2020 මාර්තු 14 වන සෙනසුරාදා

එක්සත් ජාතික පක්ෂයේ බෙදීම සුළු පක්ෂවලට අවාසියි

 2020 මාර්තු 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 109

එක්සත් ජාතික පක්ෂය තුළ නිර්මාණය වී ඇති අර්බුදය තවමත් විසඳී නැත. මේ වනවිට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කණ්ඩායම අලියා ලකුණින් හා සජිත් ප්‍රේමදාස මහතාගේ ජාතික සමගි බලවේගය දුරකතනය ලකුණින් තරග කිරීමට සූදානමින් සිටිති. 1946 සැප්තැම්බර් මාසයේ ආරම්භ කෙරුණු එක්සත් ජාතික පක්ෂය මෙලෙස බෙදී වෙන්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පාක්ෂිකයා තුළ ඇත්තේ කලකිරීමකි. කණ්ඩායම් දෙක සමගි කිරීම සඳහා සාකච්ඡා කිහිපයක් පැවැති අතර ඒවා අසාර්ථක වූ බව පැවසෙයි. මෙම කණ්ඩායම් දෙකට එක්ව තරග කිරීමේ හැකියාව තවමත් පවතින අතර එසේ නොවුණහොත් පක්ෂය කෙබඳු ඉරණමකට මුහුණපානු ඇතිදැයි අප විමසා සිටියේ ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ වැඩබලන උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේගෙනි. මේ ඒ පිළිබඳව මහාචාර්යවරයා දැක්වූ අදහස්ය.

එක්සත් ජාතික පක්ෂයේ බෙදීමක් ඇතිවුවහොත් ඉන් දෙපිරිසටම දැඩි හානියක් සිදුවිය හැකිය. රනිල් පිල හා සජිත් පිල අතර විරසකය සමතයකට පත් වී දෙපිරිසම එක්ව තරග කිරීමේ අවකාශය තවමත් පවතී. මෙම බෙදීම දේශපාලන උපාය මාර්ගයක්දැයි යන සැකයකටත් තුඩු දෙයි. එක්සත් ජාතික පක්ෂ නායකයා බොහෝ කාලයක් එම තනතුරේ සිටි, දේශපාලනික වශයෙන් විශාල දැනුමක් හා විඥානයක් සහිත පුද්ගලයෙකි. එම දැනුම නිසි ලෙස ශ්‍රී ලාංකික දේශපාලනයට එක් කිරීමට ඔහුට අවස්ථාවක් හිමි වූයේ නැත. ඔහුගේ හැකියාව හඳුනාගත්, ඔහුට කැමති විශාල පිරිසක් එක්සත් ජාතික පක්ෂයේ සිටිති. එක්සත් ජාතික පක්ෂයට මධ්‍යම පාන්තිකයන් හා ව්‍යාපාරික ප්‍රජාවගේ සහාය හිමිය. සජිත් ප්‍රේමදාස පිලට පහළ ස්ථරයේ වැඩි ප්‍රසාදයක් හිමිවන අතර රනිල් වික්‍රමසිංහ මහතාට ඉහත කී පිරිස සහාය දක්වති. එමෙන්ම බොහෝ පක්ෂවල කුලවාදය තවමත් එක්තරා සාධකයක් බවට පත්ව තිබෙන බව පෙනී යන්නකි. එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම් දෙක තුළ ද කුලවාදී බෙදීමක් පෙන්නුම් කරයි.

බොහෝවිට මෙවැනි බෙදීම් ඇතිවන්නේ පක්ෂය දුර්වල වූ විටය. උදාහරණයක් ලෙස 2015 දී එක්සත් ජනතා නිදහස් සන්ධානය දෙකට බෙදිණි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නමින් නව පක්ෂයක් බිහිවීමට බලපෑවේ එම බෙදීමය. ඒ වනවිට දකුණේ ඡන්දදායකයන් වැඩි පිරිසක් එක්ව සිටියේ මහින්ද රාජපක්ෂ මහතා සමඟය. මෛත්‍රීපාල සිරිසේන මහතාට වැඩි ඡන්ද ප්‍රමාණයක් හිමිවූයේ උතුරු නැගෙනහිර පළාත්වලිනි. මහින්ද රාජපක්ෂ මහතා දකුණේ ලබා තිබූ ප්‍රසාදය මත ඔහුට පොදුජන එක්සත් පෙරමුණ නිර්මාණය කිරීමට අවස්ථාව සැලසිණි.

එක්සත් ජාතික පක්ෂය ඉතාම දුර්වලව පැවැති 2009 මැතිවරණයේ දී ලබා ඇති ඡන්ද ප්‍රතිශතය 28% කි. පක්ෂය දුර්වල අවස්ථාවලදී එක්සත් ජාතික පක්ෂයට ලබාගත හැකි ඡන්ද ප්‍රතිශතය 25%ත් 35%ත් අතර පරාසයක පවතියි. පක්ෂය දෙකඩ වුවහොත් ඉන් වන හානිය කණ්ඩායම් දෙකටම බලපානු ඇත. ඒ මෙම ඡන්ද ප්‍රතිශතය මෙම කණ්ඩායම් දෙක අතර බෙදී යාම හේතුවෙනි. එම ඡන්ද ප්‍රමාණය රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය හා සජිත් ප්‍රේමදාස පාර්ශ්වය අතර 50% - 50% වශයෙන් බෙදෙයිද, 60% - 40% වශයෙන් බෙදෙයිද, 85% - 15% වශයෙන් බෙදෙයිද කියා අනුමාන කළ නොහැකිය. මේ දෙපිරිසටම කැමති පිරිසක් සිටිති. මහ කොළඹ ප්‍රදේශය තුළ එක්සත් ජාතික පක්ෂයට විශාල ඡන්ද පදනමක් තිබේ. එහෙත් වෙනත් ප්‍රදේශයන්හි, විශේෂයෙන් සිංහල බෞද්ධ ප්‍රදේශවල ඔවුන්ට විශාල ඡන්ද පදනමක් නොමැත. සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වුවහොත් මහ කොළඹ ප්‍රදේශයේ ඡන්ද පදනමින් කොටසක් ඔහු වෙත නතුකර ගැනීමේ ප්‍රවණතාවක් පවතී. එහෙත් බෙදීම නිසා දැඩි පරාජයකට මුහුණදීමට සිදුවිය හැකිය. අප පාවෙන ඡන්ද ලෙස හඳුන්වන්නේ නව ඡන්ද, තරුණ ඡන්ද සහ අවස්ථානුකූලව ඡන්දය ප්‍රකාශ කරන වැඩිහිටි පරම්පරාවේ ඡන්දය. කලකට පෙර මෙවන් ඡන්දදායකයන් සිටියේ 5%ත් 10%ත් අතර ප්‍රමාණයකි. එහෙත් මේ වනවිට එය 20% ඉක්මවා යන තත්ත්වයක් දැකිය හැකිය. එක්සත් ජාතික පක්ෂය දෙකඩ වුවහොත් දැනට පවතින දේශපාලන තත්ත්වය මත මෙම පාවෙන ඡන්ද කණ්ඩායම් දෙකින් එකකට හෝ නොලැබී යා හැකිය. කිසියම් අපේක්ෂකයෙක් පරාජයට පත්වන බව දැන දැන ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්දදායකයා නොපෙළඹෙනු ඇත. ඒ අනුව මෙම පාවෙන ඡන්දවලින් 80% ක පමණ ප්‍රතිශතයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවීමට ඇති ප්‍රවණතාව වැඩිය. උතුරු, නැගෙනහිර, නුවරඑළිය, බදුල්ල වැනි දිස්ත්‍රික්කවල එක්සත් ජාතික පක්ෂයට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගැනීමේ සම්භාවිතාවක් පවතී. බෙදීමක් ඇතිවුවහොත් මෙම ඡන්දවලින් වැඩි ප්‍රතිශතයක් පොදුජන පෙරමුණට හිමි විය හැකිය.

පසුගිය ජනාධිපතිවරණ ප්‍රතිඵලය අනුව සැසඳීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ආසන 128 ක් පමණ හිමිවනු ඇතැයි සිතිය හැකිය. එක්සත් ජාතික පක්ෂයට හිමිවන්නේ ආසන 75ත් 80ත් අතර ප්‍රමාණයකි. ජනතා විමුක්ති පෙරමුණට එක් ආසනයක් හා වෙනත් කුඩා පක්ෂවලට ආසන එකක් හෝ දෙකක් ලෙසින් ද උතුරු නැගෙනහිර ද්‍රවිඩ පක්ෂවලට ආසන 18 ක් පමණ ද බෙදී යා හැකිය. එක්සත් ජාතික පක්ෂයට සහාය දක්වන ඇතැම් පක්ෂ මේ වන විට තනිව තරග කිරීමේ අරමුණක සිටියි.

එක්සත් ජාතික පක්ෂය බෙදුණහොත් පොදුජන පෙරමුණට ඡන්දය ප්‍රකාශ කිරීමට අකමැති පාවෙන ඡන්දදායකයන් ජනතා විමුක්ති පෙරමුණට තම ඡන්දය ලබා දීමට පෙළඹිය හැකිය. එලෙස අහිමිවන ඡන්ද සියල්ල එක්සත් ජාතික පක්ෂයට හිමිවීමට තිබූ ඡන්දය. රට අස්ථාවර නොවිය යුතු බවත්, ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා එකම පක්ෂයක් නියෝජනය කරන්නන් විය යුතු බවටත් වන ආකල්පය ජනතාව තුළ ගොඩනැගී තිබේ. එහෙයින් එජාපයේ බෙදීම පොදුජන පෙරමුණට වාසි සහගත තත්ත්වයක් උදා කරනු ඇත.

ඇතැම් සුළු පක්ෂවල ඉරණම රඳා පවතිනුයේ කිසියම් ප්‍රධාන පක්ෂයක් සමඟ සන්ධානගත වීමෙනි. ආණ්ඩු පක්ෂය සමඟ සන්ධානගත විය නොහැකි නම් ඔවුහු විරුද්ධ කණ්ඩායමේ ප්‍රධාන පක්ෂය හා සම්බන්ධ වීමට උත්සාහ දරති. ඒ අනුව සුළු පක්ෂ බහුතරයක් රනිල් වික්‍රමසිංහ මහතා හා එක්වීමට ඇති සම්භාවිතාව වැඩිය. උතුරු නැගෙනහිර හා වතුකරයේ ජනතාව අතර ප්‍රචලිත අලියා ලකුණය. එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් තරග වදින හෙයින් ඔවුනට වැඩි ඡන්ද ප්‍රමාණයක් දිනාගැනීමට හැකිවනු ඇත.

පසුගිය කාලය පුරා මහා මැතිවරණවලදී උපරිම ශේෂය අනුව වැඩිම වාසිය හිමිවූයේ ජනතා විමුක්ති පෙරමුණටය. එක්සත් ජාතික පක්ෂයේ බෙදීමක් සිදුවුවහොත් පළමු දෙවැනි හා තුන්වැනි ස්ථානවලට පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය පත්වීමට ඉඩ තිබේ. එවන් පසුබිමක් යටතේ මෙතෙක් උපරිම ශේෂය මත වැඩි මන්ත්‍රීවරැන් සංඛ්‍යාවක් දිනාගත් ජනතා විමුක්ති පෙරමුණට අවාසියක් සිදුවීමට ඉඩ තිබේ. මන්ත්‍රී ආසන 10කට වඩා වැඩි දිස්ත්‍රික්කවල එක්සත් ජාතික පක්ෂයටත්, සමගි බලවේගයටත් මන්ත්‍රී ආසන දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් දිනාගත හැකි වනු ඇත. කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ දිස්ත්‍රික්කවලදී ප්‍රධාන පක්ෂයට හා ප්‍රධාන විපක්ෂය අතර ආසන බෙදී යන හෙයින් තුන්වැනි පාර්ශ්වයකට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට ඇති අවකාශය සීමිතය. එහෙයින් ජනතා විමුක්ති පෙරමුණට කිසියම් අසීරු තත්ත්වයක් නිර්මාණය කෙරෙනු ඇත. අනුර කුමාර දිසානායකගේ ප්‍රායෝගික දේශපාලනය ගැටලු සහගත තත්ත්වයක පවතී. එහෙයින් ජනතා විමුක්ති පෙරමුණට නව නායකයෙක් පත්කර ගැනීමට කාලය පැමිණ තිබේ. එමෙන්ම පක්ෂය තුළ නව කණ්ඩායමක් නිර්මාණය කර ගැනීමට ද සිදුවනු ඇත.

බෙදීමක් ඇතිවුවහොත් වතුකරයේද එක්සත් ජාතික පක්ෂයට සහාය දක්වන පක්ෂ දෙකට බෙදිය හැකිය. මෙහි වාසිය ද අත්වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටය. එහෙත් අතීතයේ සිට වතු දෙමළ ප්‍රජාවත් මුස්ලිම් ප්‍රජාවත් වැඩි නැඹුරැවක් දැක්වූයේ එක්සත් ජාතික පක්ෂයටය. එහෙයින් වතුකරයේ කුඩා දෙමළ පක්ෂ රනිල් පිල සමඟ එක්වීමට ඇති අවකාශය වැඩිය.

එක්සත් ජාතික පක්ෂය දෙකඩවීමේ වාසිය ඩීල් කාරයන්ට
ජනතා විමුක්ති පෙරමුණේ  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස

එක්සත් ජාතික පක්ෂයේ සියලු නායකයන් වසර හතරහමාරක් ආණ්ඩු කරලත් පසුගිය ජනාධිපතිවරණයේ දී ඔවුන් අපේක්ෂා කළ ප්‍රතිඵලය හිමිකරගත හැකි වූයේ නැහැ. එවැනි වාතාවරණයක් යටතේ එක්සත් ජාතික පක්ෂය දෙකට බෙදීමෙන් පාක්ෂිකයා තව තවත් දුර්වල වනවා. ලැබෙන ඡන්ද ප්‍රමාණයත් අඩු වෙනවා. මෙම බෙදීම ආණ්ඩුවට මැතිවරණයේ දී පමණක් නොවෙයි ඉන් පසුවත් වාසි සහගතයි. මෙම පිල් දෙකෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වන කණ්ඩායමෙන් කොටසක් ආණ්ඩුවත් සමඟ ඩීල් එකක් දාගෙන ඇමැතිකම් ගන්නවා. මේ බෙදීමෙන් වැඩි වාසියක් අත්වන්නේ එහෙම පනින අයටයි. මෙම කණ්ඩායම් දෙකෙන් කාට ඡන්දය දුන්නත් සිදුවන්නේ එක්සත් ජාතික පාක්ෂිකයාගේ ඡන්දය අපතේ යෑම පමණයි. පක්ෂයේ ගැටුම පනින්න ඉන්න අයට ඉනිමං බැඳීමක් වගේ.

මෙම බෙදීම නිසා ජනතා විමුක්ති පෙරමුණට ගැටලුවක් ඇතිවෙන්නේ නැහැ ජනතා විමුක්ති පෙරමුණට මන්ත්‍රී ආසන හිමිවූයේ උපරිම ශේෂය මතය යන්න නිවැරුදි නැහැ. පක්ෂ කිහිපයක් අතර ඡන්ද බෙදී යන විට 5%ට වඩා වැඩියෙන් ඡන්ද ගන්නා ඕනෑම පක්ෂයකට මන්ත්‍රී ධුර දිනාගැනීමේ අවස්ථාව හිමිවෙනවා. ඇතැම් විට ශේෂ දෙකට තුනට මන්ත්‍රී ධුර හිමිවනවා. ඒ නිසා උපරිම ශේෂය, අවම ශේෂය කියා දෙයක් නැහැ. මන්ත්‍රී ධුරයට අවශ්‍ය ඡන්ද ප්‍රමාණය නොමැති වුවද ඒ ආසන්නයට එන පක්ෂ කිහිපයකට වුවද මන්ත්‍රී ධුර බෙදිල යා හැකියි.

අලියගෙන් එන අයට ජවිපෙට තරම්වත් ඡන්ද ලැබෙන්නෙ නැහැ
එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් නොවන හිටපු අමාත්‍ය අජිත් පී. පෙරේරා

එක්සත් ජාතික පාක්ෂිකයෝ සියලු දෙනාම මේ වන විට සමගි බලවේගය සමඟ අත්වැල් බැඳගෙන අවසානයි. අපි දුරකතනයෙන් තරග වදිනවා. එක්සත් ජාතික පක්ෂයේ බෙදීම ජනතා විමුක්ති පෙරමුණට එතරම් හානිදායක ලෙස බලපාන එකක් නැහැ. නමුත් රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් එන කණ්ඩායමට ජනතා විමුක්ති පෙරමුණට ලැබෙන ආසන ප්‍රමාණයවත් ලැබෙන එකක් නැහැ. ඔවුන්ට කවුද ඡන්දය දෙන්න ඉන්නේ. සියලු එක්සත් ජාතික පාක්ෂිකයෝ සමගි බලවේගයට ඡන්දය ප්‍රකාශ කරන බව විශ්වාසයි. මෙරට දේශපාලන ඉතිහාසයේ පිරිහුණු, කිසිදු ප්‍රතිපත්තියක් නැති, කිසිම වැඩපිළිවෙළක් නැති නායකයකු වටා ජනතාව ඒකරාශී වෙයිද? දැන් අලියා ලකුණින් මැතිවරණයට ඉදිරිපත් වන පිරිස ජනතාව වෙතින් ප්‍රතික්ෂේප වූ පිරිසක්. ඔවුන්ට ස්වාධීන කණ්ඩායමක් ලබාගන්නා ඡන්ද ප්‍රමාණයක් විනා සමගි බලවේගයට ලැබෙන ඡන්ද ප්‍රමාණය ලැබෙන්නේ නැහැ.

► ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා