2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා

මුඛ ආවරණ (Mask) පළදින-ගලවන නිවැරදි ක්‍රමය

 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, පෙ.ව. 06:30 93

ලොව පුරා රටවල් බොහොමයක ව්‍යාප්තව පවතින කොරෝනා වෛරසය - කොවිඩ් 19 ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත වීමත් සමඟ ශ්‍රී ලාංකිකයන් පත්ව සිටින්නේ අවදානම් අවස්ථාවකය. මේ නිසා මෙම Covid-19 වෛරසයෙන් ආරක්ෂා වීමේ පිළිවෙත පිළිබඳව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ජාතික හෙද පුහුණු කිරීමේ නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසා මෙසේ අදහස් දැක්වුවාය.

වෛරසය ආසාදනය වීම වැළැක්වීම සඳහා යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතු වේ. විශේෂයෙන් නිතරම සබන් හෝ alcohol sanitizer යොදා දෑත් පිරිසුදු කළ යුතු වේ. එමෙන්ම මෙම වෛරසය මුඛයෙන් හෝ නාසයෙන් ශරීරගත වීම වළක්වාගත යුතු වේ. වෙනදාටත් වඩා මෙකල තමන්ගේ පෞද්ගලික සනීපාරක්ෂක ක්‍රියාමාර්ග මගින් ශ්වසන පද්ධතිය ආශ්‍රිතව වෛරස ආසාදනය වීමේ අවදානම සීමාකරගත හැක.
කෑමට පෙර, කෑමට පසු, වැසිකිළි යාමෙන් පසු මෙන්ම පොදු ස්ථානයක ගැවසීමෙන් පසුව අනිවාර්යයෙන්ම සබන් හෝ alcohol sanitizer යොදා දෑත් හොඳින් සෝදාගත යුතුය.

යම් ලෙසකින් පසුගිය දින කිහිපය තුළ තමන් අනාරක්ෂිත ප්‍රදේශයක ජීවත් වූවා හෝ එවැනි අනාරක්ෂිත පුද්ගලයන් ඇසුරැ කළ බව හැඟේ නම් තමන් විසින්ම ස්වයං නිරෝධායනයට යොමුවිය යුතුය.
මේ කාලසීමාව තුළදීවත් තමන්ටම වෙන්වුණු පෞද්ගලික තුවාලයක්, පිඟානක් කෝප්පයක් වෙන්කර තබාගන්න. පවුලේ සාමාජිකයන් සමඟ එවැනි දෑ හවුලේ පරිහරණය කිරීමෙන් වළකින්න.
උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ ආසාදනය හෝ හුස්ම ගැනීමේ අපහසුතාවයක් පවතී නම් වහාම වෛද්‍යවරයකු වෙත යොමුවිය යුතු වේ. මේ සඳහා පවුලේ වෛද්‍යවරයා හෝ පෞද්ගලික රෝහලකට නොගොස් වහාම රජයේ රෝහලකට ගොස් අවශ්‍ය ප්‍රතිකාර හා පරීක්ෂණ වෙත යොමුවිය යුතුය. රෝහල කරා යන අවස්ථාවේ දී මුඛවාඩමක් (mask) පැළඳ යාම අනිවාර්ය වේ. මේ දිනවල දී තමන්ට අවදානමක් ඇතැයි හැඟුණොත් හෝ යම් සැකයක් පවතී නම් (ආසාදිතයන් සමීපව ඇසුරැ කළ බවට හැඟේ නම්) වහාම රජයේ රෝහලකට ගොස් අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබාගන්න.

විසවිසවලින් තොර නිවෙසේ දී පිසූ ආහාරපාන ආහාරයට ගන්නට වගබලා ගන්න. විශේෂයෙන් මස් සහ බිත්තර හොඳින් පිස ආහාරයට ගන්න.
වෙනත් කෙනකු හා කතාබහ කරන විටදී මීටර් එකක පමණ දුරක් පවත්වා ගැනීමට නිතරම උත්සාහ ගත යුතුය. වැඩි වශයෙන් මගීන් යන බස්රථවල, දුම්රියේ ගමන් කිරීම සීමා කළ යුතුය. බොහෝ විට මෙවැනි පිරිස් අතර ආසාදිත පුද්ගලයන් හෝ ආසාදිත පුද්ගලයන් ඇසුරු කළ අය ද සිටිය හැක.

කාර්යාලයේ හෝ පොදු ස්ථානවල තබා ඇති පෑන් හෝ වෙනත් දෑ පරිහරණය කිරීම සීමා කළ යුතුය. නිතරම තමන්ගේ බෑගයේ හෝ සාක්කුවේ තමන්ටම වෙන්වුණු පෑනක් තබාගන්න. යම් හෙයකින් තව කෙනකුගේ පෑනක් ඔබට ඇල්ලීමට සිදුවූවා නම් ඉතා ඉක්මනින් අත් සෝදාගන්න. ඔබ නොදැනුවත්වම එම පෑන ඇල්ලූ දෑතින්ම ඔබ මුහුණ හෝ මුඛය ඇල්ලිය හැක. කිසි විටෙකත් පිරිසුදු නොකළ අත්වලින් මුහුණ ස්පර්ශ නොකළ යුතුය.
වෙනත් පුද්ගලයකු පරිහරණය කරන ලැප්ටොප්, ජංගම උපාංග ඇල්ලීමෙන් වළකින්න.

කිවිසුමක් යාමේදී හෝ කැස්සක් ඇතිවන විටදී අතෙහි වැළමිටෙහි ඇතුළු පැත්තෙන් (elbow), ලේන්සුවක් හෝ ටිෂූ ආධාරයෙන් තබා ආවරණය කර ගන්න.
නාසය, මුඛය සහ ඇස මගින් වෛරසය ඉතා ඉක්මනින් බෝවිය හැකි අතර නිතරම එම ස්ථාන ඇල්ලීමෙන් වැළකී සිටින්න.
සෙනග වැඩිපුර ගැවසෙන රෝහල්, බස් නැවතුම්පොළ, බැංකු ආදී ආයතනවලදී වඩාත් සැලකිලිමත් වන්න. නිතරම ස්පර්ශයට ලක්වන දොරගුළු ආදිය ඇල්ලූ පසුව ඉතා ඉක්මනින් ඔබේ දෑත් සබන් හෝ වෙනත් ආදේශකයක් (hand gel) යොදා පිරිසුදු කර ගන්න.

මුඛ ආවරණය (mask) පළඳින නිවැරදි ක්‍රමය

සබන් හෝ alcohol sanitizer යොදා දෑත් නිසි ලෙස සෝදාගන්න.
ඔබ විසින් පළඳිනු ලබන මුඛ ආවරණයේ පළුඳු වීමක් නොමැති බව සහතික කර ගන්න.
ඔබ පළඳිනු ලබන මුඛ ආවරණයේ නිල් පැහැති වර්ණය ඉදිරිපිටට හා සුදු පැහැති කොටස මුවට සිටින සේ පළඳින්න. (සැමවිටම වර්ණය ඇති කොටස ඉදිරියට පෙනෙන සේ පළඳින්න) මෙහි ස්ථර තුනක් ඇත. ඉදිරිපිට ඇති කොටසින් යමක් ඇතුළට ඒමට නොහැකි සේ විකාශනය සිදුවේ. මැද කොටසින් වෛරස ඇතුළු වීමට නොදී ආරක්ෂා කරයි. මුවට සමීප කොටසින් එය අවශෝෂණය කරයි.
මුඛ ආවරණය මෙම වෛරසය ආසාදිතයකු අනිවාර්යයෙන්ම පැළඳිය යුතු වේ.

මුඛ ආවරණය ඉහළ කොටසේ ඇති තද දාරය (ඇතැම් මුඛ ආවරණවල සිහින් කම්බියක් ඇත) නාසයට තබා තදකර ගන්න. නිසි පරිදි ගැටගසා ගන්න.
මෙම එක් මුඛ ආවරණයක් පැළඳිය හැක්කේ උපරිම පැය අටකි. එක් වරක් භාවිත කළ මුඛ ආවරණයක් නැවත පරිහරණය කිරීමෙන් වළකින්න.

මුඛ ආවරණය නැවත ගලවද්දී

සබන් හෝ වෙනත් ආදේශක ද්‍රාවණයක් (hand gel) යොදා ඈත් පිරිසුදු කර ගන්න.
පළමුව ඔබ පැළඳි මුඛ ආවරණය යට ගැටය ලිහා දමන්න. පසුව උඩ කොටසේ ගැටය ලිහන්න.
නිසි පරිදි පියන සහිත කසළ බඳුනකට දමා ඉවත් කරන්න.
කිසි විටෙකත් මුඛ ආවරණය පළඳින කාලසීමාව අතරතුර පහළට එල්ලා වැටෙන සේ නොපළඳින්න.

අත් සේදීමේදී නිවැරදි ක්‍රමය 

දෑත්වල සබන් හෝ alcohol sanitizer ද්‍රාවණයක් යොදන්න.
පළමුව අත් දෙකෙහිම පිට අත්ල පස් වතාවක් බැගින් හොඳින් පිරිමදින්න.
දෑත්වල ඇඟිලි පුරුක් ගැටගසා පස් වතාවක් බැගින් පිරිමදින්න.
එක අතක ඇඟිලි මිටි මොළවා අනිත් අතෙහි මැද කොටසේ පස් වතාවක් පිරිමදින්න. (මෙය මාරැවෙන් මාරැවට අත් දෙකටම කරන්න.)
අත්වල ඇඟිලි පස් වතාවක් පිරිමදින්න.
හොඳින් සබන් යනතුරු අත් සෝදාහරින්න.

 දිශානි ජයමාලි කරුණාරත්න
    සේයාරූ - සුමුදු හේවාපතිරණ