතාවක් මෙරට සමාජ මාධ්‍යය තුළ විය. එය ආසන්නතම දින කිහිපය තුළ තරමක් අවම වී තිබුණි. එසේම මේ වනවිට දීර්ඝ මත විවිධ සහ උපදේශ මුහුණු පොතේ පෝස්ට් වෙමින් තිබේ. තමන් විසින් ලියා පළකිරීම කවුරුන් හෝ ලියූවක් කොපිකර Copied යනුවෙන් දක්වමින් පළකිරීම මෙන්ම ශෙයාර් කිරීම සුලභ කරුණුකි. මෙහිදී බොහෝ සාධනීය විවරණයන් වෛද්‍යවරුන්ගේ සටහන් ජනගත වීම යහපත් බව කිව යුතුය. එහෙත් ඇතැම් විවරණවල ප්‍රායෝගිකත්වය සහ සත්‍යතාවන් පිළිබඳ ගැටලු මතුවන අවස්ථාද තිබේ. එම නිසාම මෙම ප්‍රකාශයන් විචාරත් භාර ගැනීමට සමාජ මාධ්‍ය පරිශීලකයන්ට ප්‍රවේසම් විය යුතුය.

ඕනෑම දෙයක් උපහාසයට ගැනීම සාමාන්‍ය සමාජ මාධ්‍ය භාවිතයේ ස්වාභාවයයි. මෑත කාලීන සමාජ සම්මතයේ උපහාස අපහාස නොකළ යුතු සිදුවීම් අරභයාද සමාජ මාධ්‍ය ක්‍රියාකාරීහු අවිචාරවත්ව ක්‍රියා කළහ. එහෙත් වර්තමාන තත්ත්වය හමුවේ කොවිඩ් 19 වෛරසය එතරම් උපහාසයට බඳුන් නොවීම විශේෂයකි. යම් යම් විහිළු තහළු සමාජ මාධ්‍ය තුළ වෙතත් පොදුවේ සමාජ මාධ්‍ය හැසිරීම වගකීම් සහගත වී ඇති බව පෙනී යයි. මෙය වංසගතය විසින් ඇති කළ මානසික තත්වයක ප්‍රතිඵලයක් යැයි කිව හැකිය. එහෙත් නිවාසගත වීමේ ආතතිය සාමාජීය ජීවිතයෙන් මිදීමේ පීඩනය සමාජ මාධ්‍ය ඔස්සේ පුපුරා යාමට ඉඩක් ඇතැයි විදෙස් විශ්ලේෂණයන් පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් නිවෙසේ සිරවීමේ මනසික ආතතිය පිටකර ගැනීම සඳහා නිර්මාණය වී ඇති සමාජ මාධ්‍ය ප්‍රවණතා රුසක්ද වෙයි. ඒවා ලෝක මට්ටමින් Hash Tag ඔසේ දැකගත හැකිය. #QuarantineAndChill, #stayathomechallenge, #ViewFromMyWindow, #TogetherAtHome. මෙම ප්‍රවණතා Twitter, Facebook, Instagram වැනි සමාජ ජාල ඔස්සේ ක්‍රියාත්මක වෙයි. ඒ අනුව මේ වනවිට Social Media Challenge ලෝකය තුළ වේගයෙන් පැතිර යනු දක්නය ලැබේ.
ශ්‍රී ලංකාව තුළ මේ වනවිට පරණ ෆොටෝ උඩ ඇඳීම හෙවත් මීට වසර ගණාවකට ඉහත මුහුණ පොතට එක්කළ ඡායාරූප නැවත Like, Comment කිරීම වේගයෙන් පැතිර යන රැල්ලකි. මෙහිදී මිතුරන්ගේ පරණ ඡායාරූපවලට විකාර රූපී කමෙන්ට් දමමින් එම ඡායාරූප අන් අයගේ අවධානයට යොමු කිරීම සිදුවේ. ඒ අනුව කාලයත් සමඟ හාස්‍යයට බඳුන් වූ එම ඡායාරූප මුහුණ පොතේ සැරිසරන විට නිතර දැකගත හැකිය. මෙය මීට කලකට පෙර පැතිර ගිය රැල්ලකි. එය දැන් නැවතත් සක්‍රීය වී තිබේ.

මේ අතර වට්ස්ඇප් සමූහ සැකසීම ලොව පුරාම විශාල වශයෙන් සිදුවේ. ආයතනික සහ අධ්‍යයන කළයුත්ත වෙනුවෙන්ද විනෝදාංශ සහ හිතමිතුරු සමාගම් වෙනුවෙන්ද ඒවා නිර්මාණය වේ. මෙරට උසස් අධ්‍යාපන ආයතන රැසක් සමාජ මාධ්‍ය යොදාගෙන ශිෂ්‍ය සම්බන්ධතා පවත්වන ආකරය නිරීක්ෂණ විය. එසේම බොහෝ පෞද්ගලික සහ රාජ්‍ය ආයතනද නිවසේ සිට රාජකාරි කටයුතු කිරීමට සමාජ ජාල උපයෝගී කොටගෙන තිබේ. මේ අතර සමජ ජාල තුළ සිදුවන වීඩියෝ ඇමතුම්, සමූහ ඇමතුම් ආදියද සංඛ්‍යාත්මක ඉහළ ගොස් ඇත. පැරණි හිතමිතුරු සම්බන්ධතා අලුත් වන පසුබිමක් මේ අනුව නිර්මාණය වේ.

ලෝකය පුරාම පැතිර යන මෙම වසංගතය හමුවේ මතුවන මානසික ගැටලු පිළිබඳවද මේ වනවිට පුළුල් සංවාදයක් ගොඩනැගෙමින් තිබේ. එහිදී අධික සමාජ ජාල ක්‍රියාකාරීත්වය පවා මානසික ගැටලු සඳහා හේතුවිය හැකි බවට අදහස් පළවී ඇත. කෙසේ වෙතත් නිවාස ගතවී සිටින අතරේ සමාජ සම්බන්ධතා පවත්වා ගැනීම සමාජ මාධ්‍ය මේ මොහොතේ ලොවපුරා ජනතාවට මහෝපකාරී වී ඇති බව පිළිගත යුත්තකි. එම නිසාම සමාජ මාධ්‍ය හරහා ගැටලු නිර්මාණය නොකර ගෙන වගකීම් සහගතව කටයුතු කිරීමේ විශාල වගකීමක් සියලු සමාජ ජාල පරිශීලකයන්ට පැවරී තිබේ.

කෝවිඩ් 19 වසංගතයේ නිමාව පිළිබඳ කිසිදු සලකුණක් නොමැති පසුබිමක සමාජ මාධ්‍යයේ අනාගත හැසිරීම් පුරෝකතනය කිරීම අපහසුය. එහෙත් නිවෙසේ රුඳී සිටීමේ කාලය දීර්ඝ වනවිට සමාජ මාධ්‍ය භාවිතය විසින් අලුත් ගැටලු නිර්මාණය කරනු ඇතැයි නිගමනය කළ හැක. යම් හෙයකින් ලෝක තත්ත්වය අයහපත් වුවහොත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය හරහා විශාල සමාජ අර්බුදයන් මෙන්ම ගැටුම්ද නිර්මාණය විය හැකිය. එමනිසා අවබෝධයෙන් කටයුතු කිරීමේ වටිනාකම නැවත අවධානය කළයුතු වේ.

කොරෝනා වයිරසය පිළිබඳ ව්‍යාජ ප්‍රවෘත්ති වෛරසයට වඩා වේගයෙන් පතුරවා හැරීම සමාජ මාධ්‍යවලට හැකි බව ඔබ මතක තබා ගතයුතුය. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවිය, ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවිය සහ නිල ෆේස්බුක් පේජ් වැනි විශ්වාසදායක මූලාශ්‍රවල මත යැපීමට ඔබට හැකියාවක් තිබේ. අසත්‍ය තොරතුරු මත යැපීම හරහා වෛරසයෙන් සිදුවන හානියට වඩා විශාල හානියක් ලෝකයට සිදුවිය හැකි බවට මේ වනවිටත් අනාවැකි පළ වී තිබේ. අනවශ්‍ය භීතිකාවක් හරහා මතුවිය හැකි මෙම තත්ත්වය පූර්ව සූදානමින් වළක්වා ගැනීම සියලු දෙනාගේම වගකීමකි. හුදකලා වූ ලෝකය හුදකලා නොකර රුක ගැනීමට සමාජ ජාලා තුළ මුලා නොවී සිටීමට ඔබ ප්‍රවේසම් විය යුතුය.

චමිඳු නිසල් ද සිල්වා

 

 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00