2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා

නිරෝධායනයට වෛද්‍ය මධ්‍යස්ථානයයි සංචාරක නිවහනයි දන්දුන් දොස්තර සහ නීතිඥයා

 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:30 52

ගොනා පසුපස ලුහුබැඳ එන රියසක මෙන් මාසයකට ආසන්න කාලයක් තිස්සේ කොරෝනා වසංගතය ව්‍යාප්ත වෙමින් පවතී. ගම්මුලාදෑනියකුට ගමක් පාලනය කර ගන්නට බැරිවී ළතැවෙන කාලයක කොරෝනා වසංගතය ලෝකයේ රටවල් 162ක් සිය අණසක අනුව පාලනය කරමින් සිටී. චීනයේ වූහාන් නගරයෙන් ආරම්භ වූවා යැයි සැලකුණු මෙම කොරෝනා වසංගතයට තිත තැබීමට චීනයම පෙරට ඇවිත් සිටීම අපේ වගේ පුංචි රටකට ලොකු පාඩමක් කියාදෙයි.

අනෙකාගේ දුක හඳුනන රටක රටවැසියන්ගේ ආරක්ෂාව තියා තම පවුලේ ආරක්ෂාව ගැනවත් හිතන්නට අසමත් නිරෝධායනයට තප්පුලන ලෙඩුන් සිටින රටක් ලෙස ශ්‍රී ලංකාව සමහරු නැවත නැවතත් සපථ කරමින් සිටිති. කිසිදු රටකින් බාරගැනීමට අකැමැති වූ මගීන් 682ක් සහ කාර්ය මණ්ඩලය 381ක් රැගත් කොරෝනා අසාධිතයන් සහිත බ්‍රිතාන්‍ය නෞකාවට අවසරය ලැබෙන තෙක් මුහුදේ නැංගුරම් ලා තිබියදී තම රටට ඇතුළුවීමට කියුබාව ඉඩ දී තිබේ. එවන් ආදර්ශ සපයන ලෝකයේ, පුංචි රටක් වන අපේ රටේ නිරෝධායනය වෙනුවෙන් තම නිවාස ආයතන පවා දන්දෙන වෙස්සන්තරලාද මෙම පින්බිමේ නිහඬව විසීම සතුටට කරුණකි. 

හම්බන්තොට දිස්ත්‍රික් හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ චමල් සංජීව සහ ලංකා ලුණු සංස්ථාවේ හම්බන්තොට ලේවායේ වර්තමාන සභාපති නීතිඥ නිශාන්ත සඳබරණ යන මහත්වරුන් ශ්‍රී ලාංකික ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් තම මනුසත්කම් එළිදක්වන්නට පෙරට පැමිණි සොඳුරු පුද්ගලයන් දෙදෙනෙකි. එනම් තම වෛද්‍ය මධ්‍යස්ථනය සහ නිවෙස් නිරෝධායන කටයුතු කරන්නට නොමිලේම ලබාදීමට ඔවුහු ඉදිරිපත් වූහ. 

තංගල්ල - මාතර මාර්ගයේ පිහිටා තිබෙන සිව්මහල් වෛද්‍ය මධ්‍යස්ථානය වෙන් කරන ලද කාමර 12කින් සමන්විතය. මෙම ගොඩනැගිල්ලෙහි රසායනාගාර පහසුකම්, වායුසමනය කළ විශේෂ කාමර, ශල්‍යාගාර දෙකක්, විෂබීජ හරණය කිරීමේ කුටි, නේවාසික වෛද්‍ය ප්‍රතිකාර කුටි, සෞඛ්‍ය අධ්‍යාපන දේශනශාලා, සෞඛ්‍ය කාර්යය මණ්ඩල සඳහා වන කාමරවලින් සමන්විතය. 

වෛද්‍ය චමල් සංජීව මහතා මෙසේ කීවේය. “අපේ රට තුළ මිනිස්සුන් තුළ යම් තැතිගැන්මක් ඇතිව තිබෙනවා මේ වසංගතය ලංකාවේ ජීවත් වන සාමාන්‍ය ජනතාවට කුමනාකාරයෙන් බලපෑමක් එල්ල කරයිද කියන දේ පිළිබඳව. සාමාන්‍යයෙන් දෙවැනි සතියේ සිට හතරවැනි සතිය දක්වා කාලයේදී තමයි රෝගීන්ගේ වැඩි වර්ධනය වීමක් සිදුවෙනවා නම් සිදුවන්නේ. මේ රෝගයේදී අපි දැක්ක දෙයක් තමයි වෙනත් රටවලින් පැමිණි අයගෙන් රට තුළ රෝගය ව්‍යාප්ත වීම. 

එහිදී නිරෝධායනය කටයුතු කළා. සියලුම රෝගීන් කේන්ද්‍ර ගත ස්ථානයකට රුගෙන යාමේ තත්ත්වයක් තමයි දක්නට තිබෙන්නේ. යම්කිසි විදිහකින් රෝගය වැඩි ලෙස වර්ධනයක් වුණොත් පළාත් වශයෙන් නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවීමේ අවශ්‍යතාවක් පැන නඟිනවා. මම දැනට රාජ්‍ය සේවයේ රාජකාරී කරන අතරතුරදී ඉන් පරිභාහිරව පවත්වාගෙන යන පෞද්ගලික වෛද්‍ය සේවය පවත්වාගෙන යන වෛද්‍ය මධ්‍යස්ථානයක් තිබෙනවා. සියලු වගකීම් රජයට ලබාදීම වෙනුවට ජාතියක් විදිහට සියලුම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් කළ යුතු කාර්යක් ලෙස මගේ එම පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානය නිරෝධායනය කටයුතු සඳහා නොමිලයේ ලබාදීමට කැමැත්ත පළ කළා. තවදුරටත් අවශ්‍ය නම් මගේ නිවෙසත් මම ලබා දෙනවා. ලංකාවේ සිවිල් පුරවැසියෙක් විදිහට මෙය අපේ වගකීමක්. මෙම සියලු කාර්යන් ඉෂ්ඨ වෙන බව සිතමින් අපි දකිනවා සෑම වෙලාවකම වගේ රජයට, සෞඛ්‍ය අංශවලට සහ හමුදාවට ලොකු බරක් දෙනවා. ඉන් ඔබ්බට ගිහින් තනි තනි පුද්ගලයන් ලෙස මේ ජාතික කාර්යයට දායක වෙන්න පුළුවන් නම් එය තමයි කළ යුතුවන්නේ. අපිට පැවරී තිබෙන වගකීම් සහ වගකීම් සමාජ කාර්යයක් විදිහට සිවිල් පුරවැසියන් විදියට මම දැරැවේ ඉතා කුඩා ප්‍රයත්නයක් පමණයි. පෞද්ගලික අරමුණු වෙනුවට මේ කාර්යයන් සාර්ථකව ඉෂ්ඨ කර ගන්නට පුළුවන් නම් එය තමයි අපි රජයට කරන ලොකුම සහයෝගය ලෙස මම දකිනවා.”

තිදරු පියකු වන වෛද්‍ය චමල් සංජීව මහතා හම්බන්තොට දිස්ත්‍රික් හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යකෂවරයෙක් වෙයි. තවද ඒ මහතා මේ වනවිට කොළඹ පශ්චාත් වෛද්‍ය උපාධි අධ්‍යාපන ආයතනයේ ලේඛකාධිකාරීවරයා ලෙස කටයුතු කරන අතර රෝහල් පරිපාලනය පිළිබඳව විශේෂඥ වෛද්‍ය උපාධිය හදාරන්නෙකි. චමල් සංජීව මහතා තංගල්ල ප‍්‍රාථමික විද්‍යාලය සහ තංගල්ල රාහුල විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය ද වීරකැටිය රාජපක්‍ෂ විද්‍යාලයෙන් ද්විතික අධ්‍යාපනය ද හදාරා ඇත. 2003 වර්ෂයේදී රුහුණු විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය සම්පුර්ණ කළ චමල් සංජීව මහතා රෝහල් පරිපාලනය සහ රාජ්‍ය පරිපාලනය පිළිබඳව පශ්චාත් විද්‍යාපති උපාධිය සම්පූර්ණ කර ඇත. 

International Agency For Standards and Rating (IASR) ආයතනය විසින් ලබා දෙන  2017 වසරේ සෞඛ්‍ය අංශයට අදාළ විද්‍යාත්මක පර්යේෂණ වාර්තා ඉදිරිපත් කිරිමේදී ඒ සඳහා වන ඉහළම ජාත්‍යන්තර ඇගයීමක් වන  Global Award For Academic Championship 2017 සම්මානය හිමිකරගැනීමටද වෛද්‍ය චමල් සංජීව මහතා සමත් වූයේය. සමාජ ආර්ථික දේශපාලන හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විද්‍යාත්මක හා විචාර ලිපි ලිවීමේ හපන්කම් දක්වන වෛද්‍ය ජී.ජී. චමල් සංජීව මහතා ප‍්‍රධාන පෙළේ වෛද්‍ය ග‍්‍රන්ථ 05 ක කතුවරයෙක් ද වෙයි. තවද ඔහු ලංකාවේ ප‍්‍රධාන පෙළේ ජාතික පුවත්පත් කිහිපයකට විශේෂාංග ලිපි සපයන්නෙකු ද වෙයි. 

ප්‍රාදේශීය ලෙස නිරෝධායන කටයුතු සිදුකළ යුත්තේ කෙසේද යන යෝජනාවලියද තමන් පෞද්ගලිකව ජනාධිපතිතුමාට ලබාදීමට අදහස් කර ඇතැයිද නිරෝධායන කටයුතුවලදී සහ වෛද්‍ය ප්‍රතිකාරවලදී රෝහල් පරිපාලකයකු ලෙස සක්‍රීයව සේවය කිරීමටද තමන් කැමැති බව වෛද්‍ය චමල් සංජීව මහතා කීවේය. විදේශ ගතව සිට නිරෝධායනය නොවී සැඟවී සිටින අයවලුන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වෙතොත් තමා පෞද්ගලිකව හමුවන ලෙසද ඔහු ඉල්ලීමක් කරයි.

ලංකා ලුණු සංස්ථාවේ හම්බන්තොට ලුණු ලේවායේ වර්තමාන සභාපතිවරයා ලෙස කටයුතු කරන නීතිඥ නිශාන්ත සඳබරණ මහතා ද තමාට අයත් තෙමහල් නිවෙස නිරෝධායන කටයුතු සඳහා නොමිලයේ රජයට ලබාදීමට කැමැති බව කීවේ ඔහු සතු සොඳුරැ ගතිපැවතුම් නිසාවෙනි.

සංචාරක නිකේතනයක් ලෙස පවත්වාගෙන යාම සඳහා කාමර 8ක් සහ නාන කාමර 5ක් සහිතව ඉඳිකර තිබූ තෙමහල් නිවෙස නිරෝධායන කටයුතු සඳහා ලබාදීමට නිශාන්ත සඳබරණ මහතා තීරණය කර ඇත. මාතර - කතරගම ප්‍රධාන මාර්ගයේ රන්න නගරයේ සිට කිලෝමීටරයක් පමණ දුරින් මෙම නිවෙස පිහිටා ඇති අතර ප්‍රධාන මාර්ගයේ සිට මීටර පනහක් පමණ ඉඩම තුළට වන්නට නිවෙස පිහිටා තිබීමත් ආරක්ෂිත තාප්පයක් නිවෙස වටා ඉදිකර තිබීමත් නිරෝධායන කටයුතු සඳහා සුදුසු වන බව සිතිය හැකිය.

සිව්දරු පියකු වන නීතිඥ නිශාන්ත සඳබරණ මහතා බෙලිඅත්ත සිටිනාමළුව කණිෂ්ඨ විද්‍යාලය සහ නුගේගොඩ ශාන්ත ජෝන් මහ විද්‍යාලයෙන් ප්‍රාථමික සහ ද්විතියක අධ්‍යාපනය හදාරා ඇති අතර වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් පෙළ හදාරා ඇත. 1993 වර්ෂයේ දෙසැම්බර් මස 15 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයකු ලෙස දිවුරුම් දීමෙන් අනතුරැව එවකට ජ්‍යෙෂ්ඨ නීතිඥයකු වූ මහින්ද රාජපක්ෂ මහතා යටතේ කණිෂ්ඨ නීතිඥයකු ලෙස සේවය කර ඇත. සාගර විශ්වවිද්‍යාලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයකු, වරාය නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු, මඟනැඟුම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂවරයා ලෙස නීතිඥ නිශාන්ත සඳබරණ මහතා සේවය කර තිබේ. තවද තංගල්ල රුහුණු කරළිය සංවිධානය ආරම්භ කිරීමේ පුරෝගාමියකු වන නිශාන්ත සඳබරණ මහතා තංගල්ල නගර සභාවේ උප සභාපතිවරයකු ලෙසද කටයුතු කර ඇත. උප සභාපතිවරයා ලෙස සිටි කාලයේදී සිය වැටුප තංගල්ල මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වැඩ ආරම්භ කිරීමටද ඒ මහතා යොදවා තිබිණ.

නීතිඥ නිශාන්ත සඳබරණ මහතා මෙසේ කීවේය. “නිවැරදි මාර්ගයක් ඔස්සේ කොරෝනා රෝගය පාලනය කිරීමට රජය ගන්නා උත්සාහය මම අගය කරනවා. මට රජය පිළිබඳව ලොකු විශ්වාසයක් තිබෙනවා. රටෙහි දැනට පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් රජයට සහය පළකිරීමක් වශයෙන් තමයි රන්නේ පිහිටි මගේ නිවෙස මම පරිත්‍යාග කළේ. මගේ බිරිඳ, දරුවන් සිව්දෙනා සමඟ මම මේ ගැන සාකච්ඡා කළා. ඒ අයත් ඉතාමත් කැමැත්තෙන් මේ පරිත්‍යාගය කරන්න මට සහයෝගය දුන්නා. පසුගිය සුනාමි දිනවලදී මා සතුව තිබූ මුදල් මම අසරණ මිනිස්සුන්ට ලබා දුන්නා. මට එයින් වැඩිපුර ලැබුණා. ඒ මට වැඩි වැඩියෙන් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් නෙවෙයි මම පරිත්‍යාග කළේ. මිනිස්සුන්ට ආදරය කරන කෙනෙක් විදිහට අපි සිතුවා මේ පරිත්‍යාගය කරලා අපේම මිනිසුන් බේරා ගැනීමට.” යැයි වැඩිදුරටත් පැවසුවේය.

කොරෝනා වසංගතය ඉන්දියන් සාගරයේ මුතුඇටය ගිලගැනීමට වෙරදරන  මොහොතක සැවොම එක්වී එක්ව නැගිට මෙම මරැවා පලවා හැරීමට රටවැසියන් මෙන්ම රටේ බලධාරීන් ද එකාමෙන් සිටිය යුතුය. මෙරට ත්‍රිවිධ හමුදාව රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් තමන්ගේ දිවි පුදා සටන් කරයි. ඒ ශක්තිය මේ පුංචි රටට ආශිර්වාදාත්මක පොද වැස්සකි.

සටහන සහ ඡායාරූප  
සිටිනාමළුව - අනීෂා මානගේ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00