2020 මාර්තු 14 වන සෙනසුරාදා

අයිස්වලට මාරු වෙන කුඩු ජාවාරමාලා

 2020 මාර්තු 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 80

හෙරොයින් කොකේන් තොග පිටින් දැන් වසර 30 - 40ක සිට මෙරටට එයි. නැවෙන්, ගුවන් යානයෙන් පමණක් නොව දැන් බෝට්ටුවෙන් ද මෙකී මත්ද්‍රව්‍ය මෙරටට රුගෙන එයි. ඒ නිසා මත්ද්‍රව්‍යවල අඩුපාඩුවක් හෝ හිඟයක් ඇත්තේම නැත. ගණන් එහෙ මෙහෙ වුවත් ඇති පදමට තමන්ට අවශ්‍ය දේ සොයාගැනීමට හැකියාව ඇත. ඒ නිසා මත්ද්‍රව්‍ය ජාවාරම්කරැවන්ගේ මෙන්ම කුඩුකාරයන්ගේ ද අඩුවක් නැත.   

කෙසේ වෙතත් හෙරොයින් අත්අඩංගුවට ගැනීම නතර නොවීම නිසා ජාවාරම්කරුවන් හට සිදුවන පාඩුව ගණන් කර ගැනීමට නොහැකි තරම්ය. මේ හරහා මෙරට ජාවාරම්කරුවන්ට සිදුවන පාඩුව විශාලය. ඒ නිසා ඔවුහු ඊට විකල්පයක් සෙව්වෝය. එසේම අත්අඩංගුවට ගත් පසුව නියත වශයෙන්ම හිරේ ලඟින්නට සිදුවන නිසාත්, ග්‍රෑම් දෙකට වඩා වැඩියෙන් තිබුණහොත් මරණීය දණ්ඩනය හෝ ජීවිතාන්තය තෙක් හිරේ ලගින්නට වෙන නිසාත් ජාවාරම්කරැවෝ ඊට ද විකල්පයක් සොයමින් සිටියහ.

කුඩු වෙනුවට අයිස් මත්ද්‍රව්‍ය 

ජාවාරම්කරැවෝ ඒ සඳහා විකල්පයක් සොයා ගත්හ. එතෙක් තැන තැන කුඩා පරිමාණයෙන් සිදු කරගෙන ගිය අයිස් නැමති මත්ද්‍රව්‍ය මහා පරිමාණයෙන් කුඩු වෙනුවට ආදේශකයක් හැටියට යොදා ගැනීමට ඔවුහු තීරණය කළහ. එයට හේතු කාරණා දෙකකි. එකක් පොලීසියෙන් අත්අඩංගුවට ගත්ත ද විශාල පාඩුවක් නොවන බැවිනි. දෙවැන්න දඬුවම හෙරොයින් කුඩු තරම් නොවන නිසාය. එයට හේතුව වන්නේ අයිස් ග්‍රෑම් 100ට වඩා ළඟ තිබී කොටු වුවහොත් උපරිමය වසර දහයක සිරදඬුවමක් හිමිවන අතර දඩය ලක්ෂයකි. එයට අඩුවෙන් අසු වුවහොත් දඩය පමණක් හිමිවනු ඇත. ඒ රුපියල් 7500 ක් වැනි මුදලකි. ඒ නිසා දඬුවම අඩු නිසාත් වියදම අඩු නිසාත් ජාවාරම්කරුවන් අයිස් වෙත මාරැවෙමින් ඇති බව දැනගන්නට ඇත.

හෙරොයින්, කොකේන් සේම අයිස්වලද දුම ආග්‍රාහණය කිරීම සිදු කරන නිසා ඉක්මනින් ඒ සඳහා කුඩු බොන්නන් හුරුකර ගැනීමට ද ජාවාරම්කරැවන්‍ට හැකියාව තිබේ. එබැවින් අයිස් වෙත ඔවුන් ක්‍රමයෙන් මාරැවන්නේ මේ සියල්ල නිසාම වන බව දැනගන්නට ඇත.

කුඩුවලට අඩු මිලක්

කුඩු ජාවාරම තවම අවසන් නැත. විවිධ අය විවිධාකාරයෙන් කුඩු ගෙන්වන අතර ඒ සියල්ලම මුහුදු මාර්ගයෙනි. වෙලේ සුදා, කන්ජිපානි ඉම්රාන්, සිද්ධික්, දෙමටගොඩ චමින්ද, දෙමටගොඩ රැවන් ඇතුළු සියලු දෙනා බන්ධනාගාරයේ සිට හොඳ හැටි ජාවාරමේ නිරත වෙති. මේ සියලු දෙනාම අද වන විට කුඩු ජාවාරමේ සිටින මහ මොළකරැවෝ වෙති. කෙසේ වෙතත් මේ වන විට ලංකාවට අඩු මුදලට කුඩු විකුණන්නේ මොහොමඩ් සිද්ධික්ය. ඒ කුඩු කිලෝ එක රැපියල් ලක්ෂ 22කටය. එහෙත් අනෙක් සියලු දෙනාම කුඩු විකුණන්නේ කිලෝව ලක්ෂ 28කටය. මේ නිසා මොහොමඩ් සිද්ධික් මහා පරිමාණයෙන් හෙරොයින් ව්‍යාපාරයේ යෙදෙන අයෙක් බව මේ වන විට පරීක්ෂණ කණ්ඩායම් තීරණය කර ඇත. මොහොමඩ් සිද්ධික්ගෙන් කුඩු ලබාගන්නා එකම ගැනුම්කරැ බවට දෙමටගොඩ චමින්දගේ කණ්ඩායම හඳුනාගෙන ඇතැයි ද පොලිස් කණ්ඩායම් පවසයි.

අල ගෝනි අස්සේ කුඩු

පසුගියදා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ විශේෂ කාර්ය බළකාය මගින් මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ මාර්ගයේ ගමන් කරමින් තිබූ කන්ටේනර් රථයක් පරීක්ෂා කිරීමේදී එහි අලගෝනිවල සඟවා තිබූ කුඩු කිලෝ සීයක් සොයා ගැනීමට හැකිවිණි. පාකිස්තානයේ සිට මෙරටට මෙම කුඩු තොගය ගෙන්වාගෙන ඇති අතර එය හලාවත ප්‍රදේශයට රුගෙන යන අතරතුරේ දී එය නවතා පරීක්ෂා කළ අවස්ථාවේ මෙම කුඩු තොගය සොයා ගැනීමට හැකිව තිබේ.

මේ සඳහා මාර්ගය පෙන්වමින් ගමන් ගත් පකිස්තාන ජාතිකයකු ද අත්අඩංගුවට ගැනීමට  පොලීසියට හැකි විය. මේවා අලගෝනි තුළ ඉතාම ආරක්ෂිතව අසුරා රුගෙනවිත් තිබූ අතර මේ පිරිස කිහිප වතාවක්ම මේ ආකාරයෙන් මෙවැනි කුඩු සහිත අලගෝනි ගෙන්වා ඇතැයි සඳහන් වේ.

මෙම කුඩු සහිත අලගෝනිය මේ ආකාරයෙන් එළියට පැමිණියේ කෙසේද යන්න පරීක්ෂණ කණ්ඩායම්වලට පවා ගැටලුවකි. සියලු භාණ්ඩ වරායේ දී පරීක්ෂා කරනු ලබන අතර එලෙස පරීක්ෂා කළත් මෙය මේ ආකාරයෙන් පිටතට ආවේ කෙසේද යන්න හැම දෙනාටම ගැටලුවක් වී ඇත. මේ සඳහා රේගුවේ කවුරැන් හෝ සම්බන්ධ වී ඇත්ද යන්න පිළිබඳ සැකයක් පවතින බව පරීක්ෂණ කණ්ඩායම්වල අදහසයි. කෙසේ වෙතත් මෙම කුඩු තොගය කා විසින් කා වෙනුවෙන් ගෙන ආවේද යන්න තවමත් හෙළි වී නැතැයි පොලීසිය සඳහන් කරයි.

බන්ධනාගාරයේ කුඩු ජාවාරම

වර්තමානයේ මෙරටට කුඩු ගෙන්වන පිරිස බන්ධනාගාරයේ සිටින පිරිස් බව හඳුනාගෙන ඇත. ඒ අය දුරකතනය ඔස්සේ මේ සියල්ල සිදු කරන බවත් ඒ සඳහා දුරකතන බන්ධනාගාරය වෙත ක්‍රමයෙන් ඇතුළට යන බවත් නොරහසකි. විශේෂයෙන් බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින බරපතළ කුඩු ජාවාරම්කරැවන් පවා මේ වන විට දුරකතන භාවිත කරන බවද දැනගැනීමට ඇත. එහෙත් එම දුරකතන කෙලෙස බන්ධනාගාරය තුළට යන්නේද යන්න හැම දෙනාටම ගැටලුවකි. නියත වශයෙන්ම ඒ සඳහා බන්ධනාගාරයේ නිලධාරීන් සම්බන්ධ බවට තහවුරු වී ඇත. එහෙත් එකී බන්ධනාගාර නිලධාරීන්ට විරැද්ධව නීතිය ක්‍රියාත්මක නොවන්නේ ඇයිද යන්න ද ප්‍රශ්නාර්ථයකි. එලෙස නීතිය ක්‍රියාත්මක කරන තෙක් මෙරට කුඩු ජාවාරම සහමුලින්ම නැති කළ නොහැකි බව පොලිස් නිලධාරීන්ගේ අදහසයි.

එසේ නම් මේ රටට කුඩු එන්නේ, කුඩු ගෙන්වන්නේ කවුරැත් නොව මෙම දූෂිත නිලධාරීන් සහ දේශපාලන බලය සහිත පුද්ගලයන් බව නොරහසකි. එම පිරිස් අත්අඩංගුවට නොගන්නා තෙක් මෙරටින් මත්ද්‍රව්‍ය තුරන් කිරීම සිහිනයක් පමණි.

 ගයාන් ගාල්ලගේ