2020 මාර්තු 14 වන සෙනසුරාදා

විල්පත්තුව අද්දර කෝමාරිකා ගෝරිය...

 2020 මාර්තු 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 96

“කෝමාරිකා වවන්න විල්පත්තු ප්‍රේරක කලාපය වනසයි.”
“විල්පත්තු කෝමාරිකා වගාව සිව්දිග ඇවිලේ.”
“පරිසර ඇමැති තම දෑතින්ම ප්‍රේරක කලාපය වනසයි.”
“කෝමාරිකා වගාවට විල්පත්තුවේ බිම් අඟලක් දී නෑ” - ඇමැති චන්ද්‍රසේන

පසුගිය දිනවල සමාජ මාධ්‍යවල, සයිබර් මාධ්‍යවල මුලින්ම පැතිරුණු මේ ශීර්ෂ පාඨ පසුව විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවලද සැරිසැරුවේය. පරිසර සංවිධාන මේ අලකලංචිය ගැන සෙවීමට අදාළ ස්ථානවල ගොස් වොයිස් කට් දුන්නේය. බොහෝ දෙනෙක් සිතුවේ පසුගිය කාලයේ මෙන් යළිත් විල්පත්තුව වැනසීම අරඹා ඇති බවයි. මේකත් රැල්ලට සිදුකරන අඬහැරයක්ද? අපි මේ අවුල කුමක්දැයි හඳුනාගෙන එය ලිහා ගැනීමට මෙසේ උත්සහ කරමු. 

මහා පරිමාණ කෝමාරිකා වගාවක් ආරම්භ කිරීමට රාජාංගනය යාය 18 ප්‍රදේශයේ ජනතාව දැනට වගාකරන ඉඩම් අක්කර 78ක් පමණ පෞද්ගලික ආයෝජන සමාගමක දේශීය ආයෝජකයකුට ලබාදීමට ගොවීන් සමඟ ගිවිසුමකට එළඹ ඇත්තේ පසුගිය 2019 වර්ෂයේ මැයි මාසයේදීය. එය අමෙරිකන් ඩොලර් මිලියන 370ක ආයෝජනයක් බව පැවසේ. අදාළ ව්‍යාපෘතිය අරඹා එහි සංවර්ධන කටයුතු ද මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතී.

මෙම ව්‍යාපෘතිය සඳහා විල්පත්තුව ජාතික උද්‍යානයේ ප්‍රේරක කලාපයේ කිසිදු ඉඩමක් ලබාගෙන නැත. නමුත් ඔවුන් කෝමාරිකා වගාවට අවශ්‍ය ජල පහසුව ලබාගැනීමට වනෝද්‍යාන මායිමේ ප්‍රේරක කලාපයෙන් ගලාබසින පනික්කන්කුලම ඇළේ ජලය ලබාගැනීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසර ගැනීමකින් තොරව ඇළක් කැපීමත් සමඟ විරෝධයක් මතුවී තිබේ. 

ඒ අතරම ප්‍රේරණ කලාප සීමාව තුළ වැවක් සහ වැව් බැම්මක් තැනීම සඳහා පස් කැපීම සිදුවේ. ඒ සඳහා ඩෝසර් යන්ත්‍ර ද යොදාගෙන තිබේ. මේ සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හෝ මධ්‍යම පරිසර අධිකාරියේ අවසර ද ලබාගෙන නැත.

“කලා ඔය බිට්ටුවට ඉතා ආසන්නව පවතින ඉඩම් තමයි මේ විදිහට වගා ව්‍යාපෘතියට යොදවාගෙන තිබෙන්නේ. ඒවා ගොවීන්ට බලපත්‍ර වශයෙන් ලබාදුන් ඉඩම්. පොදුවේ ගත්තම රජයේ ඉඩම්. මේ ඉඩම්වල අයිතිය මහවැලි සංවර්ධන අමාත්‍යංශයට, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට විය හැකියි. ගොවීන් 18 දෙනෙක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ලිපියක් යවා තිබෙනවා. කෝමාරිකා වගා ව්‍යාපෘතියකට අවසර ලබාදෙන ලෙස ඉල්ලමින්. නමුත් අවසර ලබාදීමටත් පෙර ඉඩම් ඩෝසර් කරලා.” එලෙස පැවසුවේ පරිසරවේදී නයනක රන්වැල්ලයි.

මෙය නම් කර ඇත්තේ “වියළි කලාපීය ග්‍රාමීය ආර්ථික සංවර්ධන කෝමාරිකා ව්‍යාපෘතිය.” ලෙසිනි. යෝජිත කෝමාරිකා වගා ව්‍යාපෘතියේ කටයුතුවලට පරිසර වනජීවී හා ඉඩම් කැබිනට් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන ඩෝසර්යක් හසුරැවමින් සහභාගී වන ආකාරය දැක්වෙන ඡායාරෑප සමාජ මාධ්‍යවල සහ වෙබ් අඩවිවල සංසරණය වෙමින් පැවතුණි.

මේ ව්‍යාපෘතිය ගැන අදාළ සමාගම පවසන්නේ අක්කර 1500ක කෝමාරිකා පැළ තවානක් දැමීමට එළිපෙහෙළි කරන බවත් ඒ යටතේ රට පුරා කෝමාරිකා අක්කර ලක්ෂයක් වගා කිරීමට නියමිත බවත්ය. කාබනික වගාවන් ලෙස කෙරෙන මෙම නිෂ්පාදන මුළුමනින්ම යුරෝපා වෙළෙඳපොළ ඉලක්ක කරගෙන ඇති බවද ඔවුහු පවසති. එහි මූලික පියවර ලෙස යාය 18 ප්‍රදේශයේ අක්කර 78ක වගාවේ මූලික කටයුතු ආරම්භ කර තිබේ. මෙම වගාව සඳහා භූමිය එළිකිරීම නීති විරෝධීව කර ඇති බැවින් ආයෝජකයාට ඉඩම් ලබාදුන් ගොවීන් 18 දෙනෙකුට එරෙහිව තඹුත්තේගම අධිකරණයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නඩුවක් ගොනු කර තිබේ.

අපට පසුගිය කාලය පුරාම පෙනීගිය දෙයක් නම් ලංකාවේ බොහෝ දේවල් සිදුකරන්නේ වැරදියට බවයි. කෝමාරිකා වගාවක් ආරම්භ කර ගොවීන්ගේ අතමිට සරුකර රටේ සංවර්ධනයට දායකවීම යහපත්ය. එහෙත් එය සිදුකළ යුත්තේ රටේ නීතිරීතී නොතකාහරිමින් නොවේ. එලෙස සිදුකිරීමට කාටවත් බලපත් ලබාදී නැත. මේ පිළිබඳව අප සමඟ අදහස් දැක්වූ ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ පරිසරවේදී සජීව චාමිකර 

“මේ වනාන්තර පරිසර පද්ධතිය විල්පත්තු ප්‍රේරක කලාපයෙන් පරිබාහිරව තිබෙන්නේ. මේ වගා කරන්නේ කෝමාරිකා කියන ඖෂධීය ශාකය. ඒක වියළි කලාපයට ඉතා ගැලපෙන වගාවක්. ඒක ගොවියාගේ ආදායම් තත්ත්වය වර්ධනය වීමට හේතුවක්. අප අවබෝධකරගත යුත්තේ වගාවේ හානිකර බවක් නොවෙයි. වගාකරන ඉඩම්වල තිබෙන ගැටලුකාරී බවයි. මේ ඉඩම් ඒ ප්‍රදේශවල ගොවීන් බලපත්‍ර යටතේ හේන් වගාවට යොදාගත් ඉඩම්. සුළු පරිමාණ වශයෙන් ගොවිතැන් කළ ඉඩම් සියල්ල එකතු කරලා අක්කර 150ක් පමණ අද වනවිට සමාගමක් යටතට පත්කරලා තිබෙනවා. මේ සඳහා මෙහෙයවීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් නීති විරෝධියි. මෙම සංවර්ධන ව්‍යාපෘතියට පරිසර බලපෑම් වාර්තාවක් පවා ලබාගෙන නැහැ.”

වනෝද්‍යානයක් ආසන්නයෙන් සංවර්ධන ව්‍යාපෘතියක් සිදු කරන්නේ නම් වනෝද්‍යාන මායිමේ සිට සැතපුම් 1ක් ඇතුළත හෙක්ටයාර් එකකට වැඩි ප්‍රදේශයක ව්‍යාපෘති සඳහා ජාතික පාරිසරික පනතට අනුව පරිසර බලෑම් ඇගැයිම් ක්‍රියාවලියට යටත්ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලබාගත යුතුය. එතෙක් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම නීතිවිරෝධීය. එහෙත් මේ දක්වා පරිසර ඇගැයීම් වාර්තාවක් අදාළ සමාගම විසින් ලබාගෙන නොමැත. එම පරිසර හානි වාර්තාව මහජන අදහස් විමසීමකට ද ලක්කළ යුතුවේ. එවැනි විධිමත් ක්‍රියාමාර්ගයක් අනුගමනය නොකිරීම නිසා ජාතික පාරිසරික පනත, වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනත, වන සංරක්ෂණ ආඥා පනත මගින් පනවා ඇති සීමා උල්ලංඝනය කර තිබේ. එමෙන්ම මේ අවට පුරාවිද්‍යා හානි වාර්තාවක් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලබාගෙන ද නැත.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ පරිසරවේදී නයනක රංවැල්ල:

“සංවේදී කලාපයක සිදුකරන මේ ව්‍යාපෘතියෙන් රටේ මූලික නීති මේ නිසා උල්ලංඝනය කරලා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිර්දේශයක් මේකට ජල පහසුකම් ලබාගැනීමේදී අවශ්‍යයි. එක ඉඩමක් උසින් වැඩියි. ඒකට වාරි සැලසුම් අනුව ජලය සැපයිය යුතු වෙනවා. අමාත්‍යවරයා මේකට ඍජුව මැදිහත්වෙලා. ප්‍රේරක කලාපය තුළ සෙල්ලම් කරන්න බෑ. වගාවට සුදුසු වෙනත් ඉඩම් ඒ අවට ඕනෑතරම් තිබෙනවා. මේ විදිහට දැන් විල්පත්තුව හැම පැත්තෙන්ම පත්තුවෙන විලක්කුවක් වෙලා.”
අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මේ පිළිබඳව මාධ්‍යයට පැවසුවේ මෙවන් අදහසකි.

“රාජාංගනය යාය 18 ගම්මානයේ කරන කෝමාරිකා වගා ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙන්නයි ඒ ආයෝජකයා මට ආරාධනා කළා. මම ඒකට සහභාගී වුණා. මේක පසුගිය ආණ්ඩුවෙන් ආරම්භ කළ ව්‍යාපෘතියක්. අමුණක් බැඳීමට අනුමැතිය දීලා තිබෙන්නේ 2019.9.19දායි. විල්පත්තු වනෝද්‍යානයේ එක බිම් අඟලක් මේකට ලබාදීලා නෑ. එහෙම දීලා තිබෙනවා නම් ඉල්ලා අස්වීමට සූදානම්. අක්කර බාගේ, අක්කරේ ඉඩම් තමයි සමාගම ගොවීන්ගෙන් ලබාගෙන තියෙන්නේ. අවුරුදු 10ක් යනකම් ගොවීන් එම ඉඩම්වල කෝමාරිකා වගාකර ඒවා සමාගමට ලබාදීමට බැඳී සිටිනවා. අපේම පක්ෂයේ සමහර වැඩ බැරි ටාසන්ලා තමයි සමාජ මාධ්‍යවලින් මට මඩ ගහන්නේ.”

රට පුරා නැගෙන කතාබහ හමුවේ මහාපරිමාණ කෝමාරිකා වගාව සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය පුළුල් පරීක්ෂණයක් අරඹා තිබේ. මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ පවසන්නේ වගා භූමි ප්‍රදේශය විල්පත්තුව ප්‍රේරක කලාපයට අයත්දැයි විමර්ශනය කරන බවයි. ඒ පිළිබඳව විමර්ශනය කිරීමට විශේෂ කණ්ඩායමක් එහි යවන බව පරිසර අධිකාරිය පවසයි.

ලංකාවේ විශාලතම වනෝද්‍යානය වූ හෙක්ටයාර් 131893.7ක් විශාල විල්පත්තුව කාලෙන් කාලෙට පුවත් මවයි. ඒ අතර කිසිවකුගේ අවධානයෙන් තොරව වන විනාශයත් සත්ව දඩයමත් සිදුවේ. පුක්කුලම නම් ගම්මානය පිහිටා ඇත්තේ වනෝද්‍යානය ඇතුළතය. කලකට පෙර ධීවරයන් පැමිණ ටික කලක් නවාතැන් ගත් සංචාරක ගමක් වූ එය මේ වනවිට ස්ථිර ගමක් බවට පත්ව ඇතැයි පරිසරවේදීහු පවසති. ඒ අතර වනෝද්‍යානය තුළම පිහිටි දේවස්ථානයකට ද මාර්ග පහසුකම් ලබාදී තිබේ. විල්පත්තු වනෝද්‍යානය මෙන්ම එය වටා පිහිටි ප්‍රේරක කලාපය ද සුරක්ෂිත කළ යුතුය. නීති අමු අමුවේ උල්ලංඝනය කරමින් සංවර්ධනයක් කළහැකි දැයි අපට නම් පැනයකි.

 කුසුම්සිරි විජයවර්ධන