2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා

එකිනෙකා අතර අඩි 6ද? පොළොවයට අඩි 6ද?

 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:30 83

ලෝක සෞඛ්‍ය සංවිධානය ඉකුත් සතියේ කොවිඩ් 19 වසංගතය මැනැවින් පාලනයට සමත්කම් දක්වන හොඳම රටවල් අතර මුල්පෙළට ශ්‍රී ලංකාවද ඇතුළත් කළේය. අප රටේ වසංගතයේ දරුණු බව මෙල්ල කිරීමට දිවා රූ නොබලා කැපවූ වෛද්‍ය අංශයත්, ත්‍රිවිධ හමුදා ක්‍රියාන්විතයත් සමත්ව තිබුණි. නිරෝධායනයට ලක්වූ කණ්ඩායම් 2ක්  නිවෙස් බලා පිටත්ව ගිය අතර ලංකාවේ වාර්තා වූ පළමු රෝගියාද නිරෝගීව පිටව ගියේය. ඒ අනුව බැලූ බැල්මට පෙනී ගියේ වෛරසය නපුරු ආකාරයට හිස එසැවූ චීනයේ සහ දැන් ඉතාලියේ සිදුවන අන්දමේ මාරාන්තික පැතිරීම් රටාව ලංකාවේදී ඉතා කෙටි කලකින්ම බිඳ දමා සුබදායී වෙනසක් පෙන්නුම් කර තිබූ ලෙසකි. දූරදර්ශී ලෙස ගත් තීන්දු තීරණ, විනයක් සහිතව ක්‍රියාත්මක කිරීම හේතුවෙනි. 

නමුත් බදාදා වනවිට ලෝකයේ අසාදිත ගණන 425,323ක් විය. මරණ 18,944කි. ඒ වනවිට  ලංකාවේද ආසාදිත පිරිස 102ත් පන්නා තිබුණි. මෙරට තවමත් මරණ වාර්තා නොවූවත්, අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබන දෙදෙනෙකුගේ තත්වය අසාධ්‍ය බවට පත්ව තිබුණි.  3 දෙනෙක් සුවය ලැබූහ. ඒ වනවිට කොරෝනා වෛරසය බවට සැකපිට පුද්ගලයින් 229 දෙනෙකු මෙරට රෝහල් 19ක ප්‍රතිකාර ලබමින් සිටියහ. ඒ අතර විදේශිකයින් 06 දෙනෙකි.

රටේ අවදානම් කලාප 3ක් මේ වනවිට හඳුනාගෙන ඇත. ඒ ගම්පහ, කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කයන්ය. දැන් ඒ කලාප සඳහා නැවත දැනුම් දෙන තුරැ ඇඳිරි නීතිය පනවා ඇත. දිස්තික්ක අතර ගමනාගමනයද තහනම් විය. රටපුරා පනවා තිබූ ඇඳිරි නීතිය ඉවත් කළ අවස්ථාවේ ජනතා හැසිරීම් අනුව තීන්දුවක් ගත් ආණ්ඩුව නිවෙස් අසලටම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙනැවිත් දීමට වැඩපිළිවෙළක් යෙදීමට නියමිතය.

වෛරස වසංගතයක ව්‍යාප්තිය ගැන කතාබහ කරන විට විද්‍යාඥයෝ ‘එපිඩ් -කර්ව්’ නැතිනම් වසංගත වක්‍රය නමැති ආදර්ශකයක් ගැන කියති. වසංගතයක් වෙන් වශයෙන් හඳුනාගෙන විසඳුම් සොයනතුරු එහි ව්‍යාප්තිය ක්‍රමක්‍රමයෙන් ඉහළ යන ආකාරයත්, එය උපරීම හානිදායී අවස්ථාවට ළඟා වී මර්දන කටයුතු සමඟ ක්‍රම ක්‍රමයෙන් පහළ බැස නිමාවී යන අයුරුත් මේ සුප්‍රකට වක්‍රය පෙන්වා දෙයි. සාමාන්‍යයෙන් පොදුවේ මේ වක්‍රය මුනින් නැමු සීනුවක හැඩය ගනියි. නමුත් මේ වසංගතයේදී එම සියලු පොදු නීතිරීති වෙනස්ව තිබුණි. චීනයේ වසංගත වක්‍රය දිස්වූයේ මුනින් නැමූ එක් පැත්තක් වඩා උස්වූ  අනෙක් පස දිගට ඇදී ගිය පීරිසියක හැඩයටය. ඉතාලියේ සීනු ආකාර හැඩය වඩාත් ඉහළට නැංඟේය. නමුත් ලංකාවේදී මෙය දැනටමත් පැතලි පීරිසියක හැඩය ගෙන ඇත්තේ රජය ක්‍රියාත්මක කළ ඉක්මන් නිරෝධායන ක්‍රම හා ඇඳිරි නීතිය පනවා රෝගය පැතිරීම වැළැක්වීමට ගත් පූර්ව ආරක්ෂණ පියවරේ සාර්ථකත්වය නිසාය. ඇඳිරි නීතියට කළින් දිනකට අලුත් රෝගීන් 13 දෙනෙකු බැගින් සීනූ ආකාරයට වර්ධනය වන බව පෙන්වූ වසංගතය, ඇඳිරි නීතිය දැමූ සැනකින්ම දිනකට අලුත් රෝගීන් 5-6 දක්වා අවම වන බවක් පෙන්නුම් කළේය.

සෞඛ්‍ය අංශ මේ වනවිටත් අවශ්‍ය පූර්ව ප්‍රතිපාදන ඉක්මණින් සකසා ගනිමින් ඕනෑම තත්ත්වයකට මුහුණදීමට සූදානම්ව සිටිති. වසංගතය රුදුරු ත්‍රස්තවාදී ප්‍රහාරයක් සේ සලකමින් හමුදාව මේ වනවිට කඩිනම් ක්‍රියාන්විතයක යෙදී සිටිති. වූහාන් පළාතේ අමුතු වෛරස් රෝගය පැතිර ගොස් මහා අලකලංචියක් වන ලකුණු පහළ වූ වහාම චීනය ලහිලහියේ රෝහලක් ඉදිකළේය. පසුව ඔහුන් එබඳු කඩිනම් රෝහල් 3ක්ම සෑදූහ. ඒ සඳහා අපේ හමුදාවද දියතලාවේ රෝහලක් සෑදුවේ එරට සිරවී දුක් විඳින්නට නියමිතව උන් අපේම දරුවන් ගෙන්වා ගෙන නිරෝධායනය කරන්නටය. දෙරට අතර ඓතිහාසික බැඳීමේ සහෝදරත්වය සලකුණු කරමින් චීනය ලොව වෙන කිසිදු රටකට පෙර අපේ රටේ දරුරැවන්ට සිය නිවෙස් බලා එන්නට යැවූ යානය තමන්ගේ රටට ගෙන ඒමට අවසර දුන්නේය. දැන් මේ වනවිට සිය රට මත කඩා වැටුණු අපලයෙන් යාන්තම් හිස එසැවූ සැනින්ම ඔවුහු අපට ආධාර සැලසීමට මුල්තැන දුන්හ. මේ වනවිට හමුදාව රටේ උද්ගතවන්නට තිබූ ගැටලුවකට ඉක්මන් සාර්ථක පිළිතුරැ සොයා දී හමාරය. ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන 46ක් පිළියෙළ කළ අතර අයි.ඩී.එච්. වසංගත ‍රෝග විද්‍යායතනයට අලුත්ම වාට්ටුවක් දින කිහිපයකදී කඩිනමින්ම තනා දුන්හ. 

එම්.ආර්.අයි. හෙවත් වෛද්‍ය පර්යේෂණායතනයේ වෛරස විද්‍යාඥ ජූඩ් ජයමහ ප්‍රධාන වෛරස රෝග අංශය ලොව වෙන කිසිදු රටක සිදු නොකෙරෙන තරම් වූ වේගයකින් එනම් පැය 06ක් වැනි සුළු කාලයකින් කොවිඩ් 19යට හේතූකාරකය වන  SARScov2 වෛරස   හඳුනා ගැනීමේ පී.සී.ආර්. Pcr, පරීක්ෂණ සිදුකළහ. ඔවුන් හා සමානවම ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ වෛද්‍ය පීඨයේ, ඩෙංගු රෝග පර්යේෂණ ඒකකයේ ප්‍රධානී මහාචාර්ය නිලීකා මලවිගේ ප්‍රමූඛ විද්‍යාඥ පිරිසද මේ පරීක්ෂණ කඩිනම් කිරීමට එක්වූහ. දිවයින පුරා රෝහල් කිහිපයක්ම කොවිඩ්19 සඳහා වෙන් කරන්නට යෙදිණි. නැගෙනහිර කොළඹ රෝහල හෙවත් මුල්ලේරියාව රෝහල, වැලිකන්ද රෝහල, නෙවිල් ප්‍රනාන්දු රෝහල මෙන්ම කොතලාවල ඇකඩමියේ වෛද්‍ය පීඨයට අයත් ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයද මේ සඳහා වෙන්කර තිබේ.

ලංකාව තුළ කොවිඩ් 19 සඳහා ඖෂධයක් ලෙස භාවිතයට මැලේරියා ඖෂධය යොදා ගැනීම ගැන අවධානය යොමුව තිබේ. එය තබාගත යුත්තේ වෛද්‍ය අධික්ෂණය යටතේය. ජපානයේ නිෂ්පාදිත ‘අවිගන්’ නමැති ඖෂධය ගැන කතාබහ ඉහළ ගියද එයට එරෙහිව බොහෝ දෙනා අවිගත්හ. එය සාර්ථකව ඇත්තේ තවම පර්යේෂණාගාර මට්ටමේදී පමණක් බව ශ්‍රී ලාංකීය වෛරස මහාචාර්ය මලික් පීරිස් පවා අදහස් දක්වා තිබුණි.

මේ අතර කොවිඩ් සඳහා වූ පළමු එන්නත ගිය සතියේ අත්හදා බලන්නට යෙදිණි. ඒ සඳහා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්ව සිටියේ කාන්තාවකි. ඉතා ඉක්මණින් සාදා නිමකළ ලොව පළමු කොවිඩ් 19 වළක්වන එන්නත තම පරීක්ෂාව සඳහා තම සිරුර මෙන්ම ජීවිතයද ඇය නිර්භීතව අවදානමකට ලක්  කළාය. කොවිඩ් 19ට එරෙහි නව එන්නතක පළමු පරීක්ෂණ  වඩිය මුලින්ම ලබාගත් ඇය  43 හැවිරිදි දෙදරු මවක වන ජෙනිෆර් හොලර්ය. අමෙරිකාවේ මැසසුචෙස්ට්වල පිහිටි ජෛව තාක්ෂණික ආයතනයක් වන Moderna Inc, තමන් ඉතා ඉක්මණින්ම වෛරසය පැතිර යාම වළක්වන එන්නතක් නිපද වූ බව ප්‍රකාශ කළේ මේ නොබෝදාය. ඔවුන්ට එය මිනිසුන් හට එන්නත් කර එහි ක්‍රියාකාරීත්වය සහ සාර්ථකත්වය ගැන හදාරන්නට අවශ්‍යව තිබුණි. නොදන්නා වෛරසයකට එරෙහිව තැනූ නොදන්නා රසායනිකයන් ඇතුළත් ආගන්තුක නව නිපැයුමක් වන මේ එන්නත පරීක්ෂාවට නිර්භීතයන් අවශ්‍යව තිබුණි. අන්තිමේ ඒ සඳහා හොලර් ඉදිරිපත් වූවාය.

කොටස් දෙකක් හැටියට දෙවරකට ලබාදෙන මේ එන්නත පළමු ඒකකය පසුගිය 16දා ඇයට එන්නත් කරන්නට යෙදුණි. දෙවැනි වඩිය ලබාදෙන්නේ තව මාසයක කාලයකිනි. වෛද්‍ය ලීසා ජැක්සන් ප්‍රධානත්වයෙන් සිදුවන මේ පරීක්ෂණය සාර්ථක වුවහොත් එන්නත වානිජ වශයෙන් නිපදවා බෙදාහරින්නට තව මාස 12-18 අතර කාලයක් ගතවිය හැකි බව ඇය කියයි. වෛරසය ශරීරගතව නැති අයට පූර්ව ආරක්ෂාව සඳහා ලබාදෙන මේ එන්නත පරීක්ෂාවට හොලර් මහත්මිය සමග තවත් 44 දෙනෙක් ඉදිරිපත්වුහ. මේ අය වයස 18ත් 55ත් අතර නිරෝගී පිරිසක් වූ අතර ඔවුන්ද හොලර් මහත්මිය මෙන් ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වූ අයය.

මේ අතර වාර්තා වූයේ චීනයද එබඳුම එන්නතක් අත්හදා බැලීම් ආරම්භ කරන බවය. මේ අනුව නිරෝගී මිනිසුන් 108 දෙනෙකු මෙම COVID-19 එන්නත අත්හදා බැලීම සඳහා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වීමට නියමිතය. 108 සැලකෙන්නේ චීන ජ්‍යොතිෂ්‍යය අනුව සුබ ඉලක්කමක් ලෙසය. නිරෝගී මිනිස් ශරීර තුළ මෙම වැක්සිනය අත්හදා බැලීම සිය පර්යේෂණවල ‘පළමු අදියර බවද චීනය පවසයි. මාර්තු 16 සහ දෙසැම්බර් 31 අතර කාලය තුළ මෙම 108 දෙනා එන්නත් පරීක්ෂාවට ලක් කෙරෙනු ඇත. සායනික පරීක්ෂාවන් සඳහා චීන හමුදාව සමග හොංකොං අනුමැතිය ලත් කැන්සිනෝ බයොලාජික්ස් සමාගම එක්වීමට නියමිතය. මෙම එන්නත නිපදවා තිබෙන්නේ චීන මහජන හමුදාව (PLA)ට අනුබද්ධිත චීනයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ හමුදා ඇකඩමිය විසිනි. එසේ වුවද 2021 වසර මැද භාගය වන තෙක් මෙම එන්නත් පූර්ණ වශයෙන් පරීක්ෂා කර රෝගයට ඔසුවක් ලෙස නිර්දේශ කිරීමට හැකියාවක් නොමැති බව ඔවුන්ද කියති.

මේ වනවිට භාවිතයේ ඇති ඔසුවක් පිළිබඳවද බලාපොරොත්තු මතුව ඇත. ඒ කියුබානු ඔසුවකි. 1986 දි කියුබානු ජෛවතාක්ෂණික සහ ජාන ඉංජිනේරු මධස්ථානය නිපදවූ Interferon Alfa 2B නමැති ඖෂධය කොවිඩ් - 19 සඳහා දැන් සාර්ථකව භාවිතා කරන ඖෂධය බවට පත්ව තිබේ. චීනයේ වූහාන් රෝහල්වල භාවිතාවෙන් මෙහි සාර්ථකත්වය පසක් කරගෙන හමාරය. මේ ඖෂධය මේ වනවිට ඩෙංගු, එච්.අයි.වී. ඒඩ්ස්, හෙපටයිටීස් බී සහ සී, හර්පීස් වැනි භයානක රෝග සඳහා සාර්ථකව භාවිතා කළ මර්දකයකි. රෝග කාරක වෛරස මිනිස් සිරුරට ඇතුළු වී ඇතත් ඒවාට සෛල තුළ ගුණනය වෙමින් වර්ධනය වීමට බාධා කිරීම මේ ඖෂධය මගින් සිදු කෙරෙයි.

චීන විද්වතුන් කොවිඩ් 19 පාලනය සඳහා මේ ඖෂධය භාවිතා කරන්නට වූයේ එම වෛරසය මගින් මිනිස් සිරුරේ ස්වභාවික ප්‍රතිශක්ති ආකරයක් වන ඉන්ටෆෙරොන් නිෂ්පාදනය පහත දමන බව හඳුනාගැනීමත් සමගය. මෙම කියුබානු ඖෂධය එකී ඉන්ටෆෙරොන් අවශ්‍යතාව සපුරාලමින් ප්‍රතිශක්තිය වර්ධනයට සමත් වූවකි. මේ නිසා මෙතෙක් දුරකට කොවිඩ් 19 සඳහා සාර්ථකත්වයක් දැක්වූ ඖෂධයක් ලෙස කියුබාවේ Interferon Alfa 2B සැලකිය හැකිය. මේ වන විට රෝගීන් 1500ක් පමණ සුවපත් කිරීමට මේ ඖෂධය සමත්ව තිබේ.

මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය මෙය සාමාජීය ලෙස පැතිර යාමේ අවදානම තහවුරැ කරයි. ඒ අතර කොරොනා වෛරස පිළිබඳ නිකුත් වූ පර්යේෂණ වාර්තාවක් ඇඟහිරි වැටෙන එළිදරව්වක් සිදුකළේය. ඒ මෙම නව වෛරසය පැය 8කට ආසන්න කාලයක් වාතයේ රැඳී සිටින බවට වූ ප්‍රකාශයයි. මේ සමඟ අත සේදීම හා සමානව නැතිනම් එයටත් වැඩි ප්‍රමුඛතාවයක් සමාජ පුද්ගලික දුරස්ථභාවය පවත්වා ගැනීම සඳහා යෙදිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය තදින්ම කියා සිටියේය. අද ජගත් සංවිධානය සහ රට රටවල සෞඛ්‍ය බලධාරීන් එකහෙළා මේ ප්‍රතිපත්තිය මත සිට ක්‍රියාකරයි. එහිදී කාගේත් එකඟත්වය පළවන්නේ සමාජ දුරස්ථභාවය (social distancing) හෙවත් සමාජයේ ජීවත් වනවිට හමුවන සෙස්සන්ගෙන්  ඈත්ව සිටීමේ ක්‍රියාදාමයටයි. වෛරසය පැතිරීම සීමා කිරීම පිණිස සැලසුම් කර ඇති සියලු පියවර අතර කේන්ද්‍රීය අංගයක් වනුයේ සමාජ දුරස්ථ භාවයයි. ඉතා සරලව දක්වන්නේ නම් සමාජ දුරස්ථභාවය යන්නෙන් දැක්වෙන්නේ වර්තමානයේ අප මුහුණ පා සිටින ව්‍යසනය හමුවේ සමාජයීය වශයෙන් තාවකාලිකව එකිනෙකාගෙන් කායිකව ඈත් වී සිටීමයි. 

ඒ අනුව අමුතුවෙන් නොකීවත් පෙනී යා යුතු, වැදගත්ම දෙයක් වන්නේ කැස්ස, කිවිසුම් යාම හා උණ ඇතුළු  රෝග ලක්ෂණ පෙන්නුම් කරන ඕනෑම පුද්ගලයකු හා නිරෝගී අය අතර  අඩි හයේ පරතරයක් තබා ගැනීමයි. ශාරීරික වශයෙන් දුරස්ථ වීමත් සිදුකරන අතරම  නියම ආකාරයෙන් අත් සේදීම, ඔබ පමණක් නොව (බොහෝ විට ඔබේ පවුලේ අය සහ සමීප නෑයන් මිතුරන් වන) ඔබ අවට සිටින අය ආරක්ෂා කිරීම පිණිස වැදගත් වන්නේය. මන්ද, රෝග ලක්ෂණ නොමැතිව පවා වෛරස පැතිරිය හැකි හෙයිනි.

එසේම ඔබ බැහැරට ගොසින් (නිවස) ඇතුළට ආපසු එන විට, කෑම ගැනීමට පෙර සහ වයස්ගත වැඩිහිටියන් සහ බරපතල නිදන්ගත වෛද්‍ය තත්ත්වයන් තිබෙන අය ඇතුළුව කොවිඩ් 19 ට වඩාත් ගොදුරු විය හැකි අය සමඟ එකට සිටිමින් කාලය ගත කිරීමට පෙර දෑත් හොඳින් සේදිය යුතුය.  

වෛරසය පැතිර යන සීඝ්‍රතාව සලකන විට ලෝක ජනගහනයෙන් සැලකිය යුතු පිරිසකට ඊට ගොදුරැ වීමේ අවදානම දැන් මහ ඉහළින් පවතී. රෝගය වැළඳුණොත් ඒ සෑම දෙනාටම ප්‍රතිකාර ලබාදිය යුතුයි. බොහෝවිට ආසාදිත සංඛ්‍යාව වැඩි වෙත්ම මෙය අනිවාර්යයෙන්ම ගැටලු සහගත වෙයි. ඇරත් ප්‍රතිකාර කළද රෝගයෙන් මියයාමේ අවදානම පවතී. එහෙයින් හොඳම ක්‍රියා මාර්ගය වෛරසය පැතිරීම වළක්වා ගැනීම බව පැහැදිලිය. සෞඛ්‍ය සේවාවේ ‘ධාරීතා මට්ටම’ ලෙසින් හැඳින්වෙන සීමාව පැනයාමට පෙර රෝගය පාලනය කර ගතයුතු බව විශේෂඥයෝ පෙන්වා දෙති. එනම් සෞඛ්‍ය අංශවලට බලාකියාගන ඖෂධ ලබාදිය හැකි ප්‍රමාණයයි. මේ වනවිට අමෙරිකාවේ පවා එරට ‘ධාරීතා මට්ටම’ සීමාව ඉක්මවා ගොසිනි. ඉතාලිය එම සීමාව පැන යාමේ අමිහිරි තත්ත්වයට මුහුණදී සිටී. ලංකාවේ මේ සීමාව අතිශය සීමාසහිතය. එහෙයින්ම වෛරසයෙන් ඈත්වී සිටීමට එකිනෙකා අතර අඩි 6ක දුර සීමාවක් පවත්වා ගැනීමේ වගකීමක් අප කා හටත් පැවරී තිබේ. එසේ නොවුණහොත් අප සියල්ලන්ටම පොළොව  යට අඩි 6කට සීමාවන්නට සිදුවනු ඇත.

 සුගත් පී. කුලතුංග ආරච්චි
ඡායාරූප සහ ග්‍රැෆික් අන්තර්ජාල උපුටාගැනීම්ය