2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා

මාලිගයට ටටාබායි.. මහ රැජණත් පලායයි..! චාල්ස්ටත් කොරෝනා!

 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:30 368

අලුත්ම වසංගතය කොව්ඩ්19 හේතුවෙන් හුටපට රැසක් ලොව පුරා හටගත්තේය. කොටින්ම මහ රැජනටත් උන් හිටි තැන් අහිමිව ගියේය. චාර්ල්ස් කුමරුද ලෙඩෙක් විය. සමහරු ලෙඩෙන් බේරෙන්නට ගවමුත්‍රාද පානය කළහ. ඊශ්‍රායලයේ කිසිසේත්ම එක්කරන්නට නොහැකිව සිටි එදිරිවාදිහු කොවිඩ් 19නිසා එකගෙයි කෑමකට මනාප වන ලකුණු පහළකළහ. ‘මාස්ක්’ හිඟය, සෞඛ්‍ය ආධාරක ද්‍රව්‍ය ගසා කෑම තැන තැන අවුල් මතු කළේය. හොරකම් මැරකම් පැතිර ගියේය. ඉවක් බවක් නැතිව පොදිකමින් සුපර් මාර්කට්වල රාක්ක හිස් කරන ‘මාර්කට් ගුල්ලන්’ ද ලෝකය පුරාම පොදු දසුනක් විය. කොවිඩ් 19 නිසා ලෝකයේ තැන තැන අමුතු සිද්ධි රැසක්ම වාර්තා විය.

ලොව දිගම ගුවන් ගමන !

ලොකයේ මෙතෙක් වාර්තාගත දිගම ගුවන් ගමන සිදු වූයේද කොවිඩ්19 හේතූ කොටගෙනය. මාර්තු 14දාය. ප්‍රංශ පොලිනීසියානු පැපීටි දූපත්වල සිට ප්‍රංශය දක්වාය.

ප්‍රංශ ගුවන් සේවයේ එයාර් තහිටි නූයී යානයක් සිය සුපුරුදු ගුවන් ගමනට 14දා පිටත් වු අතර එහි ගමනාන්තය වූ ප්‍රංශයට ළඟාවීමට පෙර සාමාන්‍යයෙන් වෙනදා යානය ලොස් ඇන්ජලීස්වල නවත්තන්නට යෙදේ. නමුත් මෙදා කොවිඩ්19 භීතිකාව හේතුවෙන් ගොඩබෑම තහනම්ව තිබූ නිසා යානයට පොලිනීසියා පැපීටි දූපතේ සිට ප්‍රංශයේ චාර්ල්ස් ඩිගෝල් තොටුපළ දක්වා හැල්මේ යාමට සිදුව තිබුණි. ඒ දුර සැතපුම් 9,765කි. මෙය වානිජ මගී ගුවන් යානයක් එකවර ගිය දිගම දුර ලෙස වාර්තාවේ. පියසර අංක TN064 පැපීටි දූපතෙන් පිටත්ව තිබුණේ 14දා පාන්දර 3ට පමණය. එය ප්‍රංශය වෙත ආවේ 15දා උදේ 6.30ට පමණය. මේ යානය බෝයිං ආයතනයේ නව පරපුරට අයත් ද්විත්ව එන්ජිම සහිත Boeing 787-9,  Dreamliner යානයකි.පසුගිය සතියේ බොහෝ ගුවන් යානා තිබුණේ අහස්තලය සිසාරා සැරි සරමින් ගොඩබසින්නට සුදුසු තැනක් සොයමිනි. යානා නැවැත්වීමේ පහසුව සෑමතැනකම නොමැති වීමත්, ගුවන් ගමන් සීමා පැනවීමත් හේතුවෙනි.

ලොව පළමු රාජකීය ආසාදිතයා!

ලොව පළමු රාජකීය ආසාදිතයා හැටියට සැලකිය හැක්කේ මොනාකො රටේ ඇල්බට් කුමරුය. ඇලබට්ගෙන් චාල්ස් කුමරුටත් ලෙඩේ බෝවුණා දැයි දැන් සැකයක් මතුව තිබේ. පසුගිය සතියේ ඇල්බට් උන්නේ පුණ්‍යාධාර වැඩපිළිවෙළක් සඳහා ලංඩනයට පැමිණය. එහිදී ඔහු චාල්ස් කුමරුට මුහුණලා වාඩිවී කමින් බොමින් සිනාවෙමින් පුණ්‍ය කටයුතු ගැන කතාබහක යෙදී සිටියේය. එදා සිට දින 9ක් යන්නට මත්තෙන් මේ පුංචි රාජ්ජයේ නායකයා වෛරස ආසාදිතයෙක් බව වාර්තා විය. මොනාකෝවේ මේ වනවිට ආසාදිතයන් ඇත්තේ 09 දෙනෙක් පමණය. මරණ නැත. වයස 62ක් වන ඇල්බට් කුමරු වයසින් වැඩිම ආසාදිතයාය.

මහ රැජණත් පලායයි!

තමන්ට ඉහෙන් බහින රෝගයක් හටගන්නේ නැතැයිද, වසංගතයනු දුප්පත් රටවලට පමණක් උරුම දෑවැද්දක් යැයිද සිතා උන් හිරු නොබසින අධිරාජ්‍යයටද අන්තිමේ කොවිඩ් මාරයා කඩා පැන්නේය. ඉකුත් බ්‍රහස්පතින්දා වනවිට එරට මරණ ගණන 465ට ලංවෙද්දි  අසාදිත සංඛ්‍යාව 9529ට කිට්ටු කළේය. මහ රැජන මෙතෙක් දිනක් උන්නේ බකිංහැම් මාළිගාවේය. ඇගේ 94 වෙනි උපන් දිනයට තව ඇත්තේ සති කිහිපයකි. මැයි සහ ජූනි මාසවල අමුත්තන් 30000ක් එක්වන මහා බාලකටද ඇය පිඹුරුපත් සකසා තිබුණි. එසේ තිබියදී හදිසියේම බකිංහැම් වෙතින් පිටව ගිය ඈ සිය ගම්බද වින්ඩ්සර් මාළිගයට කොටු වූවාය.

ලන්ඩනයේ තත්ත්වය එන්න එන්නම නරක අතට හැරීම නිසා ඇය මෙලෙස හදිසියේම ඇත පළාතකට පළාගිය බව වාර්තා විය. නමුත් බකිංහෑම් ප්‍රකාශකයන් මේ කතාව ප්‍රතික්ෂේප කරමින් ඇය සති අන්තය ගතකර නැවත ජනතාව වෙත එන බව කීය. ලොව වයස්ගතම රාජකීයයාද වැඩිකලක් බලය හොබවන පාලකයාද වන මහරැජන සහ දැනට 98 වැනි වියේ පසුවන රාජකීය පුරාවස්තුවක් බඳු ඇගේ වල්ලභ පිලිප් කුමරු යන දෙදෙනාම ඉදිරි සතියේදි වඩාත් දුර බැහැර පිහිටි සැන්ඩිග්‍රෑහැම් බලා යන්නට නියමිතය. බකිංහෑමය ජනාකීර්ණ ලංඩන් නගර මැද පිහිටා ඇති අතරම එහි සේවක පිරිස පමණක් 500ක් පමණ වෙති. වින්ඩ්සර් මාළිගය ගම්බද වුවද එහිද 100කට ආසන්න සේවක පිරිසක් නිබඳවම ගැවසෙති. මේ නිසා වයස්ගත උදවියට වඩාත් අපල ගෙන දෙන කොවිඩ් 19 වසංගතයෙන් බේරි ඉන්නට හොඳම තැන සේවකයන් අතලොස්සක් පමණක් සිටින සැන්ඩිග්‍රෑහැම්ය.

චාල්ස් කුමරුටත් කොරෝනා!

හිරු නොබසින අධිරාජ්‍යයේ  චාල්ස් කුමරුටත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි දැන්  තහවුරු කර ඇත. චාල්ස් කුමරු හා බිරිඳ කැමිලා මේ වනවිට ස්කොට්ලන්තයේ බැල්මොරල්හී ස්වයං නිරෝධායනයට ලක්ව සිටිති.

හැවිරිදි චාල්ස් කුමරුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව බකිංහැම් මාළිගය නිවේදනය කර ඇති අතර බිරිඳ කැමිලා අසාදනයට ලක්ව නොමැති බවද තහවුරු කර තිබේ. චාල්ස් කුමරු, සිය මව වන එළිසබෙත් මහ රැජින අවසාන වරට හමුවූයේ පසුගිය මාර්තු 12 වැනිදාය. ඊට දින 3කට පෙර මහ රුජින සහ පවුලේ සාමාජිකයින් පොදුරාජ්‍ය මණ්ඩල දින දේව මෙහෙයට සහභාගි වූ අතර එහිදී සමාජ දුරස්ථකරණය පවත්වාගෙන යාමට ද වගබලාගෙන තිබුණි.

එසේ වුවද චාල්ස් සහ මොනාකො රටේ ඇල්බට් කුමරු මුහුණට මුහුණ හමුවු පුණ්‍යාධාර වැඩපිළිවෙළක් සඳහා වූ රැස්වීමේදී මේ සමාජ දුරස්ථකරණය පිළිබඳව දෙදෙනාටම අමතකව තිබුණි. ඇල්බට් එම හමුවෙන් දින 9කට පසු රෝගී විය. ඉන් දින 6කට පසු චාර්ල්ස් අසාදිත බව සනාථ විය. වෛරසය රජකම් ලොකුකම් උස්මිටි භේද සලකන්නේ නැත. චාල්ස්ගේ පාඩම අපට  සමාජ දුරස්ථකරණය පිළිබඳ වගකීම අවධාරණය කර තිබේ.

ගව මුත්‍රා බොති - ගොම නාති !

ඉන්දියානුවන්ගේ ක්‍රියාකලාප විටෙක විමතියද තවත් විටෙක සිනහවද කැඳවයි. ලෝකයම විවිධ එන්නත් ඖෂධ සොයා කොඳුකැඩෙන පර්යේෂණ කරද්දි නව කොරෝනා වෛරසයෙන් ගැලවීම සඳහා ඉන්දියානුවන් පිරිසක් අලුත්ම පන්නයේ ඖෂධයක  පිහිට පතන්නට පසුගියදා එක්ව සිටියහ. එනම්, covid-19 බෝ වීම වැළැක්වීම පිණිස උත්සවාකාරයෙන් ගව මුත්‍රා පානය කිරීමය. ගොම නෑමය.

සමස්ත ඉන්දීය හින්දු සංගමයේ (All India Hindu Union) හි ප්‍රධානියා සිය සංගමයේ සාමාජිකයන් වෙත ගව මුත්‍රා පානෝත්සවයක් සඳහා එකතු වන ලෙස අරාධනා කර තිබුණි. ඒ අනුව එම සංගමයේ ප්‍රධානත්වයෙන් එම අමුතු උත්සවය පසුගිය 14දා  නවදිල්ලියේදී පවත්වන්නට යෙදිණි. එහිදී කාන්තාවන් දරුවන් ඇතුළු මහා පිරිසක් ගව මුත්‍රා බී ගොම නෑමට එක්ව උන්නේ මහත් භක්තියෙනි. ගව මුත්‍රා පානය හා ගොම ස්නානයට අමතරව ඉන්දියාව පුරා කොරෝනා මර්දනය සඳහා තවත් බොහෝ ව්‍යාජ හා හාස්‍යජනක ක්‍රියාකාරකම් දකින්න ලැබී තිබුණි. සෑම දිනකම තල තෙල් බින්දු දෙකක් උදෑසනම නාස්පුඩුවලට ආලේප කිරීමෙන් නව කොරෝනා වෛරසය වළක්වා ගත හැකිය යන්න, එවැනි එක් ක්‍රියාමාර්ගයකි.

ගව මුත්‍රා පානය ශරීරයට ඉතා හිතකර බවත්, ඒ හේතුවෙන් ලෙඩ රෝග හටගැනීමේ හැකියාව අඩු වී නිරෝගී සම්පන්නභාවය හිමිවෙන බවත් ඉන්දියාවේ හින්දුන්ගෙන් බහුතරයක් දෙනා අතීතයේ සිටම විශ්වාස කරති. වර්තමානයේ කොතරම් වෛද්‍ය විද්‍යාව හා තාක්ෂණය දියුණු වුවත්, එම විශ්වාසය ඒ ලෙසම අදටත් පවතියි.

ඊශ්‍රායලයේ එකගෙයි කෑමක්!

අරාජික කාලයක් ගෙවන ඊශ්‍රායලයට දැන් නැවතත් ජාතික ආණ්ඩුවක් ගැන  යෝජනාවක් මතුව  තිබේ. නව කොරෝනා වෛරසය හේතුවෙන් රට තුළ මතුව ඇති අර්බුද විසඳාගැනීම සඳහාය. ඊශ්‍රායල ජනාධිපති රුවින් රෙව්ලින් විසින් එම ජාතික ආණ්ඩු යොජනාව ගෙනැවිත් තිබේ. ඔහු යෝජනා කර ඇත්තේ ජාතික ආණ්ඩුවක් පිහිටුවා නව කැබිනට් මණ්ඩලයක් පත්කර කොවිඩ් 19 වෛරසය හේතුවෙන් රට තුළ මතුව ඇති ජාතික අර්බුදය විසඳා ගැනීම වඩාත් සුදුසු බවයි.

ඊශ්‍රාලයේ මේ වනවිට  නව කොරෝනා වෛරස අසාධිතයින් 200 ක් වාර්තා වී ඇති අතර මරණ කිසිවක් සිදුව නැත. එරට තුළ ආණ්ඩුවක් පිහිටුවීම අර්බුදයක් බවට පත්ව ඇත්තේ කලෙක සිටය. පසුගියදා ඊශ්‍රායල් අගමැති ධූරය යළිත් හිටපු අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු හටම හිමිවිය. වැඩිම කලක් අගමැති පුටුවේ සිටි පුද්ගලයා වන ඔහු මේ බලයට ආවේ  5 වැනි වරටය. පසුගිය වසරේ අප්‍රේල් සහ සැප්තැම්බර් මාසවලදී ඊශ්‍රායලයේ පැවති මහ මැතිවරණවලින් පසු එරට දේශපාලනය අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබුණි.  

ඊශ්‍රායල් පාර්ලිමේන්තුව සෙනෙට් සභාව යනුවෙන් හැඳින්වෙයි. පසුගිය වසරේ අප්‍රේල් මස පැවති මැතිවරණයෙන් මෙන්ම සැප්තැම්බර් 17 වැනිදා පැවති මැතිවරණයෙන්ද නෙතන්යාහු සහ ඔහුගේ ලිකුද් පක්ෂයට හෝ ප්‍රතිවාදී අපේක්ෂක බෙනී ගෑන්ට්ස්ගේ නිල් සහ සුදු පක්ෂයට හෝ බහුතරය ලබාගන්නට හැකියාවක් ලැබුණේ නැත.

එම එකම වසරේ මාස 05කින් පසු ඊශ්‍රායලයේ පැවැති දෙවැනි මහ මැතිවරණයේ ප්‍රතිඵල අනුව පෙරමුණ ගෙන සිටියේ එරට විපක්ෂ අපේක්ෂක බෙනී ගැන්ට්ස්ය. ඔවුන් ආසන 33ක් දිනාගත් අතර බෙන්ජිමින් නෙතන්යාහුගේ පක්ෂය සඳහා ලැබුණේ ආසන 31කි. එවරද කිසිම පක්ෂයක් තනිව බලය පිහිටුවීමට අවශ්‍ය ආසන 57 සපුරා තිබුණේ නැත. ඒ අනුව ඊශ්‍රායලයට යළිත් වරක් මැතිවරණයකට යාමට සිදුවිය. වසරක් වැනි කෙටිකාලයක් තුළ එරට පැවැත්වූ එම තෙවැනි මැතිවරණය ඊශ්‍රායලයට යළිත් වරක්  බෙන්ජමින් නෙතන්යාහු ලබාදුන්නේය. නමුත් ආණ්ඩුවක් පිහිටුවීම ලේසිපාසු නොවූයේ සන්ධානයක් සඳහා කිසිදු එකමුතුවක් නොවීම නිසාය. දැන් කොවිඩ් 19 හරහා පැමිණි අලුත් යෝජනාව, විරුද්ධවාදීන් එකගෙයි කෑමකට එක්කරන අතරම නෙතන්යාහුගේ පව් සෝදා හරින්නටද සමත්ව තිබේ.

අන්තර්ජාල කළුකඩත් සීල්!

අමෙරිකාවේ, Tennessee හි පදිංචිකරුවෙක් කල දුටු කල වළ ඉහගන්නට සිතුවේය. මෙම පුද්ගලයා දෑත් පිරිසිදු කිරීමේ සනීපාරක්ෂක දියර අඩංගු බෝතල් 18,000ක් අන්තර්ජාලය ඔස්සේ අලෙවි කරන්නට සැරසුනේය. ඒ ලෝ ප්‍රකට ඇමේසන් වෙළඳ සමාගම යටතේය. මෙම පුද්ගලයා දෑත් පිරිසිදු කිරීමේ සනීපාරක්ෂක ද්‍රාවණයන් අඩංගු බෝතලයක් අමෙරිකානු ඩොලර් 70කට අලෙවි කර තිබූ අතර මේ කළුකඩ ජාවාරම සොයාගත් වහාම ඇමසන් සමාගම ඔහුට එරෙහිව දැඩි පියවර ගත්තේ ඔහුගේ ඇමසන් ගිණුම අත්හිටුවීමට කටයුතු කරමිනි. අන්තිමේ ඔහු තමන් සතුව තිබූ දෑත් පිරිසිදු කිරීමේ සනීපාරක්ෂක බෝතල් 18,000 ප්‍රදේශයේ පිහිටි දේවස්ථානයකට නොමිලේ පරිත්‍යාග කර ඇති අතර සිය ක්‍රියා කලාපය සම්බන්ධයෙන් සමාව අයැද සිටියේය.

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග මෙවැනි සනීපාරක්ෂක ද්‍රව්‍යයන් වැඩි මිලකට අලෙවි කරනු ලබන අන්තර්ජාල කළුකඩ කාරයන්  සම්බන්ධයෙන්  දැඩි පියවර ගැනිම පසුගිය සතියේ සිට ඇමසන් සමාගම ආරම්භ කළේය. 

මාස්ක් ජවාරමට මහ උළු ගෙදරට!

කත්මණ්ඩුවේ දිස්ත්‍රික් ප්‍රධානියාහටද පසුගිය සතිය වැටලීම් බහුල විය. කළුකඩයේ වැඩි මිලට විකිණිමට තබා තිබූ මාස්ක් දස ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට ඔහුට සිදුවිය.

කොවිඩ් 19 අලකලංචියත් සමග රටේ මාස්ක් හිඟයක් මතුවූ අතර කළුකඩයේ සාමාන්‍ය මාස්ක් එකක් නියමිත මිල මෙන් 15ගුණයක් ඉහළ මිලකට අලෙවිවෙන බව ආරංචිය පැතිර ගියේය. ඒ සමග පුරා දින දෙකක් සිය කාර්ය මණ්ඩලය සමග මෙහෙයුමක යෙදුණු කත්මණ්ඩුවේ දිස්ත්‍රික් ප්‍රධානියාහට ‍තොග ගණනින් සැඟවූ මාස්ක් හමුවිය. සතු නාගල් ප්‍රදේශයේ නිවෙසක තිබූ මාස්ක්, 804,000ක්ද, කපාන් ප්‍රදේශයේ නිවෙසකින් මාස්ක් 106,800ක්ද සොයාගත් බව දිස්ත්‍රික් ප්‍රධානි ජනක් රාජ් දකාල් කියා තිබේ. කත්මණ්ඩුවේ කළුකඩ නීතියට අනුව මේ මාස්ක් ජවාරම්කරුවන් වසර 10කට මහ උළු ගෙදරට යැවිය හැකිය.

සැනිටයිසර් උස්සා රිමාන්ඩ්!

හොංකොං ඩොලර් 225 ක් පමණ වටිනා  සැනිටයිසර් බෝතල් හෙවත් අත්පිසිනා දියර බෝතල් 5ක් සොරකම් කිරීමේ සිද්ධියක්ද මේ අව්අස්සේ එළියට ආවේය. කොරෝනා වෛරසය පැතිර යන පසුබිමක අත්‍යවශ්‍ය භාණ්ඩයක්ව තිබෙන සැනිටයිසර් සම්බන්ධයෙන් වූ මේ සොරකම  වාර්තාවූයේ හොංකොං වෙතිනි.

හොංකොංහි  ජීවත්වන 47 හැවිරිදි එම පුද්ගලයා අදාළ චෝදනාව සම්බන්ධයෙන් දින 14ක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සුගත් පී.කුලතුංග ආරච්චි