2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා

කොරෝනා මර්දනයට අත්වැල් බැදගත් සාර්ක් නායකයෝ

 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:30 232

ලොවටම ව්‍යසනයක් බවට පත්ව ඇති නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් 19 වෛරසයට එරෙහිව සටන් වැදීම සඳහා ශක්තිමත් ක්‍රියාමාර්ගයක් ගැනීමට දකුණු ආසියාතික කලාපීය සංවිධානය හෙවත් සාර්ක් රටවල  රටවල රාජ්‍ය නායකයන් එක්විය යුතු බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර තිබිණි. එහි ප්‍රතිඵලයක් ලෙස සාක් රාජ්‍ය නායකයන් අතර විඩියෝ සංවාදයක් තාක්ෂණය ඔස්සේ පසුගිය 15 වැනි දින සවස් වරැවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 

මෙම  වීඩියෝ සංවාදයේදී කලාපයේ කොවිඩ් 19 සමඟ සටන් කිරීම සඳහා පොදු උපාය මාර්ගයක් සැකසීමට තීන්දු කෙරිණි. කෙටි දැනුම්දීමකින් මෙම සාකච්ඡාවට එක්වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මෝදි සෙසු නායකයන්ට තම ස්තූතිය පුද කළේය. සාර්ක් රටවල සමාජ සබඳතා හා අන්තර් සම්බන්ධතාවයන් පිළිබඳව අවධාරණය කරමින් ඔහු කියා සිටියේ, අභියෝගයට මුහුණ දීමට සියලු ජාතීන් සූදානම් වීම අත්‍යවශ්‍ය බවයි. එම සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණින් අගමැති මෝදි සියලු රටවල ස්වේච්ඡා දායකත්වය මත පදනම්ව COVID-19 නමින් හදිසි අරමුදලක් ඇති කිරීමට යෝජනා කළ අතර ඉන්දියාව එම  අරමුදල සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 10 ක මූලික දීමනාවක් ලබා දෙන බවද ප්‍රකාශ කළේය.  කොවිඩ් 19 වෛරසය මැඩපැවැත්වීම සඳහා වන ක්ෂණික අවශ්‍යතා සඳහා මෙම අරමුදල ඕනෑම හවුල්කාර රටකට භාවිත කළ හැකිය.

කොවිඩ් 19 නව කොරෝනා වෛරසය මේ වන විට ගෝලීයව ව්‍යාප්තවන වසංගතයක් බවට පත්ව ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර තිබෙන පසුබිමක් යටතේ අපගේ සාර්ක් කලාපයෙන් තවමත් වාර්තා වී ඇත්තේ 150කට වඩා අඩු රෝගීන් පිරිසක්. අපි මේ වෛරසය සම්බන්ධයෙන් ඉතා සුපරික්ෂාකාරීව සිටිය යුතුයි. අපි තවමත් මේ වෛරසයේ බියකුරු භාවය පිළිබඳව තවමත් හරිහැටි දන්නේ නැහැ. යනුවෙන් මෝදි පැවසීය. ඉන්දියාව වෛද්‍යවරුන් සහ විශේෂඥයන්ගෙන් සමන්විත කණ්ඩායමක් සූදානම් කරමින් සිටින අතර, අවශ්‍ය නම් පරීක්ෂණ කට්ටල සහ වෙනත් උපකරණ, වෙනත් රටවලට ලබා දීමට හැකි බවද කියා සිටියේය. දකුණු ආසියානු කලාපය තුළ වසංගත රෝග පාලනය කිරීම පිළිබඳ පර්යේෂණ සම්බන්ධීකරණය කිරීම සඳහා පොදු පර්යේෂණ වේදිකාවක් නිර්මාණය කිරීමට ද ඔහු යෝජනා කළේය. කොවිඩ් 19 නිසා ඇතිවන දිගුකාලීන ආර්ථික ප්‍රතිවිපාක හා අභ්‍යන්තර වෙළඳාමට ඇතිවිය හැකි බලපෑම සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂඥ සහය ලබා ගතයුතුයැයිද ඔහු පැවසීය.

ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සංවාදයට එක්වෙමින් මෙලෙස අදහස් දැක්වීය. 

ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් ඉතාලියේ සහ දකුණු කොරියාව වැනි රටවල සේවය කරනවා. අපට  ඔවුන් තම මව් රටට පැමිණීම වළක්වන්න බැහැ. දැනට අපේ රටේ සිද්ධීන් 11ක් වාර්තා වී ඇතත් කිසිදු මරණයක් වාර්තා වී නැහැ. අපි විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස කොළඹ අයි.ඩී.එච් රෝහල යොදාගන තිබෙනවා. එයට අවශ්‍ය සියලු පහසුකම් හා විශේෂඥ වෛද්‍යවරුන් ලබා දී තිබෙනවා. වෛරසය වැළඳුණු අය සම්බන්ධයෙන් ඉතා සුපරික්ෂාකාරීව සොයා බලන අතර ඒ සඳහා විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබෙනවා. ශ්‍රී ලංකාවේ මහා මැතිවරණය ලබන අප්‍රේල් 25 දින පැවැත්වීමට නියමිතයි. ආරක්ෂිත පියවරක් ලෙස කිසිදු ජනහමුවක් නොපවත්වන ලෙසට අපි සියල්ලන් දැනුම්වත් කර තිබෙනවා. සැලසුම් කර ඇති පරිදි මහ මැතිවරණය එදින පැවැත්වීමට අපි පියවර ගන්නවා. මේ වන විට අපගේ ආර්ථිකය යම් පමණක කඩාවැටීමකට ලක් වෙලා. විශේෂයෙන් සංචාරක ව්‍යාපාරයට මෙය බලපා තිබෙනවා. මෙම තත්ත්වය ඇතිවූයේ  පසුගිය අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු කඩාවැටුණු එම ක්ෂේත්‍රය යම් පමණකට හිස ඔසවාගෙන එන අවස්ථාවකයි. බිඳවැටුණු ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා කිසියම් ක්‍රමවේදයක් සකස් කරන ලෙසට මා සියලු සාර්ක් රාජ්‍ය නායකයන්ට යෝජනා කරන්න කැමතියි. එමෙන්ම කලාපීය ගැටලු සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා සාර්ක් අමාත්‍ය මට්ටමේ කණ්ඩායමක් පත් කරන ලෙසට යෝජනා කිරීමට මා කැමතියි. යනුවෙන් ප්‍රකාශ කළේය.

ඇෆ්ගනිස්තාන ජනාධිපති අෂ්රෆ් ඝානි කියා සිටියේ ඇෆ්ගනිස්තානය හා ඉරානය අතර විවෘත දේශ සීමාවක් පැවතීම තම රටට ඇති විශාලතම අවදානම බවයි. වෛරසය පැතිර යාමේ රටාව පාලනය කිරීම සඳහා ටෙලි වෛද්‍ය සේවා ප්‍රවර්ධනය කිරීමට පොදු රාමුවක් නිර්මාණය කිරීම සඳහා අසල්වැසි රාජ්‍ය අතර වැඩි සම්බන්ධයක් ඇතිවිය යුතුයැයි ද ඔහු යෝජනා කළේය. වූහාන් ප්‍රදේශයේ සිටි මාලදිවයින් ජාතිකයන් 9 දෙනකු ඉන් ඉවත් කර ගැනීමට හා කොවිඩ් 19 වෛරසය පාලනය සඳහා අවශ්‍ය ඖෂධ ලබා දීම සම්බන්ධයෙන් මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සොලිහ් ඉන්දීය රජයට ස්තූතිය පුද කළේය. කොවිඩ් 19 තම රටේ සංචාරක ව්‍යාපාරයට ආර්ථිකයට කරන ලද අහිතකර බලපෑම ඔහු එහිදී අවධාරණය කළේය. සාක් රටවල සෞඛ්‍ය බලධාරීන් අතර සමීප සහයෝගීතාවයක් ඇති කිරීම, ආර්ථික සහන පැකේජයක් සකස් කිරීම සහ කලාපය සඳහා දිගු කාලීන ප්‍රතිසාධන සැලැස්මක් නිර්මාණය කිරීමට ඔහු යෝජනා කළේය.

නිරෝධායන කාල සීමාව තුළ බංග්ලාදේශ සිසුන් 23 දෙනකු වුහාන් සිට ඉන්දියානු සිසුන් සමඟ නැවත ගෙන්වා ගැනීම පිළිබඳව බංග්ලාදේශ අගමැති ෂෙයික් හසීනා අගමැති මෝදිට ස්තූතිය පළ කළාය.. සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ කලාපීය ලේකම්වරුන් අතර වීඩියෝ සම්මන්ත්‍රණයක් හරහා තාක්‍ෂණික මට්ටමින් මෙම සංවාදය දිගටම කරගෙන යාමට ඇය යෝජනා කළාය. කොවිඩ් 19 ට එරෙහිව නේපාලය ගෙන ඇති පියවර පිළිබඳව අගමැති ෂර්මා ඔලි සාර්ක් නායකයින්ට දැනුම් දුන්නේය. වසංගතය සමඟ කටයුතු කිරීම සඳහා ශක්තිමත් හා පලදායී උපාය මාර්ගයක් සැකසීමට සියලු සාර්ක් ජාතීන්ගේ සාමූහික දැනුම සහ උත්සාහය ඉවහල් වන බව ඔහු පැවසීය.

ව්‍යසනයට භූගෝලීය සීමා නොමැති බැවින් සියලු ජාතීන් සහයෝගයෙන් කටයුතු කිරීම වඩා වැදගත් බව භූතාන අග්‍රාමාත්‍ය වෛද්‍ය ලෝටේ ෂෙරිං පැවසීය. කොවිඩ් 19 සියලු රටවල ආර්ථිකයටද විශාල බලපෑමක් සිදුකරන බවද  ඔහු පැවසීය. සෞඛ්‍ය තොරතුරු, දත්ත හුවමාරුව සහ සම්බන්ධීකරණය සඳහා  ජාතික බලධාරීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට සාර්ක් ලේකම් කාර්යාලයට බලය පැවරීමට පාකිස්තානය නියෝජනය කරමින් සාකච්ඡාවට සහභාගී වූ පාකිස්තාන අගමැතිගේ විශේෂ නියෝජිත වෛද්‍ය සෆර් මිර්සා යෝජනා කළේය. සාර්ක් සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව පැවැත්වීම සහ රෝග නිරීක්ෂණ දත්ත අවශ්‍ය අවස්ථවන්හි හුවමාරු කර ගැනීම සඳහා කලාපීය යාන්ත්‍රණය සංවර්ධනය කිරීමද ඔහු යෝජනා කළේය.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා.