2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා

කොරෝනාවේ දේශපාලන වාසිය

 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:30 62

නව කොරෝනා මැඩලීම සඳහා ගතයුතු ඉදිරි කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පසුගිය අඟහරුවාදා (24) පාර්ලිමේන්තු නියෝජනය කළ පක්ෂ නායකයන්ගේ සමුළුවක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙහිදී යෝජනා රැසක් ඉදිරිපත් වූ අතර දේශපාලන මතිමතාන්තර තරමක් පසුගාමී විය. එහෙත් පාර්ලිමේන්තුව නැවත කැඳවීම සම්බන්ධව යෝජනා කිහිපයක් මෙහිදී ඉදිරිපත් විය. එහෙත් බහුතර මත එය නොවීය. වෛරසයක් ඉදිරිගාමී වී දේශපාලනය පසුගාමී වූ වකවානුවක පවතින මෙම සාකච්ඡාවට ප්‍රබල මාතෘකාවක් නොතිබිණි. එහෙත් මෙරට ගෙවුණු මාස දෙකක පමණ කාලය තුළදී කොරෝනා දෙශපාලනයක් මෙරට වූ බව අපට මතකය. මේ විමසීම ඒ පිළිබඳවයි.

ආරම්භයේදීම ලාංකීය දේශපාලනයටද නව කොරෝනා වෛරසය ආසාදනය වූයේය. අප එසේ කියනුයේ ලොව අන් කිසිදු රාජ්‍යයක නොවූ පරිමාවකින් කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළදී දේශපාලනීකරණය වූ නිසාවෙනි. පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රකාශයට පත්වූ පසුබිමක නව කොරෝනා වෛරසය මෙරට වෙත ළඟාවීම ඊට මූලික හේතුව විය. නව කොරෝනා වෛරසය දේශපාලනීකරණයක වන්නට පටන් ගත්තේ එය ආසාදිතයා වූ චීන කතක් ජනවාරි විසි පස්වැනිදා පටන්ය. පළමු වර්තමාන ආණ්ඩුවේ චීන හිතවාදී ප්‍රතිපත්ති විවේචන කිරීමට විපක්ෂට මෙය අනගි අවස්ථාවක් කර ගත්තේය.

චීනයෙන් පැමිණෙන පිරිස් නතර කරන ලෙසට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂයෙන් ඉල්ලීමට ඉදිරිපත් විය. ජනතාව තුළද යම් බියක් හටගෙන තිබුණි. එහෙත් ආණ්ඩුව විපක්ෂයේ බලපෑම එතරම් තැකුවේ නැත. මේ අතර චීනයේ වූහාන් නගරය වසාදැමීම සිදුවිය. ඒ සමඟ චීනයේ සහ වුහාන් නගරයේ සිටින සිය පුරවැසියන් ගෙන්වා ගැනීම ලෝකයේ බොහෝ රටවල් උත්සුක විය. මෙරට රජය ඊට උත්සාහ දරන්නට විය. පාර්ලිමේන්තුවේ විපක්ෂ කණ්ඩායමද වූහාන් ලාංකික පිරිස ගෙන්වා සම්බන්ධව යම් බලපෑමක් කළේය. නමුත් මේ වනවිටත් ඇවිලෙමින් තිබූ එජාප අභ්‍යන්තර අර්බුදය හේතුවෙන් විපක්ෂ බලපෑම් ජනගත නොවීය.

මේ අතර ශ්‍රී ලංකා රජය ආරම්භ අවස්ථාවේදීම වූහාන් නගරයේ සිටි සිසුන් ගෙන්වා ගැනීමට සමත්විය. චීන සම්බන්ධතා උපයෝගී කරගෙන සිදුකළ කටයුත්තේදී ආණ්ඩුවේ ලකුණු පුවරුව ඉහළ ගියේය. පෙබරවාරිය පළමුවැනිදා සිදු වූ ඓතිහාසික ගුවන් ගමන සමඟ වූහාන් නගරයේ සිය පුරවැසියන් මුදාගත් ලෝකයේ තෙවැනි රට බවට ශ්‍රී ලංකාව පත්විය. මැතිවරණයක අපේක්ෂා පෙරදැරිව අදාළ ක්‍රියාන්විතයේ ලකුණු නොමසුරැව ජනාධිපතිවරයාගේ ගිණුමට බැරකළ ආණ්ඩුවේ පළමු කොරෝනා දේශපාලන වාසිය තමන් සතුකර ගත්තේය.

එහෙත් විපක්ෂ කණ්ඩායම් රට අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වැඩ පිළිබඳ සහ චීන සංචාරකයන් සම්බන්ධ ආණ්ඩුවේ ප්‍රතිපත්ති තවදුරටත් විවේචන කළේය. මෙහිදී චීන සබඳතා ආණ්ඩුවට වැදගත් වූයෙන් ඔවුන් පෙරළා විපක්ෂයට ප්‍රබල පිළිතුරු දීමට ගියේ නැත. එහෙත් විපක්ෂ කණ්ඩායම්වල ඉල්ලීම් ලෝකයේ අසන්නට ලැබෙන තොරතුරු සමඟ ජනතාවට අවධානය ලැබෙමින් තිබුණි.

එහෙත් දෙවැනි වතාවටත් නව කොරෝනා විසින් ආණ්ඩුවට දේශපාලන වාසියක් රැගෙන ආවේය. ජනවාරි 25 වැනිදා සිට දින 24ක් පුරා රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ චීන කාන්තාව සම්පූර්ණයෙන්ම සුවය ලැබුවේය. ඇමැති පවිත්‍රා ඇයව සිපගත්තේය. සමාජ මාධ්‍යයේ උසුළු විසුළු කෙරෙන කොරෝනා නව ආණ්ඩුව අභියෝගක් නොවීය.

පාර්ලිමේන්තු විසුරුවා හැරිය හැකි දිනය ළංවෙමින් තිබුණි. එජාපය දෙදරා යමින් තිබුණි. මේ අතර ලෝක තත්ත්වය සැකිල්ලට ගෙන පාර්ලිමේන්තු විසුරුවා හැරීම සුදුසු නොවන බවට තර්ක විතර්ක මතුවන්නට විය. එහෙත් ජනාධිපතිවරයා මාර්තු දෙවැනිදා පාර්ලිමේන්තු විසුරැවා හැරියේය. ඒ අනුව පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා අප්‍රේල් 25 වැනිදා දිනය නියම විය. මෙම විසුරුවා හැරීම පිළිබඳ විරෝධතා එල්ල වුවද ඊට නව කොරෝනා සාධකයක් කර ගැනීම අරම්භයේදී පහසු වූයේ නැත. නමුත් මාර්තු දෙවැනි සතියේ පළමු ශ්‍රී ලාංකික නව කොරෝනා ආසාදිතයා හමුවීමත් සමඟ මෙතෙක් ගලා ගිය දේශපාලන කතාව උඩු යටිකුරු වන්නට විය.

පළමුවරට නව කොරෝනා දේශපාලන වාසිය විපක්ෂය සතුවිය. විපක්ෂ කණ්ඩායම් විසින් එය රජයේ නොසැලකිල්ලක් බව හුවා දක්වන්නට උත්සාහ කළේය. සංචාරක තහනම සම්බන්ධව ඉල්ලීම ඉතාම ප්‍රබල වන්නට විය. දැඩි ඉල්ලීම් හමුවේ රජය ඇතැම් පියවර ගත්තේය. ආණ්ඩුව ආරම්භයේ ලබාගත් ලකුණු එකින් එක කැපී යන්නට පටන් ගෙන තිබිණි. රෝගීන් සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩිවන්නට විය.

මෙරට පැමිණෙන සංචාරකයන් සම්පූර්ණ නතර කළ යුතුය, අවදානම් රටවල සිට පැමිණෙන සියලු ශ්‍රී ලාංකිකයන් නිරෝධායනය කළ යුතුය, ගුවන්තොටුපළ වසා දැමිය යුතුය, මේ ඉල්ලීම පළමු ඉදිරිපත් වූයේ ආණ්ඩු විරෝධී බලවේග හරහාය. ක්‍රමයෙන් මෙය බහුතර ජනතා මතය වූයේය. සමාජ මාධ්‍ය තුළ මෙම මාතෘකාව දැඩිව දේශපාලනීකරණය විය. ලොව ඇතැම් රටවල් වසා දැමීම ඇරඹීමත් සමඟ රටම ලොක් ඩවුන් කළ යුතුය යන සමාජ මතය රැල්ලක් බවට පරිවර්තනය විය. මැතිවරණ කල් දැමීමේ යෝජනාවද විපක්ෂ කණ්ඩායම් ජනගත කරමින් පැවතියේය.

පළමුවරට අභිනව ආණ්ඩුව පසුගාමී වූයේ මේ තත්ත්වය මතයි. හැඳල රෝහලේ ගැටලුව විශාල ප්‍රශ්නයක් බවට පරිවර්තනය විය. නිමල් ලන්සාගේ මැදිහත් වීම මැතිවරණ අභිමුව ආණ්ඩුවේ ප්‍රධානීන් අසරණ කළේය. එහිදී ආණ්ඩු පාර්ශ්වය දැඩි අර්බුදයකට මුහුණ පෑවේය. නිරෝධායනයට කටයුතු ප්‍රමාද වීමට එය හේතුවක් වූ බව පසුව ආණ්ඩුව පිළිගත්තේය. එහෙත් විපක්ෂයට ආණ්ඩුවේ මෙම පසුබෑමේ වාසිය අත්කර ගැනීමට නොහැකි විය. මේ වනවිට අතිශය ප්‍රබල වී තිබූ එජාප අර්බුදය නාමයෝජනා අවුල ඊට හේතුව විය. පියවරක් පසුපසට ගිය ආණ්ඩුව නැවතත් අළු ගසා නැගිට්ටේය.

කෙසේ වෙතත් මේ වනවිට මැතිවරණ කල්දැමීමේ යෝජනාව මෙහිදී දැඩිව දේශපාලනීකරණය වී තිබුණි. පසුව ජනාධිපතිගේ ජාතිය ඇමතීම කොරෝනා සහ දේශපාලයේ ප්‍රබල ඇමුණුමක් විය. එම කතාව අරබයා විශාල දේශපාලන විවරණයක් ගොඩනැගුණි. මේ වනවිට පැතිර යමින් තිබූ ලොක් ඩවුන් රැල්ලද ඊට හේතුවිය. එසේම ජනපතිගේ කතාවේ ‍යම් දේශපාලන මුහුණුවරක් තිබීම හරහා නැවතත් විපක්ෂයට වාසිය අත්විය. ජනාධිපති දුන් ආර්ථික සහන කෙරෙහි අවධානය ගිලිහී ජනපතිගේ කතාවේ අඩුපාඩු සමාජ මාධ්‍යයේ විවේචනයට ලක්විය. එහෙත් මෙවරද විපක්ෂය තමන්ට වාසි සහගත ලෙස කොරෝනා මෙහෙය වීමට අසමත්විය.

මැතිවරණ කල්දැමිය යුතු බව ආණ්ඩුවටද අවබෝධ වී තිබුණි. එහෙත් ඔවුන් එය කියන්නට ගියේ නැත. නාමයෝජනා භාරදීම මාර්තු 19 වැනිදායින් අවසන් වීමට නියමිත විය. විධිමත් ලෙස නිවාඩු නොදී ආණ්ඩුව රාජ්‍ය සේවය අමුතු ආකරයකට නිවාඩු යැව්වේය. එජාපය දෙකඩ වීමේ වාසිය ආණ්ඩුව අපේක්ෂා කළ අතර එහි ඵල ලබා ගැනීමට නම් දෙපාර්ශවය වෙන් වෙන්ව නාමයෝජනා භාරදීම අත්‍යවශ්‍යය විය. ඒ අතර රාජ්‍ය සේවයට නිවාඩු ලබාදුනහොත් නාමයෝජනා භාරගැනීමට නොහැකි වන බව මැතිවරණ කොමිසම කීවේය. මාර්තු 19 වැනිදා දක්වා අල්ලාගෙන සිටීමට ආණ්ඩුව කටයුතු කළේය. නමයෝජනා නිමාවිය. එජාප දෙකඩ විය. මැතිවරණ කල් දැමීමේ බලය මැතිවරණ කොමිසමට ලැබුණි.

කොරෝනා හමුවේ වුව ආණ්ඩුවේ දේශපාලන අවශ්‍යතාව ඉටුවී අවසානයේ මැතිවරණයේ කල් ගියේය. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කීවේ මැතිවරණය පැවැත්වීමේ දිනය තීරණය කරනුයේ නව කොරෝනා වෛරසය බවයි. මේ නාමයෝජනා සතිය තුළ ඉතාලියේ සිට පැමිණි පිරිස නිරෝධනයට විරෝධය පෑම නිසා ජනතා අවධානය ආණ්ඩුවේ උපාය දෙසට යොමු නොවීය. ත්‍රිවිධ හමුදාවල විශිෂ්ට කැපකිරීමත් සෞඛ්‍ය අංශවල ගෞරවනීය සේවයත් ආණ්ඩුවට ආභරණයක් වී තිබුණි. ජනාධිපතිවරයා සෘජු තීන්දු ගනිමින් සිටියේය. ජාතිය ඇමතීමේදී වූ අවාසිය නිහඬවම ඔහු ආපසු හැරවීමට සමත් විය.

ඇඳිරි නීතිය සහ කොරෝනා අවධානය පාර්ලිමේන්තු මැතිවරණය කල්යාම ආදිය හේතු කොටගෙන ජතාවගේ දේශපාලන ලැදියාව අඩුවෙමින් පැවතියේය. මේ අතර සජිත් ප්‍රේමදාස මහතා නව කොරෝනා වෛරසයට බෙහෙත් කියන්නට ගොස් ආණ්ඩුවේ පාර්ශ්වයේ සමච්චලයට ලක්විය. ජනතා විමුක්ති පෙරමුණ ඇඟ බේරාගෙන සිටි අතර, පොහොට්ටුව ශ්‍රීලනිප ගැටුමද යට ගියේය. එහෙත් පක්ෂ නායක හමුවට ඉල්ලීම් ඉදිරිපත් විය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු ජනාධිපතිවරයාගේ මූල්‍ය බලතල පිළිබඳව ද තර්ක විතර්ක මතුවිය. අගමැති මහින්ද රාජපක්ෂ විසින් මූල්‍ය බලතල ජනපතිට ඇති බව කියා මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය. අවසානයේ ඔහු මාර්තු 24 වැනිදා පක්ෂ නායක හමුවද කැඳවීය.

මෙම හමුවේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ කතාවට ලකුණු වැටුණි. සජිත් ප්‍රේමදාස මහතාට එයින් එතරම් යහපතක් වූයේ නැත. එහෙත් පක්ෂ නායකයන්ටද ඉදිරියේ කොරෝනා මඩින්නට වගකීම් පැවරෙන බව කියැවිණි. කෙසේ වෙතත් අප මෙම සටහන තබන මොහොත වනවිට ලාංකීය දේශපාලනය දියාරු වී ඇති බව පෙනී යයි. මේ දක්වා කොරෝනා මර්දනය වැඩසටහනේ දේශපාලන වාසිය ආණ්ඩුව සතුවී ඇති බව අවසානයේ නිගමනය කළ හැකිය. එහෙත් අනාගතය කිසි ලෙසකින් නිශ්චිතව නැත. සමස්ත ලෝකය මෙම වසංගතයයේ කෙළවරක් නොදනියි. එම නිසාම ලෝක දේශපාලනයේ මෙන්ම ලාංකීය දේශපාලනයේ අනාගතයද නව කොරෝනා විසින්ම තීරණය කරණු ඇතැයි කීම සාධාරණය.

 චමිඳු නිසල් ද සිල්වා