2017 මාර්තු 25 වන සෙනසුරාදා

තම්බි අපි රජීව් ගාන්ධි මරන්න ඕන කියලා ප්‍රභා කිව්වා

 2017 මාර්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 316

මෙරට සිටි ප්‍රවීණ යුධ විශ්ලේෂක මාධ්‍යවේදියකු වූ ඉක්බාල් අතාස් මහතාට අනුව ඊළාම් යුද්ධ තුනකි. ප්‍රභාකරන්ගේ නායකත්වයෙන් යුතුව කොටි සංවිධානය ආරම්භ වී ඔවුන් මුහුණ දුන් පළමු ඊළාම් යුද්ධය ලෙස පිළිගැනෙන්නේ මෙරට හමුදාව සමඟ මුහුණට මුහුණ සටන් කළ වඩමාරච්චි මෙහෙයුම හා ඒ ආසන්න සටන්ය. ඉන්පසුව ඉන්දීය සාමසාධක හමුදා මෙරටට පැමිණීමත් සමඟ දෙවැනි ඊළාම් යුද්ධයට අතපොවන්නට කොටි සංවිධානයට සිදුවේ. මේ අවස්ථාව වනවිට විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා සංවිධානයේ විශ්වාසවන්ත චරිතයක් වී ප්‍රභාකරන්ගේ සමීපයේම තබාගෙන සිටියෙක් විය.

 ප්‍රභාකරන් තිලීපන් බිල්ලට දුන්නා 

“I.P.K.F කියලා අපි කිව්ව Indian Peace Keeping Force නැත්තම් ඉන්දියානු හමුදාව එදා ලංකාවට ගෙන්නුවේ ජේ. ආර්. ජයවර්ධන. එයාට ලොකු යුද ශක්තියක් තිබුණේ නෑ උතුරේ කොටි සංවිධානයටයි, දකුණේ ජනතා විමුක්ති පෙරමුණටයි මුහුණ දෙන්න තරම්. ඒ නිසා එයා කළේ උතුර ඉන්දියාවට දුන්නා. ඉන්දියාවට ඕන වුණේ අපේ ත්‍රිකුණාමලය වරාය. ඒ නිසා එයාලත් ඇවිල්ලා උතුර භාරගත්තා. හැබැයි උතුරේ එක එක සංවිධාන ගණනාවක්ම හිටිය නිසා එයාලට තනියම වරාය අල්ලාගන්න බැරිවුණා. එයාලා ලංකා රජයට බලකළා 13 වැනි ව්‍යවස්ථා වෙනස ගේන්න කියලා. ලංකා රජය කිව්වා එහෙනම් උතුරේ ක්‍රියාත්මක වෙන ආයුධ රැගත් සංවිධාන ටික එකතු කරලා එයාලා මේකට කැමති කරගන්න කියලා. ඊට පස්සේ ඉන්දියාව ඇවිල්ලා උතුරේදි ඒක කිව්වා. සියලුම සංවිධාන ටිකට එකතු වෙන්න, ඒ සංවිධාන හා ශ්‍රී ලංකා රජය එකතු කරලා සටන් විරාමයක් හා 13 වැනි ව්‍යවස්ථා වෙනස ක්‍රියාත්මක කරනවා කියලා. මෙතෙන්දි ප්‍රභාකරන් ඒකට කැමති වුණේ නෑ. එයා හිතාගෙන හිටියේ උතුරේ මොනම හරි ගිවිසුමක් ගැන කතා කරනවා නම් ඒක එයා එක්ක විතරක් කරන්න ඕනි කියලා. අනිත් සංවිධානත් එක්ක ඒක බෙදාගන්නවත්, ඒ සංවිධානවල අය එක්ක එකට වාඩි වෙන්නවත් ප්‍රභාකරන් කැමැති වුණේ නෑ....”

මේ කියූ උද්දච්චකම අවසානයේ මෙරට දෙවැනි ඊළාම් යුද්ධයට පාර කපනු ඇතැයි එදා කිසිවකු විශ්වාස කළේ නැත. ඉන්දියානු සාම සාධක හමුදාව මුළුමහත් උතුරුකරයේත්, නැගෙනහිර බොහෝ ප්‍රදේශවලත් ගොස් කඳවුරු ලා ගත්හ. යාපනයේ ජනතාව පවා ඉන්දියානු හමුදාවට කැමැතිවීම ප්‍රභාකරන් හට දරාගන්නට නොහැකි විය. ප්‍රභාකරන් කොටි සංවිධානය යාපනය දෙමළ ජනතාවගේ එකම විමුක්ති සංවිධානය බව පෙන්වාලීමට විශාල වෙහෙසක් ගනිද්දී, කොහේදෝ සිට පැමිණි ඉන්දියානු හමුදාවක් තම ජනතාවගේ මානසික වීරයින් වීම කිසිසේත් තමන් සංවිධානයේ අනාගතයට යහපතක් නොවන බව ඔහුට වැටහිණි. ඒ අනුව යාපනය දෙමළ ජනතාවගේ මතය වෙනස් කරවන්නට ක්‍රමයක් සිතමින් සිටිනා ප්‍රභාකරන් ඒ සඳහා බිලිදීමට තෝරාගන්නේ සංවිධානයේ දේශපාලන අංශ නායක තිලීපන්ය.

 කොටි රාජුයි මුලින්ම ජොනී බට්ටො හැදුවේ 

“තිලීපන් කියන්නේ ආයුධ එක්ක කිසිම ගනුදෙනුවක් කළේ නැති දේශපාලන කටයුතු විතරක් කළ කෙනෙක්. එයා ඉන්දියානු හමුදාවට එරෙහිව සත්‍යග්‍රහයක් ආරම්භ කළා. ඉන්දියානු හමුදාව උතුරේ යුද්ධයක් ඇති කරන්න යනවා කියලා තමයි ඒක කළේ. උතුරේ මිනිස්සු ඉන්දියන් හමුදාවට කැමැති වුණාට එයාලා උතුරේ යුද්ධයක් පටන් ගන්නවාට කොහොමවත් කැමති වුණේ නෑ. ඒ නිසා තිලීපන්ගේ සත්‍යග්‍රහයට පොඩි පක්ෂපාතීකමක් උතුරේ ජනතාවත් පෙන්නුවා. මේ කාලෙම ප්‍රභාකරන් තව කපටිකමක් කළා. එයා ඉන්දියානු හමුදාවට කිව්වා කොටි සංවිධානය ඉන්දියානු හමුදාව කියන දේ අහනවා, හැබැයි මෙන්න මේ කොන්දේසි ටික පිළිගන්න ඕනෑ කියලා. එහෙම කියලා කොන්දේසි 8ක් ඉදිරිපත් කළා. ඒ කොන්දේසි අතර කිහිපයක්ම තිබුණා උතුරේ දෙමළ ජනතාව සම්බන්ධ කොන්දේසි හා ඒවා ඉන්දියානු හමුදාවට කරන්න බැරි ඒවා කියලා හොඳටම දන්නවා. මේ කොන්දේසි කතාවත් උතුරේ ප්‍රචාරය කළා. තිලීපන් සත්‍යග්‍රහය කළේ මේ කොන්දේසි ටිකත් තියාගෙන. අවසානයේ දවස් 12ක් බඩගින්නේ ඉඳලා යාපනයේ ජනතාව වෙනුවෙන් මියගිය අයකු විධියට තිලීපන් මැරුණා. තිලීපන්ගේ මරණයත් එක්ක යාපනයේ ජනතාව ඉන්දියානු හමුදාවක් ගැන දක්වපු කැමැත්ත ඉවරයක් වුණා. ඔන්න ඔහොමයි ප්‍රභාකරන් තිලීපන් බිලිදීලා තමන්ගේ අරමුණට ගියේ.....”

“තිලීපන් මිය ගිහින් ටික දවසකින් අපි ලැහැස්ති වුණා යුද්ධයකට. හදිසියේම අපි වැල්වැටිතුරෙයිවලදි යුධ හමුදා ජීප් එකකට ගැහුවා. ඒ ප්‍රහාරයත් එක්කම ඉන්දියන් හමුදාව එක දිගට අපිට ගහගෙන ඉස්සරහට එන්න පටන් ගත්තා. උතුරේ ගහන අතරේ එයාලා නැගෙනහිරත් ගහන්න පටන් අරගෙන. ලොකුවට යුද්ධයක් තිබුණේ නැති නිසා ඒ වෙද්දි මම නැගෙනහිර ඉඳලා ප්‍රභාකරන් ඉන්න උතුරට ඇවිල්ලා එයා එක්ක හිටියේ. එයා එකවරම මට කිව්වා තම්බි දැන් ඔයා නැගෙනහිර යන්න කියලා....”

මෙරටට ඉන්දියානු සාමසාධක හමුදාව එවීමේ පුරෝගාමියා වූ එවකට ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධිටද ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවිය. කරුණා උතුරෙන් පිටත්ව නැගෙනහිරට යන්නට පැය කිහිපයකට පෙර ඉන්දීය රාජ්‍ය නායකයා ඝාතනය කිරීමේ අනාගත අභිලාෂය ප්‍රභාගේ කටින් පිට විය.

“ඒක වුණේ මෙහෙමයි. ඉන්දියානු හමුදාව ගොඩාක් විශාලයි. එයාලා වටෙන්ම ගහගෙන එන්න පටන් ගත්තා. එයාලා අල්ලගන්න ගම්වල හිටිය කෙල්ලෝ දූෂණය කළා. ඒකට ප්‍රභාකරන් ගොඩක් තරහෙන් හිටියේ. අන්තිමට දවසක් සංවිධානයට සම්බන්ධයි කියලා අල්ලාගත්ත කෙල්ලෝ 9ක් ඉන්දියානු හමුදාවේ කණ්ඩායමක් එකතුවෙලා සමූහ දූෂණය කරලා ඒ කෙල්ලොන්ට හොඳටම අමාරැ වුණා. එයාලා යාපනය රෝහලට ගෙනාවා. ඒක දැනගත්තාම තමයි මට කිව්වේ තම්බි අපි රජීව් ගාන්ධි මරන්න ඕන කියලා. කොහොමහරි ඉන්දියන් හමුදාව මාසෙන් යාපනය ඇල්ලුවා.....”

 අනිත් සංවිධානවල අය එක්ක වාඩිවෙන්නවත් කැමති වුණේ නෑ 

ඉන්දීය හමුදාව මාසයක් තුළ යාපනය අර්ධද්වීපය සිය පාලනයට නතුකරගත් හෙයින් ප්‍රභාකරන්ට මුලතිව් කැලයටම පසුබසින්නට සිදුවිය. අවසානයේ ප්‍රභාකරන් පසුපසම ඉන්දීය හමුදාව ලුහුබඳින්නට වූ අතර ප්‍රභාකරන් නැගෙනහිර වෙරළ ඔස්සේ වැලිඔය මහා කැලෑව දක්වාම දුවගොස් සැඟවුණේය.

“වැලිඔය කැලෑවට අපි කිව්වේ මනිලාරු කියලා. උතුරේ ඉන්දියන් ආමි එකත් එක්ක සටන් කරන්න ප්‍රභාකරන්ට බැරි වුණාට නැගෙනහිර නම් මම අපේ කොල්ලෝ දාල ගැහුවා. මේ අතරේ ප්‍රභාකරන් බලාපොරොත්තු නොවුණ දෙයක් වුණා. ප්‍රභාකරන් ළඟින්ම හිටිය පොට්ටුඅම්මාන්, මුහුදුකොටි නායක සුසෙයි වගේ විශ්වාසවන්තම කට්ටියක් ප්‍රභාකරන් දාලා යන්න ගියා. මහත්තයා විතරයි ඉතිරිවුණේ. ප්‍රභාකරන් ටිකක් බය වුණා. එයා ඉක්මනටම මට කතාකරලා කිව්වා මගේ ළඟ ඉන්න හොඳම අයව අරගෙන එයා ඉන්න දිහාවට එන්න කියලා. මම හොඳම කට්ටිය 50ක් අරගෙන ගියා. ගිහින් වටේට සිකියුරිටි එක දැම්මා...”

මෙරට යුද හමුදාවට සාතිශය හානියක් සිදුකළ ජොනී බට්ටන් මුලින් සෑදුවේද මෙලෙස ඉන්දියානු හමුදාව ගැන බියෙන් කොටුව සිටි අවධියේය.

“ප්‍රභාගේ පුපුරණ ද්‍රව්‍ය ගැන විශේෂඥයෙක් හිටියා රාජු කියලා. එයාගේ කණ්ඩායම තමයි මේ බට්ටෝ හැදුවේ. මේකට ජොනී කියලා නම දැම්මාට හැදුවේ ජොනී කියලා කෙනෙක් නෙවෙයි. ප්‍රභාකරන් කැළෙන් එළියට ගන්න ඉන්දියානු හමුදාව එයාව වට කරලා ඉද්දි කියනවා එළියට ඇවිල්ලා ඉන්දියන් ආමි එකත් එක්ක සාකච්ඡා කරන්න කියලා. ප්‍රභාකරන්ටත් වෙන කරන්න දෙයක් නැති නිසා එයා කැමැතියි කියලා පණිවුඩය යවනවා. ඒ යවලා සාකච්ඡා වලට එයාගේ විශ්වාසවන්තම කෙනෙක් වුණ ජොනී කියන එක්කෙනා යවනවා. ජොනී මනිලාරු කැලෑවෙන් එද්දිම ඉන්දියන් හමුදාව එයාට වෙඩි තියලා මරනවා. සමහරවිට ප්‍රභාකරන් කියලා හිතලා වෙන්න ඇති. අන්තිමට ප්‍රභාගේ ඉල්ලීමට ගිහින් ආයුධයක්වත් නැතිව මැරුණ ජොනී සිහිවෙන්න තමයි මේකට ජොනී බට්ටෝ කියලා නම දාන්නේ. පස්සේ ජොනී බට්ටෝ දාහක් විතර හදලා රෑට ගිහින් කළුවරේම ප්‍රභාකරන් හිටිය මනිලාරු කැලෑව වටේට දාලා එනවා. ප්‍රභාකරන් මට ආපහු යන්න දුන්නේ නෑ. ළඟම ඉන්න කිව්වා....”

 පොට්ටු අම්මාන්, සුසෙයි නායකයා දාලා පැනලා ගියා 

මේ 1988 ආරම්භයයි. මෙරට දේශපාලනයේ සුවිශේෂී සංධිස්ථානයක් වූ රාජ්‍ය නායකයන් වෙනසක් සිදුවිය. එනම් එතෙක් මෙරට ජනාධිපතිත්වය දැරූ ප්‍රථම විධායක ජනාධිපතිවරයා සිය අසුන මෙරට ඉතිහාසයේ නොමැකෙන කාරණා රුසක් ඉතිරි කර අවසන් ගමන් ගිය දෙවැනි ජනාධිපතිවරයාට බාරදීමයි. ඒ අනුව ජේ.ආර්. ජයවර්ධන මහතාගෙන් ජනාධිපති පදවිය රණසිංහ ප්‍රේමදාස මහතාට හිමිවිය. 

“ප්‍රභාකරන් ප්‍රේමදාසට කැමතියි. ජේ.ආර්. ඉන්දියානු හමුදාවට කැමති වුණාට ප්‍රේමදාස කැමති නැති නිසා වෙන්න ඇති. ප්‍රභාකරන් හිතුවේ ලංකා රජයයි කොටි සංවිධානයයි අතර තියෙන යුද්ධය අභ්‍යන්තර ගැටලුවක් මිසක් වෙන රටක් ගාවගන්න ඕන නැති එකක් කියලා. ප්‍රේමදාසත් ඒ මතයේ හිටියේ. ප්‍රේමදාස කෙළින්ම ඉන්දියන් හමුදාවට කිව්වා ලංකාවෙන් යන්න කියලා. ඉන්දියන් හමුදාව ඒකට එච්චර කැමැත්තක් පෙන්නුවේ නෑ. මේ කියන කාලේ කොටි සංවිධානෙට විවිධ උපක්‍රම සම්බන්ධ උපදෙස් දුන්නේ ඇන්ටන් බාලසිංහම්. එයා හිටියේ රට. ප්‍රේමදාසගේ විදේශ කටයුතු ඇමැති හිටිය අබ්දුල් හමීඩ්, ඇන්ටන් බාලසිංහම්ට කතා කරනවා. කතා කරලා කියනවා කොටි සංවිධානයට උපකාර කරන්න කියලා ඉන්දියන් හමුදාව ලංකාවෙන් යවන්න.....”

යම්හෙයකින් රාජ්‍ය නායකයාගේ ඉල්ලීම පරිදි ඉන්දියන් හමුදාව මෙරටින් පිටත්ව නොයන්නේ නම් ඊට එරෙහිව අවි අමෝරාගන්නට ප්‍රේමදාස තෝරාගන්නේ අපූරැ සගයෙකි. එනම් වේලුපිල්ලේ ප්‍රභාකරන්ය.

“ඇන්ටන් බාලසිංහම් ලංකාවට ඇවිල්ලා ගිහින් විදේශ ඇමැති හමීඩ් මුණගැහෙනවා. මුණගැහුණාට පස්සේ ඔහු ඉල්ලීමක් කරනවා යම් විධියකින් ඉන්දියන් හමුදාව එක්ක ප්‍රේමදාස රජයට ගැටුමකට යන්න වුණොත් සහාය දක්වන්න කියලා. එතකොට ඇන්ටන් බාලසිංහම් කියනවා අපිට ඒකට අවශ්‍ය සම්පත් මොකුත් නෑ කියලා. තුවක්කු, ආයුධ, මුදල්, ආහාර වගේ කිසිම දෙයක් නෑ කියලා. හමීඩ් ප්‍රේමදාස රජය නියෝජනය කරමින් පොරොන්දු වෙනවා ඒ හැමදේම අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩියෙන් ලබාදෙනවා කියලා...”

අවසානයේ මෙරට ජනතාවගේ බදු මුදල්වලින් ශ්‍රී ලංකා රජය කොටි සංවිධානයට උප්පතියේදී උපකාර කළ ඉන්දියාවටද නොදෙවැනි වෙමින් විශාල ආයුධ තොගයක් ලබාදීමට කටයුතු කරයි.

ප්‍රේමදාස කොටින්ට අායුධ දුන් කතාෙව් හෙළිනොවූ රහස් 

(ලබන සතියට)

♦ විමුක්ති රත්නමලල

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00